
21/05/2023
ඒ 1980 ඔක්තෝබර් 16දාය.
එදින කොළඹ පුරාම ආරක්ෂාව දැඩි කොට තිබුණි. පාර්ලිමේන්තුවට පිවිසෙන මාර්ගයද කොමාන්ඩෝ භටයින්ගෙන් පිරී ඇති සෙයකි. පාර්ලිමේන්තු භූමිය තුළද කැරලි මර්දන හමුදා රඳවා තිබිණි. එක් මන්ත්‍රිවරයකු සමඟ එක් පුද්ගලයකුට පමණක් පාර්ලිමේන්තු ගැලරියට ඇතුළු වීමට අවසර ලැබුණි. එයද පූර්ව බලපත්‍ර ලබාගත් අයට පමණකි.
පාර්ලිමේන්තුවේ එවකට තිබුනේ ආසන 160ක් පමණි. ඉන් හයෙන් පහක බලය හිමිකරගෙන සිටි එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් ඉතා සතුටින් සිටින බව පෙනුනි.
මේ උදාවී ඇත්තේ ඉන් පෙර රජයේ අගමැතිණිය වූ සිරිමාවෝ බණ්ඩාරනායකගේ ප්‍රජා අයිතිය අහිමි කිරීමේ පාර්ලිමේන්තු විවාදයයි.
විධායක ජනාධිපති ක්‍රමය රටට හඳුන්වා දෙමින්ම එම පුටුවේ වාඩිගත් ජේ.ආර්. ජයවර්ධන විසින් විධායකයේ බලතල භාවිතා කර ඉක්මනින්ම කළ කටයුත්ත වූයේ ප්‍රජා අයිතිය අහෝසි කිරීමේ වෑයමයි. ඒ සඳහා ඔහු ජනාධිපති විශේෂ කොමිෂමක් පත් කරන්නට යෙදුනි.
ජේ.ආර්. එය පත් කළද, කොමිෂම ප්‍රජා අයිතිය අහෝසි කරන්නට සිය එකඟතාව ඉදිරිපත් කළද ඊට අදාල පාර්ලිමේන්තු විවාදයේ මුලින්ම ගැටලුවක් මතුවිය. ගැටලුව මතු කරන ලද්දේ එවකට විපක්ෂ නායක වූ අමිර්තලිංගම්.
" ප්‍රජා අයිතිය අහෝසි කිරීමට පත් කළ විශේෂ ජනාධිපති කොමිෂන් සභාවේ නීත්‍යනුකූල භාවය ගැන ශ්‍රේෂ්ඨාධිකරණය තීරණයක් දීලා නෑ. ඒ නිසා පාර්ලිමේන්තුවට ඒ ගැන කතා කරන්න බෑ..."
ඒ සමඟම නැගී සිටියේ එවකට අගමැති ආර්. ප්‍රේමදාසය.
"යෝජනාව න්‍යාය පුස්තකයට ඇතුළත් කළ පසුව මේ ගැන ශ්‍රේෂ්ඨාධිකරණයට යොමු කරලා තියෙන නිසා විපක්ෂ නායකවරයාගේ ප්‍රකාශය පිළිගත නොහැකියි.." ප්‍රේමදාස කියා සිටියේ ය.
මේ අතරේ පසුබිමෙන් "බිංදුමතී ගෙදර පලයන්" යැයි කෑ ගසමින් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු සාමාජිකයින් ලෝකයේ ප්‍රථම අගමැතිනියට පරිභව කරමින් සිටියෝ ය.
අවසානයේ ජේ.ආර්.ගේ කොමිෂමේ කඩුවෙන් සිරිමාවෝගේ ප්‍රජා අයිතිය අහිමි විය.
අයිතිය අහිමි කළ කොමිෂම නීත්‍යානුකූලද යන්න එකළද එක්සත් ජාතික පක්ෂය මායිම් කළේ නැත...