17/03/2023
සිසු සිත නොරිදවා - ඉස්කෝලෙ නොවරදවා
තෙවැනි වාර පරීක්ෂණයට පෙනී සිටින පාසල් දරුවන් පිළිබඳ අබමල් රේණුවකවත් සැලකිල්ලක් නොදැක්වූ ගුරුවර ගුරුවරියෝද ඉකුත් 15 වැනිදා පැවති වර්ජනයට ඉතසිතින් එක්වූහ. ඉල්ලීම් කිහිපයක් ඇතුළත් මේ වර්ජනය පැවැත්වීමේ එක් අරමුණක් වූයේ උපයන විට අයකරන බද්දට එරෙහි වීමය. ඔවුන් එකතුවන්නේ එම බද්දට එරෙහි වර්ජන රැල්ල සමගය. එම බද්ද අදාළ වන්නේ ඉහළ වැටුප් ලබන්නන්ටය. එසේ වුවද අප දන්නා තරමින් බොහෝ ගුරුවරුන්ට ලැබෙන්නේ රුපියල් ලක්ෂයකට අඩු වැටුපකි. එහෙත් ඒ බව නොසිතා ඉහළ වැටුප… See more
සිසු සිත නොරිදවා - ඉස්කෝලෙ නොවරදවා
තෙවැනි වාර පරීක්ෂණයට පෙනී සිටින පාසල් දරුවන් පිළිබඳ අබමල් රේණුවකවත් සැලකිල්ලක් නොදැක්වූ ගුරුවර ගුරුවරියෝද ඉකුත් 15 වැනිදා පැවති වර්ජනයට ඉතසිතින් එක්වූහ. ඉල්ලීම් කිහිපයක් ඇතුළත් මේ වර්ජනය පැවැත්වීමේ එක් අරමුණක් වූයේ උපයන විට අයකරන බද්දට එරෙහි වීමය. ඔවුන් එකතුවන්නේ එම බද්දට එරෙහි වර්ජන රැල්ල සමගය. එම බද්ද අදාළ වන්නේ ඉහළ වැටුප් ලබන්නන්ටය. එසේ වුවද අප දන්නා තරමින් බොහෝ ගුරුවරුන්ට ලැබෙන්නේ රුපියල් ලක්ෂයකට අඩු වැටුපකි. එහෙත් ඒ බව නොසිතා ඉහළ වැටුප් ලබන්නන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන් ගුරුවරුද වර්ජනයට එක්වීම මගින් පෙනෙන්නේ පොදු සතුරාට එරෙහිව එක්ව සටන් කිරීමේ වුවමනාවද, නොඑසේ නම් රටේ දූ දරුවන්ගේ අනාගතය පිළිබඳ ඔවුන්ට තඹ දොයිතුවක කැක්කුමක් නොමැති බවද යන ගැටලු අපට ඇතිවේ. විශේෂයෙන් එවැනි ගැටලු ඇතිවනුයේ විභාග කාලසීමාව දඩමීමා කරගෙන ගුරුවරුන් වර්ජනයට එක්වීමය.
මේ රටේ දරුවන් මුහුණ දෙන අංක එකේ පීඩනය විභාග පීඩනය බවට කිසිදු සැකයක් නැත. ඔවුන්ගේ එකම වුවමනාව වාර විභාගයකට හෝ ඉක්මනට මුහුණ දී තරමක් හෝ මානසික පීඩනය අඩුකර ගැනීමය. එහෙත් වාර විභාගවලින් තීරණාත්මක පරීක්ෂණය වූ තෙවැනි වාර විභාගය පැවැත්වෙන අතරේ ගුරුවරුන් වර්ජනයට එක්වීම රටේ සමස්ත පාසල් දරු පරපුරේ සිත් යළි යළිත් පීඩාවට පත්කිරීමට හේතු වූ බව නිසැකය. සැබැවින්ම අධ්‍යාපනය යනු පන්ති කාමරයකට ගොස් කළුලෑල්ලේ හෝ සුදුලෑල්ලේ යම්කිසි පාඩමක කරුණු කුරුටු ගෑම පමණක් නොවේ. අධ්‍යාපනය යනු එක් පැත්තකින් ආදර්ශය මගින් ලබාදෙන්නකි. දරුවෝ බෙහෙවින් අනුකරණයෙන් උගනිති. ඔවුහු තමන්ගේ මවුපියන් සහ ගුරුවරුන් දෙස බලාගෙන සිටිති.
වර්ජනයට එක්වූ ගුරුවරුන්ගෙන්ද ඔවුන් කදිම පාඩමක් ඉගෙනගත් බවට සැකයක් නොමැත. ඒ පාඩම අන් කිසිවක් නොව, තමන්ගේ අරමුණ කරා යාමේදී දරුවකු ගැන වුවද සංවේදී නොවිය යුතු බවය. හුදෙක් තමන්ගේ ආත්මාර්ථ පරවශ අරමුණ කෙරෙහි පමණක් අවධානය යොමුකළ යුතු බවය. එනිසා අනාගතයේදී යම්කිසි ගුරුවරයකු වතුර පොදක් හෝ නැතිව පාරේ වැටී සිටින විට ඔහුගෙන් හෝ ඇයගෙන් ඉගෙනගත් දරුවෙක් අහක බලාගෙන යාම පුදුම විය යුතු නැත. එයට හේතුව නිරන්තරයෙන් වර්ජනවලටම අවධානය යොමුකරන ගුරුවරුන්ගෙන් ලැබෙන පණිවිඩය අනුන්ට හෙණ ගැහුවත් තමන්ගේ වැඩේ කරගත යුතු බව යන්නය.
මෙම ගුරු වර්ජන රැල්ල හේතුවෙන් මෙරට බොහෝ සිසු දරු දැරියන්ගේ ජීවිත තත්පර පැය ගණනින් නොව, අවුරුදු ගණනින් පස්සට ගියේය. කොවිඩ්-19 වසංගතය හේතුවෙන් පස්සට ගියාට වඩා ගුරු වර්ජන හේතුවෙන් ඔවුන්ගේ ජීවිත පස්සටම තල්ලු වී ගියේය. ගුරුවරයාගේ භූමිකාව හිත් පිත් නැති කොවිඩ්-19 භූමිකාවටත් වඩා අනර්ථකාරී නම් එදා වූ ගුරු ගරුත්වය යළි කවදා කෙසේ ගොඩනගන්නද?
‘ගුරුවරයා උත්තම පුරුෂයෙකි’ සහ ‘ගුරු ගීතය’ වැනි පොත්පත් කියවා ගුරු භූමිකාව පිළිබඳ ඉමහත් බැති සිතක් ඇතිකරගත් දරු දැරියන්ගේ ඒ බැතිබර බව බලාගෙන සිටියදීම කඩා වැටෙමින් තිබේ. එය කෙතරම් ඛේදාන්තයක්ද? මේ දූපතේ තරම් ගුරු වර්ජන පිටසක්වලේවත් නොමැති බව නම් තක්කෙටම සඳහන් කළ හැකිය. ඒ තරමට හැම වසරකම ගුරු වර්ජන එකක් දෙකක් නොව, කීපයකට මුහුණ පෑමට අපේ දරු දැරියන්ට සිදුවේ. මේ සමහර වර්ජන මගින් අපේක්ෂා කරන අරමුණු සම්පූර්ණයෙන් අසාධාරණ යැයි අප සඳහන් කරන්නේ නැත.
ගුරුවරුන්ට වැටුපක් ලැබෙන බව සැබෑය. ගුරුකමද වෘත්තියක් බව සැබෑය. එසේ වුවද ගුරු වෘත්තිය උත්තම දෙයක් සේ තවම අපේ සමාජය අදහන බව පෙනේ. එයට හේතුව ගුරුවරයා අවිද්‍යා අන්ධකාරය දුරු කර දරු දැරියන්ගේ ජීවිතවල පහන් දැල්වීමට මගපෙන්වන්නකු වන හෙයිනි. ගුරුවරයාට මගහැරිය නොහැකි සදාචාරාත්මක සහ සංස්කෘතික වගකීමක් සහ යුතුකමක්ද තිබෙන බව අමතක නොකළ යුතුය. අප දන්නා පරිදි වර්ජනයට එක්වන බොහෝ ගුරුවර ගුරුවරියන්ගේ හදවත තුළ හෘද සාක්ෂිය පිළිබඳ ගැටලු පැනනගින බව රහසක් නොවේ. එසේ වුවද ගුරු ක්ෂේත්‍රය සපුරා ග්‍රහණයට හසුකරගෙන තිබෙන වෘත්තිය සමිති මාෆියාවට ගුරුවරුන් යටත් වී තිබේ. මේ මාෆියාව පරාජය කළ යුතුය.
මොන පදනමකින් බැලුවද ගුරුවරයා මෙවැනි මාෆියාවක පරාධීනත්වයට ලක්වීම කිසිසේත්ම යෝග්‍ය නොවේ. ස්වාධීනව කල්පනා කර තීරණ ගත හැකි පෞරුෂය අහිමි කරගන්නා තැනැත්තාගේ හෝ තැනැත්තියගේ ගුරුකමද මියයයි. සංවේදී විවෘත හදවතක් ස්වාධීන කශේරුකාවක් ගුරුවර ගුරුවරියන්ට තිබිය යුතුමය. එසේ නොවන කල ශක්තිමත් අනාගත පරපුරකට මගපෙන්විය නොහැකිය. ගුරුවරයකුගේ මුවින් පිටවන විෂය කරුණුවලට වඩා සියයට හැත්තෑ පහක් පමණ ඔහුගේ හෝ ඇයගේ චර්යාව දරු දැරියන්ට බලපාන බව යළිදු අවධාරණය කළ යුතුය.
එනිසා අපට පෙනෙන පරිදි මේ ආකාරයට සිසු සිසුවියන්ගේ ජීවිත ගැන නොතකා දිගින් දිගටම වර්ජනවලට යොමුවන්නේ නම් ගුරුවරුන්ට එරෙහිව දැඩි ප්‍රතිචාර මතුවිය හැකිය. එසේ වුවහොත් එය ඉතාම අවාසනාවන්ත කරුණක් වනු ඇත. ගුරු ගීතයේ දුයිෂෙන් අල්තීනාට කියන ‘‘උඹ කිසිම දේකට බයවෙන්න එපා. ඉස්කෝලෙ වරෙන්. මං කොහොම හරි උඹට උගන්වනවා’’ යන වදන අපේ ගුරුවරුන්ගේ මුවින් පිටවෙන්නේ කවදාද?
‘ගුරු සිත නොරිදවා- වේලාව නොවරදවා- බැතිපෙම් උපදවා - අකුරු උගනී කුමරු සොඳවා’ යැයි කියනු වෙනුවට ‘සිසු සිත නොරිදවා - ඉස්කෝලෙ නොවරදවා - දරුපෙම් උපදවා - ගුරුනි උගනිව් කරුණු සොඳවා’ යැයි කීමට සිදුව ඇත.