07/04/2024
අවුරුදු කන්න සල්ලි තියෙන මිනිස්සු නිසා නෙමෙයි, අවුරුදු කන්න සල්ලි නැති මිනිස්සු නිසා තමයි මේ දවස් වල රෙදි කඩවල් වල ඇගිල්ලක් ගහන්න බැරි වෙලා තියෙන්නෙ.
පිළිගන්න අමාරුයි නේද??
ඒක තමයි ඇත්ත.
සල්ලි තියෙන ගොඩක් අය මේ වෙනකොට new year shopping කරල ඉවරයි. තමන්ට, පවුලෙ අයට ඕනෙ හැමදේම අරගෙනත් ඉවරයි.
අවුරුද්දට දවස් ලං වෙනකොට කඩවල් ඇතුලෙ පිරෙන බහුතරයක් අතේ තියෙන කීයෙන් හරි අවුරුද්ද පිරිමහගන්න හදන, තමන්ගෙ ආසාවට වඩා යුතුකම් වගකීම් වලින් මිරිකිච්ච මිනිස්සු.
දුවට පුතාට, නෝනට, මහත්තයට, අම්මට, තාත්තට, නංගිට, මල්ලිට, අක්කට, අයියට, පවුලෙ අනිත් වැඩිහිටියන්ට අවුරුද්දට අලුත් ඇදුමක් අරන් දෙන්න ඕනෙ කියන හැගීමට, අතේ තියෙන තුට්ටු දෙකෙන් සාධාරණයක් කරන්න හදන අහිංසක මිනිස්සු.
කඩේට එන්නෙ කලින් තීරණය කරපු මුදලක් අරගෙන. ඒක තමයි ඇදුම් ගන්න වියදම් කරන්න පුලුවන් budget එක. ඔලුව ඇතුලෙ / phone එකේ / සාක්කුවෙ දාගත්ත කොළ කෑල්ලක තියෙනව ඇදුම් ගන්න ඕන අයගෙ ලිස්ට් එක.
අතේ තියෙන ගානට, ලිස්ට් එකේ ඉන්න ඔක්කොටම ඇදුම් අරගෙන, පුලුවන් උනොත් තමන්ටත් මොකක් හරි අරගන්න බලාගෙන රෙදි කඩේකට රිංගන මනුස්සයෙක්ට shopping කරන්න ගතවෙන කාලෙ සෑහෙන වැඩියි.
වෙන මිනිස්සු බලන්නෙ ඩිසයින් එක, මැටීරියල් එක, සයිස් එක, පාට සහ මිළ විතරක් උනාට budget එකකට shopping කරන කෙනෙක්ට මේ දේවල් වලට අමතරව තමන් තෝරන එක item එකක් ගානෙම අනිත් අයට ඇදුම් අරගන්න සල්ලි ඇතිද කියන එකත් හිතල බලන්නම වෙනවා.
ගාණ වැඩියි වගේ නම්, සල්ලි මදි වෙයි කියල බය නිසා රෙදි රැක් පෙරල පෙරල ඊට වඩා අඩුවට ලස්සන ඇදුමක් හොයාගන්න බලනවා. ඉතින් දන්නෙම නැතුව වෙලාව යනවා.
පයක් ගහන්න ඉඩක් නැති රෙදි කඩයක් අස්සෙ දවසක්ම ඇවිදලා, පැය ගණන් පෝලිම් වල ඉදලා ලිස්ට් එකේ ඔක්කොටම සහ තමන්ටත් ඇදුම් කෑල්ලක් ගන්න පුලුවන් වෙනව කියන්නෙ ඒක මාරම ජයග්‍රහණයක්.
10 වෙනිදට පඩි ආවට පස්සෙ තව සෙට් එකක්ම මේ විදියට shopping කරන්න බලාගෙන ඉන්නවා. බලන අපිට ආතල් එකක් උනාට මේ තරම් කට්ටක් කාලා රෙදි තෝරන මිනිස්සු නිසාම ඒ අයගෙ පවුල් වල අනිත් අය අවුරුදු දවසට හිනාවෙනවා.
කොච්චර නැතිබැරි උනත්, මිනිස්සු තමන් ආදරේ කරන අය වෙනුවෙන් හැම අවුරුද්දකම මේ විදියට රෙදි කඩවල් වල රොද බදිනවා…