sajith sandaruwan

Call Contact the business

sajith sandaruwan welcome all
(1)

"සුදූ... ඔයාට ඕන දේවල් ලිස්ට් එකක් හදලා දෙන්නකෝ. මම හවස එද්දි ගේන්නම්."මාසේ පඩිය හම්බුන දවසට මගේ මහත්තයා මගෙන් අහන්නේ එහ...
05/01/2026

"සුදූ... ඔයාට ඕන දේවල් ලිස්ට් එකක් හදලා දෙන්නකෝ. මම හවස එද්දි ගේන්නම්."

මාසේ පඩිය හම්බුන දවසට මගේ මහත්තයා මගෙන් අහන්නේ එහෙම. මම දෙන ලිස්ට් එක කොච්චර දිග වුනත්, එයා ඒ හැමදේම අරන් ගෙදර එන්නේ හිනාවෙලා.

"මේ මාසේ ලයිට් බිල ගෙව්වද?" "දරුවගේ පන්ති ෆීස් එක දුන්නද?" මම අහන හැම දේකටම එයා දුන්නේ එකම උත්තරයක්. "ඔයා ඕවා ගැන හිතන්න එපා... මම ඒවා ඔක්කොම බැලන්ස් කරලා තියෙන්නේ."

මම හිතාගෙන හිටියේ අපිට සල්ලි ප්‍රශ්න නෑ, මහත්තයාට හොඳට සල්ලි තියෙනවා කියලා. මොකද එයා කවදාවත් ගෙදරට හාල් ඇටයක් අඩු වෙන්න තිබ්බේ නෑ. මම ඉල්ලන අලුත් ඇඳුම්, දරුවෝ ඉල්ලන සෙල්ලම් බඩු එයා කොහොම හරි ගෙනත් දුන්නා.

ඒත් දවසක් මම රෙදි හෝදන්න එයාගේ කලිසම් සාක්කු අතගාද්දි පොඩි කොල කෑල්ලක් අතට අහු වුනා. ඒක රත්තරන් බඩු උකස් කරපු සීට් එකක්.

"රත්තරන් මාලය - පවුම් 2 - රු. 180,000"

මගේ පපුව හෝස් ගාලා ගියා. ඒ මාලේ එයාගේ තාත්තා එයාට දීපු එකම මතකේ. එයා ඒකට පණ වගේ ආදරේ කලා. මම ගැහෙමින් කාමරේට ගිහින් එයාගේ ජුවලරි බොක්ස් එක ඇරලා බැලුවා. බොක්ස් එක හිස්.

එදා රෑ එයා ගෙදර ආවේ බඩු මලු දෙකක් උස්සගෙන හිනාවෙලා. "සුදූ... ඔයා ආසයි කිව්ව කේක් එක ගෙනාවා..."

එයා ඒක කියද්දි මට මහා හයියෙන් ඇඬුනා. මම එයාගේ කකුල් දෙක ලඟ වැටිලා ඇහුවා. "ඇයි මට බොරු කිව්වේ? ඇයි මාලේ උකස් කලේ? අපිට කන්න බොන්න දෙන්නද ඔයා ඒක වික්කේ?"

එයා මාව නැගිට්ටවලා හිනාවෙලා මගේ කඳුළු පිහ දැම්මා. "පිස්සුද සුදූ... මාලේ ආයේ ගන්න පුළුවන්. ඒත් ඔයාලගේ බඩගින්න, ඔයාලගේ සතුට ආයේ ගන්න බෑනේ. මම පිරිමියෙක්නේ... මට පුළුවන් ඕන ප්‍රශ්නයක් දරාගන්න. ඔයාලා හිනාවෙලා ඉන්නවා දකින එක තරම් මට වෙන සැපක් නෑ."

එදා මට තේරුනා, මේ මනුස්සයා ගෙදර එන්නේ ප්‍රශ්න පත්තරයක් ඔලුවේ තියාගෙන කියලා. ණය කාරයෝ කෝල් කරනවා ඇති, බොස් බනිනවා ඇති, අතේ සල්ලි නැතුව ඇති. ඒත් ඒ ගින්දර එයා ගේට්ටුවෙන් එළියේ තියලා, ගේ ඇතුලට එන්නේ අපිට සිසිලස දෙන්න විතරයි.

ගෙදරක ප්‍රශ්න ඔක්කොම එයා ෆිල්ටර් එකක් වගේ පෙරාගෙන, අපිට සතුට විතරක් දෙනවා. අපි හිතනවා තාත්තාට ප්‍රශ්න නෑ කියලා. ඒත් එයා රෑට නිදාගන්නේ හෙට දවස ගෙවාගන්න විදිහ ගැන කල්පනා කර කර.

මහත්තයෝ... ඔයාගේ ඔය කරේ තියෙන බර මට පේන්නේ නෑ කියලා ඔයා හිතනවා ඇති. ඒත් ඔයාගේ හිනාව පිටිපස්සේ තියෙන ඒ වෙහෙස මහන්සිය මට දැනෙනවා.

ගෑනු අපි ප්‍රශ්නයක් ආවම මහත්තයාගේ පස්සේ හැංගෙනවා. ඒත් මේ මිනිස්සුන්ට හැංගෙන්න තැනක් නෑ. එයාලා තනියම ඒ කුණාටු වලට මූණ දෙනවා.

ඔයාගේ මහත්තයාත් "ප්‍රශ්නයක් නෑ" කියලා බොරු කියනවා ඇති. ඒ බොරුව ඇතුලේ තියෙන්නේ මහා පුදුම ආදරයක්. ඒ ආදරේට ගරු කරන්න. එයා ගෙදර එද්දි හිනාවෙලා පිළිගන්න. මොකද එයා දවසම ඔයාලා වෙනුවෙන් යුද්ධ කරලා එන්නේ.

~ Chanuka Jeewantha

අපේ අම්මාගේ ආශාවක් ඉෂ්ඨ කිරීමට ඇය සමඟ පසුගිය සිකුරාදා දින පාදුක්ක නගරයට ගියේ  කත්නොරුවේ සිරිධම්ම හිමියන්ගේ ධර්ම දේශනයක් ...
04/01/2026

අපේ අම්මාගේ ආශාවක් ඉෂ්ඨ කිරීමට ඇය සමඟ පසුගිය සිකුරාදා දින පාදුක්ක නගරයට ගියේ කත්නොරුවේ සිරිධම්ම හිමියන්ගේ ධර්ම දේශනයක් ශ්‍රවනය කිරීමටය.

මා එම ස්වාමින් වහන්සේගේ ධර්ම දේශනා ශ්‍රවනය කිරීමට දහස් ගණන් බැතිමතුන් පැමිණෙන බව කලින් අසා තිබුණ අතර මගේ මිතුරන් කිහිප දෙනෙකු ද මේ සෙනඟ පැමිණීමට හේතුව ගැන එක එක දේවල් මට කිව්වෝය. ඊට අමතරව සමාජ මාධ්‍යවල ද ඊට පක්ෂව හා විපක්ෂව ඇති බොහෝ මතවා ද දුටුවෙමි. දේශපාලනය ගා ගත් ප්‍රකාශ ද ඒ අතර විය. එබැවින් මටද එහි යාමට අමුතු කුතුහලයක් ඇති වුණි.

මා එහි යනවිට වෙලාව සවස 2.15 ය. බණ පටන් ගැනීමට නියමිතව තිබුනේ 2.30 ට ය. පිට්ටනිය අක්කර 3 ක පමණ විශාල ක්‍රිකට් ක්‍රීඩාංගනයක ප්‍රමාණයය. ස්වාමින් වහන්සේ වැඩමවීමට නියමිතව තිබුණේ පිටිය මැදින් බැවින් ආරක්ෂක වැටවල් ගසා එම මාර්ගය වෙන් කොට රතු කාපට් එලා තිබුණි. එම වැටවල් දෙපසම මිනිසුන් පොදි කමින් සිටියේ ස්වාමින් වහන්සේ සිය දෑස් වලින් දැක ගැනීමටය.

පිට්ටනිය තුලට පැමිණ තෙරපීමට අකමැති ජනතාව ඒ ඉදිරිපිට පිහිටි පාදුක්ක පොලේ වූ ගොඩනැගිල්ලේ සාවධානව වාඩිවී සිටි අතර ඔවුන්ට බැලීමට ඩිජිටල් තිර දෙකක් දෙපසින් ස්ථාපනය කර තිබුණි. එම ගොඩනැගිල්ලේ ප්‍රමාණය ද අක්කර බාගයක් පමණ වුවත් එය ද සම්පුර්ණයෙන් බැතිමතුන්ගෙන් පිරී පැවතුනි. ඊට අමතරව වටේ ගෙවල්වල බැල්කනි වල සහ වහලවල් උඩ මිනිසුන් පොදි කමින් සිටියහ.

ස්වාමින් වහන්සේ වැඩම කලේ සවස 3.30 ටය. ඊට පෙර 3.15 පමණ සිට හෙලිකොප්ටරයකින් දාස්පෙතියා මල් පෙති ඉසිනු ලැබිණ. ස්වාමින් වහන්සේ වැඩමකරන විට එය ඉතා පහළට පැමිණ උන්වහන්සේ දෙසට මල් පෙති විශාල වශයෙන් දැමීමට කටයුතු කළේය.

මා මේ වන විට මගේ දෑසින් යම් ප්‍රමාණයක වැඩිම සෙනගක් දැක්කේ මහින්ද රාජපක්ෂ මහතා ගාලුමුවදොර පිටියේ පැවැත්වූ මැයි රැලිය වන අතර මෙය අංක දෙකය.

‼️ඇයි මෙච්චර සෙනඟක්?

ලංකාවේ සෑහෙන නිවාස ප්‍රමාණයක Dialog TV සහ peo TV ස්ථාපනය කර ඇති අතර ඒවායේ මූලික පැකේජයන්ට බණ පමණක් විකාශනය කරන නාලිකා 7 ක් පමණ ඇත. ඒ හැම චැනල් එකකටම බණ සඳහා තරඟයක් ඇති බැවින් ඒවායේ බණ දේශනා කරන්නේ දිවයිනේ දක්ෂතම ස්වාමින් වහන්සේලාය. සමහර වැඩිහිටි උදවිය උදෑසන සිට රාත්‍රිය වන තුරු චැනල් මාරු කරමින් බණ අසති.

එහෙත් අසල ප්‍රදේශයකට ප්‍රසිද්ධ ස්වාමින් වහන්සේ නමක් බණකට වඩින ආරංචිය කන වැකුනොත් ඒ චැනල්වල රහතන් වහන්සේ නමක් ධර්මය දේශනා කලත් අර බණ ඇසීමට යන සිරිතක් ඒ වැඩිහිටියන්ගේ ඇත. එනම් ඔවුන්ගේ අවසාන අරමුණ ධර්ම දේශනා වලට ඇහුම්කන් දීම නොවේ. මාතෘකාව වෙන අතකට යන නිසා මා එය ඉදිරියට කතා කිරීමට කොමන්ට් වලට බාර දෙමි. මෙතනට එන සෙනඟගෙන් කොටසක් ඔවුන්ය.

මේ ව්‍යාපෘතිය දැවැන්තය. අනුග්‍රහය පළාතේ ලොකුම ව්‍යාපාරිකයෙක් හෝ කිහිප දෙනෙකි. එම නිසා වේදිකාව දැවැන්තය. පිට්ටනිය දැවැන්තය. ශබ්ද විකාශන වල යොදා ඇත්තේ ෆ්ලෑෂ් බෑක් වැනි සංගීත කණ්ඩායම් යොදාගන්නා line array වැනි නවීන ශබ්ද විකාශන ක්‍රමය. එවැනි සංගීත උපකරණ තිබුණේ මෙම බණ සඳහා නව පරපුරේ අපි අසා නැති ගායකයකුත් අනුග්‍රහය දැක්වීම නිසා විය යුතුය.

බණ පටන් ගැනීමට පෙර දිගටම ඇසුනේ ඔහු ගයන ලද බුදුගුණ ගීත වන අතර ස්වාමීන් වහන්සේ වැඩම කිරීමෙන් පසු උන්වහන්සේ ඉදිරිපිට කුඩා ගැහැණු ළමයින් පිරිසක් සමඟ ඔහු ගීයක් ගයමින් රංගනයක් ඉදිරිපත් කළේය. ගුවනින් හෙලිකොප්ටර් වලින් හෝ විශාල ඩ්‍රෝන වලින් මල් ඉසියි. ඩ්‍රෝන යානා දෙක තුනක් බණ යන අතරතුර ගුවනේ සැරිසරයි. එම ඩ්‍රෝන යානා වලින් එන සජීවී වීඩියෝ දර්ශන පිට්ටනියේ තැන තැන ඇති විශාල video wall වල ප්‍රදර්ශනය වේ. එහි වැඩියම පෙන්වන්නේ ස්වාමින් වහන්සේ නොවේ. එක එක කෝණ වලින් එතන සිටින සෙනඟටම එම සෙනඟ පෙන්වයි. එය වෙනම එකකි.

එහි ගිය මට සිතුනේ මේ අලකලංචි මැද්දේ එක බණ පදයක් හෝ මිනිසුන්ගේ සිතට කා වදින්නේ නම් එය පුදුමයක් බවය. මෙතනට එන කොටසක් ඒවා බැලීමට පැමිණෙන සෙනඟය.

සාමාන්‍යයෙන් අපේ රටේ බණ කියන තැනකට ගියවිට 80% ක් පමණ වයස 60 ඉක්ම වූ වැඩිහිටියන්ය. එහෙත් මෙතන එසේ නොවේ. මෙතනට තරුණ තරුණියන් බොහෝ දෙනෙකු පැමිණ තිබුණි. ඔවුන්ගෙන් සෑහෙන පිරිසක් සුදුවතින් සැරසී පැමිණ සිටියත් බොහෝ තරුණියන් බණ ඇසීමට පෙර සැලුන් ගිය බවක් මට පෙනුනි. ඒ පරිසරය ලස්සනය. එබැවින් නොයෙකුත් විලාසිතාවන්ගෙන් සැරසුණ තරුණයන්ගෙන් ද අඩුවක් තිබුණේ නැත. ඒ තරුණ තරුණියන් ද මේ සෙනඟේ කොටසක් වූ අතර ඔවුන් බොහෝ පිරිසක් සුදුවතින් සැරසී සිටීම සතුට දනවන කරුණක් විය.

බණ පටන් ගැනීමට තිබුණේ 2.30 වුවත් පටන් ගන්නවිට 3.30 ය. සාමාන්‍යයෙන් අපේ රටේ ඕනෑම දෙයක් පටන් ගැනීම පරක්කු වුවහොත් මිනිසුන් මැසිවිලි නඟති. හේතුව බොහෝ මිනිසුන් අද දවසේ කාර්ය බහුලය. ඔවුන් මෙම කර්තව්‍ය ඉවර වුණ පසු වෙන වැඩකට යාමට සැලසුම් කරගෙන ඇත. එහෙත් මෙතන එවැනි මැසිවිල්ලක් හෝ කිසිම කසුකුසුවක් හෝ මිනිසුන් "කෝ හාමුදුරුවෝ තවම නැහැනේ" වැනි හෝ එක වචනයක් පවසනවා අසුනේ නැත. එනම් මේ පිරිසට ඊයේ දින බණ අවසානයේ වැඩක් නොතිබෙන්නට ඇත. මේ වැඩ නැති පිරිස ද එම සෙනඟගෙන් කොටසකි.

අපේ රටේ විනෝදාස්වාදය සපයන වැඩසටහන් බොහෝ ඇත්තේ තරුණ ප්‍රජාව ඉලක්ක කරගෙනය. වැඩිහිටියන් සඳහා ඒවා නැති තරම්ය. උදාහරණයකට එළිමහන් සංගීත සංදර්ශන ගත හැක. ඒවා නැරඹීමට වැඩිහිටියන්ගේ යටි හිතේ කැමැත්තක් තිබුණත් ලෝක අපවාදයට ලක්වේයැයි බියෙන් ඔවුන් ඒවාට නොයති. සමහර වැඩිහිටියන් අලුත් සංගීතයට අළුත් ගායක ගායිකාවන්ට අකමැති අතර ඔවුන් කැමති පැරණි ගායක ගායිකාවන් එළිමහන් ප්‍රසංගවල ගී නොගයති. ඔවුන් බොහෝ විට ගී ගයන්නේ මුදල් ගෙවා පෙන්වන ශාලාවල පවත්වන ප්‍රසංග වල වන අතර මුදල් ඇති වැඩිහිටියන් ඒවායේ පිරී ඇත. (බණ වැඩසටහනකට පැමිණෙන සෙනග ගැන කතා කිරීමට යාමේදී මෙම උදාහරණය ආන්දෝලනාත්මක විය හැක. එහෙත් මා පවසන්නේ ශ්‍රී ලංකාවේ යථාර්තය වන අතර එය මනෝවිද්‍යානුකූලව විග්‍රහ කළ යුතු කාරණයකි.) ඒ විනොදාස්වාදයට පැමිණි පිරිසත් මෙම සෙනඟගෙන් කොටසකි.

අපේ රටේ කුමක් හෝ දැකබලා ගැනීමට සෙනඟ පැමිණෙන විට එතන ඇති දෙය තමාට අදාල වුවත් අදාළ නොවුනත් ඔහේ යන පිරිසක් සිටිති. ඔවුන් සිතන්නේ එතන මොකක් හෝ මැජික් එකක් තිබෙන බවය. නිකවැරටිය, දොළුකන්ද එවැනි ජනප්‍රිය වූ ස්ථානය. එවැනි වූ දෙයක් බලාපොරොත්තුව ආ සෙනඟත් මේ සෙනඟගෙන් කොටසකි.

මේ ස්වාමින්වහන්සේගේ බණ ඇසීමට පැමිණෙන අන්‍යාගමික බැතිමතුන් මාධ්‍යවල වැඩි වැඩියෙන් පෙන්වීමෙන් සහ ඔවුන්ගේ වොයිස්කට් ප්‍රචාරය වීමෙන් බෞද්ධ ජනතාව තුල උපදින්නේ කුතුහලයකි. එනම් අන්‍යාගමිකයින් බණ ඇසීමට පැමිණෙනවා යනු එතන මොකක් හෝ මාර වැඩක් සිදුවන බව ඔවුන් සිතති. අනිත් අන්‍යගමිකයින් ද තමන්ගේ ආගමේ අය මේ බණ ඇසීමට යනු දැක කුමක් හෝ දෙයක් එතන ඇතැයි සිතා ඔවුන් ද යති. එම සෙනඟ ද මේ සෙනඟගෙන් කොටසකි.

මෙතරම් සෙනඟක් පැමිණීමේ රහස උන්වහන්සේගේ රූපයේ කුමක් හෝ අරුමයක් ඇතැයි සිතන මිනිසුන් ද සිටිති. එහෙයින් උන්වහන්සේ සියසින් දැකබලා ගැනීමට පැමිණි සෙනඟද මේ අතරින් කොටසකි.

කත්නොරුවේ සිරිධම්ම ස්වාමින් වහන්සේ බණ දේශනා කරන ස්වරය අමුතුය. එනම් එය සියළු ස්වරයන්ගෙන් යුක්තය. එක්වරම උන්වහන්සේගේ කටහඬ උස් හඬින් ඇසෙන අතර එක වරම ඇහෙන්නේ නැති තරමට යම් දෙයක් හිමින් පවසයි. උන්වහන්සේගේ කටහඬ රළුය. සාමාන්‍යයෙන් ස්වාමින් වහන්සේලා ධර්මය දේශනා කරන්නේ තමන්වහන්සේට තියන ස්වභාවික කටහඬ උවමනාවෙන් මිහිරි කර වුවත් උන්වහන්සේ එහි අනික් පැත්තය. උන්වහන්සේ එක්වරම ජනප්‍රිය වීමේ රහස ද එය යයි මම සිතමි. මේ වෙනසට කැමති අයත් එම සෙනඟගෙන් කොටසකි.

කත්නොරුවේ සිරිධම්ම ස්වාමීන් වහන්සේගේ බණ ඉතාම හොඳය. මුළු පැයේම උන්වහන්සේ දේශනා කරන්නේ මිනිස්සුන්ට හැදෙන්නට යමක්ය. උන් වහන්සේ කිසිඳු පාර්ශවයකට යට නොවී මේ ආකාරයන්ම ධර්ම දේශනා පැවැත්වීමට හැකි වේවා යනු අප හැමගේ පැතුම විය යුතුය.

එහෙත් මිනිසුන් පාදුක්ක නගරයට ඇදුනේ බණ අසන්නද?

එහෙත් ඒ මොහොතේ එතන සිටි කිහිප දෙනෙකුගේ හෝ හිතේ ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය ඉවත් වී පහන් සිතක් ඇතිවූවා නම් එය ද උන්වහන්සේට විශාල පිනකි.

✍🏻 ප්‍රසංග අල්විස්

©️ උපුටා ගැනීම 🌷
ප්‍රසංග අල්විස් මහතාගෙන්

Address

Alawwa
Alawwa

Telephone

+94753929931

Website

Alerts

Be the first to know and let us send you an email when sajith sandaruwan posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Contact The Business

Send a message to sajith sandaruwan:

Shortcuts

Share