16/05/2025
ලොව මවිත කරවන සොරබොර වැවේ විශ්මිත තාක්ෂණය
සොරබොර වැව යනු ශ්‍රී ලංකාවේ, බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගනයේ පිහිටි පුරාණ ජලාශයකි. එය දුටුගැමුණු රාජ්‍ය සමයේ (ක්‍රි.පූ. 161 – 137) බුලතා නම් යෝධයෙකු විසින් ඉදිකරවූ බව පැවසෙයි. අතීතයේදී මෙම වැව බින්තැන්නේ මූහුද ලෙස හඳුන්වා ඇත.
අතීත හෙළයින් විසින් කළ අපූරු නිරමාණ අතුරින් වාරි කරමාන්තය ප්‍රමුඛස්ථානයක් ගනී. තාක්ෂණික දියුණුවක් අද මෙන් නොතිබුණද, අද ඉංජිනේරුවන් මවිතයට පත් කරන්නට තරම් සමත් තාක්ෂණික උපක්‍රම යොදාගෙන මේ වාරි කරමාන්ත නිමකර තිබෙන බව නිරීක්ෂණයෙන් සනාථවී ඇත. ලංකාවේ වාරි කරමාන්ත අතරින් වැඩි වශයෙන් කතාබහට ලක්වෙන අපූරු වාරි කරමාන්තයකි “සොරබොර” වැව. මහියංගන සෑ රදුන් වැද පුදා ගන්නට යන සැවොම අමතක නොකර දකින්නට යන මේ සොරබොර වැව පිළිබඳ ප්‍රකටව පැවත එන ජනප්‍රවාද අනුව, මේ වැව නිරමාණය කරන ලද්දේ බුලතා යෝධයා විසිනි.
ඔබත් මොබත් ඔබ සොරබොර වැවාණෝ
අඬා දිය ගලන මහවැලි ගඟාණෝ
දිය නොසිඳෙයි ඔබ මහවැලි ගඟාණෝ
නිල්මල් බිසව් දිය කෙළිනා වැවාණෝ
මහියංගන ජනපදවාසී ජන කවියකු කියූ එම කවිය තුළ ගැබ්ව පවත්නේ සොරබොර වැව පිළිබඳව ගැමියන් තුළ ඇති අප්‍රමාණ ගෞරවාදරය යි.
“හද්දත්තා ඔය” හරස් කොට මීටර 485ක් පමණ දිගිකින් යුතු බැම්මක් ඉදිකිරීම මගින් වැව නිරමාණය කොට තිබේ. වැවෙහි ඇතුල් පසින් සොරාව් දොරටු වෙත පීඩනය ඇතිකිරීම යාමනය කරන සහ බැම්ම ඛාදනයෙන් වළක්වාලීමට දායක වන බිසෝකොටුව නම් ව්‍යුහය මෙම සොරබොර වැවෙහි දැකගැනීමට නොහැකි වන අතර ඒ වෙනුවට උපක්‍රමිකශීලී ලෙස වැවෙහි සොරොව්ව, ඉවුරෙන් ඈතටවන්නට සහ වැව වටා වූ පිහිටි ගල ආශ්‍රයෙන් නිමවා තිබීම විශේෂත්වයකි. මෙවැනි ආකාරයේ සොරොව්වක් දැකගතහැකි එකම ස්ථානය වශයෙන් සොරබොර වැව හැඳින්වේ.
# බුලතායෝධයා -
දුටුගැමුණු රජ සමයේ එළාර රජුගේ ද්‍රවිඩ සේනාවන් මහියංගන සෑයේ නිදන් වස්තු මංකොල්ලයට පැමිණි අතර මේ ද්‍රවිඩ පිරිස් “ඡත්ත ” නම් ද්‍රවිඩ නායකයෙක් යටතේ මහියංගනයේ තමන්ගේ බලය ස්ථාපිත කරගත් අවස්ථාවේ දුටුගැමුණු රජතුමා මේ ඡත්ත ඇතුළු පිරිස පලවා හැර මහියංගන නගරය ප්‍රතිසංවිධාන කටයුතු ආරම්භ කර ඇත. මේ අවස්ථාවේදී මහියංගන සෑය අසූ රියන් උසට නිර්මාණය කරන්නට දුටුගැමුණු රජුට අවශ්‍යවූ බැවින් එම කටයුතු සඳහා දුටුගැමුණු රජතුමා මහියංගනයේ තාවකාලික මාලිගයක කලක් වාසය කර ඇත. ඒ කාලයේදී දුටුගැමුණු රජුට බුලත් මෙහෙවැඩීම භාරවුණේ උඩුදුම්බර ප්‍රදේශයේ කිරිපට්ටිය කුඩා ගමක ජීවත්ව සිටි එක්තරා කාය බල ඇති දේහදාරි පුරුෂයෙකුටය. මේ රාජකාරිය නිසාම ඔහුව හඳුන්වා ඇත්තේ බුලතා නමිනි.
බුලතා.. නිසි පරිදි තමන්ගේ රාජකාරිය සිදුකරන අතරේ විවේක අවස්ථාවල අවට සංචාරය කිරීම පුරුද්දක් කොට ගත්තෙකි. මෙසේ සංචාරය කරන අතරේ දිනක ඔහුගේ නෙත ගැටුනේ මහියංගනයට උතුරින් පිහිටි අපූරු සුන්දර දසුනකි. ගල් කඳු දෙකක් අතර පිහිටි පහත්බිම් අතරින් ගලායන විශාල “හද්දත්තා ඔය” දුටු ඔහුට එහි සුන්දරවයට එහා ගිය නිර්මාණාත්මක සිතුවිල්ලකට අනුව මෙම කුඩා කඳු වැටි දෙක යා කරමින් වැවක් ඉදි කරන්නට තීරණය කළ බුලතා, තමන් ලද කාලය අතරතුර මේ වැවේ ඉදිකිරිම් කටයුතුවල නිරත වුයේය. යම්හෙයකින් මෙම කාර්යය සාරථක වුනොත් වැව සහ ගඟ අතර වු කුඹුරු බිම් ගණනාවක් අස්වැද්දීමට හැකි බව බුලතා අනුමාන කළේය. තමන්ගේ කාය ශක්තිය නිසාම මේ කාරයය බුලතාට එතරම් අපහසු කාරයයක් නොවිය.
# සොරබොර වැව් සොරොව්ව-
සොරබොර වැව ගැන කතා කරද්දි එහි සොරොව්ව ගැන විශේෂයෙන්ම කතා කළ යුතු වන්නේ බුලතා විසින් අතීතයේ නිර්මාණය කළ ඒ සොරොව්ව අදටත් ලෝකයේ අති දක්ෂ ඉංජිනේරුවන් පවා මවිතයට පත් කරන්නට සමත් වන බැවිනි. සොරබොර වැවට ලොව වාරි කර්මාන්තයන් අතුරින් අද්විතීය ස්ථානයක් හිමිවෙන්නට ප්‍රමුඛ සාධකය වී ඇත්තේද මේ සොරොව්වේ අපූරු තාක්ෂණයයි.
මේ වැව් කණ්ඩියේ කෙළවර විශාල ගල් පර්වතයන් වූ නිසාවෙන් මෑත කෙළවරේ පිහිටි ගල කපා හාරා මොහු විසින් සාදන ලද වැවේ සොරොව්ව තරම් අග්‍රගන්‍ය විශිෂ්ඨ නිමැවුමක් තවත් නැති තරම්ය. තාක්ෂණය එතරම් දියුණු මට්ටමක නොතිබුණා යැයි පැවසෙන කාලයකදී තනිවම මෙවැනි සුවිසල් කටයුත්තක් සිදු කිරීම සැබැවින්ම විස්මයජනකය.
එහිදී ඉතා අධික පීඩනයකින් ජලය ඉවතට පිට කිරීමට මේ සොරොව්ව නිරමාණයටත්, කළු ගල් පරවථය මැදින් කැපුම සිදු කරන්නටත් ඔහු හරි අපූරු ක්‍රමයක් භාවිතා කල බවට පවතින ජනප්‍රවාදයේ සඳහන් වෙන ආකාරයට විශේෂ ශාක කිහිපයකින් ලබාගත් යුෂ උපයෝගී කරගනිමින් කළු ගල් උණුකළ හැකි ආකාරයේ විශේෂ සංයෝගයක් සාදා ඒ සඳහා භාවිතා කළ බව පැවසේ. ඒ සංයෝගය ගල මතුපිට අතුරා එයින් මේ විශාල කළු ගල් මෙළෙක් කර ඉන්පසුව උදැල්ලෙන් පස් කපන ආකාරයෙන් ගල කපා ඉවත් කළ බවද කියවේ. එසේ සොරොව්ව නිර්මාණය කර වැවෙහි අතිරික්ත ජලය බැස යන්නට ඈත කෙළවරේ වූ ගල හාරා දිය පැන්නුම සකස් කර තිබේ. ඒ අනුව ස්වාභාවිකව පිහිටි ගල් පර්වතයක සොරොව්ව ඉදිකිරීමට යොදාගෙන ඇති මෙම තාක්ෂණය සහිත ලංකාවේ එකම නිරමාණය වන්නේ ද සොරබොර වැවයි. තවද සොරබොර වැවේ සොරොව්ව හැරුණුකොට වැවක තිබිය යුතු අනෙකුත් සියලුම අංග ඉහළ තාක්ෂණික ඥානයක් භාවිතයෙන් නිර්මාණය කරන්නට බුලතා සමත්ව තිබේ.
# තාක්ෂණික තොරතුරු
මෙහි වැව් බැම්මේ පළල අඩි 20 ක් වන අතර දිග අඩි 1590 ක් වේ. උපරිම ජල ධාරිතාව අක්කර අඩි 16,800 කි. අක්කර 3,000 ක බිමක් වගා කිරීම ජලය සැපයිය හැකිය. වම් ඉවුර ප්‍රධාන ඇළේ දිග සැතපුම් 1 දම්වැල් 32.5 කි. දකුණු ඉවුර ප්‍රධාන ඇළේ දිග සැතපුම් 3 දම්වැල් 20 ක් වේ.
සොරබොර වැවේ ඉහත්තාව නැත්නම් ජල පෝෂක ප්‍රදේශයෙන් එන ජලය කුලු වැව් නමින් හඳුන්වන කුඩා වැව් 3 ක් හරහා පැමිණෙන අතර එහිදී පළමුවැනි වැව පිටාර ගලද්දී දෙවනි වැවටත්, දෙවනි වැව පිටාර ගලද්දී තුන්වැනි වැවටත්, තුන්වැනි වැව පිටාර ගලද්දි සොරබොර වැවටත් මේ ජලය එකතු වෙන ආකාරයෙන් සකස්කර තිබීම ඉතා අපූරුය. මේ කුලු වැව් තුන මගින් සුවිසල් කාර්යබාරයක් ඉටුකෙරෙනු ලබයි. විශේෂයෙන්ම කඳු සේදීයාමෙන් වැසි ජලයට මඩ ආදිය එකතුවන නමුත් මේ කුළු වැව් තුන හරහා ඒ ජලය ගමන් කිරීමේදී සොරබොර වැවට මඩ එකතුවීම අවම වේ.
සොරබොර වැවේ මඩ සොරොව්ක් නැතැත් මඩ ජලය සොරොව්වෙන් යෙදෙන අදි පීඩනයෙන් බිසෝ කොටුව හරහා සොරොව්වෙන් ඉවතට ගලා යන අතර මෙම මඩ ඇල මාර්ග ඔස්සේ කුඹුරුබිම්වල තැන්පත්ව සරු පොහොරක් ලබා දෙන්නට සමත්ව ඇත.
පිහිටි ගලෙහි කැපුමක් යොදා තනා ඇති මේ වැවෙහි සොරොව්... ඇල මාරගය ය . මෙම කැපුම් ඇල සහ වැව, වර්තමානයේ පුරාවිද්‍යා ස්මාරක ලෙස ප්‍රකාශිතය. මේ සොරබොර වැව 1870 දී ඉංග්‍රීසීන් විසින් ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළ අතර, ඉංජිනේරු ජෝන් බේලිට වැළලී ගිය අතීත තොරතුරු වර්තමානයට කියන වැදගත් සෙල්ලිපියක් හමුවීම සුවිශේෂී සිදුවීමකි. ගල්ටැඹක කොටා තිබූ එම සෙල්ලිපිය අදත් බදුල්ල කච්චේරි බිමේ දැකගත හැක. 4 වන උදය රජ්ජුරුවෝ ( ක්‍රි. ව. 946-950) වෙත හෝපිටිගමු ජනතාව කරන ලද පැමිණිල්ලක් එසේ සෙල්ලිපියක කොටා තිබේ. එකල හෝපිටිගම නම් වෙළෙඳ නගරයක් මෙහි පැවතී අතර එම නගරයේ ව්‍යාපාරිකයන් විසින් රජයේ නිලධාරින්ගෙන් තමන්ට සිදුවන තාඩන පීඩන ගැන රජුට කළ පැමිණිල්ලක් මත, ඒවා වැළැක්වීමට කරන ලද අධිකරණ නියෝග සෙල්ලිපියේ සඳහන් වේ.
(සෙල්ලිපිය කෙටූ ගල්ටැඹ අඩි 8 අඟල් 5ක් උස යි. පළල අඟල් 5 යි. පේළි 203ක කුඩා අකුරෙන් ලිපිය කොටා තිබෙනවා.)
තවද සොරොබොර වැවේ විශ්මිත නිමැවුම පිළිබඳව වාරි ඉංජිනේරුවරයෙක්ව සිටි ආර්. එල්. බ්‍රෝහියර් පවා සිය ග්‍රන්ථයන්හි සඳහන් කර තිබේ.
“ බුලතාගේ අපූරු වාරි සැලසුම නිසා අද වනවිිටත් කුඹුරු අක්කර 3000ක් පෝෂනය වනවා පමණක් නොව බුලතා යෝධයාගේ සොරබොර වැවත් ඒ වැව් ඉස්මත්තත් සංචාරකයන්ගේ ආකර්ශණයට ලක් වූ අපූරු ඉසව්වක් බවට පත්ව ඇත....
උපුටාගැනීමකි.