22/09/2026
කිලෝමීටර් 240ක්. එකම එක වංගුවක්වත් නැහැ.
මුලින්ම මේ මැප් එක දකිද්දී මට හිතුණේ මේක බොරුවක් කියලා. මොකද මේක පරිගණකයකින් එඩිට් කරලා කෙලින් ඇඳපු ඉරක් වගේ.
ඒ තරම් කෙළින්.
කිසිම ඇදයක් නැහැ. අංශකයකින්වත් කොහේටවත් හැරිලා නැහැ. ඇස් මානයේ දුරට කිසිම වෙනසක් නැහැ. පේන්න තියෙන්නේ අහසයි, නිමක් නැති වැලි තලාවයි විතරයි.
මේක තියෙන්නේ සෞදි අරාබියේ.
මේ මුළු Highway 10 පාරම කිලෝමීටර් 1,400කට වඩා දිගයි. හැබැයි මේ කියන සුවිශේෂී කොටස තියෙන්නේ හරද් (Haradh) තෙල් නිධි කලාපයේ ඉඳන් අල් බාතා (Al-Batha) වෙනකම් විතරයි.
නිකමට හිතන්න. අපේ රටේ හැටියට බැලුවොත් මේක කොළඹ ඉඳන් අනුරාධපුරේටත් එහා ගිය දුරක්.
හිතන්නකෝ කොළඹ ඉඳන් අනුරාධපුරේ යනකොට මොන තරම් වංගු හමුවෙනවද? ඒවගේම ට්‍රැෆික් එක ඊටත් වඩා හපන්.නමුත් මෙහි නගර කිසිවක් නැහැ. තියෙන්නේ කාන්තාරය මැදින් ඇදුණු එකම එක නිහඬ කළු ඉරක් විතරයි. සුළඟට වාහනය පාලනය කරගන්න කරන පොඩි වෙනස්කම් ඇරෙන්න, ස්ටියරින් වීල් එක ලොකුවට අංශක ගණන් හරවන්න ඕනෙම නැහැ. වාහනය කෙළින් තියාගෙන පැය දෙකක් එක දිගට පැදගෙන යන්න විතරයි තියෙන්නේ.
ගිනස් ලෝක වාර්තා පොත පවා මේක ලෝකයේ දිගම කෙළින් මාර්ගය විදිහට නිල වශයෙන් තහවුරු කරලා තියෙනවා. මම නිකමට හොයලා බැලුවා මීට කලින් මේ වාර්තාවට හිමිකම් කිව්වේ මොකද්ද කියලා. ඒ තමයි ඕස්ට්‍රේලියාවේ 'Eyre Highway' කියන පාරේ 90 Mile Straight කියන කොටස. ඒක කිලෝමීටර් 146ක් විතර දිගයි. හැබැයි සෞදියේ මේ පාර ඒ පරණ වාර්තාව කිලෝමීටර් 100කට ආසන්න ගණනකින් බිඳලා දාලා තියෙනවා.
හිතලා බලනකොට මේක ඇත්තටම විස්මයක්.
ඇයි මෙහෙම පාරක් හැදුවේ?
මුලින්ම මේ පාර හදලා තියෙන්නේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට යන්න නෙවෙයි. ෆාහ්ඩ් රජතුමාට (King Fahd) එයාගේ පෞද්ගලික ගමන් බිමන් වෙනුවෙන්. රජුගේ පෞද්ගලික පාරක් විදිහට පටන් අරන්, පස්සේ කාලෙක තමයි මේක රටේ ප්‍රධාන වාණිජ මාර්ග පද්ධතියට එකතු වෙන්නේ. කාන්තාරය හරහා UAE පැත්තට බඩු ගෙනියන ලොරි වලට මේකෙන් ලැබුණේ ලොකු වාසියක්.
මොකද කිසිම වංගුවක් නැති නිසා ඉන්ධන නාස්තිය අඩුයි. ගමනට යන වෙලාව සෑහෙන්න අඩුයි.
පිටතින් බලන කෙනෙකුට මේක ඉංජිනේරු විද්‍යාවේ ලොකු ජයග්‍රහණයක් වගේ පේන්න පුළුවන්.
හැබැයි හැමදාම කියනවා වගේ මේකේ අනිත් පැත්තකුත් තියෙනවා.
අපි සාමාන්‍යයෙන් හිතන්නේ මොකක්ද? වංගු නැති කෙළින් පාරවල් තමයි පදවන්න ලෝකයේ තියෙන ආරක්ෂිතම පාරවල් කියලා. මොකද කිසිම කරදරයක් වෙන්න විදිහක් නෑනේ. ඉස්සරහ බැලුවම ක්ෂිතිජය වෙනකම්ම පේනවා. අතුරු පාරවල් නෑ. හැරවුම් නෑ.
ඒත් ඇත්ත තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්.
සෞදි ප්‍රවාහන අධිකාරියේ වාර්තා සහ ගෝලීය ආරක්ෂක දත්ත දිහා බැලුවාම මේ පාර හඳුන්වන්නේ රටේ තියෙන භයාක පාරවල් වලින් එකක් විදිහට.
වංගු නැතිකම තමයි මෙතන තියෙන ලොකුම හේතුව.
මේකට කියන්නේ 'Highway Hypnosis' නැත්නම් 'White Line Fever' කියලා. මේක මම ඇහුවේ පළමු වතාවට. මනෝවිද්‍යාත්මකව බැලුවම මේක මේක ඉතාමත්ම භයාක තත්වයක්.
රියදුරෙක් පැය භාගයක්, පැයක් එක දිගට කිසිම හැරවීමක් නැතුව, එකම දර්ශනයක් දිහා බලාගෙන යද්දී මොළය හරියට ස්ටෑන්ඩ්-බායි මෝඩ් එකකට ගියා වගේ වෙනවා. අවට සිදුවන දේවල් රෙකෝඩ් කරගන්න එක නතර කරනවා.
ඇස් ඇරිලා තියෙනවා. කකුල ඇක්සලරේටරය උඩ තියෙනවා. වාහනේ පැයට කිලෝමීටර් 120-140 ට යනවා.
හැබැයි ප්‍රශ්නය තියෙන්නේ මොළය නිදි.
වටපිටාවේ ගහක් කොළක් නැහැ. කන්දක් නැහැ. උස් පහත් වීමක්වත් නැහැ. තියෙන්නේ ලෝකයේ විශාලතම වැලි කාන්තාරය වන 'රූබ් අල්-ඛාලි' (Empty Quarter) කාන්තාරයේ එකම පාට වැලි තලාවක් විතරයි. මේ කාන්තාරය කෙතරම් පාළුද කියනවා නම්, නිරන්තරයෙන් ඇහැට ගැටෙන ජීවියෙක්වත් මෙහෙ නෑ. රස්නයට තාර පාර දිලිසෙද්දී කාන්තාර මිරිඟුව නිසා ක්ෂිතිජයයි පාරයි එකට දිය වෙලා වගේ තමයි පේන්නේ.
ඒ වගේ පරිසරයක විනාඩි 40ක් එක දිගට යනකොට මිනිස් මොළයට වේගය කියන සංකල්පය අමතක වෙනවා. තමන් යන්නේ අධික වේගයකින් වුණත්, දැනෙන්නේ තමන් එක තැනක නැවතිලා ඉන්නවා වගේ හැඟීමක්.
විද්‍යාඥයෝ හොයාගෙන තියෙනවා අපේ මොළයට අවදියෙන් ඉන්න නම් පරිසරයෙන් විවිධ සංඥා (stimuli) නිරන්තරයෙන් ලැබෙන්න ඕනේ කියලා. වංගුවක්, ගහක්, පාට වෙනසක්. මේ මොකුත්ම නැති වුණාම මොළයේ අවධානය සම්පූර්ණයෙන්ම බිඳ වැටෙනවා.
එතකොට මොකද වෙන්නේ?
ක්ෂණිකව කාන්තාරයේ වැලි සුළඟක් පාර හරහා ආවොත්, කලාතුරකින් කාන්තාර වැලි අතරින් ඉබාගාතේ යන ඔටුවෙක් පාරට පැන්නොත්, මොළය අවදි වෙලා ප්‍රතිචාර දක්වන්න යන ඒ තත්පර ගාණ ඇතුළේ හැමදේම සිද්ධ වෙලා ඉවරයි. එහෙමත් නැත්නම් නොදැනුවත්වම රෝදයක් කාන්තාර වැල්ලට ඇදිලා ගියොත්... තත්පරේකින් හැමදේම ඉවරයි.
පාරවල් හදන නූතන සිවිල් ඉංජිනේරුවෝ හිතාමතාම දිගු පාරවල් මැදට කෘත්‍රිම වංගු එකතු කරන්නේ ඇයි කියන එක මට තේරුණේ මේ ගැන හොයද්දී.
මිනිස් මනස නිරන්තරයෙන් ක්‍රියාකාරීව තියාගන්න නම් මොකක් හරි හැරවුමක් අවශ්‍යයි. අවධානය තියාගන්න පොඩි හරි බාධාවක් තියෙන්න ඕනේ. කිසිම වෙනසක් නැති තැන තමයි අපේ අවධානය ගිලිහිලා යන්නේ.
ඇත්තටම මේක හිතන්න ගොඩක් දේවල් ඉතිරි කරන කතාවක්.
අපේ ජීවිතත් හරියට මේ වගේ නේද කියලා මට නිකමට හිතුණා. අපි හැමෝම ප්‍රාර්ථනා කරන්නේ කිසිම ප්‍රශ්නයක් නැති, කිසිම ගැටලුවක් නැති, කෙළින්ම යන ලස්සන පහසු පාරවල්. හැබැයි හැමදේම එකම විදිහට, කිසිම වෙනසක් නැතුව කෙළින්ම ගලාගෙන යද්දී අපිටත් නොදැනීම අපේ ජීවිතය ගැන තියෙන අවදිය නැති වෙලා යනවා වෙන්න බැරිද?
වංගු කියන්නේ අපිව මහන්සි කරන දෙයක් වෙන්න පුළුවන්. හැබැයි අපෙ ජීවිතය රැකගෙන පණපිටින් අවදියෙන් තියන්නේ අන්න ඒ වංගුම තමයි.
ඔබ කවදාහරි මේ වගේ එකම කෙළින් පාරක පැය ගණන් ඩ්‍රයිව් කරලා ඒ අමුතු මානසික අත්දැකීම විඳලා තියෙනවද?