SandaSena Media

SandaSena Media The difference between Medicine and Poison is in the dose... 💕
🇱🇰🇯🇵🇮🇳🇧🇩🇲🇻🇲🇾🇸🇬🇹🇭🇲🇨🇶🇦🇫🇮🇸🇪🇮🇹🇫🇷

~ කොල්ලෙක්ට මල් දීලා නෑ ? ~ඊයෙ දිනුකයියා වැඩ ඇරෙන වෙලාවට මං එතනට ගියා පොඩි වැඩ වගයක් කරගන්න තිබ්බ නිසා.. ඊයෙ තමයි මං පළව...
05/11/2025

~ කොල්ලෙක්ට මල් දීලා නෑ ? ~

ඊයෙ දිනුකයියා වැඩ ඇරෙන වෙලාවට මං එතනට ගියා පොඩි වැඩ වගයක් කරගන්න තිබ්බ නිසා..

ඊයෙ තමයි මං පළවෙනි වතාවට තනියම කෝච්චියක ගියෙ.. ඒක හරියට දිනුකයියා මට දීපු ටෙස්ට් එකක් වගේ.. ලංකාවේ වගේ නෙවේ මෙහේ කෝච්චියකින් තව එකකට මාරු වෙනව කියන්නෙත් හරි ලොකු වැඩක්..කෝච්චි වර්ගත් ගණනාවක් තියෙනවා.. හරියට confuse වෙනව සමහර stations වලදි..ගිහිල්ලාම නැති කෙනෙක්ට යන එන මං හොයාගන්න අමාරුයි..

ඒත් එයා රූප ඇඳල පාට කරල මට එවල තිබ්බ එන්න ඕනෙ විදිය, station එක ඇතුලෙ map එක පවා එව්වා..

ඊයෙ තමයි මං මගේ ජීවිතේ වැඩියෙන්ම වේගෙන් යන කෝච්චියක ගියේ..

පොඩි ළමයෙක්ට තනියම කෝච්චියක නැඟල පාරවල් හොයාගෙන යන්න උගන්නන තාත්තා කෙනෙක් වගේ දිනුකයියා බොහොම ඉවසීමෙන් මං එනකම් බලං හිටියා..

මෙච්චර කල් ගිහිල්ලා හරි මට තනියම ගමනක් යන්න පුළුවන් කම ලැබුනනේ කියල මට හීනියට සතුටක් දැනුනා..

ඉතිං කොහොම හරි මං එයාගෙ office එක ගාවට ගියා.. එයාට ලැජ්ජාවක් නොවෙන්න මං ඉතිං මට පුළුවන් ඉස්තරම්ම විදියට ඇඳගෙන ගියා..

ගිය වැඩේ ඉවර උනාට පස්සෙ අපි දෙන්න ටිකක් ඇවිදිමුද කියල එයා මගෙං ඇහුවා.. හවස 5 ට විතර ඇති එතකොට.. අපි දෙන්න ඔහේ ඇවිද්දා, කිලෝමීටර් 5 ක් 6 ක්නං අනිවාර්යයෙන් ඇවිදින්න ඇති.. ඒ ඇවිදින ගමං එයා මට ඒ වට පිට තිබ්බ මං නොදන්න අලුත් දේවල් ගැන කියල දුන්නා..

මගෙ හොඳම යාලුවෙක්ගෙ birthday party එකකට ආරාධනා ලැබිලා තිබ්බ නිසා ඉතිං අපි දෙන්නා ආපහු එන්න පිටත් උනා.. කෝච්චියෙ ආපහු එනකනුත් එයා දිගටම කතා කලා..

සාමාන්‍යයෙන් අපි දෙන්න කොහේහරි යද්දි මං තමයි ඔහේ කියවන්නෙ, එයා හරි අඩුවෙන් කතා කරන කෙනෙක්.. වැඩ විතරයි සද්ද නෑ.. ඒත් ඒක අනික් පැත්ත ගහල තිබ්බා, හැබැයි වල් පල් නෙවේ, කීව හැම වචනයක්ම හරි වැදගත්.. මං හරිම උනන්දුවෙන් අහගෙන උන්නා..

කෝච්චියෙන් බහිද්දි ටිකක් රෑ වෙලා.. ඒ මදිවට සීතලයි.. එතන ඉඳං අපි තව බස් එකක යන්නත් ඕනෙ..

"අපි ස්කූටර් එකක යමුද?"

දිනුකයියා එක පාරටම ඇහුවා.. මෙහෙ ඉලෙක්ට්‍රික් ස්කූටර් පාරෙ තියල තියෙනවා කැමති අයට ගෙවල යන්න පුළුවන්..

"මං කවදාවත් ගිහිල්ලා නෑ.. මට බයයි වැටුනොත්.."

මට ඒකෙ balance එක තියාගන්න පුළුවන් ද කියල මං මගෙම්ම ප්‍රශ්න කලා.. මොකද ඒකෙ යන්න ඕනෙ හිටගෙන..පොඩි ගල් ගෙඩියක්වත් උඩින් ගියොත් ඕක පෙරලිලා වැටෙනවා.. සමහරු එහෙම වැටෙනවා මං දැකලත් තියෙනවා..

"බෑ බෑ මට බෑ.. ඒ මදිවට දැං රෑ 8 ත් පහුවෙලා දවාලක බලමු.."

මං කිව්වා..

"අපි දෙන්නම එකක යමු.."

දිනුකයියා කිව්වා..

"අඩේ.. "

මට කිය උනා..

"ඔයා මගෙ බඩ වටේට අත දාල හයියෙන් අල්ලගන්න.. හරිද?"

හෑ.. මූ යකූ මේ අගේට මෙතනිම්ම බස් එකේ නැගල ආතල් එකේ සුපර් මාකට් එක ලඟ බහින්න පුළුවන් එකේ මොකට දඟලනවද කියල මං කල්පනා කලා..

"ඔයා දෙන්න දාල පැදල තියෙනවා ද?"

මං ඇහුවා..

"නෑ.. මාත් අද තමයි මේ එහෙම යන්න හදන්නෙ.."

මේකා කියාපි..

"ඔයාට විස්වාසද අපි දෙන්න බිම පතබෑවෙන් නෑ කියල ?"

මං ඇහුවා..

"කියන්න බෑ ඉතිං.. ගිහිල්ලම එපෑ බලන්න.. වැටුනොත් දෙන්නමනෙ.."

ඕනෙ මඟුලක් කියල මං හා කිව්වා..

දැං ඔන්න අපි දෙන්න යන්න පටන් ගත්තා.. මං මුලිම්ම එයාගෙ ජැකට් එකෙන් අල්ලං හිටියෙ..

මොන..එක පාරටම වේගෙ වැඩිවෙද්දි මාව පිටිපස්සට විසිවෙන්න එනව වගේ.. මං ටග් ගාල මගෙ ඇඟිලි අස්සෙ ඇඟිලි යවල එයාගෙ බඩ වටෙට තද කරල අත් දෙක බැඳගත්තා..

"ඒකනෙ මං මුලදිම කිව්වෙ.. බයවෙන්න එපා හයියෙන් අල්ලගන්න.."

කියල මේකා තවත් වේගෙ වැඩි කලා.. හන්දි වලින් හරවල ගන්නකොට තමයි මගෙ බොක්කෙ බිත්තර තමබනව වගේ දැනුනෙ..

"හිමින් යංකො අනේ, වංගු වලින් ඔච්චර ඇල කරන්න එපා.."

මං කෑගැහුවා..

එයා බක බක ගගා හිනාවෙවී ගියත් ඒ කිලෝ මීටර් ගානම මං ගියෙ බයේ ගැහි ගැහී..

අන්තිමේදි සුපර්මාර්කට් එක ගාවින් බැස්සම තමයි මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ..

"කොහොමද ගමන?"

"අති විශිෂ්ඨයි සර් !"

මං එයාට සැලියුට් එකක් එක්ක කකුලකුත් පොළොවෙ ගහල සුපර්මාර්කට් එක ඇතුලට ගියා..

'අපරාදෙ පොටෝවක් ගන්න එකෙක් හිටියෙ නෑනෙ අර ස්කූටර් එක උඩ අපි දෙන්නව තියලා.. පොඩි වීඩියො කෑල්ලක් ගන්න එකෙක් හිටියෙ නෑනෙ ශහ්..'

මට හරි වේදනායි.. ඇත්තටම අපේ හොඳම memories තියෙන්නෙ හිතේ විතරයි..

"ඇයි ඔයා මල් තෝරන්නෙ?"

දිනුකයියා මගෙං ඇහුවා..

"මං එයාට තෑග්ග කලිම්ම දුන්නනෙ.. ඇයි ඔයාට මතක නැද්ද?"

අද දවසෙ වැඩක් වැටුන නිසා එන්න බැරිවෙයි කියල හිතල එයාට දෙන්න ගත්ත දේ අපි කලින්ම එයාට දුන්නා..

"ඔයා වෙනදට එයාට මල් ගෙනියන් නෑනෙ.."

"එයා දවසක් කිව්වා ජීවිතේ කිසිදාක එයාට කාගෙන්වත් මල් හම්බෙලා නෑ කියල.."

මං කිව්වා..

"සිරාවටම?"

"අපි වගේ හැමෝම මල් දෙන්නෙ නෑ..ඒත් ගොඩක් අය මල් වලට ආසයි.."

මං එයා දිහා බලාගෙන හිනාවෙලා කිව්වා..

ඊටපස්සෙ එයා මල් වලින් පිරිලා ගිය මල් කලඹක් නෙවෙයි මල් වලින් පිරිලා ගිය මල් ගහක් තේරුවා.. ඒක හරි ලස්සනට පැක් කරලත් තිබුනා..

"මේක මොකෝ?"

එයා මගෙං ඇහුවා..

"මරු.. හැමදාම තියාගන්නත් පුළුවන් නේ.."

තව ගෙදරට බඩු මුට්ටු ටිකකුත් අරං අපි පාටියට ගියා..

එතකොට අනික් අය ඇවිල්ලා.. අපි පරක්කුයි..

බර්ත් ඩේ එකේ අයිති කාරයා දොර අරිද්දීම මං හැපි බර්ත් දේ ටූ යූ සිංදුව එලියෙ ඉඳම්ම තාලෙට කියල එයාට මල් පෝච්චිය දුන්නා..

ඒක දැකල එයාගේ මූණ පිපුණ විදිය දැක්කම මට එයාට හග් එකක් නොදී ඉන්න බැරි උනා..

කොල්ලෙක් කියල බැලුවෙ නෑ මං එයාට විශ් කරල හග් එකක් දුන්නා..

කොල්ලෙක් කියල බැලුවෙ නෑ..එයා මල් වල සුවඳ බැලුවා..

'කොල්ලෙක්ට මල් දීලා නෑ..?

දීල බලන්න ආස හිතෙයි..'

හො.ම.ත.ග.යු.

දිනුකයියා වගේ ඔයාගෙ යහපත් අභිප්‍රායන් ගැන තේරුම් ගන්න, වරදවා නොහිතන, ඕපන් මයින්ඩඩ් කොල්ලෙක් නං ඔයාට ඉන්නෙ, උගෙන් අහල ඕක කරාට කමක් නෑ.. හැබැයි සේනා වගේ මහා ආත්මාර්ථකාමී ඊරියාකාර කොල්ලෙක් නං ඔයාලට ඉන්නෙ ජීවිතේට වෙන කොල්ලෙක්ට මල් දෙන්න හිතන්නවත් එපා..වෙන එකෙක්ව හග් කරා කියල ජීවත කාලෙම ඕකම කියව කියව වැළලෙයි ඌ... 😂

~සඳේ~

ජීවිතේ කවියා 36මෙහි එන පුද්ගලයන්, ස්ථාන හා සිද්ධි සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න..--------------------------------...
05/10/2025

ජීවිතේ කවියා 36

මෙහි එන පුද්ගලයන්, ස්ථාන හා සිද්ධි සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න..

---------------------------------------------------------------------------------

"අර මං කිව්වෙ කැම්පස් එකේ පොඩි ෆන්ක්ශන් එකක් තියෙනවා කියල. ලෑස්ති වෙන්න මාත් එක්ක යන්න හරිද?"

කවි අයියා එහෙම දෙයක් ගැන කලින් මට කියලයි තිබුනෙ... ඒත් මං ඒක එච්චර ලොකුවට හිතුවෙ නෑ...

"අනේ මට ඇඳගෙන යන්නවත් හොඳ ඇඳුමක් නෑනෙ අයියෙ.."

"අපි එකක් ගමු.. "

"දැං මොකද්ද ඕක? මං ඔතන ගිහින් මොකද්ද කරන්න ඕනෙ?"

"ලොකු සීන් එකක් නෙවෙයි.. ඩෙනිමක් ඇඳල බ්ලවුස් එකක් ඇන්ඳනං හරි... මුලින් පොඩි උත්සවයක් වගේ සීන් එකක් තියෙනවා, ඊට පස්සෙ සිංදු කියන්නයි නටන්නයි තමයි තියෙන්නෙ, එළිවෙනකම්ම වගේ තියෙනවා..."

"දැං ඉතිං මාව මොකටද ඕකට එක්කං යන්නෙ?"

මං ඇත්තටම එහෙම ඇහුවෙ මට ඒ ගැන ලොකුවට තේරෙන්නේ නැති නිසා... කැම්පස් එක ඇතුලෙ අයගෙ උත්සවයක් නම් පිට අයව එක්කං යන එක හරි නෑනෙ...

"කැම්පස් එකේ උං හිතං ඉන්නෙ මං තනිකඩයෙක් කියල... උන්ට ගිහින් ඔයාව පෙන්නනකං උං මාව විස්වාස කරන් නෑ..."

"අනේ මට බෑ අයියෙ..."

"නෑ නෑ අනික් අයගෙ ගර්ල් ෆ්‍රෙන්ඩ්ස්ලත් එනවා... ඔයා විතරක් නෙවෙයි..."

ටවුමට ගිහිල්ලා මට ලස්සන බ්ලවුස් එකක් අරං දුන්නා... මට තාම මතකයි ඒක කලු පාටයි, කහ දුඹුරු එම්බ්‍රොයිඩර් මෝස්තරයක් තිබුනා, ඒ කාලෙ හැටියට ඒක හරි ගණං, ඒ උනාට මොකෝ ඒක හරිම ලස්සනයි.. ඇඟේ ගානට තිබ්බා, මටම මහල වාගෙ... අනික ඒක ඇන්ඳම මොඩර්න් ස්ටයිල් එකක් කියල පේනවා...

මුලදිම මං කැමති උනේ නෑ කොච්චර ලස්සන උනත් එච්චර ගානක් දීල ඒක ගන්න... ඒත් එයාගෙ යාලුවො ඉස්සරහට යනකොට මං හොඳට යන්න ඕනෙ නිසා මං ඒක ගන්න කැමති උනා...

මං ගෙදර ගිහිං ඒක ඇඳගෙන කණ්නාඩිය ඉස්සරහට ගියා... මෙච්චර කාලෙකට මං ඇඳපු ලස්සනම ඇඳුම මේක නේද කියල මට හිතුනා...

"අම්මේ ලස්සන... කොහෙන්ද ඕක?"

"කවි අයියා අරං දුන්නෙ අම්මෙ කැම්පස් එකේ පාටියක් තියෙනවා කියල ඒකට මාව එක්කං යනව කිව්වා"

ඒක කියනකොටයි මට මතක් උනේ හත්වළාමේ කෙහෙල් කැන වැට පැන්නා නේද කියල...

"කෝ මට කිව්වෙ නෑනෙ.."

අම්මා පෝඩ්ඩක් විතර අවුල් උනාද මංදා...

"ඔය ඉතිං දැං මං කිව්වෙ.."

මං ශේප් වෙන්න බැලුවා...

"එහෙම බෑ, එහෙම ආවට ගියාට පාටි වලට යන්නෙ නෑ කොළඹ... රෙදිත් අරං ඉවරයි නේ මට නොකියා"

අම්මට තද වෙලා....

"කවි අයියා අම්මගෙන් අහයි ඇවිල්ලා... මොරටුවට යන්න බැරි එකේ කැම්පස් එකේ ඇවිදලවත් එන්න කියල හිතුවෙ... අනික අම්මෙ ඒ කැම්පස් එකේ කෙල්ලො කවි අයියට කැමතිද දන් නෑනේ, ඉතිං මං ගිහිල්ලා එක දාල එන එක හොඳ නැද්ද?"

මං අම්මගෙං එහෙම ඇහුවම අම්මට හිනා ගියා...

"ම්ම්ම්ම්... ඔව් ඔය ඕනෙ තරම් ගමේ කෙල්ලෙක් එක්ක යාලුවෙලා ඉඳලා කැම්පස් ගියාම ඒක අතෑරල කැම්පස් එක ඇතුලෙදි ඒකෙ කෙල්ලෙක් එක්ක යාලුවෙනව කියලනම් කතන්දර මාත් අහල තියෙනවා, ඒ උනාට පුතේ ඔයා ඕකට ගිහිල්ලා මූණ පෙන්නුවයි කියල නෑ, කවී යනවනං යනව ඉතිං..."

මං කල්පනාවට වැටුනා...

"මේ ඒක නෙවෙයි පුතේ වරුණිගෙ ප්‍රතිඵල කොහොමද?"

"අනේ මං දන්නෙ නෑ අම්මෙ...පුළුවන් තරම් පස්සෙන් ගිහිල්ලා අන්තිමේදි මං ඒ මිනිස්සුන්ව අතෑරල දැම්මට පස්සෙ ආයෙ ඒ ගැන හොයන්න යන් නෑනෙ..."

ඇත්තටම මට වරුණිව මතක් නොවුනා නෙවෙයි... ඒත් මං කාගෙන්වත් එයා ගැන අහන්න ගියේ නෑ...

-------------------------------------------------------------------------

"නැන්දේ... නැන්දේ...."

ඒ චමි අයියා, මගෙ මස්සිනා...
මං කුස්සිය අස් කර කර ඉද්දි එයා ආවෙ...

"ආ නංගි මං ඔයාව හම්බෙන්න තමයි ආවෙ... මේ මනමාලියෙක් ඉන්නව බලන්න යමුද?"

"මං?"

"ඔව් ඔව්... මුලින්ම අපි දෙන්න ගිහින් බලල එමු... පස්සෙ බැරියැ අම්මලව එක්කං යන්න..."

"හෑ... මොන රටේද යකූ ගෑණියෙක් බලන්න යන්නෙ තමංගෙ නෑන එක්ක... මනමාලි කැමති වෙයිද ඕයි එහෙම ගියාම?"

මං ඇහුවෙ කර කර හිටපු වැඩ සේරම නවත්තල දාල මේ අපබ්‍රංසෙ අහන්න ලක ලෑස්ති වෙන ගමං...

"ආ ඒක මං බලාගන්නංකො තමුසෙට පුළුවන් ද බැරිද කියනවකො..."

මං අත් දෙක පිහදාගෙන උගේ ගාවින් ගිහින් වාඩි උනා...

"මේ අයියෙ, ඕයි තමුසෙ හරියට කතාව කියනවකො මුල ඉඳල..."

"කපු කමක් ඕයි මේක, මං දැකලවත් නෑ කෙල්ලව තාම... මං කෝල් කරා... බලල එන්න තමා යන්නෙ.."

කොල්ලා හෙන අප් එකේ ඉන්න බවනං මට තේරුණා...

"ඉතිං මොන මඟුලකටද ඕයි මං ඒ කෙල්ලව බලන්න යන්නෙ? ඈ?"

මං ඇහුවා...

"දැං තමුසෙ කියන්නෙ මට තනියම යන්න කියලද? නැත්නම් ගමේ මොකෙක් හරි එක්ක යන්න කියලද? පොඩ්ඩක් තේරුම් ගන්නවකො ඕයි... තමුසෙට මේව ගැන යමක් තේරුමයිනේ... එනවකෝ..."

"හා දැං අපි මොකේද යන්නෙ?"

"බයික් එකේ යමු... තේ කඳු මැදින් සෑහෙන දුරක් යන්න ඕනෙ, බස් වල යන්න බෑ වංගු..."

අන්තිම හරිය කියවගෙන යද්දි අපෙ අම්මා එතනට කඩා පාත් උනා..

"මරුවට තියෙයි දෙන්නා ජෝඩු දාල යද්දි... ගියාට කමක් නෑ කොහෙ ගියත් යන්න කලින් කවීගෙන් අහල යන්න"

අවසර ගන්නත් ඕනෙද දැං මං සහෝදරයෙක් එක්ක කොහෙහරි ගිහින් එන්නත්?

"ඒ මොකද ඕයි ඒ කවියගෙන් අවසර ගන්නෙ?"

ඔන්න ඒ පාර මට ඌට කියන්න උනා මගේ ප්‍රේම පලහිලව්වත් ඒ අස්සෙ...

ඔන්න ඉතිං මනමාලි බලන්න යන්න මං උදේම ලෑස්ති උනා... කස්ටිය මේ ගැන කොච්චර උනන්දුද කියල කියනවනම් කවි අයියාත් ඇවිල්ලා දැං ඔන්න අපේ ගෙදර... අම්මනං ගෙදර හිටියෙ නෑ, එයා අපෙ අත්තම්ම වෙනුවට මොකක් හරි ගමේ සමිතියකට ගිහිල්ලා... තාම චමි අයියා නෑ.. මනමාළය හිටු කියල ලෑස්ති වෙනව ඇති...

"ඔය මොකද්ද ඇඳගෙන ඉන්නෙ?"

මාව දැක්ක ගමම්ම කවි අයියා අහපි...

"ඇයි?"

"ගවුම් බෑයවල් ඇඳන් යන්න එපා මනුස්සයො... ඩෙනිමක් ටී ශර්ට් එකක් ඇඳල යනවා... "

"ඒ මොකද ඒ?"

"වංගු කිව්වා නේද පාරෙ... ඔය ගවුම රෝදෙ අස්සෙ යයි..."

ඒකත් ඇත්ත... ඔන්න ඒ පාර මං ගෙට ගිහිල්ලා ආයෙ කලිසමකට බැස්සා...

"ඒ උනාට මෙහෙම හොඳද මංදා අනේ වැදගත් තැනකට යන්න.."

"වැදගත් ගමන යන්නෙ කෙල්ල හොඳයිනංනේ... ඒක එයා නැන්දලත් එක්ක පස්සෙ යාවි..."

ඔන්න ඈතින් ඇහෙනවා බයිසිකල් එකක සද්දයක්... මං හිතන්නෙ චමි අයියා...

"චමියා මොකද්ද බං ඔය.. ඕක ට්‍රේලක්නේ..."

චමි අයියා බයිසිකලේ නවත්තලා බැහැලා එනකොටම කවි අයියා ඇහුවා...

"ඉතිං???"

"ඕකෙ කොහොමද බං කෙල්ලෙක් යන්නෙ?"

ඒක හෙන උස ට්‍රේල් බයික් එකක්... පිටිපස්සෙ රෝදෙට උඩින් තිබ්බ පස්සෙ සීට් එක තිබ්බෙ උස්සලා...

කෙලිම්ම කිව්වොත් පිටිපස්සෙ වාඩිවෙන ගෑණි ගිහින් තද වෙනවා ඉස්සරහ ඉන්න මිනිහගෙ ඇඟට...

"අනේ තරහ වෙන්න එපා බං ඕකෙ නං තරූව යවන්න බෑ.. "

චමි අයියගෙ මූණ චොර වෙලා ගියා...

අන්තිමේදි එහෙට මෙහෙට ඇදල කවි අයියා ගෙදර ගිහින් එයාගෙ බයිසිකල් එක ගෙනල්ලා චමි අයියට දුන්නා...

කවි අයියමයි මට හෙල්මට් එක දැම්මෙ... දැම්මා විතරක් නෙවෙයි නිකට යටින් මගෙ මූණට යන්තමට තදවෙලා හිටින ගානට බෙල්ට් එකත් හැදුවා...

අම්මේ ඇති යාන්තම්... මං හිතුවෙ වැඩේ කඩාකප්පල් වෙන්නයි යන්නෙ කියල... කාටත් ප්‍රශ්නයක් නොවෙන්න ඕක ඔහොම විසඳුන එක කොච්චර දෙයක්ද...

දැං ඕං අපි යන්න පිටත් උනා... හෝ ගාල වංගු... හෙනම දුරයි... තේ කඳු මැද්දෙන් පීරගෙන එහෙට මෙහෙට නැමුණ වංගු පහු කරගෙන යද්දි මට ඔලුවත් කැරකෙන්න ගත්තා... මට ඔය බයිසිකල් ගමන තේරෙන්නේ නෑ... ඕවගෙ ගිහින් හුරුත් නෑ ගොඩක් දුර...

"රිට වාගෙ වාඩිවෙලා ඉන්නෙ නැතුව වංගුවක් ගන්නකොට තමුසෙත් පොඩ්ඩක් නැමෙනවා... නැත්නම් මටත් ඩ්‍රයිව් කරන්න අමාරුයි"

චමි අයියා කෑගැහුවා...

"මට තේරුණා..."

මං කිව්වා...

දැං මූ බයිසිකලේ නමනව නැමිල්ලක් වැලමිටයි දණහිසයි වැලි ගෑවෙන ගානට... මගෙ බොක්කත් හීතල වෙලා යනවා ඒ වංගුවක් වංගුවක් ගන්න ගානෙ...

ඔන්න ඉතිං අපි ගෙනිච්චා කේක් ගෙඩියයි කෙසෙල් ඇවරියයි අරං අපි බැස්සා...

හරි ලස්සන පැත්තක්... වටේටම කඳු, තේ කඳු...

හරිම සාමාන්‍ය මිනිස්සු... අම්මයි තාත්තයි අපිව ඉස්සරහට ඇවිල්ලා පිළිගත්තා...

"එතකොට මේ...?"

ඒ අම්මා ඇහුවා...

"ආ මේ මගෙ නංගි... අම්මල එක්ක එන්නංකො පස්සෙ..."

ඔන්න ඉතිං ආ ගිය තොරතුරු වං හුං කතා කර කර ඉන්නකොට තේ ට්‍රේ එකකුත් අරං ආවා ලස්සන කෙල්ලෙක්...

මෙයා වෙන්ටැ මනමාලි... කාටත් නොපෙනෙන්න මං චමි අයියට වැලමිටෙං ඇන්නා..

'ලස්සනයි ' මං හිමින් කිව්වා...

ඉතිං දෙන්නට කතා කරගන්න කියල මායි ඒ කෙල්ලගෙ දෙමව්පියෝ එහෙම අපි එළියට ආවා...

"මේ දුව කැම්පස් යන්න ඉන්නෙ කියල පුතා කිව්වා.."

"ඔව් නැන්දෙ.."

"කොච්චර හොඳද ඉතිං... අපි හරි කැමති උගත් පවුලකට සම්බන්ධ වෙන්න... අපේ දුවත් බාහිර උපාධියක් පටන් ගන්න ඉන්නෙ..."

මට දැං තමයි තේරෙන්නේ හරියටම චමියා මාව මාකට් කරල තියෙන්නෙ කියල...

හොඳයි බලාගමු...

දැං ඔන්න ඉතිං හොඳට කාල බීල අපි දෙන්නා ආපහු යන්න හැරුනා...

"හරි හොඳ මිනිස්සු නේද? අහිංසකයි... අපේ පවුලට ගැළපෙනවා... "

මං එන ගමන් චමි අයියට කිව්වා...

"හොඳ වෙලාවට ඕයි අම්මල එක්ක නෑවිත් තමුසෙ එක්ක ආවෙ..."

" ඇහ් ඇයි ඒ එහෙම කියන්නෙ?"

"ඒක හරියන මඟුලක් නෙවෙයි..."

"ඒ මොකෝ? "

"එයා දලු කඩනවාලු... නියපොතු වල කහට... ඒ මදිවට නියපොතු ඔක්කොම ගෙවිලා..."

"ඉතිං?"

"ඉතිං කියන්නෙ මං කැමති නෑ..."

"නියපොතු ගෙවිලා නිසා, ඒවගෙ තේ දලු කහට නිසා තමුසෙ අකමැති? වෙන හේතුවක් නෑ..."

මං ආයෙ ඇහුවා...

මට හරියට ඇහුනෙ නැති යමක් තිබ්බද කියල මට ඉඳුරා දැනගන්න ඕනෙ උනා...

මට එකපාරටම මගෙ ඇඟිලි වල නියපොතු දිහා බැලුනා...

ඒ කියන්නෙ.... ඒ කියන්නෙ...,
මූ මගෙත් නියපොත්තෙ ඉඳල බලන්න ඇතිනේ...

'පිරිමි හැමෝම මෙහෙමද?'

මට අද රෑට කවි අයියගෙං අහන්න ප්‍රශ්න කෝටියක් තියෙනවා...

එහෙම බලද්දි එයා අකමැති දේවල් කොච්චරක් මං ගාව ඇද්ද දෙයියනේ...

මං මොරටුව කැම්පස් එකේ අර පාටියට යන්න කලින් සැලොන් එකකට යන්ටෝනැ...

මං අධිෂ්ඨාන කරගත්තා...

#දුඹුරුවත

දවසක් නැන්දෙක් මට කියාපි "දුවේ ඔයා ඉන්න විදිහට මං මෙච්චර කල් හිතං හිටියෙ හරි අහිංසක සුකුමාල කෙල්ලෙක් කියල, බලද්දි ඔයා කො...
28/09/2025

දවසක් නැන්දෙක් මට කියාපි

"දුවේ ඔයා ඉන්න විදිහට මං මෙච්චර කල් හිතං හිටියෙ හරි අහිංසක සුකුමාල කෙල්ලෙක් කියල, බලද්දි ඔයා කොල්ලෙක් වගේනෙ වැඩ" කියල.

මං නිකම් මෙච්චර කල් ඇල් වතුරත් නිමලා බීපු ලයින් එකින් වගේ කතා කලේ.

මං පොඩි කාලෙ ඉඳලම කොල්ලෙක් වගේ.
තැඹිලි වල්ලක් බාන්නෙත් ගස් බඩගාලා.. ඒව එච්චර උස ගස් නෙවෙයිනේ. වහලෙට තියෙන අඹ අත්තෙ අඹ කඩන්නෙත් ගහ දිගේ වහලෙට නැගල.. දවසක් අපෙ අම්මා නැන්දෙක්ගෙං බැනුම් ඇහුවා ළමිස්සියෝ වහල උඩ ඇවිද්දෝනවා කියල.

බොලා කේන්දර විස්වාස කරනවදනං මං දන් නෑ.
අනේ බං මං උපන්නෙ පිරිමි නැකතෙ. ඒ මදිවට මොකෝ සිකුරු හතේ. ඉතිං අවුරුදු 18 විතර ලබපු සිකුරා තාම ඔලුවෙන් බැහැලා නෑ. බහින එකකුත් නෑ.

මගේ තාත්තා නැති උනාට පස්සෙ මළගෙදරදිම, මගේ මාමණ්ඩි මගෙ මස්සිනාට මාව බන්ඳලා දෙන්න මඟුල් යෝජනාවක් ගෙනාවලු, අපෙ අම්මා මට ඔය ගැන කීවෙ මළගෙදර වැඩ සේරම ඉවර වෙලා. මොකද මං එතන කලබලයක් කරයි කියල.

ඒ පාර හත් දවසෙ දානෙ දීලා ඉවරවෙලා ඕං රෑ කස්ටියම සාකච්ඡාව. මාමා මස්සිනාවත් එයාගෙ ලඟින් වාඩි කරං මට වාඩිවෙන්න කිව්වා. අම්මා මට කියල තිබ්බෙ මොක කිව්වත් එයා අදාල උත්තරේ දෙන්නම්‍ ය මට කට අරින්න එපා ය එහෙම කරල නෑදෑකම් නැති කරගන්න බෑය කියල. මං ඉතිං සාන්ත දාන්ත විදිහට වාඩිඋනා කියමුකො.

"නංගිට දැං ඉතිං මේ ඔක්කොම තනියම කරගන්න බෑනෙ, තව ඉතිං තරූට ඉගැන්නුවයි කියල මොකෝ විස්සවිද්‍යාලෙ යවලා ඉංජිනේරුවෙක් කරන්නයැ. අපේ පුතාට ඉතිං රජයේ රස්සාවකුත් තියෙන එකේ මේවා හොඳ විදියට බලල ඉවරයක් කරලා දාමු."

හප්පටබොල යකූ ඒක ඇහුවා විතරයි මගෙ කන් දෙක රත්වේගන ආවා. මං අම්මා දිහා බැලුවාම අම්මා මට පොඩි ඉඟියක් පෑවා.

"නෑ අයියෙ දැම්මනං බන්ඳන්න කල්පනාවක් නෑ. මට ඉතිං මෙයාව බලාගන්න බැරිකමක් නෑනෙ. අනික එයාගෙ තාත්තගෙ ආසාවත් එයා ඉංජිනේරුවෙක් වෙනව දකින එකනෙ, මං ඒක කොහොම හරි කරන්න ඕනෙ."

අපෙ අම්මා කතා කලේ හරි පරිස්සමෙං.

"නංගි ඒ කාලෙ වගේ නෙවෙයි දැං හරි වියදම්. උගන්නනවා කියන එකට කොච්චර සල්ලි තිබ්බත් මදි, ඒ නිසා."

යැයි යැයි ගගා දැං මාමා දෙසාබානවා. දැං එයාට ඕනෙ කොහොම හරි මේක කරල දාන්න. මේ මඟුල උනාම අහවල් කෙං ගෙඩියක් එයාට ලැබෙනවටද කියල මට එදා තේරුණෙත් නෑ, අද තේරෙන්නෙත් නෑ.

දැං ඕං අන්තිම වෙද්දි ඔතන ඉන්නෙ මස්සිනයි මාමයි මායි අම්මයි විතරයි හොඳේ.
බැරිම තැන මං නැගිට්ටා.

"අයියෙ මට ඔයා එක්ක තනියෙන් කතා කරන්න පුලුවන් ද?"

කියල මං ඇහුවා. ඌ ඒකටත් අවසර ගන්න වාගෙ හැරිලා මාම දිහා බලාපි.

'අනේ ගොං වස්සො මං කොහොමද බොල තෝ|ත් එක්ක ඉන්නෙ'
කියල කියන්න හිතුනත් මං කිව්වෙ නෑ.

ඕං මාමා ඉඟි කලාම මූ නැගිටලා ආවා.

"අයියෙ, මොකද්ද මේ මාමා කියන්නෙ? ඔයාට ඕනෙද මාව බඳින්න?"

ගල් බමුණෙක් වාගෙ මූ අහක බලාගත්තා.

"මේ ඕ|යි මං දිහා බලනවා."

මං ඒකගෙ නිකටෙං අල්ලල මගෙ පැත්තට හැරෙව්වා.

"ගො|නෝ, මං තමුසෙගෙ නංගිනෙ ඕයි. මට නං බෑ තමුසෙව බඳින්න. "

මං කිව්වා.

"මට හොඳ රස්සාවක් තියෙනවනේ, මාමා නැති උනාට මට පුලුවන් ඔයාව බලාගන්න."

මේකා හෙන ගැම්මෙන් කියාපි..

"බලාගන්න මං බල්ලෙද්ද, අනික ඉතිං බඳින්නම ඕනයැ මාව බලාගන්න, මාස් පතා මට කීයක් හරි දෙනවා ඉතිං ඔච්චරටම ඕනෙනං."

දැං මූ හෙන අන්දුන් කුන්දුන්..

"මේ අයියෙ, ගිහින් මාමට කියනවා තමු|සෙට මාව බඳින්න බෑ කියල, අපෙ අම්මා මොකටද ඔච්චර එයාට උත්තර බඳින්නෙ? තමු|සෙ ගිහිං මේක විසඳනවා නැත්නම් මං කොල්ලො දම්මල තමුසෙගෙ කකුලෙ ඇඟිල්ලක් හරි කඩ|ල තමා පස්ස බලන්නෙ. "

මං අන්තිම හරිය කිව්වෙ දබරැගිල්ලත් දික් කරලා.
දැං මූ ඇස් දෙක ලොකු කරගෙන මං දිහා බලන් ඉන්නවා. මගේ මේ සයිඩ් එක මස්සිනා කවදාවත් දැකල නෑ.

"කොල්ලො කීවෙ?"

මූ අහපි.

"ඇයි මගේ එක වසරෙ ඉඳං පහේ පංතියට වෙනකම් හිටපු ඉස්කෝලෙ යාලුවො සෙට් එක."

මට කොහොමත් ගෑණු යාලුවො ඉඳල නෑ. උන්ට එදා ඉඳම්ම මාව සෙට් වෙන්නෙ නෑ, හිටියත් හෙන පොඩ්ඩයි. බොක්කෙම උන් ටිකක් විතරයි.

එදායින් පස්සෙ කවදාවත් මාම ඔය ගැන කියල අපෙ අම්මට කරදර කරේ නෑ..

මාමා මැරිච්ච දා නැන්දා අඬාගෙන ඇවිත් මට කීවෙ, මාමා ඉස්සර ඉඳම්ම මාව ලේලි කරගන්න බලං උන්නෙ මට හරි ආදරේ නිසා කියලා. ඒත් මස්සිනා එදා ගෙදර ඇවිල්ලා කිව්වලු

'යක්|සණියක්ව කසාද බැඳල ජීවිතේම දුක් විඳින්න බෑ' ය කියල.

මනමාලයෙක් නැතුව මඟුලක් ගන්න බැරි නිසා ඕක ඔහොම්ම නැවතුනා මදැයි.

දැං මස්සිනාට හරී ලස්සන, කීකරු නෝනෙක් ඉන්නවා. බල|හං මං නිසානේ උගේ අඳුරු වෙන්න ගිය අනාගතයට දැං අම්ම|ටසිරි වෙන්න කිරි උතුරල තියෙන්නේ.

එදා අපේ අම්මට තිබ්බා මාව රජයේ රැකියාවැති මස්සිනාට දීලා නිදහස් වෙන්න. හැබැයි මට උගන්නන්න ඕනෙ කියන අදහසයි, ආදරයක් නැතුව කසාදයක් බන්ඳන් නෑ කියන තීරණයයි එයා ලඟ තිබුන නිසා මං බේරුණා.

මං කවදටත් බාහිර ලෝකෙට සුරතල්, සුකොමළ තරුණියක් උනේ නෑ.. මං හරි තද, වේගවත්, තියුණු, බහුකාර්ය, විටක පිරිමි චරිතය පවා රඟපාපු එකියක්.

ඒත් සමහර කොල්ලො හිටියා කී වතාවක් කාලි චරිතෙ රඟදක්වල පෙන්නුවත් පස්සෙං එන එක නවත්තපු නැති...

අත්තම්මා නං කීවෙ

'උඹේ සිකුරු 7 නිසානේ ඔය'

කියල..

මගේ මනුස්සය නං කියන්නෙ

'උං ඔක්කොම බේරුණා'

කියල..

අපෙ අම්මත් අයියට නිතර දෙවේලෙම කියන්නෙ

'පුතේ ඔයා නිසාම මෙයත් එක්ක ඉන්නවා. වෙන නං සම්මජ්ජාතියේ එකෙක් ඉන්නෙ නෑ'

කියල.

~TanTales දුඹුරුවත~

ජීවිතේ කවියා 35මෙහි එන පුද්ගලයන්, ස්ථාන හා සිද්ධි සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න..--------------------------------...
28/09/2025

ජීවිතේ කවියා 35

මෙහි එන පුද්ගලයන්, ස්ථාන හා සිද්ධි සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න..
------------------------------------------------------------------------

ලියුම බලනවත් එක්කම මං ඉස්සරහ පඩිය උඩ වාඩි උනා... වාඩි උනා නෙවෙයි මාව ඉන්ද උනා...

ඉවරයි ! සේරම ඉවරයි !

"ඇයි මොකද ?"

එයා මගෙ අතින් කොලේ උදුරල ගත්තා...

මං ඔලුව උස්සල එයාගෙ මූණ දිහා බලාගෙන හිටියා... මට පෙනුනා එයාගෙ මූණෙ ඉරියව් ටික ටික වෙනස්වෙලා යනවා, ඒත් අන්තිම හරියෙදි මට එයාගෙ මූණෙ හැඟීම් කිසිම දෙයක් නොපෙනී යන මට්ටමට මගෙ ඇස් වල කඳුලු පුරෝ දාල ගිහින් තිබුනා...

"අනේ අයියේ..."

මට උන් හිටි තැන් අමතක වෙලා ගියා... මං කවි අයියව බදාගෙන හයියෙන් ඇඬුවා... එයා මොනවත්ම කිව්වෙ නෑ, මගෙ ඔලුව අතගෑවා විතරයි...

"අනේ අයියෙ මොනාහරි කියන්නකෝ.."

"මට නිකම් බොරුවට එක එකේවා කියල ඔයාගෙ හිත හදන්න බෑ ඕයි, ඉංජිනියරින් යන්න නං මදි වෙයි, ඒත් මේක ගියපාරට වඩා සෑහෙන්න හොඳ රිසල්ට් එකක්..."

"මං කොහොමත් ඒක දන්නවා අයියේ..."

අම්මයි අත්තම්මයි එනව ඇහිලා මං එයාගෙන් ඈත් උනා...

"ආ කවී පුතා ආවද? කොහොමද තරූගෙ ප්‍රතිඵල? මොකෝ මේ අඬන්නෙ? ඈ පුතේ? කියන්නකො ඉතිං... ඇයි ගිය පාරටත් වඩා අඩුද?"

අපෙ අම්මගෙ මූණ මොකද්දෝ එකක් වේගන එනව දැකල මට බය හිතුනා... තප්පර ගානක් ඇතුලතදි අම්මගෙ මූණ සුදුමැලි වෙලා යනව මං දැක්කා..

"නෑ නෑ අම්මෙ මේ පාර හොඳයි, මේ බලන්නකො"

මං ටග් ගාල කොලේ දික්කලා...

"ආ ඔව්නේ මේ 'ඒ' එකකුත් තියෙන්නෙ..."

මට මදි උනාට එයාට නං ඇති වාගෙ... අත්තම්මගෙනං ඉහේ මලකුත් පිපිලා ගානට හිනාව...

"කෙමිස්ට්‍රි නිසා තමයි තරූට ප්‍රශ්නෙ වෙලා තියෙන්නෙ නැන්දෙ..."

"පේරාදෙණියටවත් බැරි වෙයිද පුතේ?"

හහ්... දැං කව්ද කාවද පේරාදෙණියෙ යවන්නෙ? අක්කර 946 ක භූමි භාගය බලන්න, හන්තානේ තනිවෙන්න, මහවැලි ගඟ දිගේ ඇවිදින්න මාව යවයිද ඔහෙ... ඒව කලිම්ම කියලනෙ තිබ්බෙ... යවන්නෙ නෑ දුර වැඩී කියල...

"කලබල නොවී ඉමුකො... හොඳට හොයල බලල, කල්පනා කරල හොඳ තීරණයක් ගමු..."

කවි අයියා තීරණාත්මක හඬකින් කිව්වා...

මං එදා රෑ ගෙව්වෙ කලුවරේ, එක ආලෝක කිරණක් පවා මගෙ ඇස් දෙකට වෙහෙස ගෙනාවා... ඇඬූ කඳුලින් මගෙ කොට්ටෙ පෙඟිල ගියා...

"පුතේ, සමහර දේවල් තියෙනවා අපි කොච්චර උත්සාහ කලත් කවදාවත් අපිට ඒ දේවල් ලබාගන්න වෙන්නෙ නෑ... ඒවා එහෙම වෙන්නෙ ඒව අපිට හිමි නැති නිසා... අම්මා තාත්තා පවා අපිට ලැබිල තියෙන්නෙ ඒවා අපිට හිමි දේවල් නිසා, ඒ විතරක් නෙවේ ඉස්කෝලෙ, කැම්පස් එක, උපාධියක්, රස්සාවක්, ගෙයක්, වාහනයක් ඒ වගේම අනාගත සහකාරයා ඒ හැම දෙයක්ම ලැබෙන්නෙ ඒවා අපිට දෛවය අනුව හිමි දේවල් නිසා... හිමි විය යුතු නෑ කියල දෛවයෙන්ම තීරණය කරල තියෙන දේවල් කවදාවත් අපිට හිමිවෙන්නෙ නෑ.. ඉතිං අපි දැනගන්න ඕනෙ ලැබෙන දේ අනුව හොඳම විදියට අපේ ගමන යන්න...

හැබැයි පුතේ මෙන්න මෙහෙම දේකුත් තියෙනවා... සමහර විට ඔයාට වඩා ලොකූ ප්‍රතිඵල අරං මොරටුවෙ ගිහින් ඉංජිනේරුවො උන අය දවසක ඔයාට පහළින් ඔයාගෙ පඩියට වඩා අඩු පඩියකට වැඩ කරන්නත් ඉඩ තියෙනවා... ඒ හරිය තියෙන්නෙ ඉතිං ඔයාගෙ අතේ තමා, දක්ෂයා නවත්තන්න ඒ ලෙවල් වාගෙ විභාගෙකට බෑ පුතේ... ඒක හොඳට මතක තියාගන්න "

අම්මා කලුවරේ මගෙ ඔලුව අත ග ගා කියාපු හෑල්ල සේරම මට ඒ විදියටම මතක නෑ... ඒත් එදා ඔන්න ඔය ටික මගෙ පපුවටම කිඳා බැස්සා...

අද මං මගේ ජීවිතේ දිහා ආපහු හැරිල බැලුවම මට අම්මා කියාපු වචනයක් වචනයක් ගානෙ හෙන ගහන ඇත්ත නේද කියල දැනෙනවා...

මට මෙතන පොඩි අතුරු කතා කෑල්ලක් ලියන්න හිතෙනවා බොලව්....,

ඕං පස්සෙ කාලෙක යම්කිසි ආයතනයක මං ටිකක් ලොකු තනතුරක නිලතලයක් දරාන ඉන්නවා. ටිකක් ලොකු කිව්වෙ මගෙ යටතෙ ටීම් එකක් හිටියා, මට සෑහෙන්න වගකීම් තිබුනා... ඉතිං දවසක් මගෙ ඔෆිස් එකේ මං බලන සෙක්ශන් එකට ඩිසයින් ඇන්ඩ් ඩිවලොප්මන්ට් ඉංජිනේරුවෙක් ඕනෙ වෙලා ඉන්ටර්විව්ස් වගයක් කරන්න වාඩි වෙන්න උනා මටත්... ශෝට් ලිස්ට් කරපු අය අතරෙ මෙන්න යකූ මගේ ඉස්කෝලෙ මගේ පංතියේ මගේ යාලුවෙක් ඉන්නවා කියහංකු...

ඇයි එයා මේකට එන්නෙ ඇහුවම කිව්වෙ කලින් තැන පඩි මදි, කිසිම දියුණුවක් නෑ කියල... මං කොහොම හරි අනික් ලොක්කොන්ට ටෝක්ස් පාර දාල මේකිව රස්සාවට ගත්තා, මොකද කෙල්ල ඇත්තටම හරිම දක්ෂයි, ඒ කාලෙ ඉස්කෝලේදිත් සෑහෙන මට්ටමක හිටියා... ඉතිං මට විස්වාසයක් තිබ්බා එයාගෙ වැඩ ගැන... මොනව උනත් හොඳ ඉංජිනේරුවරියක්නෙවැ... එතන උන්න අනික් උන්ව මට එච්චර ඇල්ලුවෙත් නෑ...

ඉතිං කෙල්ල රස්සාවට ඇවිල්ල ටික දවසකින් අපි තේ එකක් බොන්න සෙට් උනා... එයාටයි මටයි සෑහෙන්න වැඩ තිබ්බ නිසා හරිම කලාතුරකින් තමයි අපි එකට තේ එකක් බිව්වෙ... අපේ ආයතනයේ එක දෙයක් තමයි එකිනෙකා එකිනෙකාගෙ සැලරි ගැන දන්නෙ නෑ.. ලොකුම උඩම ඉන්න කීපදෙනෙක් ඇරෙන්න අනික් උන් අතරෙ ඒවා කොන්ෆිඩෙන්ශල් රහස්...

ඒ උනාට මොකද මේකි තේ බොන ගමන් කියාපි,

"අනේ තරූ මට දැං තමා මේ වාගෙ හොඳ පඩියක් හම්බෙන්නෙ, ඉස්සර මං ගත්තෙ මේං මෙච්චරයි, දැං මේං මෙච්චරක් හම්බෙනවා" ය කියල....

ආං එදා ඒං ඒ මොහොතෙදි මට මගේ මෑණියන් සිහිපත් උනා,

ඔව් අම්මා හරි... ඒ ලෙවල් පාස් උන පළියට සීයට සීයක්ම ඒකෙන් අපේ ජීවිත තීරණය වෙන්නෙ නෑ...

ඕං ඔය උඩ කීව විභාග ප්‍රතිඵල ආ දා ඒ අඳුරු මූසල රාත්‍රියේ නිරපරාදේ මගේ ඇහෙන් ගැලූ කඳුළු ගැන ලොකු වේදනාවක් ආවා... මං වෙනුවෙන් පෙඟී ගිය කොට්ටෙ ගැන ලොකු දුකක් ආවා...

ඇඬුවෙ අපරාදේ කියල මට හිතුනා..

එයා ගත්තෙ මට සාපේක්ෂව අඩු පඩියක්, ඒ වගේම දරාපු තනතුර සහ වගකීම් අනුවත් මං හිටියෙ උඩින්... එකක් ඒ මං එයාට වඩා එතන පරණ නිසා... අනික මගෙ කැපෑසිටි එක වැඩි නිසා...

මං කවදාවත් ඔය දේවල් කා එක්කවත් සසඳල බලල නෑ... විශේෂයෙන්ම යාලුවෙක් එක්ක නොකරනම දෙයක් ඕක...

ඒත් එදා මනුස්සයෙක් විදියට මං මටම සමාව දීගත්ත දවසක් ! ඉංජිනේරුවෙක් නොවුනාට කමක් නෑ කියල මං මගෙ හිත හදාගත්ත දවස තමයි ඒ... මට එදා මගෙ අම්මා කියාපු දේ හරි කියල තේරුණ දවස තමයි ඒ... මට මං ගැන ආත්ම විස්වාසයක්, ගෞරවයක් දැනුන දවස තමයි ඒ... ඒ වෙද්දි මං මගේ වෘත්තීය තුළින් යන්න බලාපොරොත්තු උන ලොකු දුරක් ගිහිල්ලයි තිබ්බෙ...

හදිස්සි තීරණ අරං ඩෝං ගාල එතනට සමුදීලා ඉගිල්ලිලා නොඑන්න අද මං ඒකෙ....

එක්කෝ ඕනෙ නෑ... මොකටද ඒ හරිය...

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

"මෙහෙමයි ඕයි, ඉංජිනියරින් නැතුවට ඔය රිසල්ට්ස් වලින් යන්න පුළුවන් මොරා තව කෝසස් ඕනෙ තරම් තියෙනවා... හැබැයි ඒක නෙවෙයි නේද අපි දෙන්න ගන්න ඕනෙ තීරණය? අපි කවදහරි රට යන්න ඉන්න නිසා ඒ ගැන හිතල ඕනෙ අපි ඩිග්‍රියක් තෝරගන්න, එහෙම නැතුව මං මොරා ඉන්න නිසාවත්, ඉංජිනියරින් වලට පහළින් ඊලඟට තියෙන එක කියලවත් හිතල නෙවෙයි... තේරුණාද?"

කවි අයියා හෙන සීරියස් කතාවක් කරගෙන ආවා...

"දුර යවන්නෙත් නෑනෙ නේ?"

මං එහෙම ඇහුවම ඔන්න ඒ පාර එයාට ලොකු හිනාවක් ගියා...

"ඔව් ඉතිං මං කොහොමද එතකොට නිතරම බලන්න එන්නෙ? මොරා නාවයි කියල කොහොමද නොදැක ඉන්නෙ? ඔයා ඉන්න තැනකට මං එන්න එපැයි..."

"කලම්බු කැම්පස් ?"

"ආ ඒකෙ නේද අර කල්හාරද මොකාද ඉන්නෙ? අර ඔයාගෙ ලව් එක... ඔයා ඒකට ගියොත් මට හුළං තමයි.."

"අපෝ මාව එච්චරටම විස්වාස නැද්ද?"

"ඔයාගෙ හිත පොඩ්ඩක් හරි හොල්ලන්න පුළුවන් වෙච්ච කොල්ලෙක්නෙ ඌ... මං මොකටද නිකං රිස්ක් එකක් ගන්නෙ?"

එයා එහෙම කියල මං දිහා හොර බැල්මට් එකක් දැම්මා...

"අපෝ ඔව් ඔව් වෙන කොල්ලො එක්ක යන්නනේ මං මේ ඉස්පිරිතාල බැම්මවල් ගානෙ නොකා නොබී තැපගෙන උන්නෙ... මොරටු යන්න බැරි උනාම නිදා නොගෙන එලිවෙනක්ම් ඇ‍ඬුවෙ... අනේ මං යනවා යන්න.. ඔයා මෙලෝ රහක් නෑනෙ... මගේ ජීවිතේ ගන්න හදන වැදගත්ම තීරණයක් මේක...අඩුගානෙ ඔහොම ගොං කතා නොකිය ඉන්නකො අනෙ අයියෙ..."

"විහිලුවක්නෙ කරේ... හරි හරි ඔයා ඉන්නකො... ඔය මොකවත් නෙවෙයි මං ඔයාට හොයල දෙන්නම්කො හොඳම ඔප්ශන් එක... මේ දවස් වල මං සේරම කැම්පස් කෝසස් ටික හොයාගෙන ඒවා ගැන එකින් එක හොයල බලන ගමං ඉන්නෙ... අවුරුදු හතරක් ඉවර උනාට පස්සෙ හොඳ ඔපචුනිටීස් තියෙන ඩිග්‍රි එකක් වෙන්නෙපැයිනේ... හොඳ රස්සාවක් කරන්න පුළුවන් තරම් ඒ ඩිග්‍රිය හොඳ වෙන්නෙපායැ... තාවකාලික සතුට බලල බෑනෙ නේද?"

ඇත්ත... එක අතකට අවුරුදු හතරක් එයා ලඟ ඉන්න ඕනෙකමට මොකක් හරි ඩිග්‍රියක් කරල වැඩක් නෑනෙ. අනාගතේට වැඩක් තියෙන්නත් ඕනෙ, මං ආස දෙයක් කරන්නත් ඕනෙ..

හ්ම්ම්ම්... මෙව්වට තමා කියන්නනෙ අහස පොළොව ගැටලන්න කල්පනා කරන්න ඕනෙ ප්‍රශ්න කියල...

"මේ ඒක නෙවෙයි දැං කෝ අර තැඹිලි බන්දුවා... එන්න කියන්නකො බලන්න ගෙවල් දොරවල් බලං ඉන්න බිරිඳක් හොයාගෙන... ආ අර කිරිමණ්ඩලේ වැඩ කරන දුවගෙ අම්මා එහෙම හොඳින් ඉන්නවද දන්නෑ?"

කවි අයියා එහෙම ඇහුවම මට බකස් ගාල හිනා ගියා...

"මං නං කියන්නෙ කවදහරි ඔයා ඔය කිරිමණ්ඩලේ සල්ලි දීලා ගන්න ඕනෙ..."

"එහෙම කියන්න එපා අයියෙ පව් ඒ මිනිස්සු...මං ඔය කවුරුත් කියපු කරපුව පස්සෙන් පන්නං යන කෙනෙක් නෙවෙයි... ඒ එයාලගෙ දැනුමෙ මට්ටමටනේ දේවල් දකින්නෙ, කියන්නෙ..."

මගේ බලාපොරොත්තු අහස උස එව්වා උනාට අනික් අයට අනුව මං දැනටමත් හිටියෙ අහස උඩ තමා...

මට මේ ප්‍රතිඵල වල අඩුපාඩු පෙනුනට මොකද සාපේක්ෂව ගත්තම මං හොඳටම පාස් !

මගෙ කෙල්ලට රත්නත්තරයේ පිහිටයි කියල අත්තම්මා මගෙ ඔලුව ඉම්බ හැටි මතක් උනා...

"ලොකු නෝනෙක් වෙන්ටෝනෙ, ලොකු කාරෙකකින් ඇවිල්ලා ගමට බහින්ටෝනැ"

අත්තම්මගෙ සිහිනෙ තමා ඕක... මිනිපිරී ගැන උදම් අනන්න, ගමේ ඔක්කොටම උජාරුවට කියවන්න...

එයාගෙ ආඩම්බරේ ඉතිං මංනේ...

ඉංජිනේරු නෝනෙක් වෙන්න හිතාගෙන උන්න මට දැං හිතාගන්න බෑ අන්තිමේදි මං මොකෙක් වෙයිද කියල...

කැම්පස් එකකට යන එක විතරයි දැං ඉතිං මගෙ අරමුණ...

මොන තරම් හිනාවෙලා මං ඉස්සරහ හිටියත් කවි අයියට බැරි උනා එයාගෙ හිත ඇතුලෙ තිබ්බ දුක මගෙං හංඟන්න... සැරින් සැරේ ඒ වේදනාව මං එයාගෙ හිනාවෙන්න උත්සාහ කරපු ඇස් ඇතුලෙන් දැක්කා...

හැබැයි මං දන්නවා ඒ වේදනාව මං මොරටුවට නොඑන නිසා ආපු එකක් නෙවෙයි...

එයා දන්නවා මං ඉන්න ඕනෙ කොතනද කියල... එදා ඉඳං මගෙ ජීවිතේ ආපු හැල හැප්පීම් නිසා, ජීවිතේ ලොකුම කඩ ඉම් ගාව වැටිල මං අඬන්නෙ ඇයි කියන එක එයා හොඳටම දැනගෙන හිටියා...

ජීවිතේ කවියා 34මෙහි එන පුද්ගලයන්, ස්ථාන හා සිද්ධි සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න..--------------------------------...
27/09/2025

ජීවිතේ කවියා 34

මෙහි එන පුද්ගලයන්, ස්ථාන හා සිද්ධි සියල්ල මනඃකල්පිත බව කරුණාවෙන් සලකන්න..

----------------------------------------------------------------------

"අනේ දෙයියනේ මේ කොල්ලා කෝ?"

මං පිස්සියෙක් වගේ එහෙ මෙහෙ දිව්වා.

කවි අයියව දැඩිසත්කාර ඒකකයට ගෙනිහින් තිබුනා. එයාගෙ ඇඟ පුරාම රතු පාට පලු දාලලු. අනේ මට එයාව කොච්චර බලන්න ඕනෙ උනත් මට එයාව බලන්න හම්බුනේ නෑ.

එයාගෙ ගෙදර අයට ඇරෙන්න වෙන කාටවත්ම ඇතුලට යන්න දුන්නෙ නෑ...

ඒත් මං ඉස්පිරිතාලෙ බැම්ම උඩට වෙලා ඉන්න එක නැවැත්තුවෙ නෑ... ඉස්පිරිතාලෙ ඇතුලෙ උන්න නර්ස් අක්කලාගෙන් මං සැරින් සැරේ ගිහින් අප්ඩේට්ස් ගත්තා...

"දරුවො ඔයාට තිබ්බෙ එයාව කොහොම හරි කසාද බඳින්න..."

" අත්සන ගහල තිබ්බනං ඇතුලට යවන්න තිබ්බා, ඔයාගෙ අයිතියනෙ ඒක එතකොට..."

ඒ වෙද්දි එයාල මගෙ තත්වෙ තේරුම් අරං තිබුනා...

අන්තිමේදි මං පැපොල් ගහෙන් හදාපු බේතක් අරං ගිහිල්ලා නැන්දට දුන්නම නැන්දා ඒක කවි අයියට දෙන්න බෑ කිව්වා... හැබැයි මං කිසිම වෙලාවක මට එයාව බලන්න ඕනෙ කියල ආයාචනා කරන්න ගියෙ නෑ...

මං ඉස්පිරිතාලෙ බැම්මට වෙලා තනියම ඇඬුවා...

ප්ලේට්ලට් එන්න එන්නම බහිනවා කියල නර්ස් අක්කෙක් මට කිව්වට පස්සෙ මං පැපොල් බේත අරං ගියා ඩොක්ටර් අයියව හම්බෙන්න...

"අයියෙ කවි අයියට මං බෙහෙතක් ගෙනාවා.. නැන්දලට නොකියා මේක එයාට දෙන්න පුළුවන්ද?"

ඩොක්ටර් අයියා දැනගෙන හිටියා අපේ පරම්පරාවෙ වෙදකම් ගැන...

"හරි අපි එහෙම කරමු..."

ඒත් ඩොක්ටර් අයියා එහෙම කියල ඒක අරං ගියෙ මගෙ හිත හදන්න කියලමයි මට හිතුනෙ.

ඒත් නොහිතපු විදියට එදා රෑ මට ඩොක්ටර් අයියගෙන් කෝල් එකක් ආවා...

"නංගි හෙට උදේම ඔයාගෙ අර බේත ආයෙ ගේන්න පුළුවන්ද? හැබැයි කාටවත් කියන්න එපා..."

ප්‍රාතිහාර්යයක් වගේ එයාගේ ප්ලේට්ලට් වැඩිවෙන්න අරං තිබුනා... !

දෙවේලක් බොද්දි රතු ලප අඩුවේගෙන ගියාලු... හැබැයි ඩොක්ටර් අයියා ඇරෙන්න වෙන මොකෙක්වත් දැනගෙන හිටියෙ නෑ මොකද්ද හේතුව කියල...

කොහොමින් කොහොම හරි එයාව වාට්ටුවට ගේනකම්ම මට නිවනක් තිබුන් නෑ...

"ඇයි ඔයා මාව බලන්න නාවේ?"

මාව දැක්ක ගමම්ම එයා එහෙම ඇහුවම මට ඇඬුනා...

'ඒක බොලාගෙ අම්මගෙන් තමයි අහන්ටෝනෙ'

කියල ක්ෂණයකින් මට හිතුනත්...,
සැනෙකින් මගෙ හිත වෙනස් උනා...

එයා ජීවත් වෙලා ඉන්න එක ගැන මං දෙවියන්ට පිං දුන්නා. තාත්තත් නැති මට හයියකට කියල ඉන්නෙ මේ කොල්ලනේ...

නැන්දා හොස්ස නොස්ස ගහද්දි මට තව දුරටත් එතන ඉන්න ඕන උනේ නෑ...

"කවි අයියෙ මං ගිහින් එන්නං..."

මං එයාගෙ අතින්වත් අල්ලන්නෙ නැතුව, හිතේ පිරිලා තිබ්බ දුක වේදනාව සහ අනික් හැම හැඟීමක්ම හිර කරගෙන ආපහු ගෙදර එන්න ආවා...

ඉස්සරහ පඩිය උඩට වෙලා මං කල්පනා කලේ අපේ අනාගතේ ගැන... මොනව වෙයිදෝ කියල දෙගිඩියාවක් මට නොතිබ්බා නෙවෙයි..

"දැං ඉතිං මූණ එල්ලං ඉන්න දෙයක් නෑනෙ පුතේ..."

අම්මා මං ගාවට ඇවිල්ලා ඔලුව අතගාන්න ගත්තා...

"අනේ මංදා අම්මේ, මට තේරෙන්නේ නෑ කවි අයියලගෙ ගෙදරින් අපිට කැමැත්ත දෙන්නෙ කවදද කියල... දවස් ගානකින් පස්සෙ මැරිල ගොඩ ආවට මොකද, මට ඒ මනුස්සය ගාවට යන්නවත් උනේ නෑ... හිතන්නකො මගෙ තත්වෙ..."

අම්ම මං දිහා බලාන් උන්නා විතරයි, එයා වචනයක්වත් කතා කලේ නෑ...

පහුවදා ඉස්පිරිතාලෙට යන්න බස් එකේ නැග්ගමයි දැක්කෙ කවි අයියලගෙ අම්මත් ඒ බස් එකේම ඉන්නවා..

'අද කෝ කාරෙක, මොකෝ දන්නෑ බස් එකේ'

එයා මාව දැක්කත් නොදැක්ක වගේ ඉන්න උත්සාහ කලා... මං ඉතිං උලමා වගේ දැක්ක තැන හිනාව දාගෙන යනවනේ, හිනාවේගන යන්න ගිහින් නිකං සවුත්තු උනාද මංදා. නැන්දම්මාට උනත් පදිරි වෙන්න ඕනෙ උනේ නෑ කියල තඩි බොරු කියන්න මට ඕනෙ නෑ. රත්තරං ටිකට කවි අයියව හදාපු අම්මට පදිරි වෙන්න මං දෙපාරක් හිතුවෙ නෑ... ඉතිං මං හිනාවෙන්න හැදුවා.... ඉතිං උත්සාහ කරල බැලුවා... ම්හු, උඩරට හාමිනේ පළාතක් බැලුවෙ නෑ...

ඉස්පිරිතාලෙ ගාව සෙනග ඔක්කොටම බහින්න ඉඩ දීලා මගෙ නැන්දම්මා දොර ගාවට වෙලා හිටියෙ අන්තිමට බැහැගන්න වෙන්න ඇති. එයාව පෙරලගෙන මට බැහැලා යන්න බැරිකමට මං එයාගෙ පිටිපස්සෙන් හිටගෙන බලාගෙන හිටියා... කොහොම හරි අන්තිමට බහින්න උනේ මට..

"ඉක්මන් කරන්න... ඉක්මන් කරන්න..."

කොන්දා කෑගහන අස්සෙ මං කකුලක් පල්ලෙහාට තියන්න හදනකොටම මළ උලව් බස් එක ඇද්දුවා කියහංකො... මං ආපහු කකුල උඩට ගත්තා...

"බහිනවා..."

මං කෑගැහුවා...

ඒ සද්දෙට පස්ස හැරිල බලල

"දුවේ ඒ ඒ...අපොයි..."

කියාගෙන මේං බොලේ මගේ නැන්දම්මා බස් එක පස්සෙන් දුවන්න ගත්තා... ඔසරිය ඇඳලා ස‍ංවරව උන්නට මොකෝ මගෙ නැන්දම්මා පට්ට ඇක්ටිව් ඒ වගෙම පට්ට කෑල්ල...

ඔව් ඇත්තටම එයා හරි ලස්සනයි, සොඳුරුයි ඒත් මේ වෙලාවෙ එයා ඇතුලෙ සැඟවිලා උන්න සැර වදන්..., උස් හඬින්..., සං සං ගාල එළියට පැන්නා...

කොහොම හරි එයාගෙ කෑගැහිල්ලට තමයි බස් එක නැවතුනේ... කොන්දටයි ඩ්‍රයිවර් ගොයියටයි හොඳ එකෙං අමතලා...

"ළමයගෙ කකුලකටවත් මොනාහරි වෙලා තිබ්බොත් මං මේක බලාගන්නංකො"

කියල දබරැඟිල්ලත් දික්කරලා, මගෙ අතිනුත් ඇදගෙන කියෝ කියෝ ටිකක් දුර ඇවිදගෙන ආවට පස්සෙ තමයි නෝන හාමු පියවි සිහියට ආවෙ...

ඔන්න ඒ පාර ටග් ගාල මගෙ අත අතෑරියා...

එයා ඇදගෙන ඇවිල්ලා තිබ්බෙ චූටි කාලෙ ඉඳං දන්න තරූව මිසක් එයාගෙ පුතා යාලුවෙලා ඉන්න ගෑණු ළමයව නෙවෙයි කියල මට තේරුම් ගන්න පුළුවන් තරම් මට්ටමකට මගෙ මොළේ වර්ධනය වෙලා තිබුන එක ගැන මට සැනසීමක් දැනුනා...

"ඒ වගේ වෙලාවට බස් එකෙන් පනින්න හදන්න එපා ළමයො... ඉස්සරහට ගිහින් ඩ්‍රයිවර්ට දෙකක් ඇනල ඕනෙ බස් එකෙන් බහින්න..."

ඒ ටික ඇහෙද්දි මට තේරුණා මගෙ මූණට හිනාවක් ආපු බව...

පුතා කෙසේ වෙතත් නැන්දම්මා නං මගේ ජාතියේ...

අත්ත්ම්මගෙ වචනෙං කියනවනං

'මගේ සැම්පලේ'

අපි දෙන්න සෙට් වෙලා ගමකට උනත් නෙලිය හැකි වෙයි කියල මට හිතුනා...

මෙයා අපෙ අම්මට එහා ද මෙහාද ? ඊලඟට මට ආව ප්‍රශ්නෙ ඕන්න ඕක... තව ඉස්සරහට ටික ටික තේරෙන්නේ නැතෑ.

අපි දෙන්නා කවි අයියා ගාවට යද්දි ලස්සනම ලස්සන නර්ස් නෝනා කෙනෙක් එයා ලඟට වෙලා එයාව අල්ල අල්ල හිටියා...මං එහෙම කිව්වට ඒ නෝනා කලේ එයාගෙ රාජකාරිය...

"නැන්දෙ, අර නර්ස් නං හරි ලස්සනයි නේද? සුදුම සුදුයි. කවි අයියට හොඳටම ගැළපෙනවා..."

"නෑ නෑ නර්ස්ලනං එපා... රෑ තිස්සෙ ගෙදර නැති ලේලියෙක් හරියන්නෙ නෑ අපේ ගෙදරට..."

ම්ම්හ්හ්හ් එතකොට දොස්තරලා...

එයාල හොඳයි, හරි ශෝක්, රෑ වැඩ නෑ?...

මං ඔව්වා කියන්න ගියේ නෑ.. මට මතක් උනා කවි අයිය දවසක් කිව්වා, එයාට අම්ම කිව්වයි කියල දොස්තර නෝනෙක් හොයාගෙන බඳින්න කියල... පරම්පරාවට නම්බුවක්‍ ය, බෙහෙතක් දීලා බලාගනීවිය, හොඳ කාරෙකක් හොඳ පඩියක් ලැබෙන නිසා හොඳය, නිදහස් රස්සාවක් ය...

අනේ මගේ කට...

එදා ඕං මට කවි අයිය එක්ක කතා කරන්න මොහොතක් ලැබුනා...

"අම්මෝ ඉරිසියාව."

"හැම ගෑණිටම සිරික්කිය දාං යනකොට එහෙම තමයි ඉතිං.."

"හරි වැඩක්නෙ, මට රවාගෙන ඉන්නද කියන්නෙ..."

"ඩිම්පල් පේන මට්ටමටම නැතුව යන්තම් හිනාවෙලා බෑද යමක් කරගන්න?"

ඔන්න ඒ පාර වල ගොඩැලි සේරම පෙන්නලා හොඳටම හිනාව එළියට පැන්නා...

ඔය හිනාව දකින වාරයක් පාසා මං කල්පනා කලේ මේ මනුස්සය කවදහරි මට වඩා හොඳ කෙනෙක් බැඳලා සතුටින් ඉන්න ඕනෙ කෙනෙක් නේද මේ කියල...

එයාගෙ සුදු අතේ කටු ගහල නිල් වෙච්ච තැන් මං අල්ලල බැලුවා...

කවදාවත් ඉස්පිරිතාල ගානෙ ගියෙ නැති එකා මං එක්ක යාලු උන දා පටන් දැං කීපාරක් ඉස්පිරිතාල ගානෙද?

~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~~

එදා හවස මට කෝල් එකක් ආවා...

"මේ ඕයි රිසල්ට්ස් ඇවිල්ලා... මං මග එනගමං ඉන්නෙ තාම බැලුවෙ නෑ, කමියුනිකේෂන් එකකින් ප්‍රින්ට් කරගෙන එන්නං"

එයා හිනා උනා...

මගේ පපුව පකිස්තාං වී මෝල වාගෙ වැඩ කරන්න පටන් ගත්තා... වී දැම්මම දහයියා ඉගිල්ලිලා හාල් ටික බාල්දි වලට පිරෙන වේගෙට මගෙ පපුව ගැහෙනවා...

"අම්මේ... රිසල්ට්ස් ඇවිල්ලලු..."

"හානේ ඉතිං කවී බලලද ඔයාගෙ ?"

"තාම නෑ.. අනේ මට බයයි අම්මෙ..."

"පුතා සුනාමියක් මැද ඉඳංනේ ඕක ලිව්වෙ..
ඒ නිසා මොන ප්‍රතිඵලයක් ආවත් හිත හොඳින් බාරගන්න ඕනෙ මගෙ පුතේ...තේරුණාද? ම්ම්ම්?"

අම්මා මගේ ලඟට ඇවිල්ලා මට යමක් මතක් කරල දුන්නා...

"උඹ ඔය කිව්වට හරියනවයැ, තරූ බලාන ඉන්නෙ කවී කොල්ලගෙ විස්සවිජ්ජාලෙටම යන්ටනේ, නැද්ද හා.."

ඇත්ත... අත්ත්ම්මගෙ කතාව සහතික ඇත්ත...

නැත්නම් ටික කලක් යද්දි කවි අයියට මාව එපාවෙලා යාවි... පාලු දැනේවි... වෙන කෙල්ලො පේන්න ගනීවි... මට දැං ඕනෙ ඉංජිනේරුවෙක් වෙනවටත් වඩා මොකක් හරි ක්‍රමේකින් මොරා යන්න... එයා ලඟට වෙලා ඉන්න ක්‍රමයක් හදාගන්න...

අඳුර වැටීගෙන එද්දි ඈත පාර කෙළවරේ මගෙ ඇස් නැවතිලා තිබ්බෙ...

දැං එයි... දැං එයි...

මගෙ හිත කිව්වා...

ඉස්තෝප්පු පඩිය උඩ වාඩිවෙලා ඇස් ජිල් කරගෙන මං එයාගෙ රූපෙ හෙව්වා...

"ළමයෝ ගෙට එන්න මදුරුවො කනවා..."

ඒත් මං ගෙට ගියේ නෑ...

ඒ වෙද්දි මගේ ඔලුව උඩ එක එක සිහින මාළිගා ඉදිවෙමින් තිබ්බා...

අපි දෙන්න එකට කැම්පස් යන හැටි, එකට කන බොන හැටි, ෆිල්ම් බලල බීච් ගිහින් කාල බීල විනෝද වෙන හැටි....

ඊට පස්සෙ කොළඹ රස්සාවක් හොයාගන්න හැටි... ඉඩමක් අරං ලස්සන ගෙයක් හදන හැටි... ඊට පස්සෙ අපේ වෙඩින් එක ගන්න හැටි... ලස්සන කාර් දෙකක් ගේ ඉස්සරහ නවත්තලා තියෙන හැටි... චූටි පැටව් තුන් දෙනෙක්ගෙ අම්මා වෙන හැටි... ඊට පස්සෙ අපි පස් දෙනා රටරටවල් ගානෙ ඇවිදින්න යන හැටි...

රුවක් ඇදෙනවා කව්දෝ එනවා...

ඈත පාර මැද්දෙන් මතු උනේ කවි අයියා...

කලුවරේ උනත් මං එයාගෙ මූණෙ හැඟීම් අධ්‍යයනය කරන්න වෙහෙසුනා....

ඒ මූණත්තහඩුවෙ ලොකූ වෙනසක් තිබ්බෙ නෑ... හැමදාම සතියක් අගදි මාව දැක්කම එයාගෙ මූණට ආරූඪ වෙන මනස්කාන්ත ප්‍රේමණීය හිනාවමයි ඒ...

"ඔයා රිසල්ට්ස් බැලුවද අයියෙ?"

"නෑ.."

"එතකොට?"

"කමියුනිකේෂන් බුවා බලල ප්‍රින්ට් කරල දුන්නෙ... ඔයා බලන්න මුලින්... බලල මටත් කියන්න..."

එයා මගෙ අතේ ලියුම් කවරයක් තිබ්බා...

පුදුමාකාර ඉවසීමක්නේ තියෙන්නෙ මේ මනුස්සයට... මේක අතේ තියාගෙනත් බැලුවෙ නෑ කියන්නෙ...

මාරයි...

මං හරි ආසයි එයාගෙ ආං ඒ ගතියට...

"ඕක කඩල බලනවකො ඉක්මණට... බොහොම අමාරුවෙන් ඕක නොබලා පැය ගානක් ආවෙ ඕයි..."

ඒ නං කෑගැහුවෙ ඉස්සර හිටපු...,
පරණ කවි අයියා...

Address

Colombo

Website

Alerts

Be the first to know and let us send you an email when SandaSena Media posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share