10/08/2026
ගිලියන් ඇන්ඩර්සන්ට අදට 57 ක්!
අපිට නම් ඇය ඉතිං හැමදාමත් X-Files එකේ "ස්කලී"ම තමා!
"මෝල්ඩර්, සත්‍යය එළියේ තියෙනවා තමයි, හැබැයි බොරුවත් එතනම තියෙනවා.
එහෙම කියමින් විශ්වාසයන්ට වහල් නොවී ඉන් එහාට ගැටළු දිහා තාර්කිකව බලපු කෙනා තමා ස්කලී..
ඇත්තටම ගිලියන් කියන්නේ කුඩා කාලයේ ඉඳන්ම හරිම කැරලිකාර චරිතයක්. පාසල් නීති ගණන් ගන්නේ නැතුව නාසයේ කරාඹු දාලා, කොණ්ඩය විවිධ පාටවලින් ඩයි කරගත්තු පන්ක් කෙල්ලෙක්. දන්නවද, උපාධි ප්‍රදානෝත්සවය දවසේ ඉස්කෝලෙට අලාභහානි කළා කියලා ඇයව පොලිසියෙන් අත්අඩංගුවට පවා ගත්තා!
පොඩි කාලේ ජීව විද්‍යාවට ආසකලත් වයස 14 දී වගේ රංගනයට එන ආසාව එක්කයි ඇය රංගනය හදාරන්න පෙළඹෙන්නේ..
X-Files එකට ස්කලීගේ චරිතයට ඇයව තෝරාගන්න FOX නාලිකාවේ ප්‍රධානීන් මුලින් කොහෙත්න කැමති වුණේ නැහැ. මොකද ඔවුන්ට ඕන වුණේ උස, උකුළ පළල්, සෙක්සි මොඩල් පෙනුමක් තියෙන නිළියක්. ඒත් නිර්මාතෘ ක්‍රිස් කාටර්, ගිලියන්ගේ තිබුණු සහජ දක්ෂතාවය දැකලා "මට ඕන ඇයව විතරයි" කියලා තදින්ම කියා සිටියා..
ඒත් අඩි 5 යි අඟල් 3 ක් උස ගිලියන්ට රඟපාන්න වුණේ අඩි 6 ක් උස ඩේවිඩ් (මෝල්ඩර්) එක්ක. ඒ නිසා රූගත කිරීම් වෙලාවට ඇයට හැමදාම සිද්ධ වුණා ලී පෙට්ටියක් උඩ නගින්න. පස්සේ කාලෙක ඒ පෙට්ටිය ප්‍රසිද්ධ වුණේම "ස්කලී බොක්ස්" නැත්නම් "ගිලියන් බොක්ස්" කියලා!
කොහොම වුණත්, ස්කලීගේ චරිතය මුළු ලෝකයම වසඟ කළා. TV ඉතිහාසයේ විද්‍යාඥවරියක් සහ FBI නියෝජිතවරියක් ලෙස නිරූපණය වුණු බලපෑමෙන් ඉහළම කාන්තා චරිතය වුණේ ඇයයි.
"මතක තබා ගන්න, ඔබ සිතට ගන්නා ඕනෑම දෙයක් ඔබට කළ හැකියි. නමුත් ඒ සඳහා ක්‍රියාත්මක වීම, නොපසුබට උත්සාහය සහ ඔබේ බියට මුහුණ දීම අවශ්‍යයි."
ගිලියන් දවසක් එහෙම කිව්වා.
ඇගේ මේ ස්කලීගේ චරිතය නිසා ඇමරිකාවේ විතරක් නෙවෙයි මුළු ලෝකය පුරාම දහස් ගණන් තරුණියන් STEM (විද්‍යාව, තාක්ෂණය, ඉංජිනේරු විද්‍යාව, ගණිතය) ක්ෂේත්‍රවලට යොමු වුණා. සමාජ විද්‍යාඥයන් ඒකට කිව්වේ "The Scully Effect" කියලා.
මට හිතෙන්නේ ඒ බලපෑම ලංකාවටත් ආවා! ලොකු වෙලා කවුරු වෙනවද කියලා නිශ්චිත අරමුණක් නොතිබ්බ මාත්, ඉස්කෝලෙදි විද්‍යාවට හොඳම ලකුණු ගන්න මහන්සි වුණේ ස්කලී නිසා. 😁 මොකද අනාගතේ දවසක අහස දිහා බලන් ඉදිද්දී මටත් පිටසක්වල යානාවක් හරි දකින්න ලැබෙයි කියලා මම ප්‍රාර්තනා කලා!
"ඔබ ප්‍රාර්ථනා කරන දේ ගැන ප්‍රවේශම් වන්න, මන්ද එය ඔබට සැබවින්ම ලැබෙන්නට පුළුවන්."
ගිලියන් කියපු ඒ කතාව මතක් වෙද්දී, ඉස්සරහටත් අහස දිහා බලා හිටියට පාඩුවක් වෙන එකක් නෑ කියලා හිතෙනවා...
හැබැයි X-Files මුල් කාලයේදී ගිලියන්ට ලැබුණේ ඩේවිඩ්ට වඩා හුඟක් අඩු පඩියක්.
"ඔබ ඔබ වෙනුවෙන් පෙනී සිටියේ නැත්නම්, වෙන කිසිම කෙනෙක් ඔබ වෙනුවෙන් ඉදිරිපත් වෙන්නේ නැහැ."
ඇය කියපු ඒ කතාව ඇයම ක්‍රියාවෙනුත් ඔප්පුකලා.
තමන්ගේ වටිනාකම වෙනුවෙන් දිගටම සටන් කරපු ගිලියන්, 5 වෙනි සීසන් එක වෙද්දී ඩේවිඩ්ට සමාන පඩියක් ලබාගත්තා.
ඇත්තටම ඒ සටන සීයට සීයක් සාධාරණයි. මොකද, X-Files හරහා ඇය ලෝකයට කරපු ධනාත්මක බලපෑම මෝල්ඩර්ටත් වඩා වැඩියි. ඩේවිඩ්ට වඩා පඩියක් ඇයට දුන්නත් අපිට නං වරදක් කියන්න බෑ!..
ඇය boy crush එකක් විතරක් නොවේ ලෝකේ පුරා ජනප්‍රිය girl crush එකකුත් වෙන්නේ නිකන්ම නෙවේනේ..
"ආත්ම අභිමානය එන්නේ එක දෙයකින්, එනම් ඔබ වටිනා කෙනෙකු යැයි ඔබම විශ්වාස කිරීම තුළින්."
ගිලියන් කිව්වා...
Swarnarekha Sewwandi ❤️
#අමරණීයමතක