14/02/2026
ජපානයේ වැලන්ටයින් කියන්නේ අනිත් අයට විතරක් නෙවෙයි තමන්ටත් ආදරය කරන දවසක් කිව්වොත් ඔබ පුදුම වෙයිද?
ජපානයේ මෑතකදී හරිම ජනප්‍රිය වුණ අපූරු සංකල්පයක් තමයි "ජිබුන් චොකෝ" (Jibun Choco) කියන්නේ. මෙහි සරල තේරුම තමයි "තමන් වෙනුවෙන්ම තෑගි කරගන්නා චොකලට්" යන්නයි. තමන්ට ආදරය කරන්න තව කෙනෙක් එනකල්ම බලන් ඉන්න ඕනේ නැහැ කියන එකයි මෙහි මූලික අදහස.
සාමාන්‍යයෙන් වැලන්ටයින් දවසට අපි කරන්නේ තව කෙනෙකුට තෑගි දෙන එක වුණත්, ජපානයේ බොහෝ දෙනෙක් මේ දිනවල කරන්නේ ලෝකයේ තියෙන ඉතාම රසවත් සහ මිල අධික චොකලට් වර්ග තමන් වෙනුවෙන්ම මිලදී ගන්න එක. තමන් කරන රැකියාවේ හෝ දෛනික ජීවිතයේ මහන්සියට තමන් විසින්ම ලබා දෙන ඇගයීමක් හෝ තෑග්ගක් විදිහටයි ඔවුන් මෙය සලකන්නේ.
මේ කාලයට ජපානයේ වෙළඳසැල් වල දකින්න ලැබෙන චොකලට් එකතුව හරිම ආකර්ෂණීයයි. ඉතින් ඒ අතරින් තමන් කැමතිම වර්ගයක් තෝරාගෙන, ඒක රස විඳිමින් තමන්ටම "ස්තූතියි" කියාගන්න ජපන් ජාතිකයින් මෙය අවස්ථාවක් කරගන්නවා. තමන්ගේ සතුට තමන්ම සොයා ගැනීම මෙහි ඇති විශේෂත්වයයි.
ආදරය කියන්නේ අනිත් අයට ලබා දෙන එක විතරක්ම නෙවෙයි. තමන්ටත් ආදරය කිරීම සහ තමන්ව සතුටින් තබා ගැනීම ඉතාම වැදගත් කියන පණිවිඩය මේ හරහා සමාජයට ලැබෙනවා. ඇත්තටම අපිටත් ජීවිතයේ කාර්යබහුල බව අස්සේ මේ වගේ පුංචි දේකින් තමන්ව සතුටු කරන්න පුළුවන් නම් ඒක හරිම වටිනවා නේද? 🍫
තමන්ට ආදරය කරන්න පටන් ගන්න හොඳම දවස අද වෙන්නත් පුළුවන්.