22/11/2025
- බැල්ම -
කෙටි කතාව
මං මේ කියන්න යන කතාව උනේ මීට අවුරුදු 30කට විතර වගේ ඉස්සර. හැබැයි මට තාමත් ඒ හැම සිදුවීමක්ම අද වාගේ මතකයි
සමදරා , සේපාලත් එක්ක ඇයි හොඳයියක් පටන්ගන්නකොට ඒකි ඕනිනම් ඉස්කෝලේ අටේ, නවයෙ පන්තියේ ඉන්න ඇති. ආස්සරේ මොකක්දෝ කියලා තේරුම්ගන්න බැරි උන තරමෙ වයසක් උනත් තමුන් එකිනෙකාට මොකක්දෝ මහා ලොකු බැඳියාවකින් ගැටගැහිලා කියල උන්ටත් තේරුනා.
දෙන්නාට දෙන්නා නොදැක ඉන්න එක දරාගන්න බැරි වේදනාවක් ය තමන් එකිනෙකා අනෙකා වෙත දැඩිව ආශක්ත වී ඇතිය කියලා තේරුම් යනකොට සේපාල දොළහෙ පන්තියට පාස් උනා විතරයි. සමදරා එතකොට එකොළහේ විබාගෙ ලියන්න ලෑස්තිය. ඒ බැඳියාව වෙන මොකවත්ම නෙවෙයි ඒකට කියන්නෙ ආදරේය කියල මුලින්ම සමදරාට කිව්වෙත් සේපාල. එදා ඉදන් දෙන්නාගෙ සම්බන්දතාවෙ තවත් ශක්තිමත් උනා.
එකිනෙකාට පණ ඇරලා ආදරේ කළා... ගෙවල්වල ආශිර්වාදයත් එක්ක සමදරා, සේපාල දෙන්නා විවාහා වෙන්න සූදානමිනුයි හිටියෙ.
විවාහෙට සතියක් තියලා සේපාල දවසක් සමදරාගෙ ගෙදර ආවා. යමක් කමක් තියන පවුල්වලින් ආව මේ දෙන්නාටම ඕනි උනේ බොහොම සාරේට දෙන්නාගෙ මංගල්ලෙ ගන්න. ඒකට ඕනි කරුණු කාරණා කතා කරගෙන එදා රෑ සේපාල ගියෙ සමදරා ආදරයෙන් උයලා පිහලා අතටම බෙදලා ගෙනල්ලා දුන්න බත් පිඟානෙන් වැඩි ප්‍රමාණයක් හරිම ආසාවෙන් රසවිඳලා. රෑ හත හමාරට විතර සේපාල පිටත්වෙනකොට "පරිස්සමින් ගිහින් එන්න" කියලා සමදරා කිව්වා. ඒ කාලේ ට්‍රේල් මෝට බයිසිකලේ ලංකාවෙ හරි ජනප්‍රියයි. සේපාල ගාවත් ඒ වර්ගෙන් බයිසිකලයක් තිබුනා.
"ඔයා මගේ විතරයි. ඔයාව ඉක්මනටම මං ගාවට ගන්නම්"
එහෙම කියපු සේපාල යන්න ගියේ සමදරාගෙ නළලත් කාටවත් නොපෙන්නෙන්න ලාවට සිපගෙන
හැබැයි එහෙම ගිය සේපාලට මහා ලොකු දුරක් යන්න උනේ නෑ. සමදරාගෙ ගෙදරින් කිලෝමීටර් තුනක් විතර එහාට වෙන්ඩ ඒ කාලේ අලුතින් තාර දමාගෙන ආපු කාපට් පාර හම්බවෙනවා. ඒ කාලේ අද වගේ නෙවේ ඔය හරියෙ පාරෙ වාහන අඩුයි. හරියටම කැටකෑරල ගහ ගාව වංගුවේදී එකපාරටම සැර ලයිට් එළියකුත් එක්ක මතුවෙලා ආව ලොරියක හැප්පෙන සේපාලව පාරේම අතෑරලා දාලා ලොරි කාරයා එහෙමම පැනලා යනවා.
මඟුලට හරියටම දවස් හතයි තිබුනෙ. මඟුල ගන්න හිටිය දවසෙ තමයි සේපාලගෙ හත්දොහේ දානේ යෙදිලා තිබුනෙ. පැය දෙකකට විතර පස්සෙ විනෝද ගමනක් ගිහින් රෑ වෙලා ආව නඩයක් සේපාල වැටිලා ඉන්නවා දකිනකම් කවුරුවත් එතැන වැටිලා උන්න සේපාලව දැකලා නෑ. ඒ කාණ්ඩෙ ඇවිත් තිබුනෙ ලාන්සර් එකක. ආ වේගෙන්ම ඒකෙ දාගෙන සේපාලව මහ ඉස්පිරිතාලෙට අරගෙන ගියත් ගෙනිහින් ටික වෙලාවකට පස්සෙ සේපාල අන්තරා උනාය කියලා දොස්තර මහත්තයා කියලා තියනවා.
"අනතුර උන වෙලාවෙම අරගෙන ආවානම් අනිවාර්යයෙන් බේරගන්න තිබුණා"
සේපාල අනතුරට පත් කරපු වාහනකාරයාට හැමෝම සාප කළා.
"ඒ මිනිහට මඟ දාලා නොයා සේපාලව ඉස්පිරිතාලෙට අරන් යන්නයි තිබුනෙ, එහෙනම් කොල්ලා අදටත් ජීවත්වෙනවා"
සිද්ධිය අහන, දකින හැමෝම කියන්න ගත්තා
ඒ කාලේ මහ ලොකුවට සෙල්ෆෝන් එක පවා හැමෝම අතේ නෑ. තිබුන ගෙවල්වලත් අංක හොයාගන්න හරි අමාරුයි. ඉතින් සේපාලව හොයන්න ආව ගෙදර මිනිස්සුන්ටයි, සමදරාගෙ ගෙදරටයි ආරංචිය යන්නෙ පහුවදා අලුයමේ.
ආරංචිය ඇහුව මොහොතෙ සේපාල මැරුනාය කියන දේ විශ්වාස කරගන්න බැරිව හිටපු ගල්බීත වෙලා වගේ හිටිය සමදරා ඊට මොහොතකට පස්සෙ වැළහින්නියක් වාගේ වැළපෙන්න පටන් ගත්තා. හත්දොහේ දානේ දෙනකම්ම එකාකාරයෙන්ම වැළපුන සමදරා මඟුල ගන්න තීරනේ කරලා තිබුන සේපාලගෙ දානේ දවසෙ, හවස් අතේ එකපාරටම ඇඬිල්ල නවත්තලා මහ හයියෙන් හිනාවෙන්ඩ පටන් ගත්තා
"මං කිව්වෙ සේපාලට මාව දාලා යන්න බෑ කියලා. ගියා කිව්වට මේ ඇවිත් ඉන්නෙ" කියලා සන්තෝසෙන් ඉවවහා ගිය සමදරා අහක බලාගෙන තනියෙන් කතා කරන්න ගත්තා.
සමදරාට නුහුගුණේ කියලා තීරණේ කරපු, ශෝකයෙන් හෙම්බත්වෙලා හිටිය වැඩිහිටියොත් යාන්තම් වත්තන් කරගෙන සමදරාව කාමරේට එක්කගෙන ගිහින් ඇඳෙන් හාන්සි කෙරෙව්වෙ ටිකක් නිදාගත්තාම ඔය තෝන්තු සිහිවිකල් ගතිය මගෑරෙයි කියලා හිතලා.
හැබැයි කිසිම දෙයක් හිතන විදියට උනේ නෑ. සමදරා පහුවදා ඉදන් කාමරෙන් එළියට එන එක ප්‍රතික්ශේප කළා. ඒ වෙනුවට එයා එක එල්ලේම ඇගේ කාමරේ හිස් අහස දිහා බලාගෙන තනියම දොඩවන්න ගත්තා.
සේපාල කියලා තියෙන්නෙ බොරු නෙවෙයි. එදා අන්තිමේ සමු අරන් යන වෙලාවෙ සේපාල ගියෙ
"ඔයාව ඉක්මනටම මගෙ ගාවට ගන්නවා" කියලා.
කිව්වත් වගේ සේපාල ඒක කළා. සේපාලගෙ තුන්මාසෙ දානෙ දෙනකොට සමදරා එයාගෙ ගෙදර සාලෙ මැද්දෙ මල් පිරුණ ලස්සන පෙට්ටියක සනීපෙට වැතිරිලා හිටියා.
සමදරා එදා රෑ නිදහසේ එයාගෙ අන්තිම හුස්ම හෙළන කොටත් එයාගෙ ඇස් කාමරේ බාල්කෙ දිහාවටම හරිම ආදරෙන් යොමු වෙලා තිබුණ බව මරණෙ ඇස් දෙකටම දැක්ක හැමෝම කියලා තිබුනා.
**********
දැන් අවුරුදු 30ක්ම ගෙවිලත් තාමත් ඉදහිටක පවුලෙ මිනිස්සුයි ගමේ මිනිස්සුයි සේපාලවයි, සමදරාවයි මතක් කරනවා.
වෙන කා ගැනවත් කියන්නෙ මොකටද... දැන් මේ මට උනත් එහෙමයි. උන් දෙන්නාව අමතක කරන්නම බෑ. අවුරුදු ගාණක් පිස්සන් කොටුවෙ කාමරේක හිරවෙලා උන්නත් මේ දැනුත් මම උන්ව මතක් කරන්නෙ ඒකනේ
" ඇත්ත තමයි, එදා මඟ දාලා නොයා සේපාලව ඉස්පිරිතාලෙට අරන් යන්නයි මට තිබුනෙ, එහෙනම් ඒ කොල්ලා අදටත් ජීවත්වෙනවා"
කවුරුවත් මම කියන දේවල් විශ්වාස කරන්නෙ නෑ. ඒකමයි මට පිස්සු හැදුනෙ. අනික මට ඔය මොනවා උනත් ඉවසන් ඉන්ඩ පුලුවන්. මට ඉවසන්ඩම බැරි ඉස්පිරිතාලෙ වහලෙ බාල්කයක් උඩට වෙලා තාමත් මම දිහා බලාගෙන ඉන්න සේපාලගෙයි සමදරාගෙයි බැල්ම
මේ කියන මොහොතෙත් මට උන් දෙන්නා එක ළඟින් වාඩිවෙලා බාල්කෙ උඩ ඉදන් කකුල් දෙකත් වන වනා මම දිහා බලාගෙනම ඉන්නවා
-නිමි-
ඉසිපාලී නිලූෂා ඉලේසිංහ