08/11/2025
මේක ලියන්නෙ ඔයාට කියවන්නමයි...
සමහර දේවල් තියෙනවා අපි සෑහෙන්න විඳින, විඳවන, සතුටු වෙන, දුක් වෙන, කලකිරෙන ; නමුත් කතා නොකළ යුතු..
ඒක තමන්ගෙ හීනයක් හෝ වේවා ප්‍රේමයක් හෝ වේවා ඕනෑම යමක් හෝ වේවා ළඟා කරන්න කලින් නිශ්ශබ්දව ඉන්න. ඒ වගේම දුරස් වෙනවනං නිශ්ෂබ්දව ඉන්න.
පුද්ගලිකවම මගෙ ඉන්බොක්ස් එක පිරිලා ඇති,
" අයියෙ/මල්ලි මං ඉන්නෙ අවුලෙන් මගෙ කොල්ලා මෙහෙම කලා, මගෙ කෙල්ල මට මෙහෙම කලා, මං මෙච්චර විශ්වාස කරපු කෙනා මට මෙහෙම කලා, අම්මල තාත්තල සහෝදර සහෝදරියො මට සලකන්නෙ මෙහෙමයි මට තේරෙන්නෙ නෑ මොකද කරන්න ඕනා කියල.. , මට මෙහෙම ප්‍රශ්නයක්.. මං තනිවෙලා වගේ.. හිත හැදෙන්න දෙයක් ලියන්න.."
මේ වගේ මැසේජ් බර ගානකින්.
ඔය ප්‍රශ්නවලට ඔය විදියටම ගෙඩි පිටින් මමත් මූණ දීලා තියෙනවා ඔය වගේ දෙගුණ තෙගුණයක බල වලින්. මමත් ඔය වගේම දණිස් කටු බිම ඇනෙන්නම වැටිලා තියෙනවා. සමහර වෙලාවට කරන්න ඕන මොකක්ද කියල හිතාගන්න බැරුව මනෝ පාරවල් ගගහ ඉඳලා තියෙනවා. ඒක එදත් උනා, අදත් දෙනව, හෙටත් වෙයි. ඒත් අපි ජීවත් වෙන්නම ඕනෙ.
මට මතකයි පොඩි කාලේ තාත්තා මගෙ ජීවිතේ වගේ වෙලා හිටිය කාලෙ එයා මගෙන් ඈත් වෙනව.
මට මතකයි යාලුවොන්ගෙ තාත්තල ඉස්කෝලේ රැස්වීම් වලට එද්දි මං මගේ තාත්තා නෑ කියල දුක් වෙලා තියෙනවා.
මට මතකයි පොඩි කාලෙ යාලුවො කම්පියුටර් ගේම් ගහද්දි මට දුන්නැති උනාම අඩාගෙන අම්ම ලගට ඇවිල්ල, අම්මෙ මටත් කම්පියුටරයක් ඕනෙ කියපු හැටි.
මට මතකයි ප්‍රථම ප්‍රේමය පටන් ගන්නත් කලින් හරිම වේදනාබර ඉදියට නැතිවෙලා ගිය හැටි.
මට මතකයි කොච්චර මට්ටු වෙලා තිබ්බත් ආදරේ කියල ලං උනු මිනිස්සු නිසා හිත රිද්ද ගත්තු හැටි.
මට මතකයි ප්‍රශ්න නිසා ඔලුව අවුල් කරගෙන පළමුවතාවෙ උසස් පෙල විභාගෙ අතෑරපු හැටි.
මට මතකයි ජොබ් ඉන්ටර්වීව් වලට ගිහින් ප්‍රතික්ෂේප වෙලා හිස් අතින් ගෙදර ආපු හැටි.
මට මතකයි වියදම් කරන්න සල්ලි නැති නිසා යාලුවො එක්ක ට්‍රිප් යන්න, පාර්ටි වලට යන්නෙ නැතුව බොරු හේතු හදන් උන්ට චාටර් උනු හැටි.
මට මතකයි රස්සාවෙ වගකීම් දරාගන්න බැරුව ලොක්කන්ගෙන් පලු යන්න බැනුම් අහල හැමදේම දමල ගහල පැත්තකට වෙන්න හිතුනු හැටි.
මට මතකයි සමහර අවස්ථාවලදි පවුලේ අය එක්ක පවා තරහ වෙලා මට කවුරුත් නෑ මං තනි වෙලා කියල හිතල හිටපු හැටි. මේ මම අම්ම එක්ක තරහ වෙලා මාස හයක් ගෙදරින් පිට ගිහින් ඉඳල තියෙනව.
මේ හැම එපා වීමකට පස්සෙත් හැබැයි මම තාම ජීවත් වෙනව. කට පුරා හිනාවෙන ගමන් අනිත් අයවත් හිනස්සගෙනම. මේ ලියන මොහොතෙත් මම ඉන්නෙ කායික වගේම මානසිකවත් වේදනා දෙන ප්‍රශ්න වැලක ගැටගැහිලා.
ඒත් මම එක දෙයක් දන්නව. මම ජීවත් වෙන්න ඕන කියල. ඔයත් දැනගන්න ඕනෙ හැමදේකටම පස්සෙත් ඔයත් තව ජීවත් වෙන්න ඕන කියල. කවුරුහරි ඉන්නවනම් සියලු ආශාවන් දමනය කරල නිවන් මග ලබපු කෙනෙක්.. අන්න දිවිනහගත්තට කමක් නෑ. නැතුව අනාගතේ නොදැක කවදාවත් තමන් ජීවත් වෙනව සහ වෙන්න ඕනා කියල අමතක කරන්න එපා.
ඉඩමක් ගන්න, ගෙයක් හදන්න, වාහනයක් ගන්න, කසාදයක් බැඳල දරුවො හදාගෙන ලස්සනට ජීවත් වෙන්න වගේ හීන මහ මෙරකට දරාගෙන සමහර අය ජීවත් වෙනව. අතීත දුක් මතක ඔලුවෙ තියාගෙන අපි ඒවට මූණ දුන්නොත් අපිට කවදාවත් ජීවත් වෙනව කියල දැනෙන විදියට ජීවත් වෙන්න බෑ.
අපි කොච්චර පරිස්සම් උනත් අපිට හිත් රිද්දන මිනිස්සු හම්බෙනව, පපුව පුච්චන ප්‍රේමයන් හම්බෙනව, ලඟා කරගන්න බැරි හීන අපේ මනසෙ ඇති වෙනව.
ඒත් අමතක කරන්න එපා අපි ගැන බලාපොරොත්තු තියන් ඉන්න.මිනිස්සු වෙනුවෙන් අප ජීවත් වෙන්න ඕන කියල. තමන් වෙනුවෙන් ජීවත් වෙන්න ඕන කියල.
බුකිය ඇතුලෙ හරි ලස්සන වදනක් දැක්ක. ඒක පහලින් අමුණන්නම්. ප්‍රශ්න අහපු හැමෝටම පොදු උත්තරයක් වෙයි ඒක.
හිත රිද්දන දේවල් ගැන හිතුවට කමක් නෑ, ඒ ගැන කතා කරාට කමක් නෑ, ඒවා ලගා කරගන්න හීන මැව්වට කමක් නෑ. නමුත්... ඔයාගෙ දරාගැනීමේ සීමාවෙන් ඒ දේවල් පිට පනිනවනම් කවදාවත් පහන් දැල්ලට පැනල පිච්චිලා යන පළගැටියෙක් වෙන්න එපා..
නිශ්ශබ්ද වෙන්න... අන්ධ නොවන්න...
🖋️ ඉරාන් යූ කුමාරගේ