05/11/2025
~ කොල්ලෙක්ට මල් දීලා නෑ ? ~
ඊයෙ දිනුකයියා වැඩ ඇරෙන වෙලාවට මං එතනට ගියා පොඩි වැඩ වගයක් කරගන්න තිබ්බ නිසා..
ඊයෙ තමයි මං පළවෙනි වතාවට තනියම කෝච්චියක ගියෙ.. ඒක හරියට දිනුකයියා මට දීපු ටෙස්ට් එකක් වගේ.. ලංකාවේ වගේ නෙවේ මෙහේ කෝච්චියකින් තව එකකට මාරු වෙනව කියන්නෙත් හරි ලොකු වැඩක්..කෝච්චි වර්ගත් ගණනාවක් තියෙනවා.. හරියට confuse වෙනව සමහර stations වලදි..ගිහිල්ලාම නැති කෙනෙක්ට යන එන මං හොයාගන්න අමාරුයි..
ඒත් එයා රූප ඇඳල පාට කරල මට එවල තිබ්බ එන්න ඕනෙ විදිය, station එක ඇතුලෙ map එක පවා එව්වා..
ඊයෙ තමයි මං මගේ ජීවිතේ වැඩියෙන්ම වේගෙන් යන කෝච්චියක ගියේ..
පොඩි ළමයෙක්ට තනියම කෝච්චියක නැඟල පාරවල් හොයාගෙන යන්න උගන්නන තාත්තා කෙනෙක් වගේ දිනුකයියා බොහොම ඉවසීමෙන් මං එනකම් බලං හිටියා..
මෙච්චර කල් ගිහිල්ලා හරි මට තනියම ගමනක් යන්න පුළුවන් කම ලැබුනනේ කියල මට හීනියට සතුටක් දැනුනා..
ඉතිං කොහොම හරි මං එයාගෙ office එක ගාවට ගියා.. එයාට ලැජ්ජාවක් නොවෙන්න මං ඉතිං මට පුළුවන් ඉස්තරම්ම විදියට ඇඳගෙන ගියා..
ගිය වැඩේ ඉවර උනාට පස්සෙ අපි දෙන්න ටිකක් ඇවිදිමුද කියල එයා මගෙං ඇහුවා.. හවස 5 ට විතර ඇති එතකොට.. අපි දෙන්න ඔහේ ඇවිද්දා, කිලෝමීටර් 5 ක් 6 ක්නං අනිවාර්යයෙන් ඇවිදින්න ඇති.. ඒ ඇවිදින ගමං එයා මට ඒ වට පිට තිබ්බ මං නොදන්න අලුත් දේවල් ගැන කියල දුන්නා..
මගෙ හොඳම යාලුවෙක්ගෙ birthday party එකකට ආරාධනා ලැබිලා තිබ්බ නිසා ඉතිං අපි දෙන්නා ආපහු එන්න පිටත් උනා.. කෝච්චියෙ ආපහු එනකනුත් එයා දිගටම කතා කලා..
සාමාන්‍යයෙන් අපි දෙන්න කොහේහරි යද්දි මං තමයි ඔහේ කියවන්නෙ, එයා හරි අඩුවෙන් කතා කරන කෙනෙක්.. වැඩ විතරයි සද්ද නෑ.. ඒත් ඒක අනික් පැත්ත ගහල තිබ්බා, හැබැයි වල් පල් නෙවේ, කීව හැම වචනයක්ම හරි වැදගත්.. මං හරිම උනන්දුවෙන් අහගෙන උන්නා..
කෝච්චියෙන් බහිද්දි ටිකක් රෑ වෙලා.. ඒ මදිවට සීතලයි.. එතන ඉඳං අපි තව බස් එකක යන්නත් ඕනෙ..
"අපි ස්කූටර් එකක යමුද?"
දිනුකයියා එක පාරටම ඇහුවා.. මෙහෙ ඉලෙක්ට්‍රික් ස්කූටර් පාරෙ තියල තියෙනවා කැමති අයට ගෙවල යන්න පුළුවන්..
"මං කවදාවත් ගිහිල්ලා නෑ.. මට බයයි වැටුනොත්.."
මට ඒකෙ balance එක තියාගන්න පුළුවන් ද කියල මං මගෙම්ම ප්‍රශ්න කලා.. මොකද ඒකෙ යන්න ඕනෙ හිටගෙන..පොඩි ගල් ගෙඩියක්වත් උඩින් ගියොත් ඕක පෙරලිලා වැටෙනවා.. සමහරු එහෙම වැටෙනවා මං දැකලත් තියෙනවා..
"බෑ බෑ මට බෑ.. ඒ මදිවට දැං රෑ 8 ත් පහුවෙලා දවාලක බලමු.."
මං කිව්වා..
"අපි දෙන්නම එකක යමු.."
දිනුකයියා කිව්වා..
"අඩේ.. "
මට කිය උනා..
"ඔයා මගෙ බඩ වටේට අත දාල හයියෙන් අල්ලගන්න.. හරිද?"
හෑ.. මූ යකූ මේ අගේට මෙතනිම්ම බස් එකේ නැගල ආතල් එකේ සුපර් මාකට් එක ලඟ බහින්න පුළුවන් එකේ මොකට දඟලනවද කියල මං කල්පනා කලා..
"ඔයා දෙන්න දාල පැදල තියෙනවා ද?"
මං ඇහුවා..
"නෑ.. මාත් අද තමයි මේ එහෙම යන්න හදන්නෙ.."
මේකා කියාපි..
"ඔයාට විස්වාසද අපි දෙන්න බිම පතබෑවෙන් නෑ කියල ?"
මං ඇහුවා..
"කියන්න බෑ ඉතිං.. ගිහිල්ලම එපෑ බලන්න.. වැටුනොත් දෙන්නමනෙ.."
ඕනෙ මඟුලක් කියල මං හා කිව්වා..
දැං ඔන්න අපි දෙන්න යන්න පටන් ගත්තා.. මං මුලිම්ම එයාගෙ ජැකට් එකෙන් අල්ලං හිටියෙ..
මොන..එක පාරටම වේගෙ වැඩිවෙද්දි මාව පිටිපස්සට විසිවෙන්න එනව වගේ.. මං ටග් ගාල මගෙ ඇඟිලි අස්සෙ ඇඟිලි යවල එයාගෙ බඩ වටෙට තද කරල අත් දෙක බැඳගත්තා..
"ඒකනෙ මං මුලදිම කිව්වෙ.. බයවෙන්න එපා හයියෙන් අල්ලගන්න.."
කියල මේකා තවත් වේගෙ වැඩි කලා.. හන්දි වලින් හරවල ගන්නකොට තමයි මගෙ බොක්කෙ බිත්තර තමබනව වගේ දැනුනෙ..
"හිමින් යංකො අනේ, වංගු වලින් ඔච්චර ඇල කරන්න එපා.."
මං කෑගැහුවා..
එයා බක බක ගගා හිනාවෙවී ගියත් ඒ කිලෝ මීටර් ගානම මං ගියෙ බයේ ගැහි ගැහී..
අන්තිමේදි සුපර්මාර්කට් එක ගාවින් බැස්සම තමයි මගෙ ඇඟට ලේ ටිකක් ඉනුවෙ..
"කොහොමද ගමන?"
"අති විශිෂ්ඨයි සර් !"
මං එයාට සැලියුට් එකක් එක්ක කකුලකුත් පොළොවෙ ගහල සුපර්මාර්කට් එක ඇතුලට ගියා..
'අපරාදෙ පොටෝවක් ගන්න එකෙක් හිටියෙ නෑනෙ අර ස්කූටර් එක උඩ අපි දෙන්නව තියලා.. පොඩි වීඩියො කෑල්ලක් ගන්න එකෙක් හිටියෙ නෑනෙ ශහ්..'
මට හරි වේදනායි.. ඇත්තටම අපේ හොඳම memories තියෙන්නෙ හිතේ විතරයි..
"ඇයි ඔයා මල් තෝරන්නෙ?"
දිනුකයියා මගෙං ඇහුවා..
"මං එයාට තෑග්ග කලිම්ම දුන්නනෙ.. ඇයි ඔයාට මතක නැද්ද?"
අද දවසෙ වැඩක් වැටුන නිසා එන්න බැරිවෙයි කියල හිතල එයාට දෙන්න ගත්ත දේ අපි කලින්ම එයාට දුන්නා..
"ඔයා වෙනදට එයාට මල් ගෙනියන් නෑනෙ.."
"එයා දවසක් කිව්වා ජීවිතේ කිසිදාක එයාට කාගෙන්වත් මල් හම්බෙලා නෑ කියල.."
මං කිව්වා..
"සිරාවටම?"
"අපි වගේ හැමෝම මල් දෙන්නෙ නෑ..ඒත් ගොඩක් අය මල් වලට ආසයි.."
මං එයා දිහා බලාගෙන හිනාවෙලා කිව්වා..
ඊටපස්සෙ එයා මල් වලින් පිරිලා ගිය මල් කලඹක් නෙවෙයි මල් වලින් පිරිලා ගිය මල් ගහක් තේරුවා.. ඒක හරි ලස්සනට පැක් කරලත් තිබුනා..
"මේක මොකෝ?"
එයා මගෙං ඇහුවා..
"මරු.. හැමදාම තියාගන්නත් පුළුවන් නේ.."
තව ගෙදරට බඩු මුට්ටු ටිකකුත් අරං අපි පාටියට ගියා..
එතකොට අනික් අය ඇවිල්ලා.. අපි පරක්කුයි..
බර්ත් ඩේ එකේ අයිති කාරයා දොර අරිද්දීම මං හැපි බර්ත් දේ ටූ යූ සිංදුව එලියෙ ඉඳම්ම තාලෙට කියල එයාට මල් පෝච්චිය දුන්නා..
ඒක දැකල එයාගේ මූණ පිපුණ විදිය දැක්කම මට එයාට හග් එකක් නොදී ඉන්න බැරි උනා..
කොල්ලෙක් කියල බැලුවෙ නෑ මං එයාට විශ් කරල හග් එකක් දුන්නා..
කොල්ලෙක් කියල බැලුවෙ නෑ..එයා මල් වල සුවඳ බැලුවා..
'කොල්ලෙක්ට මල් දීලා නෑ..?
දීල බලන්න ආස හිතෙයි..'
හො.ම.ත.ග.යු.
දිනුකයියා වගේ ඔයාගෙ යහපත් අභිප්‍රායන් ගැන තේරුම් ගන්න, වරදවා නොහිතන, ඕපන් මයින්ඩඩ් කොල්ලෙක් නං ඔයාට ඉන්නෙ, උගෙන් අහල ඕක කරාට කමක් නෑ.. හැබැයි සේනා වගේ මහා ආත්මාර්ථකාමී ඊරියාකාර කොල්ලෙක් නං ඔයාලට ඉන්නෙ ජීවිතේට වෙන කොල්ලෙක්ට මල් දෙන්න හිතන්නවත් එපා..වෙන එකෙක්ව හග් කරා කියල ජීවත කාලෙම ඕකම කියව කියව වැළලෙයි ඌ... 😂
~සඳේ~