Prime News

Prime News Your Trusted Source for Reliable and Timely News Coverage.

වසර විසිපහක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරන...
07/11/2025

වසර විසිපහක සිර දඬුවම් නියම වී සිටින හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු විසින් ඉදිරිපත් කරන ලද ඇප අයැදුම්පත්‍ර කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය විසින් අද ප්‍රතික්ෂේප කරන ලදී.

මෙම හිටපු අමාත්‍යවරුන් දෙදෙනාට පසුගිය මැයි 29 වන දින කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයෙන්ම වරදකරුවන් බවට තීන්දු කරමින් සිර දඬුවම් නියම විය.

ඔවුන්ට චෝදනා එල්ල වූයේ 2015 ජනාධිපතිවරණ සමයේදී නීතිවිරෝධී ලෙස කැරම් බෝඩ් 14,000ක් සහ දාම් ලෑලි 11,000ක් මිලදී ගෙන ක්‍රීඩා සමාජ අතර බෙදා හැරීමෙනි.

මෙම ක්‍රියාව හේතුවෙන් රජයට රුපියල් මිලියන 53කට වැඩි මුදලක මූල්‍ය පාඩුවක් සිදු වූ බවට නඩු ගොනු වී තිබුණි.

දණ්ඩන නියෝගයට එරෙහිව හිටපු අමාත්‍යවරුන් තම නීතිඥවරුන් මාර්ගයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා ගොනු කර ඇත.

ඔවුන් විසින් මහාධිකරණය හමුවේ ඇප ඉල්ලා සිටියේ එම අභියාචනවල අවසන් තීන්දුව ලැබෙන තුරු තමන්ව නිදහස් කරන ලෙසටය.

විනිසුරු මඩුල්ල විසින් කරුණු සලකා බැලීමෙන් අනතුරුව අවධාරණය කරන ලද්දේ විත්තිකරුවන් විසින් ඇප ලබා දීමට තරම් ප්‍රමාණවත් හේතු සාධක ඉදිරිපත් කර නොමැති බවයි.

ඒ අනුව, ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල විසින් ඔවුන්ගේ ඇප ඉල්ලීම් ප්‍රතික්ෂේප කිරීමට නියෝග කරන ලදී.


මුල්‍ය නොසැලකිලිමත්භාවයෙන් පැවති යුගය අවසන් කර මුල්‍ය විනයක් සහිතව කටයුතු කිරීමට තම පාලනය සමත් වී ඇතැයි ජනාධිපති අනුර දි...
07/11/2025

මුල්‍ය නොසැලකිලිමත්භාවයෙන් පැවති යුගය අවසන් කර මුල්‍ය විනයක් සහිතව කටයුතු කිරීමට තම පාලනය සමත් වී ඇතැයි ජනාධිපති අනුර දිසානායක මහතා සඳහන් කරයි.
‘දකින දකින දේ කරන්න පටන් ගත්තා. හිතුණා හිතුණ දේ කරන්න පටන් ගත්තා. රොකට් යවන්න ඕනි වෙනකොට රොකට් යවන්න යනවා. කාර් පදින්න හිතනකොට කාර් පදින්න යනවා. කුළුණු ගහන්න හිතුනම කුළුණු ගහන්න යනවා. අපේ ආර්ථිකයට කිසිදු විනයක් තිබුණේ නෑ’

එම යුගය අවසන් කර මේ වන විට නීතිමය රාමුවක් ප්‍රතිෂ්ඨාපනය කර ඇති බවද ඒ මහතා අද පාර්ලිමේන්තුවේ අයවැය කතාවේදී කියා සිටියේය.


එප්පාවල මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේග පක්ෂයේ මන්ත්‍රීවරියගේ පුත්‍රයා විසින් බවත් එම...
07/11/2025

එප්පාවල මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවා ඇත්තේ පෑලියගොඩ නගර සභාවේ ජාතික ජන බලවේග පක්ෂයේ මන්ත්‍රීවරියගේ පුත්‍රයා විසින් බවත් එම මන්ත්‍රීවරිය දකුණේ පාතාල කල්ලි නායකයකු වන කොස්ගොඩ සුජීගේ ඥාතියකු බවත් පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.
මේ සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රීවරියගේ කැලණියේ පිහිටි නිවස පොලිසිය විසින් පරීක්ෂාවට ලක්කර ඇති අතර මෙම මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් ඉදිරි දින කීපයේදී ඇයගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව පොලිසිය පවසයි.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම මෙහෙයවූ නාගරික මන්ත්‍රීවරියගේ පුත්‍රයා මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මේ වනවිට බන්ධනාගාරගත කර සිටියි.

මෙම ජාවාරම සම්බන්ධයෙන් නාගරික මන්ත්‍රීවරියගේ සැමියා වන එප්පාවල ප්‍රදේශයේ ප්‍රාථමික විදුහලක විදුහල්පතිවරයකු පොලිසිය මගින් රුපියල් කෝටි දෙකක මත්ද්‍රව්‍ය සමග පෙරේදා (05දා) අත්අඩංගුවට ගෙන තිබිණි.

එම විදුහල්පතිවරයාට අයත් එප්පාවල පිහිටි හෝටලයක සඟවා තිබියදී හෙරොයින් කිලෝ 1යි ග්‍රෑම් 20ක් අත්අඩංගුවට ගත් අතර එම හෙරොයින් ඔහුගේ පුත්‍රයා විසින් ගෙනැවිත් සඟවා තිබූ ඒවා බව මේ වනවිට හෙළි වී ඇත.

සැකකාර විදුහල්පතිවරයාගේ වැඩිමහල් සොහොයුරාගේ පුත්‍රයා වන ශෂී නමැත්තා විසින් මෙම හෙරොයින් තොගය ඩුබායි රාජ්‍යයේ සිට එවා ඇති බවද අනාවරණය වී තිබේ.

නාගරික මන්ත්‍රීවරියගේ පුත්‍රයා මීට පෙරද අවස්ථා කීපයකදීම මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට පත් වී බන්ධනාගාරගත වූ අයෙකි. මේ සම්බන්ධයෙන් එම සැකකරුගෙන් ද ප්‍රකාශ ලබාගැනීමට නියමිතය.

මෙම මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳව විදුහල්පතිවරයා ද දැනුවත්ව සිට ඇති බව පොලිසිය මෙතෙක් කළ විමර්ශනවලින් හෙළි වී ඇත. සැකකාර විදුහල්පතිවරයා රැඳවුම් නියෝග මත තබාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණයෙන් අවසර ලබාගැනීමට නියමිතය.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පරීක්ෂණ පවත්වාගෙන යයි.

මේ අතර අනුරාධපුර එප්පාවල හෝටලයකදී හෙරොයින් කිලෝ එකයි ග්‍රෑම් විස්සක් සමග අත්අඩංගුවට ගත් මාලිමා මන්ත්‍රීවරියගේ විදුහල්පති සැමියා සහ අනෙක් තරුණයා ලබන 12 වැනිදා දක්වා රඳවා තබාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට තඹුත්තේගම මහෙස්ත්‍රාත් ගයාත්‍රී හෙට්ටිආරච්චි මෙනෙවිය නියෝග කළාය.

මෙසේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දුන්නේ පෑලියගොඩ නගර සභාවේ නාගරික මන්ත්‍රී දිස්නා නෙරංජලා මහත්මියගේ සැමියා වන එප්පාවල, කටියාව යාය 10 විiාලයේ විදුහල්පති ලෙස කටයුතු කළ ජයන්ත බාලසූරිය (59) හා ඔවුන්ට අයත් හෝටලයේ සූපවේදියකු ලෙස කටයුතු කළ එප්පාවල, නල්ලමුදාව නැඟෙනහිර පදිංචි හෙට්ටිආරච්චිගේ තරිඳු ධනංජය වික්‍රමසිංහ නොහොත් සඳුන් නම් විසිනව හැවිරිදි අයයි.

මේ අතර හෙරොයින් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ දේපළ පිළිබඳව විමර්ශනයක් ද ආරම්භ කරන බව පොලිසිය පවසයි.

ජාතික ජන බලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රිනී දිස්නා නෙරංජලා නමැත්තියගේ සැමියා පෙරේදා (5දා) මත්කුඩු තොගයක් සමග එප්පාවල ඇඳගල ප්‍රදේශයේ ඔවුන්ට අයත් හේටලයකදී අත්අඩංගුවට ගන්නා ලදී. අනුරාධපුර ඉපලෝගම ප්‍රදේශයේදී පසුගිය 30 වැනිදා ඉපලෝගම පොලිසිය මගින් මෙම විදුහල්පතිවරයාගේ හා මාලිමා නාගරික මන්ත්‍රීවරියගේ දෙවැනි පුත්‍රයා වන බාලසූරියගේ හිරන් මියුරංග බාලසූරිය නමැත්තා හෙරොයින් ග්‍රෑම් 20ක් අලෙවිය සඳහා රැගෙන යමින් සිටියදී අත්අඩංගුවට ගෙන තිබුණි. ඔහු ඊට පෙරද මත්ද්‍රව්‍ය ජාවාරම් සහ සන්තකයේ තබා ගැනීම වැනි චෝදනාවන්ට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ අයකු බව පොලිසිය පවසයි.

එම සැකකරු පසුගිය 31 වැනිදා කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රඳවාගෙන ප්‍රශ්න කිරීමට අනුරාධපුර පොලිස් කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට මහෙස්ත්‍රාත්වරයා නියෝග කර ඇත. එසේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටියදී ඔහුගේ සුවදුක් බැලීමට පෙරේදා අත්අඩංගුවට පත් ඔවුන්ගේ හෝටලයේ සූපවේදියා පැමිණ ඇත. සිය නිවසේ හෙරොයින් පාර්සලයක් ඇති බවත් එය නිවසට හා හෝටලයට ආස්න්න නබඩවැව ආශ්‍රිතයේ සඟවන ලෙසත් සැකකාර පුත්‍රයා උපදෙස් දී ඇතැයි පැවසේ. ඒ අනුව අදාළ සූපවේදියා එය රැගෙන ගොස් සඟවා ඇත. ඒ අතරතුරදී සැකකරුගේ සුවදුක් බැලීමට පැමිණි පියාට එම මත්ද්‍රව්‍ය තොගය සූපවේදියාගෙන් යළි ලබාගෙන නිවස සහිත හෝටලය පිටුපස ආරක්ෂිතව සඟවන ලෙස එම පුත්‍රයා පවසා තිබේ. රුපියල් කෝටි 02කට අධික වටිනා හෙරොයින් මත්ද්‍රව්‍ය කිලෝ එකකට අධික ප්‍රමාණයක් පාර්සලය තුළ ඇති බැවින් සූපවේදියා එය සොරාගැනීමට ද ඉඩ ඇති බව එහිදී සැකකරු සිය පියාට පවසා ඇතැයි පොලිසිය කියයි. ඒ අනුව සැකකරුගේ පියා එම හෙරොයින් තොගය සැඟවූ පුද්ගලයාලවාම එය නැවත ගෙන්වාගෙන එප්පාවල ඇඳගල පිහිටි නිවසට යාබද හෝටලයේ පිටුපස දොරටුව අසල වළ දමා තිබේ.

අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයට ලද තොරතුරක් අනුව පෙරේදා අදාළ සූපවේදියා පළමුව අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී සැඟවූ මත්ද්‍රව්‍ය පිළිබඳව ඔහු තොරතුරු අනාවරණ කර ඇත. පසුව ඔහු පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු සතුව ඒ අවස්ථාවේදී මත්ද්‍රව්‍ය ග්‍රෑම් 300කට ආසන්න ප්‍රමාණයක් තිබී පොලිස් අත්අඩංගුවට ගෙන ඇත. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම් අනුව විදුහල්පතිවරයාගේ නිවස පසුපස සඟවා තිබූ හෙරොයින් පාර්සලය සොයාගත් අතර, කිලෝ එකයි ග්‍රෑම් 185යි මිලිග්‍රෑම් 400ක බරකින් යුත් හෙරොයින් තොගයක් එහි වූ බව පොලිසිය පවසයි.

උතුරු මැද පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති බුද්ධික සිරිවර්ධන මහතාගේ උපදෙස් මත අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාගේ සෘජු අධීක්ෂණයෙන් අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නුවන් වික්‍රමසිංහ මහතාගේ මෙහෙයවීමෙන් සිද්ධිය පිළිබඳ වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකය.

මෙම ජාවාරමට චෝදනා එල්ලවූ විදුහල්පතිවරයාගේ බිරිඳ වූ ජාතික ජනබලවේගයේ පෑලියගොඩ නාගරික මන්ත්‍රිනී දිස්නා නිරංජලා කුමාරි මහත්මිය සිය ඉල්ලා අස්වීමේ ලිපිය ගම්පහ දිස්ත්‍රික් තේරීම්භාර නිලධාරිවරයා වෙත ඊයේ (06දා) යොමුකර ඇත. අදාළ පිටපත ජාතික ජනබලවේගයේ ප්‍රධාන ලේකම් වෛද්‍ය නිහාල් අබේසිංහ මහතා වෙත ද යොමුකර තිබේ.


ශ්‍රී ලංකා පොලිසිය විසින් "රටම එකට" ජාතික මෙහෙවර යටතේ දිවයින පුරා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ වැඩසටහනට...
07/11/2025

ශ්‍රී ලංකා පොලිසිය විසින් "රටම එකට" ජාතික මෙහෙවර යටතේ දිවයින පුරා ක්‍රියාත්මක වන මත්ද්‍රව්‍ය උවදුර තුරන් කිරීමේ වැඩසටහනට සමගාමීව, පාසල් මට්ටමින් සිදුකරනු ලබන මත්ද්‍රව්‍ය පරීක්ෂා කිරීම් සහ සෝදිසි කිරීම් සඳහා පොලිස් නිල සුනඛ කොට්ඨාසයේ සහය ලබා දීමට කටයුතු යොදා ඇත.

සමස්ත රාජ්‍ය ආයතන ඒකාබද්ධව ක්‍රියාත්මක වන "රටම එකට" ජාතික මෙහෙවරෙහි ප්‍රධාන අරමුණ වන්නේ රට තුළ ව්‍යාප්තව පවතින මත්ද්‍රව්‍ය උවදුර මුලින් උපුටා දැමීමයි. මෙම මෙහෙයුම සාර්ථක කර ගැනීම සඳහා ශ්‍රී ලංකා පොලිසිය සෘජු දායකත්වයක් සපයන අතර, විශේෂයෙන්ම පාසල් ළමුන් ඉලක්ක කරගත් මත්ද්‍රව්‍ය ජාවාරම මැඬලීම සඳහා පොලිසිය විසින් පාසල් කේන්ද්‍ර කරගනිමින් විවිධ වැඩසටහන් ආරම්භ කර ඇත.

මේ වන විටත් බොහෝ පාසල්වල විදුහල්පතිවරුන් සහ කාර්ය මණ්ඩලය විසින් මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් සිටින අතර, එම වැඩසටහන් වල කාර්යක්ෂමතාව වැඩි කිරීමේ අරමුණින් මෙම නව වැඩපිළිවෙල ක්‍රියාත්මක වේ.


ජාතික ජන බලවේගවේ නාගරික මන්ත්‍රීවරියකගේ විදුහල්පති ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගැනීමත් සමඟම, පාසල්වලට මත්ද්‍රව්‍ය අලෙවි කර ...
07/11/2025

ජාතික ජන බලවේගවේ නාගරික මන්ත්‍රීවරියකගේ විදුහල්පති ස්වාමිපුරුෂයා අත්අඩංගුවට ගැනීමත් සමඟම, පාසල්වලට මත්ද්‍රව්‍ය අලෙවි කර ඇද්දැයි යන ගැටලුවද මතුවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ පවසනවා.

මීට පෙර තංගල්ල, මිද්දෙනිය, වීරකැටිය සම්බන්ධයෙන් කතා කළ සෑම අවස්ථාවකදීම ආණ්ඩුව විසින් පොදුජන පෙරමුණට චෝදනා එල්ල කළ බවයි අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේ.

මිද්දෙනිය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක වූ ආකාරයටම මොවුන්ට ද නීතිය ක්‍රියාත්මක විය යුතු බව ද, නමුත් මාලිමාවට සම්බන්ධ කෙනෙක් හසු වූ පසු, දවසින් රිමාන්ඩ් බන්ධනාගාරගත කර ඉන්පසු එය යට ගැසීමට කටයුතු කරන බව ද ඔහු ප්‍රකාශ කළා.

සියලු දෙනාටම එක හා සමානව නීතිය ක්‍රියාත්මක කර මත්ද්‍රව්‍ය රකුසා මේ රටෙන් ඉවත් කිරීමට කටයුතු කරන ලෙසට ආණ්ඩුවෙන් ඉල්ලා සිටින බවයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


ජාතික ජන බලවේගයේ 'රටම එකට' යන නමින් යුත් ‘කුඩු අල්ලන මෙහෙයුම’ පක්ෂ අභ්‍යන්තරයේම ‘කුඩේ කුඩු’ වී ඇති බව සමගි ජන බලවේගයේ චර...
07/11/2025

ජාතික ජන බලවේගයේ 'රටම එකට' යන නමින් යුත් ‘කුඩු අල්ලන මෙහෙයුම’ පක්ෂ අභ්‍යන්තරයේම ‘කුඩේ කුඩු’ වී ඇති බව සමගි ජන බලවේගයේ චරිත් අබේසිංහ පවසනවා.

කුඩුකාරයන් ඇල්ලීමේ දී, නිරන්තරයෙන් පොහොට්ටුවට චෝදනා කළ බවත්, එලෙස පොහොට්ටුවේ කුඩුකාරයන් ඇල්ලීමට කටයුතු කළේ මාලිමාවේ කුඩුකාරයන්ට උදව් කිරීමට දැයි ගැටලුවක් මතුවන බවයි ඔහු ප්‍රකාශ කළේ.

'රටම එකට' ජාතික මෙහෙයුමේදී මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දේශපාලන රැකවරණය ලබා නොදෙන බවට ජනාධිපතිවරයා ප්‍රකාශ කළ බව ද, එහෙත් එම වැඩසටහන පවත්වන අවස්ථාව වන විටත් අදාළ මන්ත්‍රීවරියගේ පුත්‍රයා අත්අඩංගුවට පත්ව සිට ඇති බව ද, නමුත් ඒ සම්බන්ධයෙන් කිසිවක් හෙළි කිරීමට කටයුතු නොකළ බව ද ඔහු සඳහන් කළා.

‘පාරේ සිටින බල්ලන්ට’ එන්නත් කිරීමට පෙර, තමන්ගේ ‘ගෙදර සිටින බල්ලන්ට’ එන්නත් කිරීමට කටයුතු කරන ලෙසට ජනාධිපතිවරයාට සිහිපත් කරන බවයි සමගි ජන බලවේගයේ චරිත් අබේසිංහ වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ.


වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර ක...
07/11/2025

වැඩබලන අගවිනිසුරු ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු එස්. තුරෙයිරාජා මහතා අද (07) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන මහතා විදේශගත වීම හේතුවෙන් ඒ මහතා නැවත මෙරටට පැමිණෙන තුරු ක්‍රියාත්මක වන පරිදි මෙම පත් කිරීම සිදු කර තිබේ.

ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතාද මෙම අවස්ථාවට එක්ව සිටියේය.


ලංකා ඉතිහාසයේ හොඳම ජනතාවාදී අයවැය මෙවර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරනු ඇති බව වැවිලි සහ ප්‍රජා යට...
07/11/2025

ලංකා ඉතිහාසයේ හොඳම ජනතාවාදී අයවැය මෙවර ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් ඉදිරිපත් කරනු ඇති බව වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍ය සමන්ත විද්‍යාරත්න පවසයි.

"අයවැය දැන්ම කියන්නෙ නෑ. අයවැය රහස් කියන්නෙ මුදල් ඇමතිතුමා. ඒ හින්දා ජනාධිපතිතුමා ලහිලහියේ සූදානම් වෙලා තියෙන්නෙ. වෙනදා වගේ නෙවෙයි, ජනතාවාදී අයවැයක් කරන්න බිම්මට්ටමේ යෝජනා කල් ඇතිව ගත්තා. ඒ යෝජනා ඔක්කොම අරගෙන ගිය අවුරුද්දට වඩා සරුසාර අයවැයක් 2026ට අනිවාර්යයෙන්ම ඉදිරිපත් වෙනවා.

2025 මේ ගතවෙන අවුරුද්දෙත් අපි සුවිශාල වැඩ කොටසක් කළා. එයිට වඩා පිම්මක් අනිවාර්යයෙන්ම අපි 2026 පනිනවා. මේ අයවැය අපි සූදානම් කරලා තියෙන්නෙ, බිම්මට්ටමේ ජනතාවට සහන සලසන්න ඕනෙ, ගම්බිම්වල පාරවල් ටික හදන්න ඕනෙ, නිවාස හදලා දෙන්න ඕනෙ. ඒ වගේම ස්වයං රැකියා ආධාර, කර්මාන්තවලට විශාල අනුග්‍රහයක් දෙන්න බලාපොරොත්තු වෙනවා.

ඒ වගේම සංචාරක ව්‍යාපාර ප්‍රවර්ධනයට අපි අතහිත දෙන්න අපි බලාපොරොත්තු වෙනවා. අපි රජය හැටියට තීන්දුවක් අරන් තියෙනවා අනිවාර්යයෙන්ම වතු කම්කරු ජනතාවගේ වැටුප් වැඩිකරන්න ඕනෙ. කොහොමටත් ලංකා ඉතිහාසයේ හොඳම ජනතාවාදී අයවැය අහගන්න පුළුවන් කියලා අපි විශ්වාස කරනවා."

සමන්ත විද්‍යාරත්න මේ බව පැවසුවේ ඊයේ (06) පූනාගල – බණ්ඩාරවෙල මාර්ගය කාපට් යොදා සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කිරීමේ උත්සව අවස්ථාවට එකතු වෙමින් මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.


ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී අජිත් දොවාල් මහතා සහ විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාස මහතා...
07/11/2025

ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී අජිත් දොවාල් මහතා සහ විපක්ෂ නායක සජිත් ‍ප්‍රේමදාස මහතා අතර හමුවක් සිදුවී තිබේ.

එහිදී දෙරට අතර සහයෝගීතාව සහ හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව පැවසෙයි.

ඉන්දීය නිල සංචාරයක නිරත විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඉන්දියාවේ ජාතික ආරක්ෂක උපදේශක සහ ජාතික ආරක්ෂක කවුන්සිලයේ ප්‍රධානී අජිත් දොවාල් මහතාව මෙලෙස ඊයේ (06) හමුවී තිබුණි.

සමුද්‍රීය සම්බන්ධතාව, ධාරිතා වර්ධනය සහ නූතන දියුණු තාක්ෂණය වැනි ක්ෂේත්‍රවල සහයෝගීතාව වැඩි දියුණු කිරීම කෙරෙහි මෙන්ම දකුණු ආසියානු ජාතීන් අතර කලාපීය සහයෝගීතාව සහ හවුල්කාරීත්වය ශක්තිමත් කිරීම කෙරෙහි මෙහිදී අවධානය යොමු වී ඇත.

ඉන්දියානු සාගර කලාපයේ මතුවන අභියෝගවලට මුහුණදීම සඳහා තොරතුරු හුවමාරුව, කලාපීය සංවර්ධන මුලපිරීම් සහ ආයතනික සහයෝගීතව ප්‍රවර්ධනය කිරීම පිළිබඳව ද මෙහිදී දෙපාර්ශ්වය අතර සාකච්ඡා පවත්වා තිබේ.

කලාපීය ස්ථාවරත්වය, ඵලදායී සහභාගීත්වය සහ සැවොම ඇතුළත් කරගත් වර්ධනය සඳහා ශ්‍රී ලංකාවේ දැඩි කැපවීම විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙහිදී යළිත් අවධාරණය කර තිබූ බවද සඳහන් ය.


ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.* 7% ක ආර්ථික ව...
07/11/2025

ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් 2026 අයවැය ප්‍රකාශය මේ වන විට පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරමින් සිටිනවා.

* 7% ක ආර්ථික වර්ධන වේගයක් අපේක්ෂාවෙන් තමයි අපි කටයුතු කරන්නේ.

* විශේෂ රැකවරණය ලැබිය යුතු අය අඛණ්ඩව බලා ගැනීමට ශක්තිමත් සමාජ ආරක්ෂණ වැඩ පිළිවෙලක් සකස් කරනවා.

* 2026 දී දළ දේශීය නිෂ්පාදිතයට සාපේක්ෂව රාජ්‍ය ආදායම 15.3% දක්වා ගෙන ඒමට කටයුතු කරනවා.

* විරැකියාව 4.5% සිට 3.8% දක්වා පහත වැටී තිබෙනවා.

* රාජ්‍ය ආදායම දළ දේශීය නිෂ්පාදිතයෙන් 20% ක් දක්වා වැඩි කර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

* හැම පැත්තෙන්ම ආර්ථිකයේ ධනාත්මක සාධක පෙන්නුම් කරමින් සිටිනවා.

* බදු ගෙවන හැම රුපියලකටම අපි වග කියනවා.

* 2026 අයවැය හිඟය 5.2% දක්වා අඩු වෙලා තියෙනවා.

* ආර්ථිකය ස්ථාවරයි. යළි ආර්ථික අස්ථාවරභාවයක් බලාපොරොත්තු වෙන්න එපා.

* 2026 අවසානයේදී සංචිත බිලියන 07 කරා ලඟාකර ගැනීමට බලාපොරොත්තු වෙනවා.

* 2025 අවසානයේදී රට ආර්ථික අර්බුදයට පෙර පැවති තත්ත්වයට යන්න පුළුවන්.

* අස්වැසුම වැඩසටහන යාවත්කාලීන කර, 2026 දී එය සමාලෝචනය කරනවා.

* මහජන මුදල් අවභාවිතා කර තිබෙනවා නම්, අනිවාර්යයෙන්ම දඬුවම් ලබාදෙනවා.

* 2026 අයවැය තුළින් ආර්ථිකයේ වේගවත් පිම්මක්.

* ණය ප්‍රතිශතය 95% ඉලක්කයට පැමිණ ඇති නිසා ණය ගෙවීම් ගැන බිය විය යුතු නැහැ.


හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ වැඩතහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර තිබේ....
07/11/2025

හෙරොයින් තොගයක් සමග අත්අඩංගුවට ගත් විදුහල්පතිවරයාගේ වැඩතහනම් කිරීමට උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා තීරණය කර තිබේ.

අදාළ විදුහල්පතිවරයා වෙත ලිපියක් යොමු කරමින් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා දන්වා ඇත්තේ, අනුරාධපුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය ඉදිරිපත් කළ කරුණු සලකා බලමින් ආයතන සංග්‍රහයේ වගන්ති යටතට ගැනෙන වරදක් සිදුකර ඇති බැවින් වහාම ක්‍රියාත්මක වන පරිදි වැඩ තහනම් කිරීමට කටයුතු කරන බවය.

ජාතික ජනබලවේගයේ හිටපු නාගරික මන්ත්‍රීවරියකගේ සැමියා වන අදාළ විදුහල්පතිවරයා පසුගියදා හෙරොයින් කිලෝග්‍රෑම් 1යි ග්‍රෑම් 118ක් සමග අත්අඩංගුවට ගනු ලැබීය.


ජනාධිපති අනුර දිසානායක විදේශ තානාපතිවරුන් කැඳවා රට වැටී ඇති ආගාධය ගැන ප්‍රකාශ කරන විට ඒ රටවල් සිය රට වැසියන් ලංකාවේ සංචා...
07/11/2025

ජනාධිපති අනුර දිසානායක විදේශ තානාපතිවරුන් කැඳවා රට වැටී ඇති ආගාධය ගැන ප්‍රකාශ කරන විට ඒ රටවල් සිය රට වැසියන් ලංකාවේ සංචාරය සඳහා එවනු ඇතිදැයි සර්වජන බලය නායක, ව්‍යවසායක දිලිත් ජයවීර විමසයි.

ජනාධිපතිවරයාට ව්‍යවසායකත්ව මනසක් තිබිණි නම් මෙම ප්‍රශ්න රහසේ විසඳාගනු විනා ලෝක ප්‍රසිද්ධ කිරීමට කටයුතු නොකරන බවයි, ඔහු පෙන්වා දෙන්නේ.

පාතාලයන් අල්ලා ගෙන එන විට අන්තර්ජාතික මාධ්‍ය කැඳවා ලෝකයටම අදාළ පුවත ලබා දුන් බවත් ඔහු සඳහන් කරයි.

එවිට රටට පැමිණෙන්නේ දෙකයි පනහේ සුද්දන් බවත් ඊළඟ පාතාලය ඊළඟට රටට හිස රදයක් වන්නේ මෙම සුද්දන්ගේ පාතාලය බව ද දිලිත් ජයවීර අවධාරණය කරයි.


Address

Gangodawila

Website

Alerts

Be the first to know and let us send you an email when Prime News posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Share