27/06/2025
දේශපාලනයේ දැවැන්තයන් සමග - ඩිව් ගුණසේකර
වාමාංශික දේශපාලනයේ කිරුළු නොපලන් රජු ඩිව් ගුණසේකර මහතා විසින් රචිත දේශපාලනයේ දැවැන්තයන් සමග පොත දොරට වැඩුම පසුගියදා සිදුවුණා.
මේ කිරුළු නොපලන් රජු ගේ ඉතිහාසයෙන් බිදක්...
ලාංකීය දේශපාලනයේ සලකුණු තැබූ වමේ නායකයන් බොහෝ දෙනකු අද අප අතර නැත. ඩිව් යනු වර්තමානයේ අප අතර ඉතිරිව සිටින, තවමත් ක්‍රියාකාරී දේශපාලනයේ නියුතු සැබෑ වාමාංශික නායකයෙකි. ඔහු පැමිණි හැට වසරක දේශපාලන ගමන සම්ප්‍රදායික දේශපාලනයේ කිරුම් මිනුම්වලින් මැන බැලිය නොහැක්කකි. පත්තර පිටුවක අච්චු අකුරෙන් ලියා තැබීමට බරසාර වැඩිය.
1935 වසරේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ නැගෙනහිර ගිරුවාපත්තුවේ කිවුල නම් වූ ගම්මානයේ දී ඩීව් ගුණසේකර මෙලොව එළිය දුටුවේය. කිවුල ඔහුගේ පියාගේ ගම වූ අතර මවගේ ගම වූයේ මාතරය. ගුණසේකර පවුලේ සාමාජිකයන් අට දෙනෙකි. ගමේ පාසලෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරන කුඩා ඩිව්, පසුව දික්වැල්ල විජිත විද්‍යාලයටත් පසුව මාතර රාහුල විද්‍යාලයටත් ඇතුළත් විය. තෙවැනි වසරේ සිටම ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය හැදෑරීමට ඔහුට වරම් ලැබුණි. එස්.එස්.සී. විභාගය සමත් වූ තරුණ ඩිව් ගුණසේකරට අනතුරුව විශ්වවිද්‍යාල වරම් ද හිමි විය.
එහෙත් ඒ වනවිට රැකියාවක නිරත වූයේ පවුලෙන් එක් අයෙක් පමණි. විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලැබීමේ අරමුණින් අධ්‍යාපනය ලැබුවද, උසස් අධ්‍යාපනය කරා යොමුවීම පවුලේ කැමැත්ත වුවද, ඩිව් තෝරාගත්තේ වෙනස් මාවතකි. ඔහු දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ රැකියාවකට යොමු විය. කොළඹ ගමනේ දී විමර්ශන නිලධාරියකු ලෙසත්, තක්සේරුකරුවකු ලෙසත් සේවය කිරීමට ඔහුට අවකාශය සැලසුණි. රැකියාව අතරතුර සිය අධ්‍යාපන කටයුතු බාහිරව සිදුකර ගැනීමට ඔහු සමත් විය. ලන්ඩන් විශ්වවිද්‍යාලයෙන් ආර්ථික විද්‍යාව ද, විද්‍යාලංකාර සරසවියෙන් රාජ්‍ය පරිපාලනය හා නීති විද්‍යාලයෙන් නීතිය ඩීව් ගුණසේකර තරැණයාගේ හැදෑරීම් විය.
මේ කාලය අතරතුර කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් පීටර් කෙනමන් මහතා 1970 මැතිවරණයෙන් ජයග්‍රහණය කිරීමත් සමඟ නිවාස සහ ඉදිකිරීම් අමාත්‍ය ධූරයට පත් විය. එහිදී අමාත්‍යාංශයේ පෞද්ගලික ලේකම් ලෙස තනතුරු භාරන්නා ලෙස ඩිව් ගුණසේකර හට පීටර් කෙනමන් ආරාධනා කළේය. එය ප්‍රසිද්ධ ක්‍රියාකාරී දේශපාලනයට ඔහු එළැඹි පළමු අවස්ථාව වන නමුත් ඩිව්ගේ දේශපාලන ලැදියාව පිළිබඳ කතාව තවත් ඈතට දිව යයි.
පාසල් කාලයේ පටන් වමේ දේශපාලන අදහස් ඔහු සතු විය. පාසලේ බාල පන්තිවල සිටි කාලයේ දී රටේ පැවති බලවත් වාමාංශික ව්‍යාපාරය මෙන්ම අධිරාජ්‍ය විරෝධී අරගල පිළිබඳ මතකයන්හි ශේෂයන් අද ද ඔහු සතුය. 1947 පැවති පළමු පාර්ලිමේන්තු මැතිවරණය ඩිව්ගේ මතකයේ රැඳි පළමු මැතිවරණයයි. එම මැතිවරණයේ දී කොමියුනිස්ට් පක්ෂ ඔස්සේ තරුව ලකුණින් තරග කළ ලක්ෂ්මන් රාජපක්ෂ හට ගුණසේකර පවුලේ සහාය ලැබුණි. බාල වියේ පටන්ම දේශපාලන ලැදියාව මත ගොඩනැගුණු ඩිව්, පාසල් මිතුරන් සමඟ දේශපාලන රැස්වීම්වල දේශන ඇසීමට ගියේය. ඒවාහි ශාස්ත්‍රීය විදග්ධ දේශපාලනයට ඔහු ඇලුම් කරන්නට විය. පාසල් සාහිත්‍ය සමිති, විවාද කණ්ඩායම් ආදියේ සාමාජිකත්වය ඔහුට හිමි විය. එස්.එස්.සී විභාගයෙන් පසු රාජ්‍ය සේවයට පිවිසෙන ඩිව් ගුණසේකර සතුව දේශපාලන අවබෝධයක් මෙන්ම ඒ කරා ලැදියාවක් ද ගොඩනැගී තිබුණේ මේ පසුබිම මතය.
ආදායම් බදු දෙපාර්තමේන්තුවට පත්වීම් ලද ඩිව් ගුණසේකරයන් සිය රාජකාරිය, අධ්‍යාපනය සියල්ල සිදුකරන අතරේ වෘත්තීය සමිති ලේකම්වරයා ලෙසද පත්වීම සුවිශේෂී සිදුවීමකි. එකල වෘත්තීය සමිති ව්‍යාපාරයේ ප්‍රබල මතවාදයක් පැවතියේ සමසමාජ පක්ෂයේ සහ කොමියුනිස්ට් පක්ෂය ඇසුරෙනි. මෙහිදී ඩිව් තුළ ජාත්‍යන්තර දේශපාලනය අරභයා විශාල උනන්දුවක් ඇති විය. කොමියුනිස්ට් පක්ෂය තමන්ගේ දේශපාලන මාවත වීමට හේතුව එයම වන්නට ඇති බව ඔහු අද ද විශ්වාස කරයි. කෙසේ නමුත් මෙකල රජයේ සේවකයන්ට දේශපාලන අයිතිවාසිකම් නොවීය. රැස්වීම් පන්ති සඳහා සහභාගි වූයේ හොර රහසේය. දැරූ තනතුරු නිසාවෙන් ද කිසිදු දේශපාලන අයිතියක් එදා ඔහු සතු නොවීය. එහෙත් පක්ෂයේ තරුණ සම්මේලනයේ සරත් මුත්තෙට්ටුගම සහෝදරයා සමඟ රහසිගතව සම්බන්ධ වීමට ඩිව් ගුණසේකර කටයුතු කළේය. මෙම අවදියේ රහසිගත දේශපාලනය නිසාවෙන් රහස් පොලීසියෙන් මෙන්ම නඩුහබවලින් ද බේරී සිටීම ඩිව් හට අභියෝගයක් විය.
1970 මැතිවරණ ජයග්‍රහණයෙන් පසු කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රධාන ලේකම් පීටර් කෙනමන් අමාත්‍යවරයා සමඟ දේශපාලනයට අවතීර්ණ වූ ඩිව් ගුණසේකර හට 1972 වසර ද තීරණාත්මක විය. එම වසරේ පක්ෂයේ දේශපාලන මණ්ඩලයට තේරීපත් වන ඔහු පක්ෂයේ ජාත්‍යන්තර ලේකම් බවට ද පත් විය. ඉන්පසු 1977 මැතිවරණයේ දී තංගල්ල ආසනයෙන් තරග කරන ලෙස පක්ෂය මගින් ඩිව්ට දැනුම් දෙනු ලැබීය. තංගල්ල යනු එම මැතිවරණයේ දී නව ආසනයකි. ශ්‍රීලනිපය ඇතුළු වමේ ව්‍යාපාර සෝදාපාළුවට ලක්වූ මෙම මැතිවරණයේ දී ජයග්‍රහණයේ අපේක්ෂාවක් ඔහුට එදා නොවීය. එදා එම ආසනය ද එක්සත් ජාතික පක්ෂය ජයග්‍රහණය කළේය. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙවැනි තැනට පත්වූ අතර කෙසේ හෝ තංගල්ලේ බලය ඇතැයි කී ජනතා විමුක්ති පෙරමුණු අපේක්ෂකයාට වඩා ඩිව් ගුණසේකර හට ඡන්ද හිමිවීම ද සුවිශේෂී කරුණක් විය.
ඩිව් ගුණසේකරයන් හට පාර්ලිමේන්තු එන්නට අවකාශය හිමිවීම පිටුපස ද ඇත්තේ අපූරු කතාවකි. 1981 දී පැවති කලවන අතුරු මැතිවරණය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ පැවති අවසාන අතුරු මැතිවරණයයි. හයෙන් පහක බලයක් තිබූ ආණ්ඩුවට විරුද්ධව සරත් මුත්තෙට්ටුගම එම මැතිවරණයට ඉදිරිපත්ව ජය ලැබීය. පසුව සරත් මුත්තෙට්ටුගම හදිසි අනතුරකින් මිය ගියේය. එහිදී පුරප්පාඩුවක් ඇතිවූ අතර අදාළ තනතුර වෙනුවෙන් අතුරු මැතිවරණ පැවැත්වීම තවදුරටත් ව්‍යවස්ථානුකූල නොවීය. මන්ත්‍රීවරයකු නම් කිරීමේ බලය පක්ෂය සතු විය. ඒ අනුව 1986 දී කොමියුනිස්ට් පක්ෂය විසින් ඩිව් ගුණසේකර පාර්ලිමේන්තුවට පත් කර යවනු ලැබීය.
වමේ ව්‍යාපාරයේ තුන්වැනි පරම්පරාවට අයත් ඩිව් ගුණසේකරයන් හට බොහෝ වමේ නායකයන් සමඟ සමීපව ගනුදෙනු කිරීමට අවකාශය ලැබිණි. දොස්තර වික්‍රමසිංහ, එන්.එම්. පෙරේරා, කොල්වින් ආර් ද සිල්වා, ලෙස්ලි ගුණවර්ධන, බර්නාඩ් ද සොයිසා ආදී පුරෝගාමී නායකයන් ඒ අතරින් කිහිප දෙනෙකි. මෙරට සිටි රාජ්‍ය නායකයන් ද මුණගැසීමට ඩිව් වාසනාවන්ත විය. ඩී.එස්. සේනානායක මහතා ඔහුට මුණගැසී ඇත්තේ තමා පාසලේ ශිෂ්‍ය නායකයකුව සිටි අවදියේ පාසලේ පැවති උත්සවයකදීය. එදින විදුහල්පතිවරයා පාසල් ශිෂ්‍ය නායක ලෙසින් සේනානායක මහතා සමඟ කටයුතු කිරීම ඩිව්ටම පැවරීම සුවිශේෂී සිදුවීමකි. පසුව ද විවිධ අවස්ථාවල මෙරට බිහිවූ සියලු රාජ්‍ය නායකයන් හමුවීමට තරම් ඩීව් ගුණසේකරයන් වාසනාවන්ත විය.
ජනතා විමුක්ති පෙරමුණු දෙවැනි කැරැල්ල සමයේ ජීවිත තර්ජන එල්ල වූ වමේ නායකයන් අතර ඩිව් සිටියේ ලැයිස්තුවේ ඉහළිනි. දවසට වතාවක් පමණ තමන් සොයා එන ඝාතකයන්ගෙන් බේරුණු බව ඩිව් අද ද ප්‍රකාශ කරයි. මෙම වෛරයට හේතු වී ඇත්තේ වමේ නායකයකු වූ ඩිව් ගුණසේකරයන් 13 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්මත කර ගැනීම වෙනුවෙන් ඡන්දය ලබා දීමයි. ජාතික ප්‍රශ්න විසඳීමට 13 වැනි සංශෝධනය යම් ප්‍රමාණයකට උපයෝගී වන බව දුටු ඩිව් ගුණසේකර එදා පාර්ලිමේන්තුවේ පැය දෙකක කතාවක් සිදුකර මෙම ප්‍රතිපත්තිමය තීරණය ප්‍රකාශයට පත් කරලීය.
මේ සමගින් ජවිපෙන් ඩිව් ගුණසේකරට මරණ දඬුවම ප්‍රකාශ කරනු ලැබීය. කොමියුනිස්ට් පක්ෂයේ ප්‍රබලයන් පනස් දෙනෙක් පමණ වරින් වර ඝාතනය කරනු ලැබූහ. වරක් නිවෙසට පැන සිදුකළ ඝාතන තැත වැළකුණේ ඥාතියකුට මරණය අත්කර දෙමිනි. තවත් වරක් මහින්ද රාජපක්ෂ මහතා තමා වෙත ලැබුණු ඔත්තුවක් අනුව ඩිව් ගුණසේකරයන්ට දුරකතන ඇමැතුමක් ලබා දී ඝාතකයකු පැමිණෙන බව දැනුම් දුන්නේය. එදා ලැබුණු එම තොරතුර නිවැරැදි විය. ඩිව් ගුණසේකරගේ ජීවිතය බේරුණි. එදා ආ ඝාතකයා දන්නා හඳුනන කෙනකු බවත් සිහිකරන ඩිව් ගුණසේකරයන් හට මහින්දගේ ඔත්තුව අද ද හොඳ හැටි මතකය.
1994 ආණ්ඩු පෙරැළියෙන් පසු ඩිව් ගුණසේකරයන් ස්වාධීන රූපවාහිනියේ සභාපති ධූරයට පත් විය. එම පත්වීම ලැබීම පිළිබඳව ද ඇත්තේ රසවත් කතාවකි. අලුත් ආණ්ඩුවේ මාධ්‍ය ඇමැති වූ ධර්මසිරි සේනානායක ඩිව් ගුණසේකර දුරකතනයෙන් අමතා අයි.ටී.එන් සභාපති ධූරය භාරගන්නා ලෙස ඇරියුම් කරන්නේ රටේ අභිනව නායකයා වූ චන්ද්‍රිකා බණ්ඩාරනායකගේ ඉල්ලීමක් පරිදිය. ඩිව්ගේ පිළිතුර වී ඇත්තේ “ධර්මේ.. දන්න මිනිහකුට දෙන්න. මං කවදාවත් මාධ්‍ය කරලත් නෑ. අනික ටෙලිවිෂන් මාධ්‍ය.. මට ඕවා කරන්න බෑ.” කියාය. පසුව ඩිව් ඇමැතූ චන්ද්‍රිකා බණ්ඩාරනායක පවසා ඇත්තේ “ධර්මසිරි කවදාවත් ඇමැතිකමක් කරලා තියෙනවාද? මං කලින් මෙහෙම තනතුරක් දරලා තියෙනවාද? අපි අභියෝග භාරගන්නට ඕනෑ” කියාය. අවසානයේ අලාභ වී තිබූ පෞද්ගලීකරණය කිරීමට ලැයිස්තුගත කර තිබූ අයි.ටී.එන් සභාපති ධූරය භාරගත් ඩිව් ගුණසේකර වසරක් ඇතුළත එය ලාභ ලබන ආයතනයක් බවට පත් කළේය. පසුව ජාතික රූපවාහිනී සභාපති ධූරයට පත්වූ ඔහු වසර හයක් එහි සභාපති ධූරය දැරුවේය.
ඩිව් ගුණසේකර චරිතය ඉදිරියේ ඔහු කළ අරගල රැසක මතක සටහන් කළ යුතුය. 195.... වර්ජන අරගලය, පෞද්ගලික අංශයේ සේවකයන්ගේ 195... ඊ.ටී.එෆ් අරගලය වැනි කම්කරු සටන් පැවති වකවානුවල රජ්‍ය සේවයේ සිටිමින් දේශපාලනය කළ ඩිව් ගුණසේකර යම් ප්‍රමාණයකින් එම අරගල වෙනුවෙන් උපකාර කරලීය. 1980 ජූලි වර්ජනය වෙනුවෙන් ඩිව්ගෙන් ලැබුණු වාමාංශික දේශපාලන නායකත්වය ලංකා දේශපාලන ඉතිහාසයේ ලියැවී ඇත. මේ ආදී වූ වමේ කඳවුරේ සටන් රැසක් ඔහුගේ නම ඉදිරියේ සටහන් වී තිබේ.
මේ සියල්ල අතර ලක් ඉතිහාසයේ නොමැකෙන වෙනස්කම් දෙකකට ඩිව් ගුණසේකර නායකත්වය ලබා දී ඇති බව ලියා තැබිය යුතුමය. සියලු මැතිවරණ සඳහා ජාතික හැඳුනුම්පත අනිවාර්ය කිරීම ඉන් පළමුවැන්නයි. එය බණ්ඩාරනායක මහතා ඝාතනයට සති දෙකකට පෙර සම්මත වූ පනතක් අනුව සිදුකිරීමට තිබුණද වසර පනහක් පමණ කල් දමා තිබූ කටයුත්තකි. එදා එම තීරණය ගන්නා විට “අගමැතිතුමා ඔය තීරණය ක්‍රියාත්මක කරන්න බලය ඇමැතිවරයාට දෙන්න එපා. නිලධාරියාට දුන්නෙ නැත්නම් ඕක ක්‍රියාත්මක වෙන්නේ නෑ” යනුවෙන් කොමියුනිස්ට් පක්ෂ නායක පීටර් කෙනමන් කියා තිබේ. බලය ඇමැතිවරයාට හිමිවීමත් ප්‍රධාන පක්ෂවල හොර ඡන්ද දැමීමේ අවශ්‍යතාව නිසාත් මෙම තීරණය කිසිදා ක්‍රියාත්මක නොවීය. නමුත් ව්‍යවස්ථා කටයුතු ඇමැති ධූරයට පත්වූ ඩිව් ගුණසේකර සිදුකළ විශාල අරගලයකින් පසු ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයන් කිහිප වරක් හමුවී ජාතික හැඳුනුම්පත අනිවාර්ය කිරීමේ තීරණය ක්‍රියාත්මක කළේය. 2010න් පසු සාධාරණ මැතිවරණ පැවැත්වීමේලා මෙම තීරණය විශාල වශයෙන් උපයෝගී වී තිබේ.
රාජ්‍ය සේවකයන් සඳහා දෙමළ භාෂාව අනිවාර්ය කිරීමේ තීරණයෙහිද පෙරගමන්කරු වූයේ ඩිව් ගුණසේකරයන්ය. විවිධ හේතු දක්වමින් දේශපාලන වාසි අවාසි සලකා කල් දැමූ මෙම තීරණය අද ද ක්‍රියාත්මක වන්නේ ඔහුගේ අප්‍රතිහත ධෛර්යය මතය. මේ ආදී තවත් විශිෂ්ට ක්‍රියා රැසක් ඔහුගේ දේශපාලන ඉතිහාසයේ ලියැවී ඇත. ඒ සියල්ල මෙහි ලියා තැබීම කළ නොහැක්කකි. ඩිව් ගුණසේකර නම් විශිෂ්ට චරිතය ලක් දේශපාලන වාමාංශික සලකුණක් බැව් අවසානයේ අවසානයේ ලියා තබමි.
හිටපු වයබ පළාත්සභා මන්ත්‍රී - අසංග පෙරේරා