02/09/2023
සප්තස්වරයෙන් කැරලි ගසන
ආඳාඋල්පත බාලිකාවෝ
මෙය මාර වැඩක් නොවන්නට පුළුවන, ඒත් වැඩකි. මෙය හොඳම ආදර්ශය නොවිය හැකිය, එහෙත් ආදර්ශයකි. එදා රිදීමාලියද්ද හෝ ආඳාඋල්පත ගැන රට්ටු කතා වුණේ, එහි දිළිඳුකම සහ දුෂ්කරකම ගැනය. එහෙත් අද දක්ෂකම් හා ජනප්‍රියභාවයට ඈඳුණු කතාවලදීද ඒ නම් සඳහන් වෙයි. ඒ ඔවුන් නිසාය.
-----------------------------------
පසුගිය කොරෝනා වසංගත සමය අප රටේ ආර්ථිකයට මෙන්ම ජන ජීවිතයටද විශාල බලපෑමක් කළ ඉතිහාසයේ එක් අඳුරු කාල පරිච්ඡේදයකි. රටටම ඇඳිරිනීතිය පැනවී ගමනාගමනය තහනම් විය. පාසල් වැසී ගියේය. ටියුෂන් පංති නැති විය. ළමයි ගෙවල්වලම සිරගත වූහ.
මේ සියල්ල අතරේ ආඳාඋල්පත ජාතික පාසලේ බාලිකාවන් කිහිපදෙනෙකුට නම් එම කාලය ජීවිතයේ අමතක නොවන සොඳුරුතම කාලයක් විය.
ආඳාඋල්පත යනු, කලක් ලංකාවේ දුෂ්කරම හා දුප්පත්ම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය ලෙස නම් දරා සිටී, රිදීමාලියද්ද ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ පිහිටි, මහියංගනය අධ්‍යාපන කලාපයට අයත් ඌන පහසුකම් සහිත පාසලකි. මෙය ජාතික පාසලක් වුවද එහි සිසුන් සංඛ්‍යාව 700කට අඩුය.
නිවෙස්වලට වී හුදකලාව කාලය ගත කළ මෙම විද්‍යාලයේ සිසුවියන් පිරිසකට තම නිවෙස් අසල පදිංචිව සිටින උපකාරක පංති ගුරුවරයෙකු වූ තරංග සර් (තරංග කුමාර) විසින් අලුත් යෝජනාවක් කළේය.
ඒ පුංචි සංගීත කණ්ඩායමක් තනන්නටය. ඊට එකපයින් කැමති වූ සිසුවියෝ තම වැඩිහිටියන්ගේද කැමැත්ත, ආශිර්වාදය ඇතිව සංගීත කණ්ඩායමක් ඇරඹූහ.
කිසිදු පහසුකමක් නොමැතිව, බොහෝ හැල හැප්පීම් හ සමාජ තහංචි මැද වයස අවුරුදු 12-16 අතර බාලිකාවන් හයදෙනෙකු යොදාගෙන ඌව පළාතේ ප්‍රථම කාන්තා සංගීත කණ්ඩායම මෙන්ම ලංකාවෙන්ම දෙවැනි කාන්තා කණ්ඩායම ලෙස මෙසේ උපත ලද මෙය, “ස්වරාංගනී” සංගීත කණ්ඩායම ලෙස නම් දරා, ඌව පළාතේ පමණක් නොව ලංකාව පුරා අද ජනප්‍රිය වී ඇත.
බින්දුවෙන් පටන්ගත් හැටි
මෙම සංගීත කණ්ඩායම පිහිටුවන විට ඔවුන් බටහිර සංගීත භාණ්ඩ කිසිවක් සජීවීව දැක තිබී නැත. සමහරවිට රූපවාහිනී මාධ්‍යයෙන් දැක තිබුණත් ඒවාට කියන නම් පවා දැන සිටියේ නැත. එසේම කණ්ඩායමේ හය දෙනාම අඩුම වශයෙන් පාසලේදී ‘සංගීතය’ විෂයක් ලෙස හෝ හදාරා නොතිබුණි. ඒත් ඔවුන් සියලුම දෙනා නර්තනය හදාරා තිබූ අතර ගායනයටද දක්ෂතා දක්වා තිබුණි.
“සංගීත කණ්ඩායමක් ආරම්භ කළත් සංගීතය පිළිබඳව, වාදනය පිළිබඳව කිසිම දෙයක් මේ දැරියන් දැනගෙන සිටියේ නැහැ. මමත් දන්නේ සංගීතය පිළිබඳ විෂයක් වශයෙන් පාසලේදී ඉගෙනගත් දේ විතරයි. නමුත් මම සංගීත කණ්ඩායමක් සමග සම්බන්ධ වෙලා ලබාගත් අත්දැකීම් තිබුණා. ළමයින්ට ගායන හා නර්තන හැකියාව තිබුණා. අපට කියල සංගීත භාණ්ඩ තිබුණේ නැහැ. එක්ස්රේ කොළවලින් හදාගත්ත භාණ්ඩ කිපයක් හා යාළුවන්ගෙන් ඉල්ලා ගත් භාණ්ඩ කිපයක් තිබුණා. ඒවායින් අපි දිගටම පුහුණුවීම් කළා. විවිධ බාධක ආවා. ඒවාට ඉවසීමෙන් මුහුණ දුන්නා.” යැයි ස්වරාංගනී නිර්මාතෘ තරංග කුමාර මහතා සඳහන් කළේය.
සංගීත කණ්ඩායමේ නායිකාව සුමේෂා ලක්ෂානි ය. මේ වන විට 16 හැවිරිදි ඇය, විවිධ දක්ෂතාවලින් පරිපූර්ණ දැරියකි. කරාටේ කළුපටි ධාරිනියක් වන ඇය, පාසලේ කැඩෙට් කණ්ඩායමේ නායිකාව වන අතර ඊට අමතරව නෙට්බෝල් කණ්ඩායමේ නායිකාව, වොලිබෝල් කණ්ඩායමේ උප නායිකාව, පාසලේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව ආදි තනතුරු දරන ඇය පාසලේ නර්තන කණ්ඩායම හා ගායන කණ්ඩායමද නියෝජනය කරයි. සංගීත කණ්ඩායමේ නායිකාව වන අතරම ඩ්‍රම්සෙට් වාදිකාවද වේ.
අපේ මූණු කැත කරලා!
“මුලින්ම ඩ්‍රම් එක විදිහට මගේ කකුල් දෙකේ කලවාවලට ගහලා තමයි පුරුදු වුණේ. පස්සේ අම්මා කලිසම් සාක්කු දෙකට පුළුන් කොට්ට දෙකක් මහල දුන්නා. ඒකට ගහල පුරුදු වුණා. සංගීත කණ්ඩායම හදන්න අපි මුලින්ම ගෙවල් ගානේ ඇවිදලා ළමයි එකතු කළා. මුලින් මුලින් අකමැති වුණත් - පස්සේ පස්සේ ආවා. සමහරු ඇවිත් ආපසු ගියා. අවසානයේ 6 දෙනෙක් ඉතුරු වුණා. ඒ අය එක්ක අපේ ගෙදර පුහුණුවීම් කළා. නිවාඩු දිනවල රෑ 10.00 - 11.00 වන තුරු පුහුණු වුණා. අහල පහළ සමහරු 119 ගහල පොලීසියෙන් ආපු දවසුත් තිබුණා. “දැන් නවත්තලා ගෙවල් වලට යන්න දරුවනේ” කිව්වහම අපි නවත්තනවා. මුල්කාලේ අනුන්ගේ සංගීත භාණ්ඩ ඉල්ලගෙන තමයි පුහුණුවීම් කළේ. සමහර අදවස්වල පුහුණුවීම් කරන අතරතුර ඔවුන් ඇවිත් ඒවා ඉල්ලගෙන යනවා. එවැනි අවස්ථාවල හරියට දුක හිතුණා - ගැහැනු ළමයි ඕවා කරන්නේ නෑ බං, ඕවා නවත්තලා කොහොම හරි විභාගේ ගොඩ දා ගනිල්ලා කියලා සමහරු කිව්වා.
අපි සන්දර්ශනයකට යද්දී ගහන පෝස්ටර්වල අපේ මුහුණුවල කෑලි ඉරල මූණේ රැවුල් දාලා, අං තට්ටු ඇඳලා, විකාර කරලා අපිව වට්ටන්න හදපු අයත් හිටියා. සමහරු ෆේස්බුක් පෝස්ට් දාලා තිබුණා ‘උඹලා හේනක් කොටාගෙන ඔහෙට වෙලා ඉඳපල්ලා' කියලා.”
ජිප්සීස් සප්‍රයිස් එක!
කෙසේ හෝ මාස 6ක පමණ කාලය ගෙවී ගියේ දක්ෂ ළපටි කෙල්ලෝ ටිකක් මෙරට සංගීත ක්ෂේත්‍රයට දායාද කරමිනි. ඔවුන් ප්‍රථම සංගීත ප්‍රසංගය පැවැත්වූයේ කොරෝනා රෝගීන්ගේ හා ඒ කාර්ය මණ්ඩලයේ මානසික සුවතාවය වෙනුවෙනි. එය සියලු දෙනාගේ ප්‍රශංසාවට හේතු විය. මෙලෙස මෙම සංගීත කණ්ඩායම දිනෙන් දින ප්‍රගතිය කරා ළංවෙද්දී B.B.C.වාර්තාකරුවෙක් මෙම දැරියන්ගේ හැකියාවන් හා දක්ෂතා පිළිබඳව කතාව B.B.C. වෙබ් අඩවියේ පළ කළේය. එය දුටු ප්‍රකට ‘ජිප්සීස්’ සංගීත කණ්ඩායම මෙම දැරියන් හා ඔවුන්ගේ දෙමාපියන් කොළඹට කැඳවා ඔවුන්ගේ ශබ්දාගාරය නැරඹීමට අවස්ථාව සලසා දී, ඔවුන්ව පුදුමයට පත් කරවමින් මිල දී ගෙන තිබූ නවීන සංගීත භාණ්ඩ සියල්ලත් ඔවුන් වෙත පරිත්‍යාග කළේය.
මෙම සංගීත කණ්ඩායමේ දැරියන් සියලුමදෙනා පාසල් සිසුවියන්ය. ඔවුන්ගේ පාසල වන්නේ අඳාඋල්පත ජාතික පාසලයි. එහි විදුහල්පති ඩී.එම්. අභයවීර දිසානායක මහතා මෙම දැරියන්ගේ ඉදිරි ගමනට විශාල පිටුවහලක් වී ඇත.
“මේ දැරියන් සියලුමදෙනා විවිධ දක්ෂතා ඇති විවිධ හැකියාවන් ඇති දක්ෂ දරුවෝ. විෂය සමගාමීව හා විෂය බාහිර ක්‍රියාකාරකම් සමග පාසල් අධ්‍යාපනය තුළින් ලබන අත්දැකීම් හා පන්නරය දරුවන්ගේ ජීවිතයට අත්‍යාවශ්‍යයයි. ඒ සඳහා ලබා දිය හැකි උපරිම අනුග්‍රහය ලබාදෙනවා.” යැයි විදුහල්පතිවරයා පැවසීය.
වැස්සොත් විනාසයි
“ස්වරාංගනී” දැන් දිවයිනේ ජනප්‍රිය කාන්තා සංගීත කණ්ඩායමකි. ඔවුන්ට නිරතුරුවම ප්‍රසංග, සාද, විවාහ උත්සව සඳහා ඇරයුම් ලැබේ. ඒවා භාරගනු ලබන්නේ ඔවුන්ගේ අධ්‍යාපන කටයුතුවලට බාධා නොවන ආකාරයටය. ඔවුන් පුහුණුවීම් කරන්නේ රාත්‍රී කාලයේදී පමණි. ඒ උදේ පාසල් යෑමට හා සවස උපකාරක පංතිවලට යෑමට ඇති නිසාවෙනි. පුහුණුවීම් සිදු කරන්නේ සුමේෂලාගේ නිවසේය. වර්ෂා කාලයට කෙසේවත් එහි පුහුණුවීම් කළ නොහැක. ශබ්දාගාරයක අවශ්‍යතාව ඔවුන්ට ඉතා තදින් දැනේ.
එහෙත් ඒ සඳහා ඔවුන්ට වත්කමක් නොමැත. කුඩා ප්‍රමාණයේ හෝ ශබ්දාගාරයක් හා තාක්ෂණික උපකරණ ලබා ගැනීම සඳහා සහාය අවශ්‍ය බව ස්වරාංගනී පුහුණුකරු තරංග කුමාර මහතා පැවසීය. මේ හැකියාවන්ගෙන් පරිපූර්ණ ගැමි යෞවනියන්ගේ අනාගත උන්නතිය සඳහා උපකාරයක් කිරීමට කැමති අයට ඒ සඳහා අවස්ථාවක් තිබේ.
- රවී මැදගෙදර
[email protected]