23/06/2023
විශ්‍රාම ගිය ගණිත ගුරුවරයා දුටු (අදක්ෂ) ආදිශිෂ්‍යයා.:
හිටපුදෙන් එළවළු බක්කිය ළඟ හිටගෙන
හිතපුදෙන් ඕනෑ දෙයක් මං ගැන
පැනලා නොකියමි - හඳුනනකං
විස්තර නොකරමි - ගුරු ගෝල කං
මතකයි ඇදපු හැටි යටි බඩෙන්
කොනිත්තා බුරිය ළඟ හමෙන්
තියපු හැටි ගිනි අව්වේ දණින්
ගහපු හැටි ඇඟිලි පහ උඩට අඩි කෝදුවෙන්..
තලන්නටම හිතාගෙන වේවැලක් ගෙන
මුහුණේ සිනාවක්, තෙතක්, දයාවක් නොමැතිව
එදා දේවදත්තයා ලෙස පැමිණි මොහු
දැන් ,වියපත්ය,.පැන්ෂන්ය.තැන්පත්ය
මොළේ ඇති එවුන්වම වරුණනා කොට
උන්ටම ලකුණු දී සම්මාන දී
මං වගේ දුරුවලයන්ට තලා පෙළා හිංසා කොට
පාසල අපායක් කළ මොහු...
නුඹ නිසා තිත්තවුණි මට පාසල් යෑම
නැවතුණෙමි ගෙදර හඬ හඬා
අන්තිමේ- ගියෙමිතාත්තා ගිය මග
ටවුමේ එළවළු විකුණන්ට (දැං මට හොඳයි)
නුඹද නුඹේ දක්ෂ අදක්ෂ ගෝලයෝ සැවොමද
දැන් නිතර එති මා ළඟට මගේ කඩයට
එදා බැරිවූ ගණන් දැන් පෙන්වමි නුඹලා සැමට
කිරාදෙමි පන්සීය - හාරසීයට..