03/11/2025
🔥සෙව්වන්දි නිසා PickMe එකත් ලොකු අමාරුවක - අධිකරණයෙනුත් නියෝග
සංවිධානාත්මක අපරාධකරුවෙකු වූ ගණේමුල්ල සංජීව නමැත්තා කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය තුළදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව, ප්‍රධාන සැකකාරියක වන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය පලා යාම සඳහා භාවිත කළ "PickMe" සේවයට අයත් කුලී රථ පිළිබඳ සවිස්තර වාර්තාවක් කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) වෙත ලබා දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා එම සමාගමේ බලධාරීන්ට නියෝග කර තිබේ.
මෙම නියෝගය ඉකුත් ඔක්තෝබර් 29 වන දින නිකුත් කර ඇත්තේ, අදාළ ඝාතනයෙන් අනතුරුව ඉෂාරා සෙව්වන්දි නමැත්තිය පලා යාම සඳහා PickMe ආයතනයට අයත් ත්‍රිරෝද රථ සහ වෙනත් වාහන කිහිපයක්ම භාවිත කර ඇති බවට කොළඹ අපරාධ කොට්ඨාසය (CCD) අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බැලීමෙන් අනතුරුවය.
සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන කටයුතු සඳහා මෙම තොරතුරු අත්‍යවශ්‍ය බව පෙන්වා දෙමින් පොලීසිය අධිකරණයෙන් මෙම නියෝගය ඉල්ලා සිටින ලදී. ඒ අනුව, අදාළ වාර්තාව මගින් එම රථ කුලී පදනම මත වෙන්කරවා ගෙන ඇත්තේ කවුරුන්ද, එම වාහනවල ලියාපදිංචි අංක සහ එම රථ ධාවනය කළ රියදුරන් කවුරුන්ද යනාදී තොරතුරු අනාවරණය කළ යුතු බවට CCDය කළ ඉල්ලීම සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා, එම තොරතුරු අන්තර්ගත වාර්තාවක් වහාම ඉදිරිපත් කරන ලෙස PickMe ආයතනයට නියම කළේය.
මෙම සිද්ධියට අදාළ සැකකරුවන් කිහිප දෙනෙකු මේ වන විටත් අත්අඩංගුවට ගෙන ඇති බවත්, ඔවුන්ගෙන් අනාවරණය වූ තොරතුරු මත මෙම අධිකරණ නියෝගය ඉල්ලා ඇති බවත් පොලීසිය අධිකරණයට වැඩිදුරටත් දැනුම් දෙන ලදී. අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් පිරිසක් පොලිස් භාරයේ රඳවා ප්‍රශ්න කරමින් සිටින අතර, තවත් පිරිසක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇති බවද විමර්ශන නිලධාරීන් අධිකරණයට වාර්තා කර ඇත.