09/04/2026
පසුදා අක්කා පාසල් ගිය අතර කීමට තරම් කිසිවක් නොමැතිව කාලය ඔහේ ඉඟිල ගොස් සවස දෙක පසුවී මිනිත්තු පහළොවක් යන්නට මත්තෙන් අක්කා නිවසට පැමිණියාය.
සාමාන්‍යයෙන් වත්සලාද සවස පාඩම් පිණිස, අක්කා සමඟම පැමිණිය යුතුව තිබුණද ඇය පැමිණ සිටියේ නැත.
අක්කා දහවල් කෑම මේසයට පැමිණෙන විට මමත්, කමලා නැන්දාත් ආහාර ගනිමින් සිටියෙමු.
👩💼දෙකම එකයි ආය ඉතිං! එසේ මෙසේ කපටියො නෙවේ.
කියමින් අක්කා කෑම මේසයට එක් වුනේ මා වෙත ඍජුවම එල්ල කල නුරුස්නා බැල්මකිනි.
මේ ඇඳවැටෙන්නට යන්නා වූ මරාලය කුමක්දැයි මා ද විමසිල්ලෙන් අක්කා දෙස බලා
👧කවුද කපටියො?
කියා යටහත් පහත් ස්වරයෙන් ඇසීමි.
👩💼හ්හ්.වෙන කවුද ඉතිං?තමුසෙයි, වත්සලායි ඇර.අන්න වත්සලාගේ තාත්තා ඇවිත් කියලා අද පාඩම් කරන්න එන්න බෑලු...........ඒ නෝනා,ලලිතා නැන්දා අතේ මට පාරට පණිවිඩේ එවලා තිබ්බේ. ඒත් ජනේලෙ ළඟ හොරගල් අහුල අහුල ඉන්නවත් මං දැක්කා.ආ දෙන්කො හෙට හොඳ පාඩමක් උගන්නන්න.එයත් පටන් අරං මෙයා වගේ මං එක්ක සෙල්ලම් කරන්න.
අක්කා කීවේ ඇගේ පිඟානට පිළිවෙළකට ආහාර බෙදා ගනිමිනි.
පහත් තැනින් ජලය ගලා යන්නා සේ වත්සලාගේ නොහොබිනා කම් වලටත් මා පලි වන්නේ කෙසේදැ'යි අක්කාගෙන් ඇසීමට වුවමනා වුවත්,,, අක්කා කෙරෙහි මා තුල පවතින ගෞරවය විසින් එම වදන් ගිලදමා මගේ සියුම් කෝපය යටපත් කලේය .
වත්සලාගේ පියා, කොළඹ නගරයේ නේවාසිකව රැකියාවක නිරත වන අතර ගමට එන්නේ මසකට වරකි.ඒ ද දින දෙකක් හෝ තුනක් සඳහා පමණි.කලකට පසුව හමුවන පියා සමඟ කාලය ගත කිරීම පාඩමකට වඩා ඇයට වටිනු ඇත.එම නිසා වත්සලා කල දෙයෙහි වරදක් මට පෙනෙන්නේ නැත.කෙසේ වුවත් වත්සලාද නොමැතිව අද මෙහි විසීමට සිදුවීම සිත උදාසීන බවකින් පුරවාලූවේය.
වත්සලාට බැණවැදීම එතැනින් නැවැත් වූ අක්කාගේ මුහුණ යම් දීප්තියකින් ප්‍රබෝධමත් වන අයුරු මම නිරීක්ෂණය කළෙමි .
සාමාන්‍යයෙන් එක්ව හිඳ අක්කාත්,මමත් ආහාර ගන්නා වේලාවකදී වුවද අක්කා බොහෝ විට නිහඬ ය.අවශ්‍යම දෙයක් හෝ මගේ පාඩම් වැඩක අඩුපාඩුවක් කීම විනා අක්කාගේ දවස ගෙවූ ආකාරය පිලිබඳව අප අතර කතාවක් ඇති වන්නේ කලාතුරකිනි.
ඒ වුවද අද දිවා බෝජන සංග්‍රහයේදී අක්කාගේ හැසිරීම අමුතුය.ඇය මා හා කමලා නැන්දා සමඟ කතාවකට මුල පිරුවාය.
👩💼සමාධි!! අද ඉස්කෝලෙට අලුතින් ගුරුවරයෙක් ආවා ෆිසික්ස් වලට
අක්කා මා දෙස නොබලාම කීවාය.
පාසලට අලුතින් ගුරුවරු මීට පෙරද පැමිණ තිබේ.නංගීගෙන් දැනගන්නා තුරු ඒ බවක් මීට පෙර අක්කා විසින් පැවසූ බවක් මට මතක නැත.
මේ බව ඈ මට පැවසීමට තීරණය කලේ ඈට මේ පැමිණීම විශේෂයක් විය යුතුය.නැතිනම් අක්කාට මා සමඟ සමීප සාකච්ඡාවක් ඇති කරගැනීමට උවමනා වන්නට ඇත.එදින අපගේ චාරිකාව යාම අක්කා සැලසුම් කලේ ද මා වෙනුවෙන් බව මේ වන විට මා හට වැටහී තිබින.මේ දින වල අක්කා තුල අරක් ගෙන සිටින යක්ශයා වෙනත් විමානයක් සොයා ගොස් ඇති සේය.
අක්කා පාසලේ විස්තර මා හා පැවසීමට තීරණය කලේ ඉන් කුමන හේතුවක් අරඹයාදැයි දැනගැනීමට මා හිස ඔසවා ඇයට අවධානය යොමු කලෙමි.ඇගේ ප්‍රසන්න භාවයට හේතුව නව ගුරුවරයාගේ පැමිණීමදැයි එවිට මට සිතුනේ ඈ මහත් ප්‍රීතියෙන් සිටි බවක් පෙනුන නිසාය.
මා දෙස කෙටි බැල්මක් හෙලා අක්කා නැවත පිඟානට අවධානය යොමු කර කතා කලාය.
👩💼හොඳම වැඩේ කියන්නේ එයා අපේ කැම්පස් එකේ කොල්ලෙක්.එකම බැජ් එකේ.ඒත් අවුරුද්දක් මට වඩා වැඩිමල්.ඒ දවස් වල නම් එයා ආත්මාර්ථකාමීයී කියලයි ප්‍රසිද්ධ.ඒත් එහෙම කෙනෙක් නම් නඟරේ ඉඳලා මේවගේ පිටිසරකට එයිද කැමැත්තෙන්.අනික එයා පිටරට යන්න ඉන්නේ පී එච් ඩී එකට.එතකල් සේවයක් කරන්න ආවලු.එයාට එහෙම වැඩ කරන්න ඕනෙත් නෑ.ඕන තරම් සල්ලි තියනවා.
ඇගේ කතාව කෙරෙහි අපෙන් කිසිඳු අනුබලයක් බලාපොරොත්තු නොවූ අක්කා ඔහේ කියාගෙන ගියාය.
අක්කාගේ කතාවේ තොරතුරු වැඩිය.මේ වන විටත් ඒ තැනැත්තා අක්කාගේ සිතට කා වැදී ඇති සේය.ඒ ඇරත් අක්කා
කෑම පිඟානට දක්වන අනවශ්‍ය අවදානයද සැක සහිතය..ඈට අතින් ආහාර ගෙන කටෙහි ඔබා ගන්නට ඔතරම් පිඟාන දෙස බලා සිටීමට වුවමනා නැත.
අනතුරුව හිස එසවූ අක්කාට මා වුවමනාවෙන් ඈ දෙස බලා සිටින ආකාරය අපහසුතාවක් ගෙන දුන් බව පෙනිනි.
👩💼මොකද ඔහොම බලන්නේ?මේ ඒක නෙවෙයි.අපි අද ඇවිදින්න යමුද? වත්සලා නැති නිසා කම්මැලි ඇතිනේ!
අක්කා කලින් කී කතාව අමතක කිරීමේ අදහසින් මෙන් එක්වරම කීවේ මා දෙස බලා පියවි සිහියට පැමිණ ය.
එහි ප්‍රතිඵල ලෙස අපි දෙදෙනා ගේට්ටුවෙන් පිටතට පැමිණ නිවසේ තාප්පය වටා බොහෝ වේලාවක් සැහැල්ලුවෙන් ඇවිද ගියෙමු.
අක්කා කිවූ පාසලට පැමිණි ඇගේ මිතුරු ගුරුවරයා ගැන මා ඇසුවෙමි. මා ඔහුගේ නම යසිත් බවද, ඔහු අක්කාගේ මිතුරෙකු වූයේ ඇගේ උපාධිය නිම වීමට ඔන්න මෙන්න කියා තිබියදී බව ද, ඒ තරම් සමීප මිතුදමක් නොතිබූ බවද අක්කාගේ කතාවෙන් දැනගතිමි.
නමුත් ඔහු ගැන පවසන විට අක්කාගේ මුවෙහි නැගෙන සිනාව , අක්කා නොකියන තවත් යමක් ඇති බව කියා පෑවාය.
👧ඒ කියන්නේ ලොකූ යාළුකමක් නෑ නේද?
යැයි අක්කාගෙන් මම ඇසුවේ ඊට වඩා යමක් තිබෙන බව මා සිතනවා යැයි පෙන්වන සිනාවක් ද පාමිනි.
අක්කා එවැනි හැසිරීමක් මගෙන් බලාපොරොත්තු නොවූවා විය යුතුය. අක්කා වහා ඇගේ සුපුරුදු බැරෑරුම් මුහුණට ආරූඪ වූවාය.
මා වැනි ඉගෙනගනිමින් සිටින ශිෂ්‍යයාවක සමඟ ගුරුවරියක් කතා නොකළ යුතු කතාබහක් අප අතර ඇති වූ බව වැටහී ගියාක් මෙන් ඈ ඒ පිළිබඳව කතා කිරීම නවතා මට විදාන දීම ඇරඹුවාය.
👩💼දැන් ඇවිද්දා ඇති සමාධි!යමු.පාඩම් කරන්නත් එපැයි..
මාළුවා නහින්නේ කට හින්දාලු.!!!මගේ සිත මටම චෝදනා කලේය.සැහැල්ලුවෙන් වටපිටාවේ ඇවිද යාම එතකින් නැවතුනි.
වත්සලා නැවත පාඩම් පිණිස පැමිණියේ එළබුණ ඉරිදාවේයි.
නමුත් ඊට පෙර වූ සෙනසුරාදා සැන්දෑ යාමයේ පන්සලේ බෝධිපූජාව සඳහා අප සහභාගි වන විට, වත්සලා ඇගේ මව හා පියා සමඟ පන්සලේ සිටි අතර මා හා එක්වී කතා බස් කරමින් සැදෑවරුව ගෙවා දැමීය.
වත්සලා, මා සමඟම සිටි අතර මල් පූජා කරන විටත්,පහන් දල්වන අවස්ථාවෙදීත්, ගාථා කියද්දීත් මා ද කැටුවම ඉතා දක්ෂ ලෙස අක්කාව මඟහැරියාය.
එහෙත් නැවත නිවසට යාම පිණිස අප පන්සලෙන් පිටවන අවස්ථාව වන විට ලලිතා නැන්දා, වත්සලාගේ පියා හා වත්සලා කැටුව අප ඉදිරියට පැමිණීමෙන්, වත්සලා විසින් , අක්කාගෙන් සැඟවීමට මෙතෙක් දැරූ උත්සාහය නිශ්ඵල කලේ ය.
වත්සලාව අක්කාගේ මුහුණට මුහුණ හමුනොවනු පිණිස මෙතෙක් වේලා මා, වත්සලාට අවංකවම උපකාර කර තිබූ නමුත් මෙවෙලේ ඇගේ මුහුණ දුටු මට සිනා නොවී සිටීමට නොහැකි විය.
වත්සලා මා දෙස රවා බැලූ විට ඇයට විරිත්තූ මා , ඇගේ කේන්තිය වර්ධනය කරනු පිණිස කටයුතු කලෙමි .
එහෙත් අක්කා ලලිතා නැන්දාත් ,මාමාත් සමඟ සුහදව කතා කලා මිසක, වත්සලා බලාපොරොත්තු වූ අයුරින් වත්සලාගේ අඩුපාඩු කිසිවක් පිලිබඳව කතා නොකලාය.පාඩම් මඟහැරීම පිලිබඳව බැන වැදුනේද නැත..වත්සලා සමඟ අවංකව සිනාසෙන්නටද අමතක නොකළාය.
නමුත් පසු දින පාඩම් වැඩ සඳහා පැමිණි වත්සලාට පාඩම් ආරම්භ කිරීමට පෙර අක්කාගේ නඩු විභාගයට මුහුණ දෙන්නට සිදු විය.
👩💼 වත්සලා නැඟිටින්න...තාත්තා ආව නිසා එක දවසක් එන්නේ නෑ කියලා තමා ලලිතා නැන්දා මට කිවුවේ.ඒක හරි.!
ඊට පස්සේ ආවෙ නැත්තෙ ඇයි?
අක්කා වත්සලාගෙන් ඇසුවේ බැරෑරුම් මුහුණකින් යුතුවය.
වත්සලා නැඟීසිටිමුත් කිසිත් නොකීවාය.බිම බලා සිටි ඈ ඇයට ඉදිරියෙන් සිටි මා දෙස බලා විටින් විට හොරැහින් මට සිනාසුනාය.ඒ ඊයේ සිට ඈ, අක්කාගෙන් බේරීමට ගත් උත්සාහය මා හොඳින්ම දැන සිටි බැවිනි.දැන් ඒ උත්සහය නිශ්ඵල වී ඇත.
අක්කා වත්සලාගේ පිළිතුරු අපේක්ෂාවෙන් නිහඬව බලා හිඳ වත්සලාද නිහඬ බැවින් අවසානයේ කතා කලාය.
👩💼මීට පස්සේ එක එක හොර හේතු හදාගෙන කම්මැලිකමට නෑවිත් හිටියොත් එහෙම මන් ආය නොකිව්වයි කියන්න එපා හරිනෙ!. දැන් වාඩිවෙන්න.
අක්කා පැවසුවේ දබරැඟිල්ල වත්සලාට දිගු කරමිනි.
වත්සලා මා හට හොරැහින් සිනාසුනද,ඈ අක්කාට බිය වූ බව සැඟවිය නොහැකි විය. සැබැවින්ම එය සැඟවීමට ඈ උත්සහා දැරුවේද නැත.ඈ නිතරම පාහේ ඈ නීශා මිස්ට බය බව මා සමඟ කියා සිටියාය.
අම්මා ඇතුළු පිරිස විදේශ ගතව සතියක් ඉක්ම වී ගොස් තිබූ අතර ඒ සෑම දිනකම අම්මා කතාකොට අපේ සුවදුක් විමසා සිටියාය.
එළඹුණු සඳුදාවේ සිට ගෙවී ගිය දිනයන් ආදරණීය හා අපූර්ව බවින් අඩුවක් නොවීය.
බදාදා දිනය අවසන් වනවිට දින තුනක් නොකඩවාම එක දිගට අක්කා සමඟ එළිමහනේ කාලය ගත කිරීමට අවස්ථාව ලැබිණි .
අක්කා පාසල නිම වී පැමිණි පසු දිවා කාලයේ අක්කාත්,මමත්,වත්සලාත් ගම්මානයේ බොහෝ වේලා නිදහසේ ඇවිද ගියෙමු..
මේ ගමන් වලදී අක්කාගේ පැහැදිලි පරිවර්තනයක් වූ බව පෙනිනි.පාඩම් ගැන විනා අනෙකක් පිළිබඳව කතා නොකරන අක්කා ඉන් පිටත දේවල් පිලිබඳව මා හා කතා කරන්නට වෙහෙසුණු බව පෙනිනි.මුලදී ඈ සමඟ මිත්‍රශීලී කතාබහ වත්සලාටත් මටත් ආගන්තුක නුහුරු එකක් වුවද, අක්කාද ඇය හා එලෙස සැහැල්ලුවෙන් කතා කිරීමට අප උනන්දු කරවන ආකාරයේ හැසිරීමක් පෙන්වුවාය.
බදාදා දිනයේ දිවා කාලයේ පන්සල ඉදිරියෙන් ඇවිදිමින් සිටි අපට ගුරුන්නාන්සේ මාමා සමඟ පන්සලට පැමිණෙන කඩවසම් අමුත්තෙකු දක්නට ලැබිනි.
දුර තියාම ඔවුන් දුටු පසු අක්කාගේ සුන්දර මුහුණ දීප්තිමත්ව ඔප වැටින.
ගුරුන්නාන්සේ මාමා සමඟ තියා අන් කිසිවෙකු සමඟ අක්කා සිනාසෙන විට මේ තරම් දීප්තියක් ඇති වනු මින් පෙර මා දැක නැත.අපේ අම්මා , තාත්තා හා නංගී සමඟ අක්කා සැහැල්ලුවෙන් සිනාසෙනු මා දැක ඇතැත් ඒ, මේ සිනාව නොවේ.
එසේ නම් ඇගේ මේ සිනාවට හේතුව අමුත්තා විය යුතු බවත්,නන්නාදුනන පුද්ගලයන් සමඟ සිනා නොවෙන අක්කාගේ සිනාව ලද මේ පිටස්තරයා යසිත් විය යුතු බවත් මම අනුමාන කළෙමි.