02/06/2026
වර්තමානයේ භික්ෂුවගේ හැසිරීම සහ භූමිකාව පිළිබඳ සබුද්ධික /මංදබුද්ධික කථිකාවක් ආරම්භ වී ඇති සමයක මානුෂවාදී එළැඹුමකින් ඒ දෙස බැලීම මෙහි අරමුණයි.
"භික්ෂුවකටත් රාගය ඇති විය හැකියි" යන ප්‍රකාශය සංස්කෘතිකවාදින්ට අමුතු හෝ අප්‍රසන්න අදහසක් සේ පෙනෙන්නට පුළුවන. වෙනත් ආගමිකයින්ට එය තම ආගමික දෘෂ්ටිවාදය සහතික කිරීමට රුකුල් දෙන ප්‍රසන්න අදහසක් විය හැක.
කෙසේ නමුත් ඕනෑම ගැටලුවක් දෙස නිදහස්ව බලන්න, සිතන්න හැකිනම් ගැටලුවේ දිග පළල නීර්ණය කළ හැක. නිදහස් චින්තනයට බලපෑම් කරන ජාතිය, ආගම, නීතිය, සංස්කෘතිය, ආචාරධර්ම සහ ජනමාධ්‍ය (ජනකවියේ සිට සමාජ මාධ්‍ය දක්වා) මගින් පුද්ගලයා තමන් කියවා ගනී.
නිදහස් මනසින් බැලූ කළ, භික්ෂුව යනු සාමාන්‍ය සිතුම් පැතුම් සහිත මනුෂ්‍යයෙකි. මනුස්සයෙකුට දැනෙන, බඩගින්න, ආදරය, ලිංගික ආශාව මෙන්ම රංචු ගැසීමට ඇති ආශාව සිවුරෙන් වැසිය නොහැක. පැවිදි වන්නේද රාගය, ද්වේෂය, මෝහය යන කෙලෙස් සහිත සාමාන්‍ය මනුෂ්‍යයෙකි. පැවිද්ද යනු එම කෙලෙස් නැති කර ගැනීම සඳහා ගන්නා ජීවන මාර්ගයකි. එබැවින් පැවිදි වූ සැණින් සියලු කෙලෙස් අතුරුදන් වන්නේ නැත.
රාගය යනු ලිංගික ආශාවක් පමණක් නොව, ආකර්ෂණය, බැඳීම, හිමිකාරිත්වය, සතුට සෙවීම, කැමැත්ත සහ ලිංගික සන්තර්පණය වැනි පුළුල් මානසික ක්‍රියාවලියකි. එය මනුෂ්‍ය මොළයේ ජෛවික හා පරිණාමීය පදනමක් ඇති දෙයකි. එබැවින් භික්ෂුවකගේ මොළයද අනෙක් මිනිසුන්ගේ මෙන්ම ක්‍රියා කරයි.
එහෙත් සමාජය භික්ෂුවගේ හැසිරීම සම්බන්ධයෙන් සීමා මායිම් සලකුණු කොට ඇත. එහෙත් අනෙකාගේ ජීවන හැසිරීම මෙසේ විය යුතු යැයි තීරණය කිරීම සහ බලපෑම් කිරිම සාධාරණ නොවේ. යම්කිසි හැසිරීමක් සමාජ විරෝධි සහ නීති විරෝධි නොවේ නම්, කාටත් ප්‍රශ්නයක් විය නොහැක. කෙනෙකුගේ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධයෙන් තීරණ ගැනීමේ අයිතිය ඇත්තේ තමන්ට පමණය.
බුදුරජාණන් වහන්සේගේ කාලයේ පවා රාගයෙන්, ක්‍රෝධයෙන් හෝ වෙනත් කෙලෙස්වලින් පීඩා විඳි භික්ෂූන් පිළිබඳ වාර්තා පාලි ත්‍රිපිටකයේ සඳහන් වේ. එම නිසා භික්ෂුවකගේ සිත තුළ රාගයක් ඇති වීම අසාමාන්‍ය දෙයක් නොවේ. අසාමාන්‍ය වන්නේ එම රාගය හඳුනා නොගෙන, පාලනය නොකර, එයට යටත් වීමයි.
බුදුදහම මිනිසා විනිශ්චය කරන්නේ ඔහුගේ සිතට ක්ෂණිකව නැගෙන සිතුවිලි අනුව නොව, ඒවා සමඟ කටයුතු කරන ආකාරය අනුවය. රාග සිතුවිල්ලක් මතුවීම එක දෙයකි. එයට අනුගත වී ක්‍රියාවට නැංවීම තවත් දෙයකි. භාවනාව, සතිපට්ඨානය සහ විනයානුකූල ජීවිතය යනු එවැනි කෙලෙස් හඳුනාගෙන ඒවා දුරු කර ගැනීම සඳහා වූ පුහුණුවයි.
අවසන දී කිව යුත්තක් තිබේ. තව කෙනෙකුගේ ආධ්‍යාත්මික ජීවිතය සම්බන්ධයෙන් ගුණ දොස් විවේචකයෙකු නොවන්න. ඔබට හැකිනම් කරන්න. බැරිනම් නොකර ඉන්න. බුදුන් වහන්සේ දේශනා කළේ, ජාතිය ආගම සංස්කෘතිය විනිව්ද ගිය නිදහස් දහමකි. වර්තමාන භික්ෂුව නිදහස් ධර්මය වෙනුවට සංස්කෘතික සීමාවේ සිරගතව එකී සංස්කෘතියෙන්ම බැට කමින් සිටී.
මීට,
Ceylon Mindspace