26/08/2026
පවුල් 3,000කට පිරිසිදු පානීය ජලය ලබාදීමට ඌවපරණගම -යහල්අරාව නව ජල පවිත්‍රාගාර ව්‍යාපෘතිය ආරම්භ කෙරේ:
රුපියල් මිලියන 400ක පිරිවැයක්
---------------------------------
ඌව පරණගම ප්‍රදේශයේ ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව විධිමත්ව සපුරාලීම අරමුණු කරගනිමින් රුපියල් මිලියන 400ක ඇස්තමේන්තුගත පිරිවැයකින් ඉදිකෙරෙන යහල්අරාව නව ජල පවිත්‍රාගාර ව්‍යාපෘතියේ වැඩ කටයුතු අද (26) නිල වශයෙන් ආරම්භ විය. ජාතික ජල සම්පාදන හා ජලප්‍රවාහන මණ්ඩලයේ රුපියල් මිලියන 400ක පූර්ණ ප්‍රතිපාදන යටතේ ක්‍රියාත්මක වන මෙම ව්‍යාපෘතිය මගින් දිනකට ජලය ඝන මීටර 2,000ක ධාරිතාවකින් යුත් පූර්ණ ජල පිරිපහදු පද්ධතියක් ස්ථාපනය කෙරේ.
මෙම ව්‍යාපෘතිය යටතේ උණපාන, කොටවේර උඩගම, කන්දෙගොල්ල, මැකිවිලලන්ද, හගිලිඇල්ල, යහල්අරාව, උගස්ගල, වැලිඅල්ල සහ උඩපේරුව යන ප්‍රදේශවල ජල පාරිභෝගිකයින් 3,000කට ආසන්න සංඛ්‍යාවකට සෘජු ප්‍රතිලාභ හිමිවීමට නියමිතය.
පුහුල්පොල ජලාශය ජල මූලාශ්‍රය කරගනිමින් ඉදිකෙරෙන මෙම ජල පවිත්‍රාගාරයේ දිනකට ජලය ඝන මීටර් 2,000ක් පිරිපහදු කිරීමේ ධාරිතාවක් පවතී. මෙම ව්‍යාපෘතිය යටතේ වායුකාරකය, ෆ්ලොකියුලේටරය, අවසාදන ටැංකිය, වේගවත් වැලි පෙරහන, ඝන මීටර් 225ක පිරිසිදු ජල ටැංකිය සහ මඩ වියළන අංශය ඇතුළු පූර්ණ පහසුකම් ස්ථාපනය කෙරේ.
මීට අමතරව, මීටර් 200ක අමු ජල නල මාර්ගයක්, මීටර් 6,200ක සම්ප්‍රේෂණ නල මාර්ගයක්, ඝන මීටර් 500ක භූගත ජලාශයක් සහ ඝන මීටර් 60ක ෆෙරෝ-සිමෙන්ති ටැංකියක් ද මෙම ව්‍යාපෘති යටිතල පහසුකම් පද්ධතියට ඇතුළත් වේ.
මෙම ව්‍යාපෘතිය සාර්ථකව නිමකිරීම මගින් ඌව පරණගම ප්‍රදේශයේ ජනතාවට දීර්ඝ කාලයක සිට පැවති පානීය ජල ගැටලුවලට තිරසාර විසඳුම් ලැබෙන අතර, ගුණාත්මක, සුරක්ෂිත හා විශ්වාසදායක පානීය ජල සැපයුමක් තහවුරු කිරීමට හැකිවනු ඇත.
මහා සංඝරත්නයේ ආශීර්වාද මධ්‍යයේ පැවැති මෙම අවස්ථාව සඳහා ඌව පළාත් ආණ්ඩුකාර කපිල ජයසේකර, වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න, නිවාස, ඉදිකිරීම් සහ ජල සම්පාදන අමාත්‍ය සුසිල් රණසිංහ, බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර, ඌවපරණගම ප්‍රාදේශීය සභා සභාපති දිනදාස රත්නායක යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින්, ජල සම්පාදන මණ්ඩලයේ නිලධාරීන් සහ ප්‍රදේශවාසීන් රැසක් එක්ව සිටියහ.
දිස්ත්‍රික් මාධ්‍ය ඒකකය - බදුල්ල