Mino & Mom's Stories

Mino & Mom's Stories Contact information, map and directions, contact form, opening hours, services, ratings, photos, videos and announcements from Mino & Mom's Stories, Digital creator, Yagoda, Gampaha.

අකුරින් සිතුවම් අඳින සිත් අහස

හිස් කඩදාසියක් මත හදවතේ ගැඹුරුම හැඟීම් තවරමින් මනස සුවපත් කිරීමට, කලබලකාරී ලෝකය මැදින් මොහොතකට හුදෙකලා වීමට ආත්මීය පියගැටපෙළ ඔස්සේ අකුරු අඩවියට පිවිසෙන්න.

06/09/2026
කාන්ති ගල්දූව හැර දමා යළි ගමට සේන්දු වී දින දෙකක් ඉක්ම ගොස් තිබුණි. නිවසට පය තැබූ මොහොතේ සිට කිසිවෙකු හෝ කතාබහට නොගිය ඈ ...
05/09/2026

කාන්ති ගල්දූව හැර දමා යළි ගමට සේන්දු වී දින දෙකක් ඉක්ම ගොස් තිබුණි. නිවසට පය තැබූ මොහොතේ සිට කිසිවෙකු හෝ කතාබහට නොගිය ඈ බොහෝ කාලයක් කාමරය තුළට වී ගත කළාය. නිවසින් යාමට මත්තෙන් පිරිපුන්ව තිබූ ඇගේ දෙකඹුල් මඳක් හැකිලී හකුපාඩා පිටතට නෙරාවිත් දිගටි දෙනෙත් සොවින් බර වී දෙතොලඟ නා දලු පැහැ ස්වභාවය වියැකී ශරීරය මදක් කෙසඟ වී ඇතැයි රක්ඛිතාට කාන්ති දුටු මොහොතේම සිතුණි.

ඈ ඒ පිළිබඳව කාන්ති ගෙන් අසන්නට නොගියේ හතර අතට නැමෙන දිවෙහි ගෑවි නොගෑවී නොගැළපෙන ආකාරයේ බඩ කැළතී යන හදවත පුපුරා යන ඇගේ මුවින් පිටවන ඇතැම් කඨෝර වදන් රක්ඛිතාගේ හදවතට විටෙක දරා ගැනීමට නොහැකි වූ බැවිනි.

"මොකක්ද අම්මේ.. අරයට වෙලා තියෙන්නේ.... ආපු වෙලේ ඉදන් මොකක්ද? මේ නටන නාඩගම... ඔය අපෙන් පළි දරන්නේ අපි එයාට මොන වරදක් කලාටද?"

කාන්තිගේ මේ විපර්යාසය දරාගත නොහැකි වූ උච්චතම අවස්ථාවේදී යශෝ මැණිකාගෙන් ඈ විමසා සිටියේ තරමක කෝපයෙනි.

"කටේ කිරිසුවද යන්නත් කලියෙන් ඔලුව නරක් කර ගත්තේ එයාද? අපිද?"

රක්ඛිතා කුඩා දරුවාගේ රෙදි කෑලි වනමින් හුන් යශෝ මැණිකාගෙන් අසා සිටියේ උස්හඬිනි. කෝපය මතින්ම දෑත බැඳි පොරවෙන් ගැසූ දර කොටෙන් විශාල දර කැබැල්ලක් දෙපළු වී එකක් සියඹලා ගසෙහි කඳේ වැදී නතර වූයේ ඇගේ දෙපාවේ නොගෑවී පාවී ගොසිනි.

"අනේ ලෝක්කියේ..... කෑ කොස්සන් නොගහ ඉදින්කෝ ඒකිට ඇහේවි....."

"ඇහෙන්න තමා කිව්වේ... ඇහුනයි කියල එයා මට මොනව කරන්නද? මං ඒකිගෙ අක්කා.... ඔයත් හැමදේම කරබාගෙන ඉන්න එපා අම්මේ... එයා ඔය ගමන ගියෙ අපේ මනාපෙන්ද? තමන්ගෙම හිතුවක්කාරකමටනේ..... අපි එයාව මේ ගෙදර තියාගන්න හැදුවේ වරදකටද? අපේම ලේ නේද කියලා කොයියම්ම ක්‍රමේකට හරි ආරක්ෂා කර ගන්නනේ.... දැන් මදැයි ඔය ගිහිල්ලා අටවගත්ත නම්බුව."

" ඔය හිතේ කේන්තියටයි ලැජ්ජාවටයිනෙ ගෙයි මුලු ගැහිලා ඉන්නේ... ටික දොහක් යනකල් ඔය ඉන්න විදිහට හිටපුවාදෙන් ලොක්කියේ....."

"ඉන්න විදිහට ඉන්න දෙන්න තිබුණා. අර පොඩි එවුන්ව කාමර කෑල්ලෙන් එළව ගන්නෙ නැතුව හිටියනම්. හැමෝටම රෑ ජාමෙට ඇහැපියාගන්නයි, ඇඳුම් කඩමල්ලක් මාරු කරගන්නයි තියෙන කාමර කෑල්ල. එයාට සින්නක්කරේට ලියලා දීලා ඇහැ කන පියාගෙන ඉන්න මට බෑ."

රක්ඛිතා කෝපයෙන් වෙව්ලන්නට විය. කාන්ති නිවසට පැමිණි මොහොතේ සිට බාල සහෝදර සහෝදරියන් කෙරෙහි දක්වන පටු ආකල්පය හා මුවින් පිට කරනු ලබන සැහැසි වදන් ඈ සිත රිදවා ඇත.

"අනේ ලොක්කියේ.... ඒකිගේ හිත රිදිලානේ බං තියෙන්නේ... ඔය නෙතේරුම් කොමට පටලවා ගත්ත පලහිලව් මිසක තේරුම් ඇතුව කරගත්ත දේවල්ද? දවසක් දෙකක් ඔහොම ඉඳලා හිත හදා ගනීවි බං"

"මයෙත් හිත රිදිල අම්මෙ තියෙන්නේ.... ඇයි ලොකු නංගි මේ විදිහට හැසිරෙන්නේ... පොඩි එවුන් පිට එවුන්ද? උනුත් එයා වයේම එක බඩවැල කඩාගෙන ආපු එවුන්. ගිණියම් පොළොව යටින් එකටම දුක් විඳින එවුන්.
එහෙව් එකේ හිතේ තෙතමනයක් නැති එකෙක් වගේ කොහොමද ඔහොම වෙනස්කම් කරන්නේ.... උන් පොඩි එවුන් මට ඔය ඔක්කොම එකයි."

රක්ඛිතා යළිත් ආවේගයෙන් දෑත බදා දර කොටය මතට පොරෝ පහරක් ගැසුවේ ඒ ආවේගය තම නිරාමිස මනසට එල්ල වූ දරුණු ප්‍රහාරයක් ලෙසිනි. මුවහත් පොරෝ තලයට හසු වූ ඉතිරි දර කැබැල්ලද දරදඩු හදකින් ලද අත් ප්‍රහාරය හමුවේ දෙකඩ වී ගියේ ඇගේ හදවතද ඉරිතලා ගියාක් මෙනි .කඨෝර දිවිය හමුවේ තුළ වුවත් උදාරත්වය පෙරදැරි කොටගෙන නැගී මහා වෘක්‍ෂයක් සේ පැළට සෙවන සැළසූ ඇගේ ළය මඩල පිළිලයකට හසුවූවාක් වැනි හැඟීමක් එකී සිතට දැනී යන්නට විය.එනමුදු කොයිතරම් විශාල වුවද තම රීරි මාංශය උරා බීමට දත කන එම පිළිලයට ගොදුරු වීමට ඇයට ඉඩදිය නොහැක. තම බාලයන්ගේ ජීවිතය ගුලි වී ඇත්තේ ඇගේ අල්ල මතය.මවක් සේ අම්මා ඔවුනට උපත දුන්නද ඔවුන්ගේ පැවැත්මේ තහවුරු බව ඇත්තේ තම ලෙයට මුසුවීය. ඔවුන්ගේ ඉතිරි දිවිය සුඛිත මුදිත කිරීම මේ ඉරි තැලී ගිය මහ පොළොව මත ලෙහෙසි පහසු කටයුත්තක් නොවන මුත් මේ කුඩා ශරීරයක් හිමි තළෙළු පැහැයක් උරුමකරගත්තී තුළ නම් ඇත්තේ මහ මෙරක් තරම් බලාපොරොත්තුය. ඒ තම බාල එවුන්ගේ ලෝකය වසා ඇති අඳුරු තිරපට ඉරා දමා දෙවියන්ට බුදුන්ට උරුම වූ වැව් බැඳි රාජ්‍යය මතින් අළු දුහුවිලි ගසා දමා ඔවුන්ගේ ඉරණම සොයාදීමය. ඉනික්බිති සිතින් ගතින් වාරු නොවුන කලෙක තම දෙමාපියන් රැකබලා ගනිමින් බැඳීම් වලින් මිදී මේ මහපොළොව මතම අවසන් හුස්ම හෙලීම මේ කුඩා දඩබ්බරියගේ ඒකායන අරමුණ වී තිබුණි.

රක්ඛිතා බර ඇති හුස්ම වැල් ඉහල පහල අදිමින් පපුව මත හිරවී කැකෑරෙමින් තිබෙන වේදනාව පිට කිරීමට නොතිත් උත්සහයක් දරමින් ඒ අසල වූ ලෑලි බංකුව මතට කඩා වැටුණාය

"ලෝක්කියේ....උඹ මයෙත් අම්මනේ මයෙ රත්තරනේ.... හිතේ තියෙන වේදනාව නිවා ගනිං මයෙ අම්මා... ඒකිගෙ හිත උඹටම තමා සීරු මාරුවට හදන්නන පුළුවනි.."

යශෝ මැණිකා තම වැඩිමහලු දියණිය අසලට ගොස් පොළොවටම අතහරින කෝපයෙන් වෙව්ලමින් මහ පොළොව මතම දෑස් අල්වා පුපුරා යාමට ආසන්න පපු කැවුත්ත සන්සුන් කර ගැනීමට වෙර දරමින් දිගු සුසුම් වැල් තම ගවුම කර මතින් පෙනෙන ළමැදට අතහරින ඈ දෙස බලා සිටි යශෝ මැණිකා තම වියළී ගිය ළය මත ඈ තෙරපවා ගත්තීය. කාර්බලික් සබන් සුවඳින් විහිදෙන තම වැඩිමහලු දියණියගේ හිස මුදුන මත සිපුම තවරමින් දෙකබුල් පිරිමැදුම් තැබුවාය.සැමදා කිරි සුවඳ දුන් තම මවගේ උණුසුම් පපු කැවුත්ත මතවූ මව්වත් සුවඳට ලෝභකම් කරන්නී ඒ ලද ඇසිල්ලෙන් පුපුර පුපුරා යන්නට වූ සිර කර ගත් කඳුළු වැල්ලක් දෙකඹුල් ඔස්සේ හීන්සීරුවට ඇගේ උස්වූ ගවුම් කර අතරින් විවර වූ ළමද මතට ගලා ගොස් අතුරුදන් විය. මහා මොකද්දෝ නොතේරෙන නොපෙනෙන අඳුරකට බියට පත් වූ යකඩ දියණිය මව් තුරුල මත කඩා හැලුණාය. ඇගේ උණුහුමින් දරදඬු ගති කෙමෙන් කෙමෙන් වියකී යන්නට වෙද්දී කැකෑරුණු කෝපය සමඟ පොර බදිමින් සිටි ඇගේ වත කොමළ සිහින් සරින් ගැස්සි ගැස්සී නිහඬතාවය මැද වියළි සුළඟට හසු වූ සුසුම් වැල් කැබලි කරමින් සියල්ල සෝදා කදුළු අතරින් නිදහසේ ගලා යෑමට ඈ ඉඩ දුන්නාය.

'"අඩාපං.. මයෙ අම්මා අඩාපං.. හිතේ දුක මොකටද මයි දෙයියෝ ගල් කරාන ඉන්නේ....උඹේ කැවුත්තට දුක නම් අඩාපං... මේ ගෙදර එවුන්ගේ කඳුළු පිහදාලම උඹේ කඳුළු ගල් වෙලා මගේ රත්තරනේ......"

යශෝ මැණිකා රක්ඛිතාගේ හිස මත පිරිමැදුම් තනන්නටත් අතුරක් නැතිව සිප ගන්නටත් ඈ සන්සුන් වන තුරුම නොසෙල්වෙමින් තුරුලට ගෙන උන්නාය.

කාමරයේ මුල්ලක දිරායාමට ආසන්න ලෑලි ඇඳ මත කාන්ති වකුටු වී හුන්නේ තම දෙනෙත් ඉහළින් එසෙවී තිබූ පොල් අතු සෙවිලි කළ වහලේ මතින් රාත්‍රී සිතුවම් අදිනා කුප්පි ලාම්පු එළියේ රූ රටා දෙස නෙත් යොමමිනි. ඇගේ බරති සුසුම් වැල් කාමරය පුරා හිස් අවකාශය පුරවන්නට තරම් ප්‍රබල වූ බව ඇගේ හුස්ම උස් පහත් වන ළමැද සාක්ෂි දරන්නට විය.

"අනේ මට යන්න ඕනෑ"

"ඉතින් පලයන්"

"එහෙනම් මාව අතැරපන්"

"උඹ අද හරි ලස්සනයි කෙල්ලේ.. හරියටම නෙළුම් මලක් වගේ... හරිම කුසුඹයි... හරිම සිනිදුයි.... මට උඹව ඉබින්න ඕනෑ කෙල්ලේ ..මට උඹව අතගාන්න ඕනෑ...."

"මට බෑ.... මට බෑ...."

"ඇයි ...ඇයි... උඹ මගේනේ කෙල්ලේ"

"උඹ ළඟ අද හරි ගඳයි... උඹ රා බීලා.... උඹ අද හරි අමුතුයි.. ඇස් දෙකත් රතු වෙලා...."

ඔහු මහ හඬින් දොඹ ගෙඩිවන් දෙනෙත් විසල් කරමින් ඒ පාළු මූකලාන දෙදරවමින් සිනාසෙන්නට වූයේ ඔහුගේ හැඩිදැඩි සිරුරට තෙරපවාගෙන හුන් ඒ කුඩා සිරුර උමතුවෙන් තව තවත් තම සිරුරට පොඩි කරවමිනනි.

"ඒ උඹට තියෙන ආදරේට රත්තරනේ..."

ඔහුගේ කෑදර දෙනෙත් බාල වයස්කාර කුඩා ගැහැණු සිරුර වෙතම ඔබමොබ දුවන්නට වූයේ අසීමාන්තිකව බුර බුරා නගින කාමුක නුරා හැඟුම් හා නලියමින් දඟලන ඉඳුරන් සන්තර්පනය කරගැනීමේ පහත් ආසාවෙනි.

දිනියා

අකුරු අඩවියට පැමිණි ඔබට ස්තුතියි ! ♥️♥️♥️♥️

අලුතින් කියවන අය මගේ page එක follow කරන්න . දැණුනු රසය ගැන වචනයක් ලියා ගෙන යන්න.

පින්සාර පන්හිදකඅකුරු පද කරන්නට......ආසයි මටඔබ නමින් මගේ නන්දුත්තරා.... ඔබ මතක ළය හොවා තුරුළු කොටසැනසෙමින්...... කහ එළිය ...
04/09/2026

පින්සාර පන්හිදක
අකුරු පද
කරන්නට......

ආසයි මට
ඔබ නමින්
මගේ නන්දුත්තරා....

ඔබ මතක ළය හොවා
තුරුළු කොට
සැනසෙමින්......

කහ එළිය වටා හිද
ඔබෙ සුවද
විදගමින්.......

ආසයි මට
පද වැලක්
ඔබ නමින් ලියන්නට
මගේ නන්දුත්තරා.....

අහිංසක වචන ගෙන
පදවැලක්
අමුණන්න...

අහස පොළොව යා කරන
සිතුවමක්
අඳින්නට......

ගිම්හනට වැට බඳින
වසන්තය
හොයන්නට......

සඳ සාවිට තුරුලු වන
තරු පොකුරු
බලන්නට.....

අඳුරටම පෙම්බදින
ඉර එළිය
සොයන්නට.....

ආසයි මං අන්තිමට
ඔයා ගැන
ලියන්නට....

එහෙත් දුර ගොසින් ඔබ නවතින්න
සිතාගෙන.....

මං තාම
තනිකඩව
ඇළ ගාව පුරුදු ලෙස....

පෙර කලෙක පෙම් බැන්ද
කුමරියම
පතාගෙන.....

යළි යළිත් කවි
ලියමි
දිගු සසර පුරාවට......
මගේ නන්දුත්තරා

දිනියා

තවත් අඩ හෝරාවක් පමණ යනතුරු යශෝ මැණිකා හිස් අහසට හූල්ලමින් විටින් විට ගලා හැළෙන කඳුළු වැල් චීත්ත වාටියෙන් පිස දමමින් හීන්...
03/09/2026

තවත් අඩ හෝරාවක් පමණ යනතුරු යශෝ මැණිකා හිස් අහසට හූල්ලමින් විටින් විට ගලා හැළෙන කඳුළු වැල් චීත්ත වාටියෙන් පිස දමමින් හීන් අප්පුගේ කෙසඟ ළය මඩලේ හිස ගසා උන්නාය. වසර දහනවයක් පුරාවටම තම පපු කැවුත්ත උණුහුම් කළ ඒ ආදරණීය ගැහැණිය හොඳින් හඳුනාගෙන හුන් හීන් අප්පු නිහඬව ඇගේ පිට හා හිස මත ඉතා සීරුවට පිරි මැදුම් තනන්නට වූයේ ඇය සනසාලිය හැකි එකම ඖෂධය තම පපු තුරුලත් මේ සියලු පිරිමැදීමත් බව දන්නා නිසාවෙනි.

හැඬීම නිසා ඉදිමුණු දෙකඹුල් විටින් විට ඔහුගේ දෙතොළින් තෙත් වෙද්දී ඈ සීරුවට සන්සුන් වූවාය.

"වෙලාවකට උඹ අර පොඩි එවුන්ටත් අන්තයි මයෙ මැණිකේ..."

ඈ වත තම කරගෑටි වී ගිය ළයට ඉතා තදින් තෙරපවා ගත් හීන් අප්පු ඇගේ නළල මත තම රළු දෙතොල් තැවරුවේය.

"මගේ පපු කැවුත්ත දනවා හීන් අයියේ ..."

වියලි සුළඟට මුසු වූ ඇගේ හඬ ඔහුගේ සවන් මත පතිත වූයේ සිහින් හඬිනි .

"අතේ ඇඟිලි පහම එකම විදිහට නෑ නොවැ මයෙ මැණිකේ.... ඒකි තේරුණ දා ඉඳන්ම අනිත් එවුන්ට වඩා වෙනස් නොවැ... කතාබහ , ගමන බිමන.... ඒකිගෙ වේලපත්කඩේ බලපු වෙලාවේ පන්සලේ ලොකු හාමුදුරුවෝ සුද්ද සිංහලෙන්ම පැහැදිලි කලේ ඒකිට දහ අට පනිනකම් නුගුණයි කියල නොවැ...."

"අනේ එහෙමයි කියලා ඇහැ කන පියාන ඉන්න පුළුවන්ද? දෙයියනේ.... මෙහෙව් දේවල් කන වැකෙන කොට..."

"උඹ දැන් හූල්ලන් නැතුව ඉදින්...මයෙ අම්මා... මම හෙට දිහාවට ගල්දූවෙ ගෙහුන් කෙල්ලව එක්කාසු කොරාගෙන එන්නම්.... අපි කෙල්ලව ගලේ දේවාලෙට ගෙනහුන් දෙහි ටිකක් කප්පවල යන්තරයක් දාමු. ඔය තියෙන අපල උපද්‍රව දුරින් භූත වෙලා යන්න කියලා..."

මහවැව දෙසින් හමා ආ වියළි සුළඟට ගසා ගෙන ගිය ඇගේ කම්බුලෙහි වසා පැතිරි කෙස් රොදක් කන පිටුපස රැඳවූ හීන් අප්පු ඈ හදවත සැනසුවේය.

"අයියා අතේ හෙට අනිද්දට කෙල්ලව එවන්නන්ය කියල අක්කා කිව්වේ..."

"ඕනෙ නෑ. මමම ගොහින් එක්කාන එන්නං....."

"ලොකු එකී ඉන්නේ පරල වෙච්ච ගානට උන් දෙන්නා කෙහිවලු පටලවා ගනී කියලා මට බයයි හීන් අයියේ...."
නැවතත් ඈ හීල්ලුවාය.

"උඹ ඒකිට හෙමිහිට කියාපන් මයෙ අම්මා. ආදරයෙන් , කරුණාවෙන් දෙවෙනි එකීට හරි වැරැද්ද තේරුම් කොරලා දෙන්න කියලා..." ඇය සුසුමක් පා කළාය.හිස් අහස දෙසට නෙතු පෑවාය.හෙමිහිට ඔහු දෙස බැලුවාය.

"හීන් අයියා...."

"ම්....."

"මං යන්නද?"

"එපා....."

"ඇයි ?"

"උඹ ළඟ සුවඳයි මයෙ අම්මා..."

බොහෝ කලකට පසු තම වියළි වතට දිය බිඳක් වූ ඇගේ උණුහුමින් මිදීමට ඔහුගේ සිත ලෝභකම් කරන්නට වෙද්දි ඇගේ ළමැඳ වසාගත් තුනී හැට්ටයේ තැවරී ගිය මව් කිරිවල සුවඳට මුසු වූ කාර්බලික් සබන් සුවඳින් කැලතී ගිය ඒ ළය මත මව්වත් සුවය දැනී යද්දී මසක් පුරාවට යටපත් කරගෙන හුන් නුරා ගිනිදැල් තවත් පසෙකින් ඇවිලී යන්නට පටන් ගෙන තිබුණි.

හද ගැබෙන් ඇරඹි ඒ නුරාගිණි නහර වැල් ප්‍රාණවත් කරමින් ඇට මිදුළු දක්වාම ගමන් කරන අයුරු ඔහුට දරා ගැනීමට අසීරු විය . ඔහු තම වත මතින් නැගී සිටීමට පොර බදන ඉඳුරන්හි උණුසුම ඈ ගතට දැනී යද්දී අසරණ වූ නෙතු දෑස් මත තැබුවාය. ඔහුගේ නෙතු ද ඒ මත විතැන් වෙද්දී ඒ සිව්නෙත් තුළින්ම නොකියූ කතන්දරය දරා ගැනීමට ඔවුනොවුන්ට වචන අවශ්‍ය නොවීය.

ඒ මීට වසර දහ නමයකට පෙර ඈ තමා සන්තක කරගත් පළමු දිනයේ තම සිත සනසා ගත් හදවත කියූ කතන්දරයම නොවේදැයි ඔහුගේ මතක පිටු අතරින් දිව යන්නට වූයේ අසුරු සැනිණි .කාල වර්ණ අදුර යටින් දිවෙන වැව් ඉස්මත්ත අබියස නැවුම් ගොම මැටි පිළියමින් කුළුදුලේ තනන ලද ගෙමිම පිල්කඩෙහි ඔහූ උන්නේ ඈ වත තුරුළු කොට ගෙනය.

"හීන් අයියා.."

"ම්....."

"මට බයයි "

'මටද බය මැණිකේ....."

ඇය සිහින් සරින් බිය ගත් දෙනෙත් ඒ මේරූ දෙනෙත් මත සෙමින් විතැන් කළාය.

"ඔව්....."

එකී හඬ ඔහුගේ සවන්පත් මතට වැටුණේ වෙව්ලිල්ලක් ලෙසිනි.

ඔහු මුව මත ඇදී ගියේ මනමාල බැල්මකි .

නෙළුම් පොහොට්ටුවක් වැනි ඇගේ වත මත නුරා හැඟුම් තැවරීමට මාන බලා සිටි ඒ විසල් සිත් ගැබ තම තුරුලට වී වෙව්ලන කුඩා කුලුදුල් මනමාලිය ගේ හැඟුම් තේරුම් ගත් ඒ රාත්‍රිය පුරාවට ම ඉවසීම ප්‍රගුණ කිරීමට අවැසි හදවත ඔහු දරා ගත්තේය.

"මම නරුමයෙක් නෙමේ මගේ මැණිකේ.... මං උඹව මේ පැලට කැන්දාගෙන ආවේ බලහත්කාරයෙන් නෙමෙයිනේ... ඒවයේම තමා අනිත් දේවලුත්.. උඹට මම කවදාවත් රිද්දන් නෑ...."

"නැන්සි නැන්ද තමයි කීවේ..."

"මොනාද?"

"හුඟක් වැඩිමහල් පිරිමියෙක් එක්ක දීග ගියාහම.. උන් කුලප්පු වෙච්ච මී හරක් වායේ ඉවසීමක් නැතිව මුලු යායම සුණුවිසුණු කොරලා දානවා කියලා... ."

ඔහුගේ මුව මත යළිත් ඇදී ගියේ මනමාල බැල්මකි.පසුව නොරිස්සුම් කෝපයකින් ඔහු ඈ හට ලං වූවාය.

"ඔය නැන්සි නැන්දා කවුද කියලා කියහං මයේ මැණිකේ....

"ඇයි..."

"නෑ ඔය වගේ පඩත්තර කතා ආයේ නොකියන්න ඕකිගේ බොටුවෙ රීරි මාංශෙ උරා බොන්න....." ඔහු ගෙරවූයේය.

"අනේ හීන් අයියා..."

"මං එහෙම නෑ.....මයෙ අම්මා... උඹ මයේ පණ... මං උඹට ආදරෙයි මයෙ මැණිකේ...."

පළමු රාත්‍රියේ ඔහු ඈ සැනසවූයේ තම ළමැදට හිස හෝවාගත් පුංචි දැරියක් සේ නිදි කරවීමෙනි .

අද වුවද වෙනසක් නැත .ඔහු සෙමින් තමාගේම ගැහැණියගේ වතින් ඉවත් වූයේ ඉතා අසීරුවෙන් තම අවදි වූ ඉඳුරන් නිවා ගැනීමට උත්සාහ දරමිනි.ඈ දෙනෙත් සියුම් කඳුළු පටලයකින් වැසී යන විටත් ඒ ලෑලි බංකුව හිස්ව තිබුණි. ඔහුගේ කෙසඟ සිරුර ඇයට මඳක් ඉදිරියෙන් වූ ගස් සෙවන මත නොසෙල්වී තිබෙන අයුරු ඇගේ ඇස ගැටුණි.

"උඹ ගෙදර පලයන් මයෙ මැණිකේ... පුංචි එකා දැන් උඹව හොයනවාත් ඇති..."

ඔහු ඇය දෙස නොබලාම පැවසුවේය.

ඇය නැගිට ඔහු අසලට ගොස් ඔහුගේ ඇටකටු පෑදී අව්වට අව පැහැ ගැන්වූ නිරුවත් පිට මත සිය දෑත් තබා පිට තුරුලට ගුලි වූවාය .ඇගේ ඒ ස්පර්ශයෙන් හා උණුසුමෙන් තිගැස්සී ගිය ඔහුට තම ලෝභී නුරා හැඟුම් අලුයට ගිනි පුපුරු සේ මතුව එද්දි සියලු ධෛර්යයන් උපදවා ගනිමින් යටි තොල සපාගත්තේය.

"යමු....." ඒ ඇයයි. තම සිතැඟි තේරුම් ගත් ඇයයි. කවදාටත් තම සැමියා මතම ප්‍රේමය වැපිර වූ ගැහැනියයි. දරුවන් කොතරම් කුස පිළිසිඳ ගත්තද තම සැමියාගේ නුරාව නිවීමට පේවී සිටි ගැහැණියයි.

"පැලට යමු... " ඇය යළි කොඳුරයි.

ඔහුගේ ළය ඈ කෙරෙහි අසීමාන්තික ප්‍රේමයකින් වැසී යද්දී ඔහු වහා ඈ දෙසටම හැරී ඇගේ දෙකඹුල් දෝතට ගෙන අතොරක් නොමැතිව සිප ගත්තේ දරාගැනීමේ හිනිපෙත්තටම පිවිසි මොහොතේදීය . අවසන ඇගේ දෙතොළට බර වූ ඔහු තම සියුම් හැඟීම් ධාරාවක් ඇගේ ලවන් මත ලගන්නා සුළු සංයමයකින් මුදා හරින්නට විය .ඈ සාවියක් ලෙස තමාට වසර දහ නමයකට පෙර ලද ප්‍රථම හාදුව සිහිපත් කරමින් සැනසෙන්නට වෙද්දී ඔහු රළු දෙතොල ඈ මතින් මුදා ගත්තේය.

"මට උඹව අතාරින්න බැරිවෙන විදිහේ වැඩ නොකර දැන්වත් ගෙදර පලයන් මයෙ අම්මා....."

"හෙට පාන්දර බස් එකේ ගල්දුවේ යන්න එන්නම් මං...."

ඈ කෝල බැල්මෙන් ඉවතට හැරුණාය.

"කමක් නැතිද?"

"කමක් නෑ...."

"මං කිරිබත් ඩිංගක් උදේම ලිප තියන්නම්. කාල යන්න එනවනේ"

"හ්ම්....."

"අද රෑට උනත් උඹට හිතුනොත් ගෙදර වරෙන් අයියා.... උඹ මෙහෙම හූල්ලනවා මට බලන් ඉන්න බෑ ..."

ඈ යළි නෙතු බිමට හරවාගෙන පැවසුවාත් සමග ඔහු මුව මත ඈ කෙරෙහි දරාගත නොහී ප්‍රේමනීය බැල්මක් ඇදී යන්නට විය.

ඇය වහා ඔහු මානෙන් මිදී අඩියට දෙකට නියර දිගේ ගුරු පාරට සේන්දු වන අයුරු ඔහු බලා සිටියේය. දරුවන් හය දෙනෙකුට ජීවය දුන් ඒ වත තවදු සොඳුරුය. වැව් බැඳි රාජ්‍ය තුළ ගිනියම් වූ මහ පොළොවට කිසිදු මොහොතක ඈ ගතු නොකීවාය. දිය බිඳක් නොදුන් කාලවල ඈ අහස්තලයටද කිසිදු දොසක් නොකීවාය. මහ වැව දෙසින් හමා එන වියළි සුළඟින් ඈ සිසිලස ලද්දාය. මුළු දිවිය තුළද එසේමය. තමා ගැන නොව ඈ තම සැමියාගේම සුව පහසුව වෙනුවෙන් පේවී සිටි ගැහැණියයි.

මතු සබැදි

දිනියා

ඔන්න ඉතින් ආයෙමත් ආවා.අද දිග කොටසක් ගෙනාවා. කලින් වගේම පිළිගන්න. රක්ඛිතා ට ආදරේ නොකර ඉන්න බැරි වුණා. අලුත් අයත් එකතු
වෙන්න. පරණ අයත් කියවන්න .
අකුරු අඩවියට පැමිණි ඔබට ස්තුතියි! ♥️♥️♥️♥️

අනේ කරෝලිස් අයියේමට කිරිපිටි පැකට්ටුවකුයිසීනි කාලකුයි දියන්දරු පැටියා පොළොවෙ පස් කනවාබඩගින්නේ.......චීත්ත අගින් කඳුළු පි...
02/09/2026

අනේ කරෝලිස් අයියේ
මට කිරිපිටි පැකට්ටුවකුයි
සීනි කාලකුයි දියන්
දරු පැටියා
පොළොවෙ පස් කනවා
බඩගින්නේ.......

චීත්ත අගින්
කඳුළු පිහදාගත්
කරලිනා.....

තම ගැහැනු වත පුරා
කෑදර බැලුම් හෙලනා
ඔහුගේ දෑස් මඟහැරියේ
අපහසුවෙනි.....

කොහෙද උඹ මහඒජන්ත උන්නාන්සෙගෙ
කුමාරිහාමිනෙ
කරලිනා.....

ඒකනෙ මගේ වචනෙට
උඹ පයින් ගහන්නේ....

මාන්නක්කාරකොම
බිමින් තිව්වානං
මෙලහකටත්
මේ කරෝලිස්
උඹ රැජිනක් කොරලා.....

මගේ මිනිහා
කවදා හරි දවසක
එනවා
කරෝලිස් අයියේ.....

හිඟන මට
ඒ මනුස්සයට
දෙන්න තියෙන්නේ
මගේ පතිවත විතරයි.....

දරුවන් නිසාවත්
ඒක උගසට තියන්න
මට බෑ දෙයියනේ......

අනේ පලයං කරලිනෝ...
මිනිහෙක් මරලා
මහඋළු ගෙදර ගිය එකෙක්
කවදද බං ආපිට ආවෙ
ඒකෙම වැළලිලා
ගියා මිසක.....

එහෙව් වස් වැදෙන
කතා කියන්න එපා
කරෝලිස් අයියේ.....

ඒ මගේ මිනිහා
මං ඇගෙනුයි,හිතිනුයි
බැදුණු එකම මිනිහා

මගේ කුසට දරුවෙක් දීලා
මාව අම්මෙක් කොරපු මිනිහා
මං ඒ මිනිහට පිටුපාන්නෑ
කරෝලිස් අයියේ.......

උඹේ ඔය අඳෝනාව
නවත්ත ගනින්
කරලිනා
හැමදාම ඕකම අහලා
මට දැන් තිත්තයි බොල.....

ඉඳා මෙන්න මේ
කිරිපිටි පැකට්ටුව
අරගෙන
ගිහින් දරුවට දීපං
උඹලගේ වැරදි වලට
ඒ කිරි දරුවො
පලි නෑ බොලව්.....

හැබැයි එකක්
හොඳට මතක තියාගනින් කරලිනා.....

කවදා හරි දවසක
උඹ මගේ මේ
සීමාව පන්නන්නේ
උඹ මේ පුරවන
ණය පොත ගෙවාගන්න
බැරිවුණ දවසට......

එදාට මේ ණය පොතේ
හිලව්වට
උඹ මට සින්න වෙනවා
එදාට
මොන ජගතෙකුටවත්
බැරිවේවි
උඹව මගින් බේරගන්න...

මගේ දෑතෙ දෙපයෙ
හයිය නැතිවුන දාක
එහෙම දෙයක්
වුනොත්
මගේ මළ කඳ
මේ වැව් දියේ පාවෙයි
කරෝලිස් අයියේ......

ඒත්....

කටින් මොන දේ කීවත්
තවමත් මගේ ඇඟට
අතක් නොතියපු.....
මගේ පතිවත රකින
මගේ දරුවාගේ
කුසගිනි නිවන
උඹ මට
දෙයියෙක්
කරෝලිස් අයියේ......

දිනියා

වචනයක් ලියන්න.
ආසයි කියවන්න...♥️♥️♥️♥️

වැව් බැඳි ජනපදයේ ගොම්මන් අදුර මැදින් උපන් දිරිය තරුණිය රක්ඛිතා....අතරමං වූ වැව් තලාවේ හිඳ බලා සිටින්නිය.... වැහි දෙවියන්...
01/09/2026

වැව් බැඳි ජනපදයේ
ගොම්මන් අදුර මැදින්
උපන් දිරිය තරුණිය
රක්ඛිතා....

අතරමං වූ වැව් තලාවේ හිඳ
බලා සිටින්නිය....
වැහි දෙවියන්ගේ අනුහසින්
මහ පොළොව තෙත් වනතුරු..... ඉදෙන බතට
බුදුන්ගේ පිළිසරණ පතන්නිය දෙවියන්ට කන්නලව් කරන්නිය
කිරි නැති ලයෙහි
කිරි දරුවන් හෝවා....
පෝෂණය කරන්නිය
මව්වත් ගුණ ඇත්තියක් ලෙස ලොවටම සෙත සදන්නිය
ඇයයි දිරිය ගුණ ඇති
රක්ඛිතා ......

දිනියා

ආදරණීය සැප්තැම්බරයට ආයුබෝවන්....වීනා වයන්නියකගේතත්සර මුසුවට හසුවූ සුළං කෝඩයට..... ගසා ගෙන ගොස් හිස් අවකාශය තුළ අහේතුකව ස...
01/09/2026

ආදරණීය සැප්තැම්බරයට ආයුබෝවන්....

වීනා වයන්නියකගේ
තත්සර මුසුවට හසුවූ
සුළං කෝඩයට.....
ගසා ගෙන ගොස්
හිස් අවකාශය තුළ
අහේතුකව සැරිසරන්නියක ලෙසින්......
රක්ඛිතා අතරමඟ හැර දමා දඩබරව හිඳිනා.... හිතුවක්කාරියකගේ
දෑතට ඉනිමං තනන්නට
පෙරුම් පුරනා.....
අකුරු කරන්නියක් ලෙස
යළි අවදිවීමට
නැවත නැවතත්
පෙරුම් පුරනා මා......

දිනියා

21/08/2026

ඇදුරුතුමියයි ප්‍රේමයේ නොව
ඇදුරුතුමියයි...
ඔබ මගේ...

සුදු වත හැදි කත

මා ඈ හැබැහින්ම දුටුවේ..
මීට 27 වසකට පෙර
ඇගේ ඔය නිවසේදී ය...
මවගේ අතේ එල්ලී ආ
පාසල් දැරියක්ව හුන් මා
ඈ ඇගේ සෙවනට ගත් හැටි
මට තාම මතකය...

ඇගේ ස්වරයෙන් පෝෂණය
ලත් මා ......
දුටුවේ......
ඈ මුවකමල මත ඇදි
නිරන්තර සිනාරැල්ල පමණි.

මා උගත්තේද ඇයගෙන්
එපමකැයි අද මට සිතේ
මන්ද මා සංගීතයට
අදක්ෂයෙක් වූ බැවිනි..
ඒ මට හොදටෝම ඇත.

මන්ද ..දිවි රගමඩලෙන්
බැසයන ඇදුරුතුමියක් ලෙස
ඔබ මට ලබා දී ඇත්තේ
ජීවත්වීමට අවැසිම
පන්නරයයි

එසේනම් සසර දිගු බැවින්
විටෙක අපි හමුවේවි
යළි අපි වෙන්වේවි
එයයි
ජීවිතය......

ඔබට සුබ ගමන්
ඇදුරුතුමියණි.....

වියලි සුළඟට හසු වී පරඩැල් වී ගිය හේන් පැළෙහි සෙවිලි කළ පොල් කොළ වහලය සිදුරු කරමින් පැළ පල්ලමේ වැටී තිබුණි. මහ වැව් දෙසින...
28/03/2026

වියලි සුළඟට හසු වී පරඩැල් වී ගිය හේන් පැළෙහි සෙවිලි කළ පොල් කොළ වහලය සිදුරු කරමින් පැළ පල්ලමේ වැටී තිබුණි. මහ වැව් දෙසින් හමායන ආ සුළඟට හසු වූ ඉතිරි පරඬැල් පොල් අතු පියාඹා යාමට සැරසෙමින් වහලය මත හිද ඔච්චම් කරන්නට විය. ඉරගිනි මද්දහනට හසු වූ රේඛා මාත්‍රයන් ලෑලි ගෙබිම මත රූ රටා අඳින්නට වූයේ මනරම් රටාවකට වුවද හින් අප්පුගේ හදවත වටා පැතිර ගියේ ඉතා දුක්ඛදායක ඉරිතැලී ගිය බොල් ස්වභාවයකි .

" මෙන්න මේ මගුල..... පිළිවෙළකට එකලස් කොර ගනින් හීන්අප්පු ....බලාපන් මෝසමකට අහුවුනොත් උඹේ ගෙපළ අහුලගන්ට වෙන්නේ මහවැව් ඉහත්තෑවෙන් තමා...."

ලියැදි දෙක තුනකට මත්තෙන් වූ කොරටුව අස්වදන්නට පැමිණි සිමියොන් කීප දොහොකට මත්තෙන් පැවසූ දෙය හීන් අප්පුගේ මොළය තුළ එහා මෙහා ගමන් කරන්නට විය .

එකල යසෝ මැණිකාගේ උණුසුමෙන් පිරී ගිය පැළ තුළ වූ ඇගේ සුවඳ මහ වැව් හුළඟට ගසා ගෙන ගොස් බොහෝ කල්ය. දරු පැටියා උපන්දා සිට මේ වෙනතුරු ඈ මේ පැළට පය නොතැබුවාය . සරණ බන්ධනයේ බොහෝ උච්චතම අවස්ථාවන් හැඩකරමින් එකළ මේ පැල එළිය දුන්නද අද මේ තරු පිරි යන අහස් තලයන් යට දැන් ඔහුට දැනෙන්නේ පාලු හුදකලා බවින් යුතු පීඩාකාරීන් හැඟීමකි .

එකල තම හිසහොත් ඇගේ උගුල් තලේ උණුසුම විඳිමින් රාත්‍රී පුරාවට පැල් ගී කියූ අයුරු තවමත් ඔහුගේ මනස තුළ හොල්මන් කරයි . කාර්බලික් සුවඳින් ඔපවත් වූ ඇගේ දිගු කෙස්කලඹ විදහාගෙන ඔහුගේ උර තලය මත හිස තබාගෙන වැව් දියෙන් පිස එන සුළඟ විඳි අයුරුත් ඔහු සිහිපත් කළේ තම මනෝභාවයන් එකිනෙකට ඈඳාගනිමිනි.

" හීන් අයියේ..... "

ඔහුගේ හිත් ගැඹුරේ වූ ප්‍රේමාලිංගන හැඟීම් සමුදාය කොතරම් බලවත් වීද යත් තම පෙම්බරියගේ හඬ ගීතයක් මෙන් ඔහුගේ දෙසවන් තුළ දෝංකාරය දෙද්දී නින්දත් නොනින්දත් හතර හොන් ඔහුගේ කරගෑටි වී ගිය පෙනහලු තුළ වේගවත් හුස්මක් ඉහළ පහළ බැස ගියේ සැබැවින්ම ඔහු තුළ අනුරාගී හැඟීම් බලවත් කරමිනි. තම උණුසුම් සිරුරේ ඒ උණුහුම ඇට මිදුළු දක්වා සීතල කරමින් ගමන් කරන්නට පටන් ගත් සෙයක් හීන් අප්පුගේ හදවතට දැනෙන්නට විය.

"අයියේ.... උඹ නිදිද... "

වඩාත් ආසන්නයෙන් ගැඹුරු හඬකින් ආ ඒ සවන් වැකෙත්ම හීන් අප්පු ගේ ශරීරය ඉද්ද ගැසුවාක් මෙන් කෙලින් විය.වඩාත් බිහිසුණු රාත්‍රීන් පසු කරමින් පැමිණි ඔහුගේ මනසට අලුත් ඉරක් පෑයූවාක් මෙන් හැඟීමක් සමඟ මුහුණටද අමුතු සිරියාවක් එක් වන්නට විය. ඔහු අසුරු සැණින් තමගේ කෙසඟ ශරීරයේ පසෙකට ඇල කොට පැල පල්ලම අසළ නෙත් රදවන්නට විය..

මීට වසර විස්සකට පෙර වැහි අඳුර මැදින් අළු පාට හිරු රැස් මකාගෙන එන සැන්දෑවක ඇගේ රුව මුලින්ම දුටුවදා තමාගේ හදවත පුරා ගලා ගිය ඒ කුළුඳුල් ආදරණීය හැඟීමක් වැනි පිවිතුරු හැඟීමක් හීන් අප්පු තුළ මේ මොහොතේ ඈ වත දැකීමත් සමඟ පොපියන්නට විය. මෙතෙක් කළක් තැවුණු ,දැවුණු, රිදුනු හදවත මිහිරියාවකින් පිබිදී එත්ම ඔහුගේ හද සන්තානයේ වූ ලේ ගමනාගමනය වේගවත් කරමින් නහරවැල් ප්‍රකෘතිමත් වන අයුරු ඔහුගේ භාවමය හැඟීම් තුළින් ප්‍රත්‍යක්‍ෂ වන්නට විය.

ඇය ඔහුගේ මූණ දෙස බලා ගස් සෙවන පාමුල වූ ලෑලි බංකුව මතට බර වූයේ විඩාබර දෑස් ඈතින් පෙනෙන වැව් ඉස්මත්ත දෙසට යොමු කරමිනි. බුරුලු වී ගිය සරම් ගැටය තරමක් තද කර ගනිමින් වහා වහා ඔහු ඉනිමං ලෑලි මතට පය තබන්නට වූයේ නැවුම් ප්‍රේමාන්විත හැගීමෙන් පිරී ගිය හිරිමල් වියේ කෝඩුකාර පෙම්වතෙක් ලෙසිනි.

"මැණිකේ...."

ඈ අසලට ලං වූ ඔහු තම පළමු බැල්මෙන් කිතිකැවී ගිය හැඟීම් සමුදායක් යාලි සිහිපත් කරමිනි.
ඈත කොනක රඳවා ගෙන සිටි ඇගේ දෑස් ඔහුගේ දෙපාවේ සිට ඉහළට එසවී දෙනෙත් මත නතර විය.

"ඔහේල ගේ අක්ක ආවා...." ඇය දෙනෙත් යළි ඉවතට ගෙන පැවසුවාය.

"හැබෑවට.... දරු පැටිය බලන්න වෙන්නැති ...කෝ දෙවෙනි එකිත් ආවද?...."

බලාපොරොත්තු සහගතව ඇ අසලින් ඇන තබා ගත් ඔහු ඇසුවේ ඇගේ දෑසට නැඹුරු වෙමිනි.

"හීන් අයියේ.... මහ නස්පැත්තියක් වෙන්නයි යන්නේ.... "

දරුවන් හයක් වැදුවද ගැටලුවක් ඉදිරියේ යසෝ මැණිකා දඟලන්නේ පොඩි එකෙක් ගානට බැව් හීන් අප්පු දනී.

"මොකෑ වෙලා තියෙන්නේ ඇයි මේ බය වෙලා..."

අද හෝරාවකට පමණ ආසන්න වනතුරු හඬමින් දොඩමින් ඇය කාන්ති උපන් මොහොතේ සිට මේ දක්වාම ඇගේ චරිත කතාව හුස්මක් කටක් නොගෙනම කියා දැමුවාය

ඇය උපන් මොහොතේ ඇගේ දිදුලන රුව දැකීමෙන් වින්නඹු ගැහැණිය වුව විමතියට පත් වූ අයුරු ඇයි සිහි කළේ කඳුළු පිරිදෙනෙතිනි . එදා සිට මේ දක්වා ගෙවුණු වසර දාහතරක කාලය තුළ තම සිත ඇය කෙරෙහි උපන් ආදරය ඈ කඳුළු මතින් දිය කර හැරියාය .අළු යට සැඟවුණු ගිනි පුපුරු විටින් විට මතු කරමින් ඇයට දෙස් දේවල් තැබුවේද යශෝ මැණිකා හැඬූ කඳුලෙනි.

මතු සබැදී.
♥️♥️♥️♥️♥️

27/03/2026

හිමි අහිමි 3 කොටස

නිර්මලා......
ඇය වත්තන් කොට ගෙන
මරණ බිය බලවත් කරමින්
මා ගත වෙව්ලද්දි
ඇගේ නම මුල් වරට
මගේ මුවින් පිට විය.......

යළි උපන්
අයියා පිළිබඳව තතු
තුරුළු කොටගෙන
අසිහියෙන් ගෙට ගොඩ වූ
ඒ අදුරු මොහොතේ.......

මේ පිළිබඳ කිසිවෙක්
අම්මාට නොකියා සිටීමට
ඉදින් මා
අදිටන් කර ගතිමි.........

අයියා නොමැතිව ගෙවූ
ඒ හත් මසක කාලය තුළ
අම්මා හිත හදා ගන්නට වෙහෙසුණු අයුරු......

ඇය සිහි එළවාගෙන
අයියාගේ දරු ගැබ වෙනුවෙන් සුවපත් වීමටත්
ජීවත්වීමටත්
පොරොන්දු වූ අයුරු
මා සිත ගැඹුරේ
පැලපදියම් වී ඇත.......

ඔවුන් වෙනුවෙන්
මා දෙනෙත් ඉනූ කඳුළු
සගවා ගන්නට
දැරූ ඒ රුධිරු වේදනාව
තවමත් ඇටමිදුළු අතරින්
පුපුරු ගසයි......

මල්ලි.....
දෙකඹුල් අතරින් ගලා ගිය
කඳුළු කැට අතරින්
ඇය යළි
සිහිය ලදින්නීය.......

අනේ මෙහෙම කරන්න එපා....
මම... හැමදේම කියන්නම්....
අඬන්න එපා.....
මම ඇගේ දෑත්
මගේ අතඟිලි අතර
සිර කොට ගෙන
ඇගේ මුහුණට නැඹුරුව අයදින්නට විමි......

අයියා පිළිබඳව
මා සසල කළ
ඒ සිදුවීම
ඇයට පැවසීමට පෙර
මම සිය දහස් වරක්
සිතුවෙමි......

අවසානයේ
අයියාගේ බිරිඳ ලෙසත්
නීතිමය හා
ගැඹුරු ආධ්‍යාත්මික
බැඳීම හමුවේ
ඇගේ අයිතිය
ඈ සතු කිරීමට
මා ඉටාගතෙමි......

හැකි ඉක්මනින් හමුවෙමු♥️♥️♥️

වදනක් ලියා යන්නේනම් මැනවි......

Address

Yagoda
Gampaha
11020

Website

Alerts

Be the first to know and let us send you an email when Mino & Mom's Stories posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share