13/05/2026
05
පස්වැනි වැස්ස 🤍
" ඉස්පිරිතාලේ ට මෙහායින් අපිව දාගෙන යන්ට "
ඈ සෙමෙන් පවසන්නට වූයේ නිකමට හෝ ඔහු දෙස ට දෑස් යොමු නොකරමින්.
සහස්වර සෙමෙන් පිටුපස ආසනය දෙස බලන්නට වූයේ ඉදිරිපස වූ කණ්නාඩියෙනි.
ඇගේ ලය වෙනදාට වඩා වේගයෙන් උස් පහත් වන්නේ කලබල වි ඇති නිසාවෙන් වග ඔහුට වැටහිණි.
" ඇයි "
" මේ......අපි එකම වාහනේ යනවා දැක්කොත් හරි නැහැනේ "
සහස්වරයන් අමුතු සිනහවක් මුවේ රඳවා ගන්නට වූයේ හිතේ වූ කේන්තිය පාලනය කරගන්නා අතරේ ය.
" කවුද "
" ගමේ අය හෙම "
" හ්ම්....."
කිසිවක් නොකියාම ඔහු රෝහල පේන මානයේ මොටර් රථය නවතන්නට වූයේ ඇගේ ඉල්ලීම නිසාවෙනි.
" ස්තූතියි "
එපමනක් කියු ඈ සෙමෙන් බෑගය කරේ දමාගෙන කොලු පැටියා සමගින් බැස ගන්නට වූයේ සහස්වර හැගිම් විරහිත දෑසින් ඔවුන් දෙස බලා සිටින අතරේ ය.
ඔහුගේ හිත නොරිදෙන බැව් කිවහොත් එය අමූලික මුසාවක් වනු නියතය.
ඔහුට හිමි නොවුවාට වැඩියෙන් රිදෙන්නේ ඈ ගෙවන කටුක දිවිය ඇස් ඉදිරිපිට පේන්නට ඇති නිසාවෙනි.
දිනෙක ඈ අතින් අල්ලාගෙන ඇවිද යන්නට පෙරුම් පිරුවා ද දැන් එයට කුඩා හිමිකරුවෙක් ඇත!
ඇස් බෝල කරමින් කොලු පැටියා ඔහු දෙස බලන විට අතිතය ඉබේටම සිහි වෙන බැව් කෙසේ නම් පවසන්න ද.
ගැඹූරු හුස්මක් ගත් සහස්වර දුනුවිල එතනින් පිටව යන්නට වූයේ යුවතිය ඔහු නොපෙනී යන තෙක් බලා සිටින අතරේ ය.
---------🤍
1994 වසරට...........
" බහින්න අදහසක් නැත්ද බං "
සහස්වර දුනුවිල පියවි සිහියට ආවේ මිතුරාගේ හඬිනි.
වටපිට බැලූ ඔහුට පෙනුනේ පිච්ච මල් යුවතිය ඒ වනවිටත් බස් රථයෙන් බැස අවසන් බවයි.
" ඉන්න එන්නම් "
මඳක් පොඩි ව ගිය සුදු කමිසය අතින් පිළිවෙල ක‍් කරගන්නා අතරේ ඔහු පිටත් වන්නට විය.
" මම නම් අපේ රටේ සමහර මිනිස්සු මේ තරම් දුකක් විඳිනවා කියන්ට දැනගත්තේ අද "
දානයේ අනෙක් කටයුතු සදහා උදවු කරන් අතරේ එක් සිසුවෙක් පවසන්නට වූයේ මෙහි පැමිණි පසු අත්විඳින්නට වූ දෑ නිසාවෙනි.
දවල් දානය සදහා පිස තිබුනේ නෙළුම් දඬු ව්‍යංජනය , වැවු මාළු, පරිප්පු සමඟින් තැම්බූ සහලෙන් බත් පමණි.
විශ්ව විද්‍යාලයේ සිසුන් හැරෙන්නට ගම් වැසියන් දක්නට ඇත්තේ අතලොස්සක් පමණෙකි.
මන්ද උතුරු නැගෙනහිර යුද්ධය මැද්දේ මායිම් ගම්මානවල හුන් බොහොමයක් දෙනා ගම් බිම් හැර දමා ගොස් අවසන් හෙයිනි.
තවත් සමහරෙක් මේ වනවිටත් යුද්ධයේ කුරිරු බව හමුවේ අවසන් ගමන් ගොස් අවසන්ය!
කාෂ්ටක පොලොවේ වතුර ඩිංගක් උගුර පහළට දමා ගැනීම පවා අපහසු වූයේ කිවුල් රස නිසාවෙනි.
එහෙන් මෙහෙන් අටවා ගත් ටකරං , මැටි නිවෙස් මිසක් තට්ටු ගණන් විසල් නිවෙස් දක්නට දුලබ දසුනකි.
කොළ පාට කෙසේ වෙතත් දුහුවිලි පාට මුළු ගමම අරක් ගෙන ඇති සැටිය.
අහම්බෙන් වැදුණු වෙඩි ප්‍රහාර නිසාවෙන් බිත්ති වල තැනින් තැන සිදුරු දක්නට ඇත.
" මේ මිනිස්සු දැන් මේවාට පුරුදු වෙලා. අපිට අමාරු වුණාට එයාල ඒවාට හැඩ ගැහිලා. යුද්දෙ ඉක්මනට නතර වුණොත් මේ මිනිස්සුන්ට සැනසීමෙන් ඉන්ට ලැබෙයි"
" ඒක ඇත්ත දේවක. ත්‍රස්තවාදීන් මරා ගනිද්දී අසරණ වෙන්නේ අපේම මිනිස්සු "
" හ්ම්...."
ඔය අතරේ සහස්වර දුටුවේ පැමිණ සිටි අයවලුන්ට තේ අල්ලමින් උන් පිච්ච මල් යුවතිය යි.
සුදු පැහැ ලේස් බ්ලවුසයක් සමඟින් දිගු සායක් හැද උන් ඈ වෙනදාටත් වැඩියෙන් පින්බර බැව් ඔහුට සිතිනි. දිගු ඝනකම් කොන්ඩය පිට දිගේ වැටි ඇත.
මොකක්ද නොරිස්සුම් කමක් සහස්වරයන්ට දැනෙන්නට වූයේ බොහෝ දෙනා සහස්වර මෙන්ම ඒ රුව දෙස බලා සිටින්නට වූ හෙයිනි.
' තේ අල්ලන්න මෙයා ම යන්ට ඕනද. ඇයි වෙන කාට හරි යන්ට බැරි '
ඔහු නොදැනීම සිතින් තර්ක කරන්නට විය.
" දේවක.......දේවක "
" මොකද බ/න් "
" මොන සිහියෙන් ද ඉන්නේ. දැන් මේ කෙල්ල කීයේ ඉඳන් උඹ ඉස්සරහ හිටගෙන ඉන්නද "
ඉදින් ඔහුගේ පිච්ච මල් යුවතිය උන්නේ ඔහුට සෙන්ටි මීටර් කිහිපයක් ඉදිරියෙන් පමණි!
හදවත ' ඩිග් ඩිග්' ගාන්නට වෙත්දී ඔහු සෙමෙන් කහට කෝප්පය ගන්නට වූයේ අනිත් අතින් හකුරු කැටයක් ගන්නා අතරේ ය.
යුවතිය නම් උන්නේ මොකක්දෝ කෝල කමක් නිසාවෙන් බිම වූ වැලි කැට ගනන් කරමින්ය. ඈ නිවැරදිව ගනන් කරන්ට වූයේ ද යන්න නම් දන්නේ ඈම පමණි.
සහස්වර සෙමෙන් කහට කෝප්පය රස විඳින්නට වූයේ ඔහුට පිටුපා යන යුවතිය දෙසම බලමිනි.
" දේවක........"
" හ්ම්....."
" මගේ මොලේ දෙයක් කියනවා බං උඹේ ඔය හිනාව දැක්කම "
" මො...න හිනාව ද...."
" ඔය.....තව ඩිංගෙන් පිට උගුරේ යනවා "
" මොනවා කියවනවාද මන්ද "
" හ්ම්.....ඔහොම යමු කෝ මහත්තයා. අපිත් මේ ළඟම නේ ඉන්නේ "
" අනේ නිකං ඉන්ට විකාර නොකියා "
" අපි බලමුකෝ.... "
තවත් එතැන සිට ඔවුන්ගේ විසුළු වලට හසු වන්නට ඇති අකැමැත්ත නිසාවෙන් සහස්වර දුනුවිල සෙමෙන් නිවස දෙසට යන්නට වූයේ හිස් කෝප්පය ද රැගෙනය.
නිවසේ ජලය ලබා ගැනීමට වූ එකම මාර්ගය වූයේ නිවස අසල වූ නළ ලිඳ පමණෙකි.
" අයියේ ඕක දෙන්ට "
" මො...කක්ද "
" තේ..... කෝප්පය "
" මොකටද "
" හෝදන්න "
" කමක් නැත්ද "
" මේ ටිකත් හෝදන්න ඕන. ඒ නිසා ඕකත් දෙන්ට මේ එක්කම හෝදන්න "
ප්ලාස්ටික් බේසම පුරවාගෙන විදුරු කෝප්ප පිගන් රැගෙන ආ පිච්ච මල් යුවතිය ඔහු සමඟින් එලෙස කතා කිරීම ඔහුටම පුදුම සහගත විය.
නමුත් ඇගේ රත් පැහැ ගැන්වුණු කම්මුල් ඇගේ කෝල බව මනාවට ඔහුට පෙන්නුම් කරන්නට විය.
ඉදින් තවත් කිසිවක් නොකියාම ඔහු ඇයට
කෝප්පය දි මඳක් ඉවත් වන්නට වූයේ සෙමෙන් ඈ දෙස බලමිනි.
සහස්වර දුටුවේ දහඩිය හමුවේ ඈ දෙඅත් මෙන්ම යටි පතුල් පවා රත් පැහැ ගැන්වී ඇති අයුරුයි.
ඈ කෙසේවත් මෙවන් පරිසරයක හැදී වැඩුණු අයෙක් නොවන වග පැහැදිලි වන්නට විය.
" මේ.....තනියම මෙතැන ඉන්ට එපා "
සහස්වර දුනුවිල කියන්ට වූයේ නිවසින් මඳක් එපිටින් ඔවුන් සිටින නිසාවෙනි.
" යාළුවෝ තව භාජන අරගෙන එනවා. මම එතකන් ආවා ඉක්මනට ඉවර කරන්ට පුළුවන් නිසා "
" හ්ම්.....මම ඉන්නම් එතකන් "
ඉදින් හිතවත් පාඨකයෙනි ; ප්‍රේමය යනු ප්‍රකාශ කිරීමක් බැව් මා විස්වාස නොකරමි
ප්‍රේමය යනු ක්‍රියාවෙන් ඔප්පු කිරීමක් විනා කතාවෙන් ඔප්පු කිරීමක් නොවේ!
කියන්ට නම් කාටත් පුළුවන!
නමුත් පෙන්වීමට හැක්කේ සුළුතරයකට පමණි!
අන්න ඔවුන් නම් හැබෑවටම ප්‍රේමවන්තයෝය !
සහස්වර දුනුවිල ද නිතැතින්ම එයින් එකෙකි!
යාබද වූ කොන්ක්‍රීට් කණුවකට හේත්තු වී ඔහු උන්නේ ඈ දෙස බලමිනි.
මුහුණට වැටෙන කරදරකාරී හිස කේ කන අසල රඳවා ගන්නා අයුරු බලන්ට ආසා හිතෙයි!
යුවතියක් නළලට උනන දහඩිය අතින් පිස ලා ගැනීම මෙතරම් සිත් ගන්නා සුළු බැව් ඔහු පලමු වරට සිතන්ට විය.
ඒ සිහින් අතැඟිලි සබන් බදුන් දිගේ ඇවිද යන අයුරු අපූරුය.
..........
" මෞර්යා "
" හ්ම්....."
" අර දේවක අයියා මොනවද මෙතැනට වෙලා කරේ "
ඉදින් පිච්ච මල් යුවතිය ගල් කරන්ට ඇගේ මිතුරිය වූ අරලියා සමත් විය. මිතුරිය ඇගෙන් විමසන්නට වූයේ ඔවුන් පැමිනෙන විට සහස්වර දුනුවිල ඈ අසල සිට පිටව යන්නට වූ නිසාවෙනි.
" මේ....මම තනියම උන්නු හන්දා හිටියා "
" ඈ......කවදා ඉඳන් ද එයා කෙල්ලන්ට තනි රකින්න ආවේ "
" ඇයි "
" අනේ කෙල්ලේ.....දේවක අයියා කෙල්ලො දිහා ඇහැක් ඇරලා බලන්නේ නැහැ. කැම්පස් ඇවිත් අවුරුදු දෙකක් වුණාට ඔය අවුරුදු දෙකේම වැඩකට ඇරෙන්න කෙල්ලො එක්ක නම් ගනුදෙනු නෑ "
" එහෙමද "
" ඔව්....මෙතැන දෙන්න තනියම ඉන්න කොට මට පුදුම හිතුණා. මට හිතෙන්නේ කොල්ලා උඹ ගැන ටිකක් හොයනවා වගේ"
" අර....මොකටද "
" මම දන්නේ කොහොමද. සමහර විට ඔයා ගැන කැමැත්තක් ඇති "
" පිස්සුද අරලියා...... දේවක අයියා හැමෝම ගැන හොයලා බලනව. ක්ලබ් එකේ වැඩ වලදි වුණත් එහෙම නේ. එයා හරිම රෙස්පොන්සිබල් මනුස්සයෙක් "
" අප්පේ......කෙල්ල එයා ගැන දන්න තරම් "
" අනේ නිකං ඉන්ට. මම යනවා "
බොරු තරහ ක් මවා ගනිමින් ඈ පිටව යන්නට වූයේ සෝදාගෙන අවසන් බදුන් සියල්ල ද රැගෙන ය.
ඈ ද නොදන්නා යමක් ඔහු ගැන සිතෙන වග පිච්ච මල් යුවතිය ද දන්නා කරුණකි.
විශ්ව විද්‍යාලයේ මිතුරියන් ඔහු ගැන කතා බස් කරන විට මොකක්දෝ තරහ වක් දැනෙන්නේ ඔහුව දුටු දින පටන් බැව් සැබෑවකි.
ඔහු අසල ඉන්නා කල මොකක්දෝ හිරියක් සිරුර පුරා දුවන්නට ගනියි.
නමුත් ඒ ප්‍රේමය ද යන්න ඇය තවමත් නොදනී!
-------🤍
" පුතා හදිසියේම කොහෙද යන්ට ගියේ "
නිවසට ගොඩ වන විටම මිත්තණිය අසන්නට වූයේ උදෑසන ආහාරය පවා නොගෙන ඔහු පිටත්ව ගිය හෙයිනි.
" මේ.....පොඩි වැඩකට අත්තම්මා "
" අනේ මන්දා කොල්ලෝ...මයේ ප්‍රෙසර් නගින වැඩ කරන්ට එපා. යන තැනක කියලා යන්ට "
" හරි අත්තම්මා.....එහෙම කරන්නම් අනේ"
" අන්න උදේට ඉඳිආප්ප හදල තියෙනව පොල් සම්බෝල යි කිරි හොදි එක්කල. බාගෙට තම්බාපු බිත්තර හෙමත් ඇති. අත් හෝදන් කන්ට ගිහින් "
ඉදින් සහස්වර සෙමෙන් ආහාර ගන්නට විය. වෙනදා නම් ඉඳිආප්ප බොහොමයකට වග කිව්වත් මෙදින යාන්තං ඉඳිආප්ප තුන හතරක් බඩට දමා ගත්තේ ද අපහසුවෙනි.
ඒ සැබෑ කුසගින්න ඇත්තේ වසර දහයක් පුරාවට හිස් වූ හදවතේ නිසාවෙනි!
ඔයාලගෙ අදහස් පහලින් කියාගෙන යන්න 🤍
මේ ලියන බොහොමයක් කියවලා සහ අනෙක් අයගෙන් අහල දැනගෙන ලියන දේවල් නිසා පුංචි අඩුපාඩු ඇති 🥹🤍
අනිත් එක යුද්ධය කියන්නේ ත්‍රස්තවාදීන් ගෙ දෙයක් මිසක් ජාතීන්, ආගම් අතර ගැටුමක් නොවෙන බව හිතේ තියාගෙන කියවන්න. මොකද කතාව මගින් කිසිම ජාතියකට ආගමකට ගැටලු ඇති කරන්න මම කැමති නැහැ 🤍
මේක ආදරෙන් කියවන්න ඕන ආදරණීය කතාවක්!
©️මෙහි අන්තර්ගත කිසිවක් කොපි කිරීමෙන් වළකින්න.
#නියංවැස්ස #නවකතා ゚