10/08/2025
අම්බලන්ගොඩ මෝදර දේවාලයේ කාවඩි සම්ප්‍රදාය හා වර්ථමාන තත්වය
මා කුඩා අවදියේ කොට කලිසම ඇද ආච්චි අම්මාගේ අතේ එල්ලී ලයිට්මමෝල හංදියේ පෙරහැර නැරඹූ අතීතය අද උවද සිහිපත් කල හැක.. එකල අප හැඳින නොසිටියද ගනේෂන් නැමැති කාවඩි නර්ථන ශිල්පියකු පිළිබද නොපැහිදිලි මතකයක් අදටත් මෝදර දේවාල පෙරහැර ගැන මතකයට එබෙන විට සිහියට නැගේ.
අම්බලන්ගොඩ මෝදර දේවාලයේ වාර්ශික පෙරහැර පවුලෙන් පවුලට පැමිණි පුරාණ සම්ප්‍රදායන් අතර “කාවඩි” නෘත්‍යය විශේෂ ස්ථානයක් ගනී. මෙය දක්නට ලැබෙන්නේ දෙවියන්ට පූජා කිරීමට, වරම් ඉල්ලා ගැනීමට, සහ ලැබූ වරම් සඳහා ස්තූති දැක්වීමට බව විශ්වාස කරන හින්දු ආභාෂයේ කොටසක් ලෙසය. එකල අම්බලන්ගොඩ පටබැඳිමුල්ල ප්‍රදේශයේ දමිල ජනයා ජීවත්වූ බවට මතකයක් ඇත. සුනාමියෙන් පසු ඔවුන් කොහේගියේදැයි නොදනිමි.
කාවඩි නෘත්‍යයේ මුල් සම්ප්‍රදාය අනුව, භක්තිකයයෝ තම සිරුරේ ස්වයිච්ඡා පූජා ක‍්‍රියාවක් ලෙස ලෝහ බිලීකටු (hooks) සහ කුටික්කා (barbs) මගින් අස්ථි මධ්‍යයේ හෝ සම්පුර්ණ චර්මය හරහා ඇලවී සිටීම සිදු කරනු ලැබීය. ඔවුන් මෙම hooks මත රඳාගෙන ලොරි වැනි වාහන හෝ ට්‍රැක්ටර් මත නටමින් පූජා ගී, නෘත්‍ය සහ භක්ති ගීත සමඟ පෙරහැරේ ගමන් කළහ.
මෙම ක්‍රියාව දෙවියන්ට තමන්ගේ ශරීරයත් ආත්මයත් කැපවීමේ සංකේතයක් ලෙස දැක්වූ අතර, විශ්වාසය සහ කැපවීමේ බලවත් ප්‍රකාශයක් ලෙස පිළිගනු ලැබීය. එකල මෝදර දේවාලයේ බිලීකටු පිටේ සම මත ගසා නූල් මගින් රථයක පුවක් ගසක එල්ලා පද්දන දර්ශනය අදද සිහිපත්කල හැකිය. ඇතමෙක් කම්මුල හරහා කම්බිකූරු ගසා ඒ මත දෙහි ගෙඩි ගසා කරන නර්ථනය එකල කුඩා අපගේ ලොමු දැහැගන්වීමට සමත්විය. විසාල බරති කාවඩි උරමතා තබා එකල ඔවුන් භක්තියෙන් නර්ථනයේ යෙදුනු අතර එකෙකු අත කොහාඹ කලය දක්නට විය.
අදකාලීන වෙනස්කම්
එකල උරහිස් ශක්තිමත් පිරිමින්ගේ කර මතතිබූ ඉතා බර කාවාඩිය වෙනුවට මෙකල මොනර පිල් කිහිපයක් අතේ දැවටී ඇති අතර වෙනදා පිටේ කටු ඇනීම නිසා ඇතැම් තැනෙක මතුවූ රක්ත වර්ණ රුධිරය සහ තින්නෝරු වෙනුවට පාට චිත්‍ර පිටේ දක්නට ඇත.
කාලය ගතවීමත් සමඟ, සෞඛ්‍ය අවදානම්, නීති රීති, සහ සමාජ මතවාද වෙනස් වී ඇති නිසා, කාවඩි නෘත්‍යයේ මුල් කටුගැසීමේ” සම්ප්‍රදාය බොහෝමයක් නතර වී ඇත. අද මෝදර දේවාලයේ පෙරහැරේදී දැකගත හැක්කේ කාවඩි රංගනේ සැහැල්ලු ආකාරයක් — රංගකයන් සරලව කුටික්කා නැතිව, ඉනෙන් පහලට වන්න දැවටූ සේලයක් සහ සැරසිලි පමණක් ඇඳගෙන, නෘත්‍ය පමණක් කිරීමකි.
බොහෝ පුරාණ භක්තිකයන් මෙන් දේව ඇදහිලලක අදහසින් නොව, මේ වෙනස්කම සම්ප්‍රදාය අඩු කර ඇති අතර, අද මෙය සිදුකරන්නේ සැබෑ කැපවීමේ අර්ථයෙන් නොව, මන්දගාමී සහ විනෝදසහගත ආකාරයකි.
කෙසේ නමුත් ඇතැම් කාලීන පරම්පරාවන් විශ්වාස කරන්නේ, සම්ප්‍රදායන්ගේ මුල් අර්ථය සුරක්ෂිත විය යුතු අතර, දෙවියන්ට පූජා කිරීමේ අර්ථය තවදුරටත් ගොඩනගා ගත යුතු බවයි. අනෙක් අය මත පල කරන්නේ, නව සම්ප්‍රදායන්ට හැඩගැස්වීම, සහ ශරීර හා සෞඛ්‍ය ආරක්ෂාව සලසාගැනීම අවශ්‍ය බවයි. කෙසේ නමුත් එදා අපකුඩා කල දුටු ශක්තිමත් භාහු හා උරහිස් මත මොනර පිල් ගැසූ බර කාවාඩි උසුලන් නටන ජව සම්පන්න මිනිසුන් පෙරහැර තුල දැකීමට හෝ කටු ගසා ලණුවලින් එල්ලා ට්‍රැක්ටරයේ පද්ද පද්දා ගෙනියන සැබෑ භක්තිකයින් තවදුරටත් දැකීමට අතීත කාමය බල කලද ඒවා අතීතයට ම පමණක් සීමාවනු ඇත.