ගඟන

ගඟන නමෝ බුද්ධස්ස

උපාසිකාවක් නිසා රහත් වූ මහාමිත්‍ර තෙරුන් වහන්සේමහාමිත්‍ර තෙරණුවෝ කස්සක නම් ලෙනක වාසය කෙරෙති. එක් උපාසිකාවක් උන් වහන්සේ ද...
15/08/2026

උපාසිකාවක් නිසා රහත් වූ මහාමිත්‍ර තෙරුන් වහන්සේ

මහාමිත්‍ර තෙරණුවෝ කස්සක නම් ලෙනක වාසය කෙරෙති. එක් උපාසිකාවක් උන් වහන්සේ දරුවකු ලෙස සලකා පෝෂණය කරන්නී ය. ඕ එක් දිනක යම්කිසිවක් පිණිස වනයට යන්නට සූදානම් වී දුව අමතා “දුව, අසවල් තැන පරණ සහල් ඇත. අසවල් තැන කිරි ඇත. අසවල් තැන ගිතෙල් ඇත. අසවල් තැන පැණි ඇත, තිගේ සොහොයුරා වන මිත්‍ර තෙරණුවන් වැඩි කල්හි බත් පිස කිරි ගිතෙල් පැණි හා උන්වහන්සේට දෙව, තී ද අනුභව කරව, මම වනාහි ඊයේ පිසූ හීල්බත් ටිකක් තිබී කාඩි හා අනුභව කෙළෙමි”යි කීවාය. “මෑණියනි, ඔබ දවාලට කුමක් කන්නී දැ”යි දූ ඇසුවා ය. “සහල් ටිකක් ගෙන පළාකොළ දමා ඇඹුල් කැඳක් පිස තබව”යි මහා උපාසිකාව කීවා ය. තෙරුන් වහන්සේ උපාසිකාවගේ ගෙට යනු පිණිස සිවුරු ගැටවොටු ගන්වා ගණ්ඨීලා පසුම්බියෙන් පාත්‍රය ගන්නා කල්හි උපාසිකාවගේ කථාව උන්වහන්සේට ඇසිණ. එය අසා තෙරුන් වහන්සේ තමාට ම අවවාද කර ගන්නාහු, “මහා උපාසිකාව කාඩි හා හීල්බත් අනුභව කළාය, ඕ දවාලට ද ඇඹුල් කැඳක් වළදන්නීය. නුඹ පිණිස පරණ සහල් ආදිය ඇති තැන් කියන්නීය. ඈ නුඹෙන් වත්තක් කුඹුරක් බලාපොරොත්තු නො වන්නී ය. ආහාර වස්ත්‍ර බලාපොරොත්තු නො වන්නී ය. ඇය සුළු දෙයකින් යැපී නුඹට ප්‍රණීත භෝජනයක් පිළියෙළ කරවා දෙන්නේ නුඹ නිසා ත්‍රිවිධ සම්පත්තියම ලැබෙතැයි සිතා ය, නුඹ ඇයට ඒ සම්පත් දෙන්නට සමත් වන්නෙහිද? නො රහත් වූ නුඹ ඇයට ඒ සම්පත් දීමට නො සමත්‍ ය, නුඹ විසින් මහා උපාසිකාවගේ දානය රාග සහිතව ද්වේෂ සහිතව මෝහ සහිතව සිට නො වැළඳිය යුතුය යි අවවාද කර ගත්හ. ඉක්බිති පාත්‍රය ථවිකයෙහි ලා ආපසු අවුත් ලෙනට පිවිස පා සිවුරු තැන්පත් කොට “රහත් නොවී ලෙනෙන් නො නික්මෙමි”යි ඉටා බලවත් උත්සාහයෙන් විදසුන් වඩන්නට වන. කලක පටන් භාවනාවෙහි යෙදුණු උන්වහන්සේට එදින පෙරවරු කාලයේදී ම සියලු කෙලෙසුන් නසා අරහත් ඵලයට පැමිණිය හැකි විය.

ශ්‍රමණ ධර්මය මස්තකප්‍රාප්ත කරගත් උන්වහන්සේ ඉමහත් ප්‍රීතියෙන් පැහැපත් මුහුණෙන් ලෙනෙන් නික්මුණාහ. ලෙන්දොර වෙසෙන දෙවියා උන්වහන්සේගේ අර්හත්වයට පැමිණීම දැන ඉමහත් සතුටට පැමිණ-

“නමෝ තේ පුරිසාජඤ්ඤ - නමෝ තේ පුරිසුත්තම

යස්ස තේ ආසවා ඛීණා - දක්ඛිණෙය්‍යා’සි මාරිස”

යි උදන් අනා “ස්වාමීනි නුඹ වහන්සේ වැනි රහතුන්ට දන් දී මහළු ස්ත්‍රීහු දුකින් මිදෙන්නාහ”යි කීය. තෙරුන් වහන්සේ කල් බලන සේක් පෙරවරු කාලය බව දැන පා සිවුරු ගෙන ගමට පිවිසුණාහ. මහළු ස්ත්‍රියගේ දූ ආහාර පිළියෙල කර “මාගේ සොහොයුරාණන් දැන් දැන් එනු ඇතැ”යි බලා හුන්නා ය. ඕ තෙරුන් වහන්සේ දොර සමීපයට පැමිණි කල්හි පාත්‍රය ගෙන ගිතෙල් හා පැණියෙන් යුක්ත කිරිබත බෙදා උන්වහන්සේගේ අත තැබුවා ය. තෙරුන් වහන්සේ ඇයට “සුවපත් වේවා”යි අනුමෝදනා කොට පෙරළා වැඩම කළහ. එදා තෙරුන් වහන්සේගේ සිරුර අතිශයින් පැහැපත්ව තිබිණ. නෙත් යුවල මිණි යුවලක් සේ බැබලෙමින් තිබිණ. මුහුණු පුබුදුවූ පියුමක් සේ බැබලෙමින් තිබිණ. දැරිය උන් වහන්සේ වඩිනු බලා ගෙනම සිටියා ය. මහළු ස්ත්‍රිය අවුත් “දුව, නුඹේ සොහොයුරා ආයේ දැ”යි ඇසුවා ය. දැරිය සියලු පුවත් මවට කීවා ය. උපාසිකාව තෙරණුවන්ගේ ශ්‍රමණ කෘත්‍යය මස්තකප්‍රාප්ත වූ බව දැන “දුව, තිගේ සොහොයුරා බුදුසස්නෙහි සිත් අලවා වෙසෙයි, සස්නෙහි මතු උකටළී නො වන්නේය”යි කීවා ය.

(මනෝරථපූරණී 276)
උ.ගැ - සූවිසි මහ ගුණය - රේරුකාණේ චන්දවිමල මහා නා හිමි

Address

Bandarawela

Website

Alerts

Be the first to know and let us send you an email when ගඟන posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share