09/07/2026
සී.බී.එල් ඉන්වෙස්ට්මන්ට්ස් ලිමිටඩ් (CBL Investments Limited) සහ එහි සමාගම් සමූහයේ (CBL Group), වත්මන් සමූහ කළමනාකාර අධ්‍යක්ෂිකා ශ්‍යාමලී වික්‍රමසිංහව එම ධුරයට අමතරව සමූහයේ නව සභාපතිනිය ලෙස පත් කර තිබෙනවා.
මෙම පත්වීම ජූලි මස 06 වැනිදා සිට ක්‍රියාත්මකයි.
ඇය මෙලෙස පත්වන්නේ 2015 වසරේ සිට සමූහයේ සභාපතිවරයා ලෙස කටයුතු කර, මෑතකදී අභාවප්‍රාප්ත වූ රම්‍යා සනත් අමරවීර වික්‍රමසිංහගෙන් හිස් වූ ධුරය සඳහායි.
මෙම පත්වීමත් සමග, 1968 වසරේදී මෙම ව්‍යාපාරය ආරම්භ කළ සී.බී.එල් නිර්මාතෘ සහ සභාපති අභාවප්‍රාප්ත මිනේක වික්‍රමසිංහ විසින් ගොඩනඟන ලද නායකත්ව උරුමය ඉදිරියට ගලා යනවා.
නිර්මාතෘවරයාගේ වැඩිමහල් දියණිය වන ශ්‍යාමලී වික්‍රමසිංහ, 1991 වසරේදී සිලෝන් බිස්කට්ස් ලිමිටඩ් (Ceylon Biscuits Limited) සමාගමට සම්බන්ධ වූ අතර, පසුගිය දශක තුනක කාලය තුළ ජ්‍යෙෂ්ඨ නායකත්ව තනතුරු කිහිපයක්ම හොබවා තිබෙනවා.
1996 වසරේදී ඇය සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයට සම්බන්ධ වූ අතර, දශකයකට වැඩි කාලයක් සමූහ කළමනාකාර අධ්‍යක්ෂිකාව ලෙස කටයුතු කරමින් සමූහයේ දිගුකාලීන උපාය මාර්ග, ජාත්‍යන්තර ව්‍යාප්තිය, නිෂ්පාදන නවෝත්පාදන සහ තිරසාර මුලපිරීම් සඳහා නායකත්වය ලබා දී තිබුණා.
වෘත්තියෙන් ආහාර තාක්ෂණවේදිනියක වන ඇය, අමෙරිකා එක්සත් ජනපදයේ Purdue විශ්වවිද්‍යාලයෙන් ආහාර රසායන විද්‍යාව පිළිබඳ විද්‍යාපති (MSc) උපාධියක් සහ කැන්සාස් ප්‍රාන්ත විශ්වවිද්‍යාලයෙන් (Kansas State University) ආහාර විද්‍යාව හා කර්මාන්ත පිළිබඳ විද්‍යාවේදී (BSc) උපාධියක් ලබා තිබෙනවා.
මෙම සමූහය රටවල් 70කට වැඩි ප්‍රමාණයකට තම නිෂ්පාදන අපනයනය කරන අතර ශ්‍රී ලංකාව, ඝානාව සහ ඉන්දුනීසියාව යන රටවල නිෂ්පාදනාගාර පවත්වාගෙන යනු ලබනවා.
ශ්‍රී ලංකා - ඉන්දුනීසියා ව්‍යාපාරික කවුන්සිලයේ සභාපතිනිය ලෙස ඇය කටයුතු කරනවා.
ලංකා වාණිජ මණ්ඩලයේ කමිටු සාමාජිකාවක ලෙසත්, අපනයන සංවර්ධන මණ්ඩලයේ සකසන ලද ආහාර සහ පාන වර්ග පිළිබඳ උපදේශක කමිටුවේ සහ ශ්‍රී ලංකාවේ යුනිසෙෆ් (UNICEF) ව්‍යාපාරික කවුන්සිලයේ සාමාජිකාවක ලෙසත් කටයුතු කරනවා.
මීට අමතරව ඇය මොඩර්න් පැක් ලංකා (Mode Pack Lanka (Pvt) Ltd) සමාගමේ සභාපතිත්වය දරන අතර තවත් සමාගම් කිහිපයක අධ්‍යක්ෂ මණ්ඩලවල ද සේවය කරනු ලබනවා.