14/08/2023
භික්‍ෂුව වැඩ සිටින කුටියට පැමිණි මහත්මයෙක් භික්‍ෂුවගෙන් ඇහුවා “හාමුදුරුවනේ කුටියට වෙලා තනිවම මොකද කරන්නේ” කියලා. භික්‍ෂුව ප්‍රකාශ කළා කුටියට වෙලා විවේකයෙන් වැඩ සිටිනවා කියලා. ඒ වෙලාවේ ඔහු කියනවා “ඔහොම සිටියම ජීවිතේ කිසිම තේරුමක් නැහැනේ හාමුදුරුවනේ” කියලා. භික්‍ෂුව ප්‍රකාශ කළා ජීවිතේ කොහෙත්ම තේරුමක් නැති හින්දයි මහත්තයෝ මෙහෙට වෙලා විවේකයෙන් වැඩ ඉන්නේ කියලා.
මේ මහත්මයාට විවේකය කියන එක ප්‍රශ්ණයක්. මොහු භික්‍ෂුව තුළින් දකින්ට කැමති අවිවේකී, කාර්ය බහුල, ක්‍රියාශීලී චරිතයක්. අනුනගේ විවේකය දැකලා තමන්ගේ සිතේ විවේකය නැති කරගන්නවා. අනවශ්‍ය ගොඩාක් සිතුවිලි සිතලා අකුසලුත් රුස්‌කර ගන්නවා. ඇසත් මට අයිති නැත්නම්, ඇසට බැඳෙන රූපත් මට අයිති නැත්නම් දිව, කන, නාසය, මනස, කය මට අයිති නැත්නම්, ඒවාට බැඳෙන භාහිර රූපත් මට අයිති නැතිනම් කුමක් සඳහා අවිවේකී වෙන්නද...? වෙහෙස වෙලා කුමක් අයිතිකොට ගන්නද...? මම කියා සටහන් කළ නාමරූප ධර්මයන්ගේ හේතුවෙන් හටගත් ඵලය සලායතන නම් එතැන ද හේතුඵල ධර්මතාවක් මිස සත්වයෙක් පුද්ගලයෙක් නැතිනම්, මේ අවිවේකය කවුරුන් උදෙසා කුමක් සොයන්නද...? යමෙක් එසේ සොයන්නේ නම් ඒ ඔහු සොයන්නේ රැවටීමමය. ඇසෙත් තේරුමක් නැත්නම්, කනෙත් තේරුමක් නැතිනම් ජීවිතයෙත් තේරුමක් තියෙන්න බැහැනේ. තේරුමක් නැති ජීවිතය ඔබට තේරුම් කොට දෙන්නේ සද්ධර්මයයි.
විවේකීව නාම රූප ධර්මයන් දෙස බලන්න. එවිට ඔබට වැටහේවි අවිවේකයෙන් අයිති කරගන්න දෙයක් මෙතැන නැහැයි කියලා. එම නිසා පිංවත් ඔබ ස්‌වාමීන් වහන්සේ නමක් මුණගැසුනහම සැමවිටම ධර්ම කාරණයක්‌මයි කථාබහ කරන්නෙ කියල චිත්තයක් ඇති කරගන්න.
සිත විවේකීභාවයට පත්වෙනකොට අවිවේකීභාවය සකස් කරන හේතු ඔබට වැටහෙන්න පටන් ගන්නවා. සිත අවිවේකී වෙන්නේ රූපය, වේදනාව, සංඥාව, සංස්‌කාර, විඤ්ඤාණ නිත්‍යභාවයෙන් ගැනීම නිසාමයි. අනිත්‍ය දෙය නිත්‍යභාවයෙන් ගත්තාහම ඔබව පටලවනවා. ඔබ නැති දෙයක් තිබෙනවාය කියල ගන්නවා. දැන් ඔබ අවිවේකියි. ඔබට කරන්න, සොයන්න, බලන්න, කියන්න ගොඩාක් දේවල් තිබෙනවා. ලෝකය නැවතිලා තිබෙන්නේ. ඒත් පිංවත් ඔබ දුවනවා. වේගයට හොඳ වටිනාකමක් තිබෙනවා අවිද්‍යාවේදී. “අවිද්‍යා පච්ජයා සංඛාරා” අවිද්‍යාවයි සංස්‌කාර සකස්‌කොට දෙන්නේ. ඔබ වේගවත්ය කියන්නේ වේගයෙන් සංස්‌කාර රැස්‌කරනවාය කියන කාරණයයි. නමුත් ඔබ විවේකීව සිතන්න ගත්තොත් රූපයේ, වේදනාවේ………..අනිත්‍යභාවය සංස්‌කාර නිරෝධය දෙසටයි ඔබ ගමන් කරන්නේ. බලන්න අවිවේකයත් විවේකයත් අතර තිබෙන පරතරය. රූපය නිත්‍යභාවයෙන් ගැනීම නිසා නැති දෙයක් සෙවීම නිසා අවිවේකයත්, රූපය වේදනාව…….. අනිත්‍යභාවයෙන් ගැනීම නිසා සෙවීමට දෙයක් නැති නිසා විවේකයත් ලැබිය හැකිය. විවේකීභාවය ඔබෙන් දුරස්‌වෙන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් දුරස්‌වීම නිසයි. තෙරුවන් කෙරෙහි සද්ධාවට පැමිණි කෙනා ජීවිතය අවිවේකී වීමට ඇති හේතු සොයනවා. කල්‍යාණමිත්‍ර ආශ්‍රය, සද්ධර්මශ්‍රවණය, යෝනිසෝ මනසිකාරය තුළින්මයි සද්ධාව සකස්‌වෙන්නේ.
මේ උතුම් සද්ධාව ගැන සටහන් තබන කොට භික්‍ෂුවට අතීතයේ සිදුවීම් පෙළක් මතකයට එනවා. භික්‍ෂුවගේ තාත්තා දෙවියන් කෙරෙහි බොහෝම ලැදි කෙනෙක්. භික්‍ෂුවට මතකයි ළමා කාලයේ තාත්තා සෑම වසරකම දෙවොල් මඩුවක් කරලා දේව දානයක් දෙනවා. ඒ වගේම සෑම මසකම කඩවර පුජාවක් තියනවා නිවසේ පිටුපස්‌සේ. ඒ කාලයේ ළමයෙකු හැටියට සද්ධාව කියන්නේ කුමක්‌ද කියලා මම හඳුනාගෙන තිබුණේ නැහැ. මගේ තාත්තා හඳුනාගෙන තිබුණෙත් නැහැ. ඒ නිසාම මට මතකයි මේ දෑත්වලින් මම අනන්තවත් හාල්මැස්‌සෝ පුච්චලා, හරක් සම් පුච්චලා තිබෙනවා පුජාවන්ට. නමුත් මේ මොහොතේ භික්‍ෂුවට ඒ අතීතය මතකයට එනකොට භික්‍ෂුව පැහැදිලිව දන්නවා එදා ගිහියෙක් හැටියට මම තුළ සහ තාත්තා තුළ තිබුණේ අමූලිකා සද්ධාවයි කියලා. අමූලිකා සද්ධාව තිබුණ නිසයි තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් බැහැරව දේව විශ්වාසයන්ට බැහැගත්තේ. අමුලිකා සද්ධාව නිසාමයි හාල්මැස්‌සො පිච්චුවේ, හරක් සම් කැබලි පිච්චුවේ, පුජාවන්ට බුලත් තටු හදලා, ගණන් කරලා මල් තැබුවේ. ඉහත සටහන තැබුවේ පිංවත් ඔබට සද්ධාවේ සහ අමූලිකා සද්ධාවේ වෙනස හඳුනාගන්නයි.
පිංවත් ඔබ තෙරුවන් වඳින, දන් දෙන, සිල් රකින කෙනෙක් වෙන්න පුළුවන්. නමුත් ඔබ ජීවිතය ඉදිරියට රැකියාවේ, ව්‍යාපාරයේ, රෝගීභාවයන් වැනි අභියෝගයන් එනකොට තෙරුවන් කෙරෙහි විශ්වාසයෙන් බැහැරව හාල්මැස්‌සෝ පුච්චන්න, හරක් සම් පුච්චන්න, පලතුරු වට්‌ටි තබන්න දේව අමනුෂ්‍ය ඇදහිලි ඔස්‌සේ ඒවාට විසඳුම් බලාපොරොත්තු වෙනවා නම් පිංවත් ඔබ නියත වශයෙන්ම දැනගත යුතුයි ඔබ තුළ තවම තිබෙන්නේ අමූලිකා සද්ධාව කියලා (මෝහය මුසු සද්ධාව) නමුත් භික්‍ෂුවට තරුණ කාලයේදීම යම් හේතුවක් නිසාම මේ අමූලිකා සද්ධාව තමා තුළින් හඳුනාගන්න හැකිවුණා. කල්‍යාණ මිත්‍ර ඇසුර, සද්ධර්මශ්‍රවණය නිසාම, ඇසුවා වූ ධර්මය නුවණින් මෙනෙහි කිරීම නිසාම….!
පිංවත් ඔබ ධර්මය ඇසීමෙන් පමණක් ඵලක් නැහැ. එම ධර්මය නුවණින් මෙනෙහි කරන්න. අපගේ ආයුෂය බොහෝම වේගයෙන් ගෙවී යනවා. මරණය බොහෝම ඉක්‌මනට ළඟාවෙන්න පුළුවන්. එම නිසා රැකියාව, ව්‍යාපාරය, විවාහය නොවේ වන්දනීය මරණයකට හිමිකරුවෙක් වෙන්න. මුළාවට එක වචනයකින්වත්, හැඟීමකින්වත්, සිතුවිල්ලකින්වත් බැඳෙන්න එපා. ආදරය කරන්න එපා. බිය ඇතිකරගන්න. අමූලිකා සද්ධාවමයි සංසාරයේ ඔබට මිථ්‍යාදෘෂ්ඨිකභාවය ඇතිකොට දෙන්නේ. මෙය බියකරු ලෝකයක්. චපල ලෝකයක්. මිනීමරු ලෝකයක්. මනුෂ්‍යයා තුළ සකස්‌වෙන පංචඋපාදානස්‌කන්ධය ඒ තරමටම බියකරුයි, විෂමයි. භික්‍ෂුවට මුණගැසුණ එක් කට්‌ටඩි මහත්මයෙක් භික්‍ෂූවට ප්‍රකාශ කළා තමා දන්නා මන්ත්‍ර ගුරුකම් ශාස්‌ත්‍රය තුළින් තමාට මිනිසෙක් මරන්න, විනාශ කරන්න පුළුවන් කියලා. ඔහු සපථ කළා තමා එවැනි ගුරුකම් කරලා තිබෙනවා කියලා. ඔහු උදම් ඇනුවා. ධර්මයේ අර්ථය නොදත් මුළාවූ ලෝකයාට මනුෂ්‍යයෙක් මැරීම මදුරුවෙක් මැරීම වගේ සරල දෙයක්.
ධර්මයෙන් බැහැර වුණ සිතකට ජීවිතයක වටිනාකම තබා තමාගේ ජීවිතයේ වටිනාකමවත් තේරෙන්නෙ නැහැ. තමාගේ ජීවිතයට ලබාදී ඇති නොවටිනා ලංසුවමයි අනුන්ගේ ජීවිතවලටත් ලබා දෙන්නේ. පිංවත් ඔබලා සද්ධර්මය ශ්‍රවණය කරන පිංවතුන්ලා වශයෙන් සෑම මොහොතකම සමාජය තුළ තිබෙන අන්තරායකාරී ධර්මයන් හඳුනාගන්න. සද්ධර්මය කෙරෙහි සද්ධාවට පැමිණි කෙනා දක්‍ෂවෙනවා තමාගේ රැකියාව අහිමිවුණත්, තමාගේ ව්‍යාපාරය පාඩු වුණත්, තමාට රෝගයක් හැදුනත් මගේම හොඳටයි කියලා හඳුනාගන්න. මේ බිඳවැටීම් තුළින් මම අත්දැක්‌කේ ලෝක ස්‌වභාවයයි. අනිත්‍යධර්මයේ අර්ථයයි කියලා. අනිත්‍ය වෙන දේවල් කෙරෙහි, බිඳෙන වැටෙන දේවල් කෙරෙහි බැඳීමෙන් මිදිලා තව තවත් ධර්මාවබෝධය දෙසට එනවා. එහෙම කෙනා තව තවත් උත්සාහයෙන්, වීර්යෙන් යුතුව වැටුණ දෙය ගොඩනගා ගැනීමට උත්සාහ ගන්නවා වගේම ධර්මය තුළින්මයි සැනසීම සොයන්නේ.
වර්තමාන සමාජයේ වේගයෙන්ම ජනප්‍රිය වෙන අංශයක් තමයි යන්ත්‍ර මන්ත්‍ර, ගුරුකම් ක්‌ෂේත්‍රය. මේ අංශයේ දියුණුව, භාවිතය වැඩිවෙන්න වැඩිවෙන්න ධර්මයේ භාවිතය හීනවෙනවා. එය ධර්මතාවයක්. සද්ධර්මයේ සැබෑ ආයුකාලය බොහෝම කෙටියි කියලා හඟවන අනතුරු හැඟවීමක්. කර්මය කර්මඵල විශ්වාසයෙන් බැහැරව ලෝකය ගමන් කරනවිට මිථ්‍යාදෘෂ්ඨිකභාවයේ ගොදුරක් බවටයි ඔබව පත්වෙන්නේ. නමුත් අවාසනාවේ මහත කියන්නේ මෝහය නිසාම මේ මනුෂ්‍යයා මුදල් වියදම් කරලයි මිථ්‍යාදෘෂ්ඨිකභාවයට පත්වෙන්නේ. උතුම් සද්ධර්මය ප්‍රතික්‌ෂේප කරලා, සල්ලිවලට මිථ්‍යාදෘෂ්ඨීකභාවය ගන්නවා. බලන්න මාර ධර්ම මොනතරම් සියුම්ද කියලා. ඔබේ ඇස් වහලා ඔබේ මුදල්වලින් ඔබටම මිථ්‍යාදෘෂ්ඨීකභාවය විකුණනවා. ප්‍රේතයන්ගේ ලෝකය, යක්‍ෂයන්ගේ ලෝකය, නීච අමනුෂ්‍යයන්ගේ ලෝකය හරිම බියකරුයි, හරිම පුළුල්. බොහෝම සංකීර්ණයි. ඔවුන්ගේ ධර්මය අධර්මයයි, විනාශයයි, ද්වේෂයයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වැනි උතුම් ශාස්‌තෘන්වහන්සේ නමකගේ සරණ අහිමිකොට ගෙන තාවකාලික දියුණුවක් උදෙසා සිහින දකිමින් අමනුෂ්‍යයන් සරණ යාම පිංවත් මිනිසුනේ ඔබේ ජීවිතය ඔබම මාරයාට විකිණීමකි.
මේ ලෝකයේ ඇති මෝහය, ලෝකය තුළ සැඟව ඇති ඇත්ත මෙන්ම මේ මස් ඇසට නොපෙනෙනා ලෝකය ආදියද ලොව්තුරා බුදුරජාණන්වහන්සේ දේශනාකොට වදාළ ධර්මයේ සත්‍යතාවය අත්දැකීමෙන්ම උතුම් සමාධිය තුළින්මයි දැකිය හැක්‌කේ. මස් ඇසෙන් දකින ලෝකයේ චිත්‍රය නොව, පිනෙන් සහ පවෙන් පිරුණු සත්වයන්ගේ ලෝකයේ අපූරු චමත්කාරජනක මෙන්ම දුක්‌මුසු භව ගමනේ නවාතැන්පළවල් සමාධිය තුළින් යම් භික්‍ෂුවක් අත්දකිනකොට මිනිසුන් වශයෙන් අපි මොනතරම් බොළඳ වැරදි ඔස්‌සේ ලෝකය ග්‍රහණයකොට තිබෙනවාද කියලා පැහැදිලිවෙනවා. දෙවියන්ගේ පුද පුජා තියෙනකොට කපු මහත්වරු කන්නලව් කරනවා ඔබ අසා ඇති. ඒ අය මෙහෙම කන්නලව් කරනවා. “හරක් රැලට, මොනර රැලට, මැණික්‌ඟගට දිවැස් හෙළන දෙවියන්” කියලා. අපි එතකොට සිතන්නේ මේ දෙවියන් හරක් රැලට දිවැස් හෙළනවා කියලා. පිංවත් ඔබම සිතන්නකෝ ගොම ගොඩේ, මුත්‍රා ගොඩේ, මඩ නාගෙන ගාල්කරල තිබෙන හරක්‌ගාලට, එම සතුන්ට පින් කරල ඉපදුන දෙවියෙක් දිවැස් හෙලයිද..? ගොපලු දරුවෙක් වගේ. මේ ගොම ගොඩේ, හරක් මුත්‍රාගොඩේ දෙවියන් වැඩ සිටියිද...? නමුත් මේ කථාවේ සැඟවුණ ඇත්තක් තිබෙනවා. ඒ ඇත්ත පිංවත් ඔබට දකින්න පුළුවන් සමාධිය තුළින් පමණයි.
දිනක් භික්‍ෂුවක් සමාධියෙන් වැඩසිටිනකොට භික්‍ෂුවට දිව්‍ය මීගවයන් 12 ක් පමණ සමන්විත දිව්‍ය හරක් රංචුවක් දර්ශනය වුණා. මෙතන ලොකු දෙනුන් 6 ක් සහ පැටවුන් වශයෙන් තමයි ඉතිරි අය සිටියේ. මේ දිව්‍ය මී දෙනුන් රංචුව මනුෂ්‍යලෝකය ඇසුරුකොට ජීවත්වෙන දිව්‍ය හරක් රංචුවක්. මේ මී දෙනුන් ආයුෂ, වර්ණ, සැපයෙන් හුඟක් පිරිලා. මේ සතුන් බොහෝම පිරිසිදු, ශරීරය පුෂ්ඨීමත්, තෙල් පැහැයෙන් දිලිසෙන, රෝම ගහන ශරීරයක් තිබෙන්නේ. කිරිබුරුල්ල බොහෝම ලොකුයි, තන පුඩු ලොකුම ප්‍රමාණයේ කෙසෙල් ගෙඩියක් වගේ, කිරිවලින් තන බුරුල පිරිලා. එම දිව්‍ය මීහරක් රංචුව දකිනකොට එය සෞභාග්‍යයේ සංකේතයක් වගේ. මේ දිව්‍ය හරක් රංචුව පාරක් දිගේ ගමන් කරන ස්‌වභාවයෙනුයි භික්‍ෂුවට දර්ශනය වෙලා තිබෙන්නේ. ඔබගේ මස් ඇසට නොපෙනෙන ඇත්තක් මෙතන තිබෙනවා. හරක් රංචුවට දිවෙස් හෙළන දෙවියෙක් සිටිනවා. ඒ ගමේ සිටින ගොම, මුත්‍රා ගොඩේ දඟලන හරක් නොවේ. ඉහත සඳහන් කළ පිනෙන් වැඩි එහෙත් දිව්‍ය හරක් බවට භවයේ උපත සකස්‌කොට ගත් ඉහත හරක් රැල්වලටය. බලන්න අන්ධ විශ්වාසයත් සත්‍යයත් අතර තිබෙන වෙනස කොපමණද කියලා. ඉහත දිව්‍ය මීගව රංචුව භවයේ තවත් එක් නවාතැන් පලක්. මෙවැනි අනතුරුදායක භව ගමනක් ඉදිරියේ පිංවත් ඔබ දෙවියන්ගේ මුහුණ දෙස නොවේ බැලිය යුත්තේ තෙරුවන්ගේ ගුණ දෙසයි...!!!
තෙරුවන් සරණයි ...!!!
උපුටා ගැනීම - පූජ්‍ය රාජගිරියේ අරියඥාණ ස්වාමීන්වහන්සේ විසින් රචිත ලිපි ඇතුළත් "අතහැරීම 03" ග්‍රන්ථයෙනි.
ධර්ම දානය පිණිස හැකිතාක් Share කරන්න...
අනෙකුත් දහම් කරුණු සඳහා පිවිසෙන්න - https://www.facebook.com/kaalenadharmasaakachch