05/02/2026
මැණික් ජිවිතයට බලපාන ආකාරය
මැණික් කෙනකුගේ ජීවිතය බැබළවීමට මෙන්ම විනාශයට ද හේතු වෙයි. “හෝප් දියමන්තිය” මිනිසුන් විනාශ කළේය. ගමන් මැණික් නමින් විනාශකාරී මිණිකැටයක් ද මහපොළව යට තිබේ. පුද්ගලයාගේ ග්‍රහ බලය අනුව මැණික් ලාභ ලබයි. මැණික් හා ග්‍රහ වස්‌තූන් අතර බැඳීමක් පවති. තමන්ට හොඳින්ම ගැලපෙන මැණික් වර්ගය දැයි ද තේරාගත් ගල පළුදු නැති උසස් ත්තත්වයේ මැණිකක්‌ද යන්නද මුලින්ම නිශ්චය කර ගැනීම අත්‍යාවශ්‍ය වන්නේය. ග්‍රහ අපලයක දී පළඳින මැණික පළුදු නැති හොඳ ගලක් වීමද අත්‍යාවශ්‍යය නැතහොත් බිඳීගිය කැඩපතින් මුහුණ බලනවිට විකෘතිවී පෙනෙන්නාක් මෙන්ම විකෘති වූ කිරන ශරීරයට ඇතුළුවීමෙන් ඉහත දැක්‌වු ගැටලුවම ඇතිවීමට ඉඩ තිබේ.
මැණික නියමිත රසායනාගාර පරික්‍ෂණයට ලක්‌කර බලා නිශ්චය කර ජන්ම පත්‍රයේ බලවත් හා දුර්වල ග්‍රහයන් හඳුනාගෙන ඒ අනුව භාවිතා කිරීම ඉතා වැදගත් වේ. මැණික් යනු බොහෝ ශුභඵල, නිරෝගී භාවය හා යහපත් මානසික තත්ත්වයන් ලබාගත හැකි ඛනිජ වර්ගයකි. ඒවා එතරම් මිල අධික වන්නේද එබැවිනි.
වැරදි මැණිකක් පැළඳීමෙන් නැති අපලද ඇතිවන බැවින් කේන්ද්‍ර පරීක්‍ෂාවේදී එතරම් බරපතළ බවක් නොපෙන්වන අපලයකින් ජන්මියා පෙලීමට ප්‍රධාන හේතුව අශුභ ඵලදායක මැණිකක් පැළද සිටීම නිසා ද වේ. පැරසිටිමෝල් පෙත්තක් බීමට ගන්නා මෙන් අපලයට කියා කාකනිල් පළඳින අය බහුල ලෙස දක්‌නට ලැබේ. එහෙත් එයින් සුබපල ලැබෙන්නේ උපතින් ශනි ග්‍රහයා බලවත්ව සිටි කෙනෙකුට පමණි. උපතින් ශනි නීච හෝ දුර්වලව සිටියේ නම් කාකනිල් ගල පැළඳගත් දිනයේ සිටම සෙනසුරු අපලය දෙතුන් ගුණයකින් ජන්මියා පෙළනු ඇත.
මේ ආකාරය ටම අනෙකුත් ග්‍රහ අපලවලට මැණික් පළඳින විටද හොදින් පරීක්‍ෂාකර බැලිය යුතුය. උපතින් රවි ග්‍රහයා දුර්වල කෙනෙකු පද්මරාග ගලක් පැළඳ සිටීනම් ඔහුට ඌෂ්නාධික රෝග, අධික රුධිර පීඩනය, හෘදයාබාද ඇතිවීමට ඉඩ තිබේ. ඒ අතර රැකියා අංශවල උසස් අය අමනාපවීම , උසස්‌වීම් නොලැබීම ආදි අපල ඇති කරයි. උපතින් සඳු දුර්වල අයෙකු චන්ද්‍රකාන්ති හෝ මුතු පැළඳීම ජන්මියා පීනස හා සෙම් රෝගයකින් පෙළෙන කෙනෙකු කිරීමට ඉඩ තිබේ. ඔහු හෝ ඇයගේ මානසික තත්ත්වයද දුර්වල වනු ඇත. උපතින් කුජ දුර්වල නම් රතු ගලක් පළඳීන විට ක්‍ෂණික කෝපය හා එමගින් ඇතිවන ගැටලුද, පච්ච ගලක් පළඳින අයෙකුගේ බුධ නීචනම් විවිධ ස්‌නායු ආබාධ හා ගොතගැසීම වැනි දුර්වලතාද ඇතිවිය හැකිය. ගෝමේද ගලක් පළඳින රාහු දුර්වල ජන්මියා අදූරදර්ශීව බව, අධික වියදම, මත්ද්‍රව්‍යවලට හුරුවීම අධ්‍යාපනයේ දුර්වලතා පෙන්වයි. කේතු දුර්වල අයෙකු වෛරෝඩි ගලක් පළඳින විට ඉනෙන් පහළ කොටස්‌වල පාදවල ආබාධ පෝෂණ ඌණතා නිසා ඇතිවන රෝගයකින් පෙළෙනු ඇත.විවිධ මාණික්‍යයන්ගේ රශ්මි කිරණ ශරීරයේ ඒ ඒ දුබලතාවන්ට ගුණදායක වෙයි.
"නවරත්න” මුදුව , නවරත්න මාලය” විශේෂ යෙන්ම ධනවත් බව ආදිය පෙන්වීමට භාවිතා කලද සාමාන්‍යයෙන් ගුණයට වඩා අගුණයක් සිදුවීමට හැකිය. එබැවින් උසස් මිණිකැට වර්ග සිරුරෙහි පැළඳීමට නොගෙන කුඩාවට කපා ඔප දමා පළඳිනු ලැබේ. වෛරෝඩි, මරකත, රත, නිල, හා පුෂ්පරාග ලංකාවේ ලැබෙන ප්‍රධාන මැණික් වර්ගයන්ය. එලෙසම තෝරමල්ලි, පදියම්, රබහ, පුනක්‌නම් ආදිය මැණික් ආශ්‍රිතව ඇති දුර්ලභ පාෂාණයන්ය. ඉන්ද්‍රනීලය, චන්ද්‍රකාන්තිය, සූර්යකාන්තිය යන මැණික් ලැබීම දුර්ලභ වෙයි. වෛරෝඩි මැණික් ද ප්‍රධාන ලෙස කොටස් හතරකි. වෛරෝඩි, සූර්ය, කෘෂ්ණ හා ක්‍ෂීර යනුවෙනි.
මැණික් තෝරා ගැනිමේ දී ඉතා හොදයි ඒවා නිරීක්ෂණය කල යුතු අතර මැණික් තෝරා ගැනීමේදී පහත දෝෂයන් රහිත හොද තත්වයේ මැණික් ගලක් තෝරා ගනීමට වග බලා ගත යුතුය. මුලික ලෙස හදුනා ගනු ලබන දෝෂයන් පහත ලෙස හදුනා ගත හැකිය.
1. හීන්ත දෝෂය
2. ජීර්ජ දෝශය
3. ප්‍රකෘති පටලය
4. නීල මණ්‌ඩලි දෝෂය
1.හීන්ත දෝෂය
මැණික් ගල මුදුනේ තුඩුවක් නොතිබීම හින්ත පටලය හෙවත් හීන්ත දෝෂය වේ. මෙම ගලක් පැළඳීම නිසා අසල්වාසීන් හා නෑදෑයන් අතර ගැටුම්වලට, නොයෙක් විපත්වලට හේතු වනු ඇත.
2. ජීර්ජ දෝශය
ජීර්ජ දෝෂය ලෙස හදුනා ගැනෙන්නේ කෙසෙල් බඩයක් දෙකට කැපූ විට පවතින ආකාරයට මැණික් ගලක නූල් ඇති ලෙස දැකීම ජීර්ජ දෝශයයි. මෙය ජීවිත හානියටත් එහා සමාන විපත් යෙදීමටත් හේතු වේ.
3.ප්‍රකෘති පටලය
මැණික් ගලේ එක පැත්තක සුදු පැහැගැන්වී තිබීම ප්‍රකෘති පටලය නම් වේ. මේ ගල් වර්ගය පැළඳීම නිසා රැකියාවේ සතුරන් ඇතිවීමට, නොයෙකුත් කරදරවලට හේතු වේ.
3.නීල මණ්‌ඩලි දෝෂය
නීල මණ්‌ඩලි දෝෂය නිල් හා රතුපාට එකිනෙක ගැටි විරූපී වීමය. මෙවැනි ගල් පැළඳවීම ස්‌නායු දුර්වලතා, අංශභාගය වැනි රෝගවලට හේතුවනු ඇත. මැණික් ගල්වල පවතින දෝෂ අතර අප වැඩිපුරම කතා කරන නිල් මැණික්‌වල මැද රතුපාට ලේ බඳක් වැටී ඇති අයුරින් වැලි කැට විසිරී ගිය ආකාරයට තිබීම සුදු හුනු පිරියම් කළ ලෙස තිබීම දැක්‌විය හැකිය. මෙම දෝෂය සහිත ගලක් පැළඳීම නිසා වසරක් තුළ මරණයට පත්වීමට ඉඩකඩ බොහෝය. ක්‍රම ක්‍රමයෙන් ආර්ථික පිරිහීමට ශරීරයේ සුවපත් කළ නොහැකි රෝග මතුවීමට ඉඩ ඇත.
එසේම ආපෝ, තේජෝ, වායෝ ආදී ලෙස පංච මහා භූතයන්ට අනුවද මැණික් වර්ග කෙරේ. ආපෝ ගුණය දියමන්ති හා මුතු ආදියෙන්ද, තේජෝ ගුණය රතු මැණික් හා රතු කොරල් තුළ ද වායෝ ගුණය, නිල් මැණික් තුළ ද, පඨවි ගුණය එමරල් තුළ ද, අකාශ ගුණය පුෂ්පරාග තුළ ද පවතී, මෙම ගුණයන් ජන්මියාට විවිධ ආකාරයට බලපායි. එම නිසා අපරික්‌ෂාකාරී ලෙස යෙදීම කළහොත් අනිටු පල විඳීමට සිදුවනු ඇත.
මැණික් පැළඳීමේදී තමාට අසුබ පල උදාකරන ග්‍රහයාගේ මැණිකක් පැළඳීම අසුබ පල තවත් වැඩි වීමට හේතු වේ. නිවැරැදිව කළ යුත්තේ යමකුට අසුබ පල ගෙන එන ග්‍රහයාට වඩා ප්‍රබල සුභ ග්‍රහයකුගේ කිරණ ලබා ගැනීමයි. මැණිකක් පැළඳීමේදී වඩාත් පරීක්‌ෂාකාරී විය යුතුය. ඒ නිසා ජ්‍යෙතිෂ විද්‍යාව තුළ නිර්දේශිත ක්‍රම ගණනාවකින් සුදුසු ක්‍රමයක් අනුගමනය කර යමෙකුට මැණිකක් පැළඳීම සුදුසු වේ. ඉන් ප්‍රධාන වන්නේ ගත කරන මහ දශාව අනුව මැණිකක් පැළඳීම, තම රැකියාවට අදාළව පැළඳවීම, රෝගවලින් මිදීම සඳහා මැණිකක් පැළඳවීම, පවතින නඩුහබ ගැටලු සඳහා ද ජන්ම පත්‍රයේ සුබ කාරක ග්‍රහයන් සොයා බලා ඒ අනුව පැළඳවීම, තම ඉෂ්ඨ දේවතාවාට හිමි මැණිකක් පැළඳවීම, පංච මහා භූතයන්ට අනුව මැණිකක් පැළඳවීම හෝ යෝග කාරක ග්‍රහයා අනුව සිදුකිරීමය.
මැණික් ප්‍රතිකාර ලෙස මෙම ක්‍රමවේදය තාමසික ප්‍රතිකාරය නම් වේ. එනම් ග්‍රහයකු සතු බලය විනාශ කිරීමට ඔහුට වඩා බලවත් ප්‍රතිවිරුද්ධ ග්‍රහයා බලවත් කර ගැනීමය. යම් දරුවකුට ඉගෙන ගැනීමේ යම් දුර්වලකමක් පවතී නම් එයට අදාළ ග්‍රහයාගේ බලය නැති කිරීමට සුදුසු ග්‍රහයකු බලවත් කළ යුතුය. එනම් ඒ සඳහා බුධ බලවත් කරගැනීමට හැකිය. යමකුට රැකියා ස්‌ථානයේ බාධක හිරිහැර පැමිණි විට ඊට හේතුවන කරුණු සොයා ඊට අදාළ ග්‍රහයාට අවශ්‍ය ආකාරයට ප්‍රතිකර්ම කළ යුතුය. යමකුට මාරක අනතුරු තිබේ නම් ඊට අදාළ ග්‍රහයාගේ බලය බිඳ දැමීමටත් සුරාවට ලොල් වූ අයට ඉන් මිදීමටත් අකීකරු දරුවන් කීකරු කර ගැනීමටත් මෙම මැණික් ප්‍රතිකාරය තුළ කළ යුතුය.
ඉහත ආකාරය ට නිසි ලෙස මැණික් හරි ආකාරයට පැළදිම තුළින් විශේෂ ප්‍රතිඵල ජිවිතයට ලබා ගත හැකිය.
Ceylon