09/08/2026
ගැහැණු ළමයෙක් අම්මා කෙනෙක් වෙන්නේ දරුවා මෙලොවට බිහිවුණු දවසේ නොවෙයි. තමන්ගේ කුස ඇතුළේ තවත් ජීවයක් හුස්ම ගන්නවා කියලා දැනගත්ත පළමු තත්පරයේදීම, ඇය ඇතුළේ හිටපු ඒ දඟකාර, හිනාවක්කාර කෙල්ල නිහඬවම මියයනවා. එතැන් පටන් ඇගේ ජීවිතයේ “කෙල්ලෙක්ගේ පරිච්ඡේදය” සදහටම අවසන් වෙනවා.
ඊට පස්සේ ඉතිරි වෙන්නේ තමන් ගැන හිතන එක අමතක කරලා, තමන්ගේ සතුටට වඩා දරුවාගේ ආරක්ෂාව ගැන හිතන “අම්මා” කෙනෙක් විතරයි.
එතෙක් කාලයක් තමන්ගේ ලස්සන ගැන, ඇඳුම් පැළඳුම් ගැන, නිදහසේ ගමන් බිමන් ගැන හිතපු ඒ හිත, එක පාරටම තත්පරයක් පාසා “මගේ හුස්මට වඩා මගේ පැටියාගේ හුස්ම වටිනවා” කියන බයක් එක්ක ගැහෙන්න ගන්නවා.
අම්මා කෙනෙක් වෙනවා කියන්නේ ලේසි වැඩක් නෙවෙයි. ඒක තමයි ගැහැණියක් ඇගේ ජීවිතයේ කරන ලොකුම පරිත්‍යාගය. කුසට දරුවෙක් ආපු දවසේ ඉඳන් ඇය තමන්ගේ ශරීරය දරුවාට පූජා කරනවා. ගතේ වේදනා, නිදි නැති රැයවල්, වෙනස් වන හෝමෝනත් එක්ක කරන අරගලය…. මේ හැමදේම ඇය කිසිම මැසිවිල්ලක් නැතුව විඳිනවා.
මොකද ඇය දැන් මියැදෙමින් ඉන්නේ තවන් පණක් පණ ගැන්වීමට බව ඇය දන්නා නිසයි. ඇගේ ඇස් වල තිබුණු ඒ හීන පිරුණු තාරුණ්‍යය, දරුවෙක් වෙනුවෙන් මියැදෙන්න ඉඩ දීලා ඇය “අම්මා” කියන උතුම් නාමය වැළඳ ගන්නවා.
ඇත්තටම බලද්දී, කෙල්ලෙක් අම්මා කෙනෙක් වෙනවා කියන්නේ තමන්ගේ මුළු ලෝකයම උඩු යටිකුරු කරගැනීමක්. දඟ කර, හයියෙන් හිනා වුණු ඒ කෙල්ලව ආයේ කවදාවත් දකින්න ලැබෙන්නේ නැහැ. ඒ වෙනුවට ඉපදෙන්නේ දරුවාගේ එක කඳුළකට ලෝකයක් එක්ක වුණත් සටන් කරන්න පුළුවන් හයියක් තියෙන ගැහැණියක්.
මේක අහිමි වීමක් වගේ පෙනුණත්, ඒක ආදරණීයම කැපකිරීමක්.
ඉතින්, අම්මා කෙනෙක් දෙස බලද්දී ඇය අනීතයේ දිය කරපු ඒ “ගැහැණු ළමයා” අමතක කරන්න එපා. අද ඔබ දකින ඒ ශක්තිමත් අම්මා පිටුපස, තමන්ගේ මුළු ලෝකයම දරුවා වෙනුවෙන් බිලි දීපු, පරාජය වුණු හීන පිරුණු නිහඬ වීරවරියක් ඉන්නවා. ❤️
-Copied-