
22/06/2025
𝐑 𝐞 𝐜 𝐢 𝐩 𝐞 📖️ කොක්ටේල් / මොක්ටේල් Cocktail /mocktail
ගෙදර පාටියක් වෙලාවට ලේසියෙන් හදාගන්න පුළුවන් ජග් කොක්ටේල් කීපයක්!
අපි ගෙදරක පාටියක් එහෙම දානකොට බොන්න මොනවහරි එහෙමත් අවශ්‍ය වෙනවනේ. හැබැයි ඉතින් විශේෂයෙන්ම ගෙදර පාටියක් වෙලාවට වෙනම බෝතල් පිටින් තියලා බොන්න සෙට් වෙනවට වඩා හොඳයි, හැමෝටම සෙට් වෙන හොඳ කොක්ටේල් එකක් වගේ සීන් එකක් කරන එක. හැබැයි ඉතින් එහෙම කිවුවහම අපිට ඔලුවට එන්නේ අර හොඳ ලෙවල් එකේ බාර් එකක බාර් අයියා කොක්ටේල් හදන විදියනේ. අනං මනං එක එක විදියේ ෂේකර් වලට දාලා, අමුතු අමුතු ගැජට් බැජට් පාවිච්චි කරලා, කරකවලා, උඩදාලා, දන්න සර්කස් ඔක්කොම දාලනේ එක කොක්ටේල් එකකුත් හදන්නේ. එහෙව් එකේ පාටියක සෙට් එකකට දෙන්න කොහොමදෑ ගෙදර කොක්ටේල් හදන්නේ?
එහෙම කිව්වට සැලෙන්න එපා. ගෙදර හදන්න පුළුවන් ඇල්කොහොල් මිශ්‍ර බීම වර්ග, ඒ කියන්නේ කොක්ටේල් වර්ග තියෙනවා. පහසුවෙන් හදාගන්නත් පුළුවන්. ඕවලට ජග් කොක්ටේල්ස් කියලත් කියනවා, ගෙදර තියෙන ජග්ගුවක වගේ හදාගන්න පුළුවන් නිසා. ඒ නිසා, අපි හිතුවා ඒ විදියේ රෙසිපි කීපයක් ගැන ලියන්න. එතකොට ආයෙ ගෙදර පාටියක් සෙට් වෙන වෙලාවට හිත හිතා ඉන්න දෙයක් නෑ!
1. Mojito pitcher
මොහිතෝ ගැන අපි හැමෝම දන්නවනේ. පාටියකට සෙට් වෙන්න හොඳ ක්ලැසික් මොහිතෝ පිචර් එකක් වගේම, ස්ට්‍රෝබෙරි මොහිතෝ වගේ වෙන වෙන රස එකතුකරපු මොහිතෝ එහෙමත් හදන්න පුළුවන්. හදන්නේ මෙහෙමයි.
අවශ්‍ය ද්‍රව්‍ය
ලයිම් දෙහි ගෙඩි 7 ක්
කැට තියෙන සීනි මේස හැඳි 4 ක්
මින්ට් ඉති 4-5 ක්
වයිට් රම් මිලිලීටර් 350
ස්පාර්ක්ලින් වෝටර් මිලිලීටර් 600 ක්
හදන ක්‍රමය
ලෙමන් දෙහි ගෙඩි 6 ක් අරගෙන, එක එක ගෙඩිය ගාණේ කෑලි හයකට කපාගෙන, ලීටර් 2 ක විතර ජග්ගුවකට දාගන්න. ඒකට සීනිත් දාලා, ලී හැන්දක් වගේ එකක් හරි රෝලින් පින් එකක් හරි අරගෙන, ජග්ගුවේ අඩියේ තියෙන දෙහි සහ සීනි ටික හොඳට තලලා, පල්ප් කරගන්න.
මින්ට් කොළ ටික කඩලා එක අල්ලකට අරගෙන, ඒක උඩට අනික් අල්ලෙන් ගහලා, ටිකක් කොළ ටික තලාගන්න. දැන් ඒ ටිකත් ජග්ගුවට දාගන්න.
ජග්ගුවේ හතරෙන් තුනක් පිරෙන්න අයිස් දාගන්න. දැන් රම් එකතු කරන්න. දිග හැන්දකින් දැන් හොඳට මිශ්‍ර කරන ගමන්, ජග්ගුවේ ඉතුරු ටික පිරෙන්න ස්පාර්ක්ලින් වෝටර් එකතු කරගන්න.
ආයෙත් හැඳි ගාලා මිශ්‍ර කරලා, ඉතුරු ලයිම් දෙහි ගෙඩියේ පෙති වීදුරුවේ දාරෙට ගහලා වීදුරු වලට මොහිතෝ එක පුරවගන්න.
2. Rumberry Punch
ක්‍රැන්බෙරි යුෂ සහ රම් දාලා රම්බෙරි පන්ච් එකක් හදාගන්නෙ මෙහෙමයි!
අවශ්‍ය ද්‍රව්‍ය
ඩාර්ක් රම් මිලිලීටර් 350 ක්
ක්‍රැන්බෙරි යුෂ ලීටර් 1 ක්
ජින්ජර් ඒල් ලීටර් 1 ක්
හදන ක්‍රමය
මුලින් රම් බෝතලේ ෆ්‍රිජ් එකේ දාලා ටිකක් කූල් කරගන්න.
ක්‍රැන්බෙරි සහ ජින්ජර් ඒල් දෙකත් ඒ විදියටම කූල් වෙන්න තියන්න.
ඊට පස්සේ ඩාර්ක් රම්, ක්‍රැන්බෙරි සහ ජින්ජර් ඒල් තුනම වීදුරු ජග්ගුවකට හරි, ලොකු බෝල් එකකට හරි දාලා මිශ්‍ර කරගන්න. ඊට පස්සේ පිළිගන්වනකොට, අයිස් දාපු වීදුරු වලට දාලා පිළිගන්වගන්න.
3. Long Island Iced Tea
එක එක විදියේ ඇල්කොහොල් වර්ග කීපයක් එකට එකතු කරලා හදපු ලෝන්ග් අයිලන්ඩ් අයිස් ටී එකේ අමුතු කික් එකක් තියෙන්නේ. රස්නේ කාලේ පාටියකට හැමෝටම හරියන්න කොක්ටේල් එකක් විදියටත් මේක හදාගන්න බැරි නෑ. හදන්නෙ මෙහෙමයි!
අවශ්‍ය ද්‍රව්‍ය
වොඩ්කා මිලිලීටර් 50 ක්
ඩ්‍රයි ජින් මිලිලීටර් 50 ක්
ටකීලා මිලිලීටර් 50 ක්
රම් මිලිලීටර් 50 ක්
ට්‍රිපල් සෙක් මිලිලීටර් 50 ක්
නැවුම්ව මිරිකා ගත් ලයිම් දෙහි යුෂ මිලිලීටර් 50-100 ක්
කෝලා මිලිලීටර් 500 ක්
අයිස්
කැබලි කපාගත් ලයිම් දෙහි ගෙඩි දෙකක්
හදන ක්‍රමය
ලොකු ජග්ගුවක් අරගෙන, ඒකට වොඩ්කා, ජින්, ටෙකීලා, රම් සහ ට්‍රිපල් සෙක් ටික දාලා මිශ්‍ර කරගන්න. දැන් ඒකට රස අනුව ලයිම් දෙහි යුෂ දාන්න. ඊට පස්සේ ජග්ගුවෙන් භාගයක් විතර පිරෙන්න අයිස් දාන්න.
දැන් ජග්ගුව සීතලයි කියලා දැනෙනකල්ම හැඳිගාමින් මිශ්‍ර කරගන්න. එහෙම හැඳිගාන අතරෙම ටික ටික කෝලා ටික එකතු කරගන්න. ඒකටම කෑලි කපාගත්තු ලයිම් දෙහි ටිකත් දාන්න.
පිළිගන්වකොටත් එක් එක් වීදුරුවකට අයිස් කැට දාලා, ඒක උඩින් හදාගත්තු ලෝන්ග් අයිලන්ඩ් අයිස් ටී එක දාගන්න.
4. Ginger, Apple & Vanilla Punch
ෆ්‍රෙෂ් ගතියත් එක්ක හොඳ පන්ච් එකකුත් තියෙන ඉඟුරු-ඇපල්-වැනිලා පන්ච් එකක්, හවස් වරුවක එහෙම පාටියකට මරුවට නැගලා යයි. හදාගන්නේ මෙහෙමයි.
අවශ්‍ය ද්‍රව්‍ය
ජින්ජර් බියර් ලීටර් 1 ක්
ශීත කරගත් ඇපල් යුෂ මිලිලීටර් 500 ක්
වැනිලා වොඩ්කා වර්ගයකින් මිලිලීටර් 500 ක්
නැවුම් ලයිම් දෙහි ගෙඩි 2 ක යුෂ
කැබලි කපාගත් ලයිම් දෙහි ගෙඩි 2 ක්
සිහින්ව කපාගත් ඇපල් ගෙඩි 1 ක්
සුද්ධ කර සිහින් කැබලි කරගත් අඟලක පමණ ඉඟුරු කැබැල්ලක්
හදන ක්‍රමය
ලොකු ජග්ගුවක් අරගෙන ඒකට ජින්ජර් බියර්, ඇපල් යුෂ, වැනිලා වොඩ්කා සහ ලයිම් දෙහි යුෂ කියන ඔක්කොම එකතු කරගෙන, හොඳට මිශ්‍ර කරගන්න.
ඒකට සිහින්ව කපාගත්තු ඇපල්, ඉඟුරු සහ ලයිම් දෙහි කෑලි ටිකත් එකතු කරගන්න. ඒ ඔක්කොම මිශ්‍ර කරලා, පිළිගන්වන්න කලින් හොඳට අයිස් එකතු කරගන්න.
5. Easy Sangria
රස්නේ දවසකට ගැලපෙන, පළතුරු වලට ආස අයට කොහොමත් ගැලපෙන කොක්ටේල් එකක් තමයි සංග්‍රියා කියන්නේ. ගෙදර පාටියකට පහසුවෙන් සංග්‍රියා පිචර් එකක් හදාගන්නේ මෙහෙමයි!
අවශ්‍ය ද්‍රව්‍ය
කැබලි කරගත් දොඩම් ගෙඩි 2 ක්
කැබලි කරගත් පෙයාර්ස් ගෙඩි 2 ක්
කැබලි කරගත් ලෙමන් දෙහි ගෙඩි 2 ක්
ලෙමන් දෙහි ගෙඩි 1 ක යුෂ
ස්ට්‍රෝබෙරි ග්‍රෑම් 200 ක්
කැට ලොකු සීනි මේස හැඳි 3 ක්
කුරුඳු කුඩු තේ හැඳි 1 ක්
රතු වයින් මිලිලීටර් 750 ක බෝතලයක්
ස්පාඤ්ඤ බ්‍රැන්ඩි වර්ගයකින් මිලිලීටර් 100 ක් (නැතිනම් විස්කි හරි රම් හරිත් අවුලක් නෑ)
ස්පාර්ක්ලින් වෝටර් මිලිලීටර් 100 ක්
අයිස්
හදන ක්‍රමය:
කුඩා කැබලි වලට කපාගත් පළතුරු සියල්ලට වීදුරු බෝල් එකකට දාගෙන, ඊට උඩින් සීනි සහ කුරුඳු කුඩු ඉහලා, ඒ ඔක්කොම පළතුරු කැබලි වලට උරාගන්න කල් හොඳින් කලවම් කරගන්න. දැන් මේ බෝල් එක ආවරණය කරලා පැය කීපයක් ශීතකරණයේ තියාගන්න. රැයක් ශීතකරණයේ තියන්න පුළුවන් නම් වඩාත් හොඳයි.
දැන් ලොකු ජග්ගුවකට අයිස් පුරවලා, ඒකට අර ශීතකරණයේ තියලා ගත්තු පළතුරු මිශ්‍රණය හැඳි ගාමින් එකතු කරන්න. මතක තියාගන්න, සීනි සම්පූර්ණයෙන්ම දියවෙන්නට අවශ්‍යයි. දැන් ඒකට වයින් සහ බ්‍රැන්ඩි ටික ටික කවලම් කරමින් එකතු කරන්න. දැන් ඒ මතට ස්පාර්ක්ලින් වෝටර් එකතු කරගන්න. සංග්‍රියා කොක්ටේල් එක දැන් පාටියට පිළිගන්වන්න ලෑස්තියි!
6. Pimm’s
පිම්ස් කියන්නේ හදාගන්න අතිශයින්ම පහසු කොක්ටේල් එකක් වුණාට, ට්‍රික් එක තියෙන්නේ ඒකට අවශ්‍ය පිම්ස් නම්බර් 1 ජින් ලිකර් එක හොයාගන්න එක. ඒක හොයාගත්තොත්, පාටියකට සෙට් වෙන මරු කොක්ටේල් එකක් තමයි පිම්ස් කියන්නේ!
අවශ්‍ය ද්‍රව්‍ය
පිම්ස් නම්බර් 1 මිලිලීටර් 200 ක්
ලෙමනේඩ් මිලිලීටර් 600 ක්
මින්ට් කිනිති ටිකක්
කපාගත් පිපිඤ්ඤා පෙති කීපයක්
කපාගත් දොඩම් ගෙඩියක්
කපාගත් ස්ට්‍රෝබෙරි ටිකක්
හදන ක්‍රමය:
ජග්ගුවක් අරගෙන, ඒක අයිස් වලින් පුරවගන්න. දැන් ඒක උඩට පිම්ස් නම්බර් 1 සහ ලෙමනේඩ් පුරවන්න. ගෙදර එවෙලේ හදාගත් ලෙමනේඩ් නම් වඩාත් හොඳයි.
දැන් ඒක හොඳට කලතා ගනිමින් මිශ්‍ර කරගන්න. දැන් ඒ මතට මින්ට් කොළ, පිපිඤ්ඤා කැබලි, දොඩම් කබලි සහ කපාගත් ස්ට්‍රෝබෙරි කැබලි එකතු කරගන්න.
7. Mango & Pineapple Mojito
ගෙදර පාටියකට ක්ලැසික් මොහිතෝ එකක් හදාගන්න හැටි නම් අපි කිව්වනේ. දැන් කියන්න යන්නේ අඹ සහ අන්නාසි රසත් එක්ක මොහිතෝ එකක් හදාගන්න විදිය ගැන තමයි.
අවශ්‍ය ද්‍රව්‍ය
කුඩා කැබලි කරගත් අන්නාසි ග්‍රෑම් 50 ක්
කුඩා කැබලි කරගත් අඹ ග්‍රෑම් 50 ක්
කුඩා කැබලි කරගත් ලයිම් දෙහි ගෙඩි 3 ක්
සිහින් දුඹුරු සීනි මේස හැඳි 2 ක්
මින්ට් කිනිති 2 ක කොළ
වයිට් රම් මිලිලීටර් 150 ක්
පයිනැපල් රම් මිලිලීටර් 200 ක්
ස්පාර්ක්ලින් වෝටර් මිලිලීටර් 600 ක්
අයිස්
හදන ක්‍රමය:
අන්නාසි කැබලි, අඹ කැබලි, ලයිම් දෙහි කැබලි සහ සීනි ඉඩ තියෙන ජග්ගුවකට දාලා, ලී හැන්දකින් හරි රෝලින් පින් එකක අගිස්සකින් හරි හොඳට තලාගනිමින් මිශ්‍ර කරගන්න.
දැන් අත්ලක තියලා පොඩ්ඩක් පොඩි කරපු මිංචි කොළ ඒකට දාලා, මිශ්‍ර කරලා, ඊට උඩින් අයිස් දාන්න. දැන් ඒකට වයිට් රම්, පයිනැපල් රම් සහ ස්පාර්ක්ලින් වෝටර් දාන ගමන් හොඳින් මිශ්‍ර කරගන්න.
පයිනැපල් රම් හොඳ බ්‍රෑන්ඩ් එකක් හොයාගන්න නැති වුණොත් අවුලක් ගන්න එපා. පයිනැපල් ජූස් එකකින් ටිකක් රස අනුව දාගෙන බලන්න.
ක්ලැසික් කොක්ටේල් 7ක්!
අපි හැමදාම කියන එකක් තමයි, බොනවා කියන්නේ බෝතලේකුයි සැන්ඩි බෝතලේකුයි මැදින් තියාගෙන කුදාර් වෙන්න ගහන එක නෙවේය කියන එක. බොන්න ඕන සිහි නැති වෙන ලෙවල් එකට මත් වෙන්න නෙවෙයි, බොන බීමක වුනත් රසක් විඳින්නත් පුලුවන් වෙන්න ඕන. ඒකට එක උදාහරණයක් තමයි කොක්ටේල් කියන්නේ. කොක්ටේල් වර්ග සාමාන්‍යයෙන් කුදාර් වෙන්න ගහන ඈයෝ අල්ලන්නෙවත් නෑ. මොකද කොක්ටේල් එකක් බිව්වා කියලා කණ් පාත්වෙන්න වදින්නෙ නැහැනේ. හැබැයි මත්පැන් වර්ග, වෙන වෙන අමුද්‍රව්‍ය, බීම වර්ග කීපයක් එකතුවෙලා හැදෙන කොක්ටේල් එකක් කියන්නේ ආට් එකක්. ඒ නිසා කොක්ටේල් එකක් රස විඳින්න නම් බීමේ ආට් එක තේරෙන කෙනෙක් වෙන්න ඕන.
දැන් බීමේ ආට් එක තේරෙන මනුස්සයෙක් නම් අනිවාර්‍යයෙන්ම දැනගෙන ඉන්න ඕන ක්ලැසික් කොක්ටේල් වර්ග කීපයක් තියෙනවා. අපි මේ කියන්න යන්නේ ආන්න ඒ ක්ලැසික් කොක්ටේල් වර්ග කීපයක් ගැන තමයි.
1. Martini
පරණ ජේම්ස් බොන්ඩ් ෆිල්ම්ස් බලලා තියෙන කෙනෙක්ට මාටිනි එක වරදින්න විදියක් නෑ. සමහරු සලකන්නේ මාටිනි කියන්නේ ලෝකේ තියෙන අති විශිෂ්ටම කොක්ටේල් එක කියලා තමයි. ඒ කාලේ ඉඳලම ‘ජෙන්ට්ල්මන්ස්’ ඩ්‍රින්ක් එකක් විදියට සැලකෙන මාටිනි එකක ඇත්තටම අඩංගු වෙන්නේ ජින් කොටස් දෙකහමාරකට ඩ්‍රයි වර්මූත් කොටස් එකක්. ඉන් පස්සේ නැවුම්ව ගලවා ගත්තු ලෙමන් ලෙලි කැබැල්ලක් පොඩ්ඩක් ඩ්‍රින්ක් එකට මිරිකලා අරගෙන ඒක ඇතුළටම දාගන්න පුලුවන්. හැබැයි මාටිනි එකක එන ක්ලැසික් සැරසිල්ල තමයි ටූත් පික් එකක ගහපු ඔලිව් ගෙඩි තුනක්. ඒක තමන්ගේ කැමැත්තේ විදියට. එතකොට ‘ඩර්ටි මාටිනි’ එකක් කියන්නේ ඔලිව් යුෂ බිඳිත්තක් දාපු මාටිනි එකක්.
2. Mojito
ඕනම හාඩ්කෝර් ලිකර් ලෝලියෙක් වුනත්, රස්නේ දවසක දෙන මොහිතෝ එකකට එපා කියන්නෙ නැහැ. ඇත්තටම මොහිතෝ එකේ විවිධාකාර වෙනස් කම් සහිත මොහිතෝ වර්ග තියෙනවා දැන්. හැබැයි ක්ලැසික් මොහිතෝ එකක අඩංගු වෙන්නේ වයිට් රම්, උක් යුෂ, ලයිම් දෙහි යුෂ, සෝඩා වතුර සහ මින්ට්. දැන් නම් සීනි තමයි උක් යුෂ වෙනුවට දාන්නේ. මේ දාපු මින්ට් කොළ කොලින් ග්ලාස් එකක පතුලේ හොඳට තලාගෙන තමයි මොහිතෝ එක හදාගන්නේ. දැන් මේ මොහිතෝ එක ඕන නම් රම් නැතුව හදාගන්නත් පුලුවන්. එතකොට ඒක වර්ජින් මොහිතෝ. එහෙම නැතිනම් මේකට අන්නාසි, ස්ට්‍රෝබෙරි වගේ තමන් කැමති පළතුරු වර්ගයකුත් මිශ්‍ර කරගන්න පුලුවන්. එහෙම තමයි පයිනැපල් මොහිතෝ, ස්ට්‍රෝබෙරි මොහිතෝ වගේ ඩ්‍රින්ක්ස් හැදෙන්නේ.
3. Margarita
ඉතිහාසගත තවත් කොක්ටේල් එකක් තමයි මාගරිටා කියන්නේ! සාමාන්‍යයෙන් ක්ලැසික් මාගරීටා එකක අඩංගු වෙන්නේ ටිකීලා, ඔරේන්ජ් ලිකර් සහ ලයිම් ජූස් තමයි. ඒ වගේම විවිධාකාරයේ වීදුරු වල මාගරීටා පිළිගන්වනවා. හැබැයි මාගරීටා එකක් පටස් ගාලා අඳුනගන්න පුලුවන් ක්‍රමයක් තියෙනවා. ඒ තමයි වීදුරුවේ උඩ දාරය වටේට තියෙන ලුණු රවුම. මාගරීටා එකක් හදන්නේ සාමාන්‍යයෙන් හොඳ වර්ගයේ ටිකීලා කොටස් 7 ක්, කොන්ට්‍රාවු කියලා හඳුන්වන ඔරේන්ජ් රස ට්‍රිපල් සෙක් ලිකර් කොටස් 4 ක් සහ නැවුම්ව මිරිකා ගත් ලයිම් දෙහි යුෂ කොටස් 3 ක් එකතු කරලා තමයි. මේ ඔක්කොම ෂේකර් එකක අයිස් එක්ක ෂේක් කරලා අරගෙන හදාගන්න කොක්ටේල් එක, ලුණු රවුමක් රිම් එකේ තියෙන වීදුරුවට දාලා, දෙහි පෙත්තකින් සරසා ගන්නවා. දන්නවනේ ටිකීලා කොහොමත් බොන්නේ ලුණු සහ දෙහි එක්ක කියලා.
4. Pina Colada
පිඤ්ඤාකොලාදා කියන්නේ තවත් ඓතිහාසික කොක්ටේල් එකක්. අහන්න ලැබෙනා විදියට 1800 ගණන් වල පුඑර්තෝ රිකෝ මුහුදු කොල්ලකාරයෙක් වුණු රොබෙර්තෝ කොෆ්‍රේසි තමන්ගේ නාවික කණ්ඩායමේ මොරාල් එක නංවන්න හදලා දීපු ඩ්‍රින්ක් එකක්ලු මේක. හැබැයි ඉතින් මේකෙන් මොරාල් එක නගිනවද, එහෙම නැතිනම් නැවේ තට්‍ටුවේ වාඩියක් දාගෙන මුහුද දිහා බලාගෙන සැපේ ඉන්න හිතෙනවද කියන එක ප්‍රශ්නයක්. අපි එහෙම කියන්නේ පිඤ්ඤාකොලාදා කියන්නේ බොහොම මිහිරි රසක් සහ නැවුම් බවක් ගෙනදෙන කොක්ටේල් එකක් නිසා. එහෙම නැතුව තදබල ඇල්කොහොල් පන්ච් එකක් ලබාදෙන කොක්ටේල් එකක් නොවෙන නිසා. හැබැයි ඉතින් කටවහරේ එන විදියට රොබෙර්තෝ හදපු ඩ්‍රින්ක් එක පිඤ්ඤකොලාදාම කියන්න බැහැ. ඒකේ අඩංගු වෙන්නේ පොල්, අන්නාසි සහ වයිට් රම් වුනත්, රොබෙර්තෝ මැරුණත් එක්කම ඒ රෙසිපියත් අභාවයට ගියා කියලයි කියවෙන්නේ.
කොහොම වුනත් වර්තමානයේ පිඤ්ඤකොලාදා හදන්නේ වයිට් රම් කොටසකට, පොල් ක්‍රීම් කොටසක් සහ අන්නාසි යුෂ කොටස් තුනක් දාලා තමයි. මේ ඔක්කොම බ්ලෙන්ඩර් එකක අයිස් එක්ක ක්‍රෂ් කරලා, නැතිනම් අයිස් එක්ක ෂේක් කරලා හදන පිඤ්ඤකොලාදා එක දිව්‍යලෝක රහයි!
5. Manhattan
නිව්යෝර්ක් නගරයේ කෝරලයන්ගේ නම් වලින් නම් කරපු කොක්ටේල් වලින් ප්‍රසිද්ධම එකක් වෙන මැන්හැට්න් සාමාන්‍යයෙන් පන්ච් එකක් ලබාදෙන කොක්ටේල් එකක්. සාම්ප්‍රදායිකව නම් රයි විස්කි වලින් මැන්හැට්න් හැදුවත්, මේ වෙනකොට බර්බන් වලින් හරි කැනේඩියන් විස්කි වලින් හරි ටෙනසි විස්කි වලින් එහෙමත් මැන්හැට්න් හදනවා. මැන්හැට්න් කොක්ටේල් එකේ අඩංගු වෙන්නේ විස්කි, වර්මූත් සහ තිත්ත රස පොඩ්ඩක් තමයි. විස්කි කොටස් දෙකකට ස්වීට් රෙඩ් වර්මූත් කොටස් එකක් දාලා, ඒකට අන්ගුස්තුරා බිටර්ස් බිඳිති විස්සක විතර ප්‍රමාණය දාලා තමයි මැන්හැට්න් හදන්නේ. ගොඩක් වෙලාවට ඇමරිකන් විස්කි වලට ආගන්තුකයෙක්ට මුලින්ම පටන් ගන්න පුලුවන් මැන්හැට්න් කොක්ටේල් එකෙන්!
6. Old Fashioned
නිකම්ම ඕල්ඩ් ෆැෂන්ඩ් කියලා කිව්වට, ඇත්තටම මේ විස්කි එකේ නම ඕල්ඩ් ෆැෂන්ඩ් විස්කි කොක්ටේල්! කීමට කියන්නේ ඕල්ඩ් ෆැෂන්ඩ් කොක්ටේල් එක ගැන නොදන්න හාදයෙක් කොක්ටේල් බීලා වැඩක් නෑ කියලා තමයි. මේකටත් පරණ ක්‍රමේට හදනවා නම් හරියන්නේ රයි විස්කි තමයි. හැබැයි බර්බන් වුනත්, වෙනත් විස්කි වර්ගයක් වුනත් ගැටළුවක් නෑ. විස්කි අවුන්ස දෙකකට අන්ගුස්තුරා බිටර්ස් ඩෑෂස් දෙකක්, ඒ කියන්නේ බිංදු විස්සක් විතරක් දාලා තමයි මේක හදන්නේ. සාමාන්‍යයෙන් ඕල්ඩ් ෆැෂන්ඩ් ග්ලාස් එකකට සීනි කැටයක් දාලා, ඒකට අන්ගුස්තුරා දාලා, අර මඩ්ලර් කියලා කියන පුංචි මෝල්ගහ වගේ අයිටම් එකකින් හොඳට කොටාගන්න ඕන. දැන් ඒකට විශාල අයිස් කැටයක් එකතු කරලා, තලාගත්තු සීනි සහ තිත්ත මතට විස්කි එකතු කරලා, හැන්දකින් හොඳින් කලවම් කරගන්න ඕන. ඕනම නම් ඕකට දොඩම් පෙත්තක් දාලා සරසගත්තත් කාරි නෑ!
7. Gin & Tonic
ජින් ඇන්ඩ් ටොනික් කියපු ගමන් අපේ ඔලුවට එන්නේ මාරම ඊසි කොක්ටේල් එකක්නේ. හැබැයි එක්ස්පර්ට් බාර්ටෙන්ඩර්ලා කියන විදියට ඇත්තටම ජින් ඇන්ඩ් ටොනික් වැඩේ හරියටම කරගන්න එක ලේසි නෑ. හරියටම පොතේ හැටියට රෙසිපිය බලාගෙන හැදුවත් ජින් සහ ටොනික් රස බැලන්ස් කරගන්න පොඩ්ඩක් ප්‍රැක්ටිස් එක තියෙන්න ඕනෑලු. කොහොම වුනත් ක්ලැසික් ජින් ඇන්ඩ් ටොනික් හදාගන්නේ අයිස් පුරවපු හයිබෝල් ග්ලාස් එකකට ජින් සහ ටොනික් වතුර කොටස් එක බැගින් දාගෙන තමයි. ඇල්කොහොල් රස අඩුවෙන් ඕන නම් ජින් කොටසට ටොනික් කොටස් තුනක් දාගන්නත් පුලුවන්. ඊට පස්සේ ලයිම් දෙහි පෙති කෑල්ලකින් සරසා ගන්න පුලුවන්. මේක ඕන නම් හදාගන්න පුලුවන් ජින් අවුන්ස දෙකකට, ලයිම් ජූස් අවුන්ස බාගෙකට පොඩ්ඩක් වැඩියෙන් දාලා, ඉන් පස්සේ හයිබෝල් ග්ලාස් එක පිරෙනකල් ටොනික් වතුර දාලා.
තව ක්ලැසික් කොක්ටේල් වර්ග තියෙනවා. හැබැයි නිතර හොයාගන්න පුලුවන් කොක්ටේල් වර්ග හතක් දැනගෙන ඉන්න එකත් ලොකු දෙයක්නේ. කොහොම වුනත් මතකයිනේ අපේ අවවාදය: කණ සාක්කුවට වැටෙන තුරු, නොගසන්න. කොක්ටේල් වුනත් ලිමිට් පැනලා බිව්වොත් වාහනේ සුක්කානමට හෝ බයිසිකලේ හැන්ඩ්ල් එකට අත නොතබන්න. වගකීමෙන් පානය කරන්න.
උත්සව අවස්ථාවකට රසට හදාගන්න පුළුවන් මොක්ටේල් රෙසිපි 7ක්
මොක්ටේල් (Mocktail) කියල කියන්නෙ කොක්ටේල් (Cocktail) වගේම හදන හැබැයි ඇල්කොහොල් අඩංගු වෙන්නෙ නැති බීමක්. ඇල්කොහොල් තියෙන නිසා කොක්ටේල් නොබොන අයට හොඳ මොක්ටේල් රෙසිපි ටිකක් තමයි අද අරගෙන එන්නෙ. ගෙදර පාටියක් එහෙම තියෙන වෙලාවක ඇල්කොහොල් නොබොන යාළුවන්ට බෝරින් වෙන්නෙ නැතිවෙන්න රසම රස මොක්ටේල් ටිකක් හදල බලමුද?
1. The Shirley Temple
අවශ්‍ය ද්‍රව්‍ය
රතු දෙළුම් යුෂ හෝ බෝතල් කළ චෙරි යුෂ මේස හැඳි 2ක්
7UP හෝ Sprite කෝප්ප කාලක්
චෙරි
අයිස් කැට
මුලින්ම වීදුරුව අයිස් වලින් පුරවන්න. දෙළුම් හෝ චෙරි යුෂ ඊට උඩින් දාගන්න.
අන්තිමට වීදුරුව පිරෙන්න උඩින් 7UP හෝ Sprite වක්කරන්න. චෙරි වලින් සරසලා බීමට ගන්න.
2. Coconut, Cucumber, Lime and Mint Cooler
අවශ්‍ය ද්‍රව්‍ය
පොල් වතුර කෝප්ප 1
සිහින්ව කපාගත් පිපිඤ්ඤා පෙති ටිකක්
දෙහි යුෂ 30ml
සීනි මේස හැඳි 1 1/2 (අවශ්‍යනම් පමණක්)
තලාගත් මිංචි කොළ මේස හැඳි 1 1/2
පොල්වතුර, පිපිඤ්ඤා, දෙහි යුෂ, සීනි සහ මිංචි කොළ එකට කළවම් කරන්න. පැය 2ක් පමණ ශීතකරණයක තබා සිසිල් කරන්න. සීතල පිටින්ම පිළිගන්වන්න.
3. Wildcat Cooler
අවශ්‍ය ද්‍රව්‍ය
බ්ලූබෙරි කෝප්ප 1
වතුර කෝප්ප 1
සීනි කෝප්ප 1
ලෙමන් යුෂ කෝප්ප 1
අවශ්‍ය පමණ කූල් වතුර
භාජනයක් ලිපේ තියලා බ්ලූබෙරි, සීනි සහ වතුර කෝප්පය එකතු කරලා හොඳින් උතුරවාගන්න.
ගින්දර අඩු කරලා විනාඩි 15ක් පමණ මද ගින්නේ තැම්බෙන්න දෙන්න. මේ මිශ්‍රණයේ යුෂ ටික පෙරලා වෙන් කරගෙන නිවෙන්න තියන්න.
වීදුරුවක් අරගෙන අයිස් පුරවා ගන්න.
අයිස් වලට උඩින් සකස් කරගත් බ්ලූබෙරි සිරප් එක දමාගන්න. ඊට උඩින් ලෙමන් යුෂ දමාගන්න. වීදුරුවේ ඉතිරිය පිරෙන්න කූල් වතුර දමාගන්න.
4. Pineapple Ginger Beer
අවශ්‍ය ද්‍රව්‍ය
දෙහි යුෂ 30ml
අන්නාසි යුෂ 30ml
ඉඟුරු යුෂ 30ml
ජින්ජර් බියර්
මිංචි කොළ ටිකක්
මුලින්ම වීදුරුවක් අරගෙන අයිස් පුරවා ගන්න.
දෙහි යුෂ, අන්නාසි යුෂ සහ ඉඟුරු යුෂ එකට කලවම් කරගෙන අයිස් මතට දමාගන්න.
වීදුරුව පිරෙන්න ජින්ජර් බියර් දමාගන්න. මිංචි කොළ කිහිපයකින් සරසා පිළිගන්වන්න.
5. Ginger Lime Spritzer
අවශ්‍ය ද්‍රව්‍ය
පිරිසිදු කර පෙති කපාගත් ඉඟුරු 150g
වතුර කෝප්ප 1
සීනි කෝප්ප 1
දෙහි යුෂ කෝප්ප ½
Sparkling Water හෝ සෝඩා
භාජනයක් ලිපේ තියලා ඉඟුරු, සීනි සහ වතුර එකට දාල නටවා ගන්න. මදගින්නේ සීනි දියවෙනතුරු තියන්න.
ලිපෙන් බාල විනාඩි 30ක් පමණ නිවෙන්න තියල දෙහි යුෂ එකතු කරන්න.
හදාගත්තු මිශ්‍රණය හොඳින් පෙරාගෙන ශීතකරණයක දමා සිසිල් කරගන්න.
ශීත කළ Sparkling water හෝ සෝඩා මිලි ලීටර් 250කට සකස් කරගත් මිශ්‍රණයෙන් මේස හැඳි 3ක් හෝ 4ක් කලවම් කර පිළිගන්වන්න.
6. Sparkling Cucumber Limeade
අවශ්‍ය ද්‍රව්‍ය
සීනි කෝප්ප 1
සූරාගත් දෙහි පොතු මේස හැඳි 1
වතුර කෝප්ප 1
මිංචි කොළ කෝප්ප 1/4
දෙහි යුෂ කෝප්ප 1
සිහින්ව කපාගත් කොළ පිපිඤ්ඤා ගෙඩි 1
Sparkling water හෝ සෝඩා කෝප්ප 2
භාජනයක් ලිපේ තියලා සීනි, දෙහි පොතු සහ වතුර එකතු කරලා මග ගින්නේ හැඳි ගාමින් සීනි දියවෙනකල් රත්කරගන්න.
ලිපෙන් බාලා මිංචි කොළ එකතු කරගන්න. විනාඩි 30ක් විතර නිවෙන්න තියන්න. නිවුනට පස්සෙ මිශ්‍රණය හොඳින් පෙරාගන්න.
දෙහි යුෂ සහ පිපිඤ්ඤා හදාගත්ත මිශ්‍රණය සමඟ කළවම් කරගන්න. පැයක් පමණ ශීතකරණයේ තියලා සිසිල් කරගන්න. පිළිගන්වන්න කලින් අයිස් සහ sparkling water/soda එකතු කරගන්න.
7. Virgin Mojito
අවශ්‍ය ද්‍රව්‍ය
පෙති කපාගත් දෙහි ගෙඩි 1
කුඩු කරගත් සීනි තෙ හැඳි 1
මිංචි කොළ අහුරක්
ඇපල් යුෂ මේස හැඳි 3-4
Sparkling water හෝ සෝඩා
උස වීදුරුවකට සීනි සහ දෙහි පෙති එකට දාලා ප්ලාස්ටික් රෝලින් පින් එකකින් හෝ ඒ වගේ දේකින් හොඳින් තලාගන්න.
මිංචි කොළ එකතු කරලා ආයෙමත් තලාගන්න. ඊළඟට වීදුරුවට අයිස් පුරවාගන්න.
ඇපල් යුෂ උඩින් එකතු කරගන්න. උඩින් ශීත කළ sparkling water/soda එකතු කරලා මිංචි කොළ වලින්ම සරසලා පිළිගන්වන්න.
අන්තර්ජාලයේ තොරතුරු ඇසුරින් සැකසුම හා ඉදිරිපත් කිරීම කෑමලෝකෙ ✍️
´´´´´´´´´´´´´´´