27/10/2025
නවකතාකරුවෝ කීවාම වහාම මතකෙට නැගෙන නම් අතර ඉඩක් තියාගත් කෙනෙක් තමා මේ. කුළසේන ෆොන්සේකා. ඔහු ලියාපු පොත් අතර උකුසෙකි අහසේ, පාලම යට (1982 රාජ්‍ය සම්මාන), ගිනි බිදුම (1996 උපාලි පුවත්පත් සම්මානය) රන්මසු උයන, සිරි යහන, නෙලන්න බැරි මල්, විය සිදුර, උඩු සුළග මතකෙට එනවා.
විශේෂයෙන්ම සුට්ටං කාලේ කියවපු තුන්යහළු වික්‍රමය (1984 රාජ්‍ය සම්මාන), සෝමපුර වීරයෝ (1988 රාජ්‍ය සම්මාන), කල්ලන්දූවේ මුතු කොල්ලය, රංසිරිගේ සංග්‍රාමය (1989 රාජ්‍ය සම්මාන), සිරිමල්ගේ වික්‍රම, බූරු පොරය වගේ යොවුන් සාහිත්‍යය කෘති සිත ඇද බැදගත් ඒවා. ඔහු කල සැරිසරන සිත්තරා (1992 රාජ්‍ය සම්මාන) පරිවර්තන කෘතියද ඇතුලු පරිවර්තන කෘති ගණනාවක් තියෙනවා. 'අන්තිම දුම්රිය' මතකෙට එන තවත් එකක්.
මේ කෘති වෙළදපොලේ කලාතුරකින් දකින්න තියෙන්නේ. මේ අපූරු කතුවරයා ගැන කතාබහක් අහන්ට ලැබෙන්නෙත් හරි කලාතුරකින්.
'උඩු සුළග' නවකතාව ඔහු අවසන් කරන්නේ මෙන්න මෙහෙම අකුරු ටිකකින්.
-තව දවස් කීයක් තමන්ට මෙසේ සිටිය හැකි වේදැයි ඔවුහු කල්පනා කරති. දැන් ඔවුන්ට කිසිදු ආදායම් මාර්ගයක් නැත. අත මාරුවක් ඉල්ලා ගන්නට කෙනෙකුදු නැත. ගෙය කඩා දමනු ඇතැයි යන බිය නිසා එළියට පහළියටද යා නොහැකිය. තනිකම පාළුව හා අවිනිශ්චිත භාවය දාර පිඹුරෙකු මෙන් ඔවුන් වෙලා ගෙන අවසානය. දැති මෝරෙකු මෙන් කට ඇරගත් බුල්ඩෝසරය ඔවුන් දෙස බලා සිටින්නේ ගොදුරක් වෙත පැනීමට බලා සිටින අයුරිනි. අණ ලැබුණු කොයි මොහොතේ හෝ ඌ කඩා පැන මෙතෙක් තමන්ට හැබෑ හෙවණක් වූ නිවහන හප කර ගිල දමන බව ඔවුහු නිසැකව දනිති.- උපුටාගැනිම අවසන්.
මේ සරල බස්වහර තුල ඔහු කැටිකල, මිනිසුන් තුල ජීවත් වන, ජීවිත ගැන වු කතාන්දර, විටක සිනහ උපදවයි. විටෙක අප ත්‍රාසයට පත් කරවයි. අප අඩවයි. මේ ඉන්නේ අපම නොවේදැයි විටක සිතෙයි. ඔහුගේ අති සරල බස්වහර, ඔහුගේ ඉලක්ක සපුරන විදිහ, මහ පුදුමයක් විදිහට අපට දැනෙන්ට ගනියි. හැම අකුරකටම හැම වචනයකටම, ඉස්පිල්ලකට පාපිල්ලකටම ඉලක්කයක් ජවයක් ඔහු කවා ඇති අන්දම මහ පුදුමයක් විදිහට දැනෙයි.
ඔහු මියගොස් දැන් වසර ගණනාවකි. එහෙත් ඔහු, මගේ හිත තුළ තවමත් ජීවත් වන හැටි පුදුම අත්දැකිමකි.
අර කී යොවුන් නවකතා කීපය සොයාගෙන පොඩ්ඩන්ට කියවන්ට දෙන්න. වෙළදපොලෙත් ඇති. ලගම පුස්තකාලයෙත් ඇති.