23/09/2025
එළඹෙන මහ කන්නයේ පොහොර සැපයුම සම්බන්ධයෙන් ගොවි සංගම් නියෝජිතයින් සහ පොහොර සමාගම් අතර විශේෂ සාකච්ඡාවක් කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් 2025.09.22 දින කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශයේදී පැවැත්විණි. පසුගිය 15 වන දින ගන්නොරුවේදී පැවති 2025/26 මහ කන්නය සදහා වූ මහවැලි ජල කළමණාකරණ කමිවු රැස්වීමේදී ගොවි සංගම් නියෝජිතයින් කල ඉල්ලීම පරිදි සාකච්ඡාව පැවැත්විණි.
මෙහිදී ලෝක වෙළඳපොලේ පොහොර මිල වැඩි වී ඇති තත්ත්වය හමුවේ වුවත් ඉදිරි මහ කන්නයේදී ගොවි ජනතාවට අවශ්‍ය ප්‍රමිතියෙන් යුතු පොහොර, හිඟයකින් තොරව අවශ්‍ය ප්‍රමාණයට ලබාදීමට හැකියාව ඇති බව ජාතික පොහොර ලේකම් කාර් යාලයේ අධයක්ෂ චන්දන ලොකුහේවාගේ මහතා හා පොහොර සමාගම් නියෝජිතයින් සනාථ කරන ලදී.
ගොවීන් හට සාධාරණ මිලක් යටතේ ප්‍රමිතිගත පොහොර ලබාගැනීමට අවශ්‍ය ක්‍රමවේදයක් සකසන ලෙස ගොවි සංගම් නියෝජිතයින් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතාගෙන් ඉල්ලීම් කල අතර පොහොර සමාගම් නියෝජිතයින් සමග දීර්ඝ ලෙස මේ පිළිබද සාකච්චා කරන ලදී. සාකච්චාවේ ප්‍රතිපලයක් ලෙස පොහොර සමාගම් මගින් ගොවි සංගම් හෝ ගොවීන් හට අතරමැදියන්ගෙන් තොරව සෘ ජුවම පොහොර ලබාදීමට පොහොර සමාගම් එකගතාව පල කරන ලදී. මේ අනුව කිලෝ 50 යූරියා පොහොර මිටියක් රු. 8750.00ක මුදලකටත්, මඩ පොහොර(TSP) කිලෝ 50 පොහොර මිටියක් රු. 12,000ක මුදලකටත් සෘ ජුවම ගොවීන්ට පොහොර සමාගම් මගින් ලබා ගැනීමට හැකියාව පවතී. මෙම තීරණය කෙරෙහි ගොවි සංගම් නියෝජිතයින් තම ප්‍රසාදය පළකරන ලදී.
සාකච්ඡාවට එක් වෙමින් කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා සඳහන් කලේ මෙවර මහ කන්නයේදී පෙර කන්නවලට වඩා වැඩි ප්‍රමාණයක් ලෙස හෙක්ටයාර 850,000කට ආසන්න ප්‍රමාණයක් වී වගා කිරීමට නියමිත බවත් පොහොර භාවිතය සම්බන්ධයෙන් අපේ ගොවීන් විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කිරීමට යොමු කළ යුතු බවය. එහිදී පස පරික්ෂා කර අවශ්‍ය පොහොර ප්‍රමාණ හදුනාගෙන ඊට අදාළ පොහොර යෙදීමට අවශ්‍ය පරිසරය මේ වනවිට සකස් කරමින් පවතින බව ද මේ යටතේ පස පරීක්ෂාව සදහා ස්වේච්චා කෘෂිකර්ම පුහුණුකාරකයින් පුහුණු කිරීම මේ වන විටත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් ආරම්භ කර ඇති බවත් වැඩිදුරටත් සඳහන් කළේය.
කෘෂිකර්ම සහ පශු සම්පත් නියෝජ්‍ය අමාත්‍ය නාමල් කරුණාරත්න මහතා මෙම සාකච්ඡාවේදී වී වගාව සඳහා ගොවීන්ගේ පොහොර භාවිතය සම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළේය.
“පස පරීක්ෂාකර ප්‍රමිතිගතව පොහොර යෙදීමෙන් ඉහළ අස්වැන්නක් ලබා ගැනීමට කටයුතු කළ යුතුයි. පොහොර සඳහා යන වියදම අඩු කරගන්නත් මේ හරහා හැකියාව ලැබෙනවා. ඒ වගේම නව වී ප්‍රභේද ගොවිජනතාවට හඳුන්වලා දී අස්වනු වැඩි කරගන්නත් අපි කටයුතු කරමින් සිටිනවා. මේ සදහා මහ කන්නයේ යාය 500ක් තෝරා ගනිමින් නියඳියක් ලෙස තාක්ෂණිකව, විද්‍යාත්මකව වගා කරන්න අපි කටයුතු කරනවා. සාමාන්‍යයෙන් දැනට අපි හෙක්ටයාරයකින් වී කිලෝග්‍රෑම් 4000ක් 4500ක් පමණ ගන්නවා. සමහර තැන්වල මේක අඩුවැඩි වෙනවා. ලංකාවේ වැඩිම වී අස්වැන්නක් වාර්තා වෙන්නේ උඩවලව ව්‍යාපාරයේ. පළාතෙන් පළාතට, යායෙන් යායට වෙනස්කම් තිබුණට පොදුවේ ගත්තම 4000 ත් 4500ක් වගේ වී අස්වැන්නක් ලබා ගන්න පුළුවන්. අපේ ඉලක්කයක් තියෙනවා 2028 වසර වන විට හෙක්ටයාර් එකකින් වී කිලෝග්‍රෑම් 7000ක් ලබා ගන්න. ඒ සඳහා අපි විද්‍යාත්මකව වගා කළ යුතුයි. ඊට අදාළව දියුණු වී ප්‍රභේද සොයාගෙන තියෙනවා. මෙම වී ප්‍රභේද වගා කරනකොට පොළව සකස් කිරීමේ සිට විද්‍යාත්මක ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි.
ලංකාවේ වැඩිම විද්‍යාඥයෝ ප්‍රමාණයක් ඉන්න අමාත්‍යාංශයක් තමයි, කෘෂිකර්ම අමාත්‍යාංශය කියන්නේ. දියුණු බීජ ප්‍රභේද, බෝගයට අදාළ පොටෑසියම්, පොස්පරස්, නයිට්‍රජන් මූලද්‍රව්‍ය යොදවන එක, කන්නයට වගා කිරීම, වල් මර්දනය, කෘමි මර්දනය මේ සියල්ල විද්‍යාත්මක ක්‍රමවේදයක් ඔස්සේ කළ යුතුයි. ඊට අදාළව කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ මූලිකත්වය යටතේ අමාත්‍යාංශයේ මැදිහත්වීම සිදු කරමින් පවතිනවා.
වී මිලදී ගැනීමට අදාළව එළඹෙන මහ කන්නය වෙද්දි සියලුම වී ගබඩා පිළිසකර කරලා, විවෘත කරන්න අපි බලාපොරොත්තු වෙනවා. වී අලෙවි මණ්ඩලයේ සේවක හිඟයක් තියෙනවා. සමහර සේවකයෙකුට ගබඩා තුනක් බලන්න වෙලා තියෙනවා. අපි ඒ සේවක පුරප්පාඩු සපුරා ගන්න කටයුතු කරනවා. අපි වී මිලදී ගැනීමේදී ගොවි නියෝජිතයෙකුවත් සම්බන්ධ කරගත්තා. ලබන කන්නයේදී වී මිලදී ගැනීම වඩාත් ක්‍රමවත් කරනවා. වී අලෙවි මණ්ඩලය කමතටම ගිහිල්ලා ගොවීන්ගෙන් වී මිලදී ගත යුතුයි කියලා අපි හිතනවා. තැන් කිහිපයකින් හරි ඒ සදහා ආරම්භයක් ගන්න මේ වෙනකොට සැලසුම් කරමින් සිටිනවා. අඩු භූමියකින් වැඩි ඵලදායිතාවයක් ලබා ගැනීම දක්වා අපි වගාව ඉදිරියට ගෙන යා යුතුයි. ඒ වගේම යන්ත්‍ර සූත්‍රවල මිල නියාමනය කළ යුතුයි.”
මෙම අවස්ථාවට කෘෂිකර්ම අමාත්‍යාංශයේ පොහොර අංශයේ අතිරේක ලේකම් ජානකී අමරතුංග, ජාතික පොහොර ලේකම් කාර්‍යලයේ අධ්‍යයක්ෂ චන්දන ලොකුහේවාගේ, කෘෂිකර්ම අමාත්‍යාංශයේ අධ්‍යයක්ෂ (කෘෂි තාක්ෂණ) හේමන්ත අමරසිංහ, මිල්කෝ සමාගමේ සභාපති හේමජීව ගොඨාභය යන මහත්ම මහත්මීන් හා අමාත්‍යාංශ නිලධාරීන්, පොහොර සමාගම් නියෝජිතයින් සහ ගොවි සංගම් නියෝජිතයින් සහභාගී විය.
වීඩියෝ හා ඡායාරූප සබැදිය - https://we.tl/t-ccB0ZpOSqA
මාධ්‍ය ඒකකය
කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය