04/07/2026
ඩෙංගු මරණ 39යි - රෝගීන් 58,000 ඉක්මවයි
මෙරට ඩෙංගු ව්‍යාප්තිය තවදුරටත් ඉහළ යමින් පවතින අතර, මේ වසරේ මේ දක්වා සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 58,810 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි. ඩෙංගු මරණ සංඛ්‍යාවද 39 දක්වා ඉහළ ගොස් තිබේ.
වැඩිම ඩෙංගු රෝගීන් වාර්තා වී ඇත්තේ කොළඹ දිස්ත්‍රික්කයෙන් වන අතර එහි රෝගීන් සංඛ්‍යාව 12,017කි. දෙවැනි වැඩිම රෝගීන් සංඛ්‍යාව ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එය 11,740කි.
සෞඛ්‍ය දත්ත අනුව, පසුගිය පැය 24 තුළ පමණක් ඩෙංගු රෝගීන් 2,604ක් වාර්තා වී ඇති අතර, ජූලි මාසයේ පළමු දින තුන තුළ වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව 3,422කි.
පළාත් මට්ටමින් වැඩිම බලපෑමක් බස්නාහිර පළාතට එල්ල වී ඇති අතර එහි රෝගීන් සංඛ්‍යාව 30,876කි. දකුණු, සබරගමුව සහ මධ්‍යම පළාත්ද ඩෙංගු ව්‍යාප්තියෙන් සැලකිය යුතු ලෙස බලපෑමට ලක්ව ඇත.
මේ අතර, ඩෙංගු දැඩි අවදානමක් සහිත සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී (MOH) කොට්ඨාස 142ක් හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. එබැවින් මදුරු බෝවන ස්ථාන විනාශ කර පරිසරය පිරිසිදුව තබා ගැනීමට ජනතාව වහාම පියවර ගත යුතු බවද සෞඛ්‍ය බලධාරීන් අවධාරණය කරයි.