sadis kumara

sadis kumara චිත්‍රපට,රූපවාහිනී කතාමාලා,ඉතිහාස,ගුප්ත,
මනංකල්පති,අධිස්වාභාවික,හැමදෙයක්ම
👻💀😱💥

👑දශාවතාර ලිපි මාලාව: දසවන දිගහැරුමකල්කි අවතාරයහින්දු දර්ශනයට අනුව මුළු විශ්වයම පාලනය කරන ප්‍රධාන දෙවිවරු තුන්දෙනෙක් ඉන්න...
09/07/2026

👑දශාවතාර ලිපි මාලාව: දසවන දිගහැරුම

කල්කි අවතාරය

හින්දු දර්ශනයට අනුව මුළු විශ්වයම පාලනය කරන ප්‍රධාන දෙවිවරු තුන්දෙනෙක් ඉන්නවා. ඒ තමයි විශ්වය මවන මහා බ්‍රහ්මයා, විශ්වය පවත්වාගෙන යන විෂ්ණු දෙවියන් සහ කාල චක්‍රය පාලනය කරන සහ විශ්වය විනාශ කරන (නැවත නිර්මාණය කිරීම සඳහා) ශිව දෙවියන්. මේ තුන්දෙනාගෙන් ලෝකයේ පැවැත්ම, ආරක්ෂාව සහ ධර්මය ආරක්ෂා කිරීමේ සම්පූර්ණ වගකීම පැවරිලා තියෙන්නේ විෂ්ණු දෙවියන්ටයි.

විෂ්ණු දෙවියන්ගේ තියෙන විශේෂත්වය තමයි, ලෝකයේ ධර්මය පිරිහිලා අධර්මය රජයන හැම වෙලාවකම, සාමාන්‍ය මිනිස්සුන්ට කිසිම පිහිටක් නැති වෙන හැම වෙලාවකම, එතුමා විවිධ වේශයන්ගෙන් මේ ලෝකෙට ඇවිත් ලෝකය බේරගන්න එක. මේ විදිහට විෂ්ණු දෙවියන් ලෝකෙට එන ස්වරූපයන් තමයි අපි "අවතාර" කියලා හදුන්වන්නේ. හින්දු ධර්මයේ සඳහන් වෙන විදිහට විෂ්ණු දෙවියන්ගේ ප්‍රධාන අවතාර දහයක් තියෙනවා (දස අවතාර). මේ දස අවතාර අතරින් නවයක්ම මේ වෙද්දිත් ලෝකෙට පහළ වෙලා ඉවරයි. මත්ස්‍ය, කූර්ම (ඉබ්බා), වරාහ (ඌරා), නරසිංහ (අඩක් මිනිස්, අඩක් සිංහ), වාමන, පරශුරාම, රාම, ක්‍රිෂ්ණ සහ බුද්ධ (සමහර විශ්වාස වලට අනුව බලරාම) කියන්නේ අන්න ඒ පහළ වෙලා ඉවර වුණු අවතාර නවයයි.

ඉතින් අද අපි මේ කතා කරන්න යන්නේ තවමත් පහළ වුණේ නැති, හැබැයි අනාගතයේදී අපේ ලෝකෙට පහළ වෙන්න නියමිත ඒ අන්තිම අවතාරය, ඒ කියන්නේ දසවෙනි අවතාරය ගැනයි. ඒ තමයි "කල්කි" අවතාරය.

කල්කි අවතාරය ගැන කතා කරන්න කලින් අපි තේරුම් ගන්න ඕනේ කල්කි ලෝකෙට එන්නේ ඇයි කියන එක. හින්දු කාල ගණනයට අනුව ලෝකයේ කාලය ප්‍රධාන යුග හතරකට බෙදෙනවා. ඒ තමයි සත්‍ය යුගය, ත්‍රේතා යුගය, ද්වාපර යුගය සහ කලියුගය. මේ යුග හතරෙන් අන්තිම යුගය වෙන 'කලියුගය' තමයි අපි මේ දැන් ගත කරමින් ඉන්නේ. කලියුගය කියන්නේ පව් වැඩ, දුෂ්ටකම්, වංචාව සහ ධර්මය පිරිහීම උපරිමයටම යන කාලයක් විදිහටයි සැලකෙන්නේ.

පුරාණ ග්‍රන්ථවල, විශේෂයෙන්ම 'කල්කි පුරාණයේ' සඳහන් වෙන විදිහට කලියුගයේ අවසාන කාලය වෙද්දි ලෝකයේ තත්ත්වය හරිම භයානකයි. ඒ කාලෙට ලෝකයේ දකින්න ලැබෙන දේවල් ගැන පොත්වල මෙන්න මේ විදිහට විස්තර කරලා තියෙනවා,

🔹මනුස්සකම පිරිහෙනවා: මිනිස්සුන්ගේ ගුණධර්ම සම්පූර්ණයෙන්ම නැති වෙලා යනවා. සල්ලිවලට විතරක් මුල් තැන දෙන, ආදරය, කරුණාව, දයාව කියන දේවල් හොයාගන්නවත් නැති සමාජයක් තමයි ඒ කාලේ තියෙන්නේ.

🔹පවුල් බැඳීම් විනාශ වෙනවා: අම්මා, තාත්තා, දරුවෝ කියන බැඳීම් වලට කිසිම වටිනාකමක් නැති වෙනවා. ගෞරවය කියන දේ සමාජයෙන් තුරන් වෙලා යනවා.

🔹දූෂිත පාලකයෝ බිහිවෙනවා: රටවල් පාලනය කරන පාලකයෝ ජනතාවට කිසිම සේවයක් කරන්නේ නෑ. එයාලා තමන්ගේ බලය පාවිච්චි කරලා අහිංසක මිනිස්සුන්ව හූරගෙන කනවා. බදු බර වැඩිකරලා මිනිස්සුන්ව පීඩාවට පත් කරනවා.

🔹පරිසරය විනාශ වෙනවා: ගහකොළ සම්පූර්ණයෙන්ම විනාශ වෙලා ගිහින්, වැසි රහිත නියඟයන් එනවා. අමුතු අමුතු ලෙඩ රෝග හැදිලා මිනිස්සු මැරිලා යනවා

🔹ආයු කාලය අඩු වෙලා යනවා: මිනිස්සුන්ගේ ආයු කාලය අවුරුදු විස්සක් හෝ තිහක් දක්වා අඩු වෙනවා කියලත් සමහර තැන්වල සඳහන් වෙනවා.

අන්න ඒ වගේ මුළු ලෝකයම ඝන අන්ධකාරයකට, අධර්මයකට වැටිලා තියෙන වෙලාවක, මිනිස්සුන්ට දෙවියන් වහන්සේව සම්පූර්ණයෙන්ම අමතක වෙලා තියෙන වෙලාවක තමයි ලෝකයට අලුත් බලාපොරොත්තුවක් අරගෙන දසවෙනි අවතාරය විදිහට 'කල්කි' පහළ වෙන්නේ.

පුරාණ කතාවලට අනුව කල්කි ඉපදෙන්නේ 'ශාම්බලා' කියන ගම්මානයේ.කල්කිගේ පියා වෙන්නේ 'විෂ්ණුයශා' කියන දැහැමි, ගුණවත් බ්‍රාහ්මණයෙක්. මවගේ නම වෙන්නේ 'සුමතී'. මුළු ලෝකයේම මිනිස්සු පව් වැඩ කරද්දි, මේ දෙන්නා විතරක් දෙවියන්ට ගොඩක් ළැදිව, ධර්මානුකූලව, නිවැරදි මාර්ගයේ ජීවත් වෙනවා. ඉතින් මේ යුවළට දාව තමයි විෂ්ණු දෙවියන් තමන්ගේ කල්කි අවතාරයෙන් කුමාරයෙක් විදිහට ඉපදෙන්නේ. එයාට උපතින්ම අසාමාන්‍ය ශක්තියක්, බුද්ධියක් සහ දිව්‍යමය බලයක් පිහිටනවා.

කල්කි කුමාරයා ටිකක් ලොකු මහත් වෙද්දි එයාට යුධ ශිල්පය උගන්වන්න ගුරුවරයෙක් එනවා. ඒ තමයි විෂ්ණු දෙවියන්ගේම හයවෙනි අවතාරය වුණු 'පරශුරාම'. හින්දු විශ්වාසයට අනුව පරශුරාම කියන්නේ අමරණීය කෙනෙක් (චිරංජීවි). ඉතින් පරශුරාම ඇවිත් කල්කිට සියලුම ආයුධ හසුරුවන විදිහ, සටන් ශිල්පය සහ වේද ග්‍රන්ථ ගැන සම්පූර්ණ දැනුමක් ලබා දෙනවා.

ඊටපස්සේ ශිව දෙවියන් විසින් කල්කිට සුවිශේෂී තෑගි තුනක් ලබා දෙනවා.

1.සර්වඥ (සියල්ල දන්නා) "ශුක" නම් ගිරවෙක්.

2. දේවදත්ත නම් දිව්‍යමය වේගයක් සහිත දිව්‍යමය අශ්වයෙක්.

3. ආලෝකය විහිදුවන මහා කඩුවක්

හින්දු චිත්‍රවල සහ මූර්තිවල කල්කිව නිරූපණය කරලා තියෙන්නේ හරිම තේජාන්විත, බය හිතෙන තරම් දැවැන්ත රණශූරයෙක් විදිහටයි. සුදුම සුදු පාට අශ්වයෙක් පිටේ නැගලා යන රණශූරයෙක් විදිහට තමයි කල්කිව පෙන්නන්නේ.

කල්කිගේ සුදු අශ්වයාට විදුලි වේගයෙන් පියාඹන්න පුලුවන්. කල්කිගේ අතේ ගිනි දැල් විහිදෙන, දිලිසෙන විශාල කඩුවක් තියෙනවා. මේ කඩුවෙන් තමයි එයා ලෝකයේ ඉන්න දුෂ්ටයන්ව, පාපතරයන්ව විනාශ කරන්නේ. මේ ස්වරූපයේ ලොකු සංකේතාත්මක තේරුමක් තියෙනවා. සුදු අශ්වයා කියන්නේ පිරිසිදුකමේ සහ වේගයේ සංකේතයක්. ගිනිගන්නා කඩුව කියන්නේ අන්ධකාරය කපාගෙන යන 'ඥානයේ සහ යුක්තියේ' සංකේතයක්. ඒ කියන්නේ ලෝකයේ තියෙන අවිද්‍යාව (නොදැනුවත්කම) කියන අන්ධකාරය, කල්කිගේ බුද්ධිය කියන ආලෝකයෙන් නැති කරලා දානවා කියන එකයි.

කල්කිගේ අගබිසව වෙන්නේ ලක්ෂ්මී දේවියගේම මිනිස් අවතාරයක් වුණු "පද්මාවතී" කුමරියයි. පුරාණ ග්‍රන්ථවල ඉතා පැහැදිලිව සඳහන් වෙන්නේ ඇය ජීවත් වෙන්නේ 'සිංහල ද්වීපයේ' කියලයි. ඇය සිංහල ද්වීපයේ බෘහද්‍රථ කියන රජුගේ දියණියයි.

පද්මාවතී කුමරියට පුදුමාකාර දිව්‍යමය බලයක් වගේම අමුතුම වරමකුත් තියෙනවා. ඒ තමයි ඇය දිහා වැරදි සිතකින් හෝ කාමුක හැඟීමකින් බලන ඕනෑම පිරිමියෙක් ක්ෂණයකින් කාන්තාවක් බවට පත්වන එක! මේ හේතුව නිසා ලෝකයේ කිසිම පිරිමියෙකුට ඇය අසලටවත් යන්න ධෛර්යමත් වෙන්නේ නැහැ.

ඉතින් මේ අතරතුරේදී තමයි ශිව දෙවියන්ගෙන් කල්කිට තෑගි ලැබුණු, සර්වඥ "ශුක" නම් දිව්‍යමය ගිරවා කල්කිට සහය ලබා දෙන්නේ. මේ ගිරවා කල්කිට සිංහල ද්වීපයේ ඉන්න පද්මාවතී කුමරියගේ සුන්දරත්වය සහ ඇය සතු බලය ගැන විස්තර කියනවා. පද්මාවතී කුමරියත් තමන්ගේ ස්වාමියා විදිහට පතමින් ඉන්නේ විෂ්ණු දෙවියන්වම විතරයි.

පස්සේ කල්කි කුමාරයා තමන්ගේ දේවදත්ත අශ්වයා පිටේ නැගලා, ශුක ගිරවාගේ මගපෙන්වීම ඇතුව මුහුද තරණය කරලා සිංහල ද්වීපයට පැමිණෙනවා. කල්කි කියන්නේ සාමාන්‍ය මිනිසෙක් නෙවෙයි, විෂ්ණු දෙවියන්ගේම අවතාරයක් නිසා පද්මාවතී කුමරියගේ අද්භූත බලපෑම ඔහුට බලපාන්නේ නැහැ. අවසානයේදී කල්කි කුමාරයා පද්මාවතී කුමරියව විවාහ කරගෙන, ඇයවත් කැටුව නැවත තමන්ගේ දේශයට බලා පිටත් වෙනවා. මේ ගැන කල්කී පුරාණයේ ඉතා විශාල ලෙස විස්තර කර තිබෙනවා.

කල්කි පුරාණයට අනුව කල්කි කුමාරයාට පද්මාවතී දේවියට අමතරව තවත් සුවිශේෂී බිරිඳක් සිටිනවා. ඇය නමින් "රමා" කුමරියයි. පද්මාවතී දේවිය වගේම ඇයත් ලක්ෂ්මී දේවියගේම තවත් දිව්‍යමය අංශයක් විදිහටයි සැලකෙන්නේ. රමා කුමරිය කියන්නේ 'ශෂීධ්වාජ' කියන රජතුමාගේ ආදරණීය දියණියයි.

මේ විවාහය පිටුපසත් හරිම අපූරු කතාවක් තියෙනවා. ශෂීධ්වාජ රජතුමා කියන්නේ විෂ්ණු දෙවියන්ට දැඩි ලෙස භක්තිමත්, ධාර්මික රජ කෙනෙක්. හැබැයි කලියුගයේ බලපෑම නිසා ඇතිවෙන දේශපාලන තත්ත්වයන් මත කල්කි කුමාරයා සහ මේ රජතුමා අතර විශාල යුද්ධයක් ඇති වෙනවා. රජතුමා තමන්ගේ තදබල භක්තියේ බලය නිසාම මේ සටනේදී කල්කිව පරාජය කරලා, සිරකරුවෙක් විදිහට තමන්ගේ මාලිගාවට කැටුව යනවා.

හැබැයි රජතුමා එහෙම කරන්නේ කල්කිට හානියක් කරන්න නෙවෙයි, ඔහුට අවශය වෙන්නේ තමන් වඳින දෙවියන්ගේ අවතාරය තමන්ගේ නිවසටම වඩම්මවා ගන්නයි. එතනදී කල්කි කුමාරයා කවුද කියලා පැහැදිලිව හඳුනාගන්නා රජතුමා, මහත් ගෞරවයෙන් යුතුව තමන්ගේ දියණිය වන රමා කුමරියව කල්කිට විවාහ කර දෙනවා.

මේ විදිහට පද්මාවතී සහ රමා කියන දිව්‍යමය දේවියන් දෙදෙනාගේම සහය ඇතුව තමයි කල්කි අවතාරය කලියුගයේ නපුර විනාශ කරන්න තමන්ගේ මහා සංග්‍රාමය නිල වශයෙන් ආරම්භ කරන්න ගන්නේ.

විෂ්ණු අවතාරයක් විදිහට කල්කිගේ ප්‍රධානම රාජකාරිය තමයි මේ ලෝකයේ පිරිහිලා තියෙන ධර්මය නැවත ස්ථාපිත කරන එක. කල්කි පුරාණයට අනුව කල්කිගේ ප්‍රධානම සතුරා වෙන්නේ 'කලි' කියන අසුරයා. මේ කලි කියන්නේ කලියුගය පාලනය කරන, මිනිස්සුන්ගේ හිත්වලට පාපය, වංචාව, ක්‍රෝධය ඇතුළු කරන අදෘශ්‍යමාන බලවේගයක්. කලි අසුරයාගේ පවුලේ අය තමයි කෲරකම, බොරුව, මත්ද්‍රව්‍ය සහ අකුසලය කියන දේවල්.

කල්කි තමන්ගේ දේවදත්ත අශ්වයා පිටේ නැගලා ලෝකය පුරාම ගමන් කරනවා. එයාට එකතු වෙනවා රමා කුමරියගේ පියා⁣ ඇතුළු තවත් ධාර්මික රණශූරයෝ විශාල ප්‍රමාණයක හමුදාවක්. මේ හමුදාව ලෝකය පුරාම ගිහින් අර කිසිම හිතක් පපුවක් නැති, නපුරු, ආත්මාර්ථකාමී පාලකයන්ව සහ පාපතර මිනිස්සුන්ව විනාශ කරලා දානවා. අවසානයේ කල්කි සහ කලි අසුරයා අතර මහා යුද්ධයක් සිද්ධ වෙනවා. මේ යුද්ධයෙන් අන්තිමට කලි අසුරයා සම්පූර්ණයෙන්ම පරාජය වෙලා ශක්තිය අහිමි වෙලා ශරීරය හැර දාලා පැනලා යනවා. (ඔහු ⁣විනාශ වෙන්නේ නැහැ. මොකද කාල චක්‍රයේදී ස්වභාවධර්මයේ නියමයක් ලෙස ඔහු නැවතත් කල්ප ගණනාවකට පසුව කලි යුගයක් රැගෙන පැමිණෙනවා.)

මේක හරියට විශාල 'පිරිසිදු කිරීමක්' වගේ දෙයක්. සමාජයේ මුල් බැහැගෙන තියෙන පිළිකාවක් අයින් කරනවා වගේ වැඩක්. අසාධාරණයට ලක් වෙලා හිටපු, තාමත් හිතේ පොඩි හරි ධර්මයක් ඉතුරු වෙලා තියෙන හොඳ මිනිස්සුන්ව කල්කි විසින් මේ විනාශයෙන් බේරගන්නවා. නරක ඔක්කොම විනාශ වෙලා යද්දි, හොඳ මිනිස්සු විතරක් ලෝකයේ ඉතුරු වෙනවා.

මේ මහා විනාශයෙන් පස්සේ, ඒ කියන්නේ කල්කී නපුර සම්පූර්ණයෙන්ම තුරන් කළාට පස්සේ අඳුරු කලියුගය අවසන් වෙනවා. ඊටපස්සේ ලෝකයේ නැවතත් අලුත්ම අලුත්, පිරිසිදු නව යුගයක් ආරම්භ වෙනවා. ඒකට කියන්නේ 'සත්‍ය යුගය' එහෙම නැත්නම් 'කෘත යුගය' කියලා.

සත්‍ය යුගය කියන්නේ සාමය, සතුට, ධර්මය සහ ආදරය පිරුණු ස්වර්ණමය යුගයක්. ඒ කාලෙදි සමාජයේ කිසිම හොරකමක්, බොරුවක්, වංචාවක් දකින්න ලැබෙන්නේ නෑ. මිනිස්සු අතර ජාති, ආගම්, කුල කියලා කිසිම භේදයක් නෑ, රණ්ඩු සරුවල් නෑ. හැමෝම එකිනෙකාට උදව් කරගෙන, ස්වභාවධර්මයට ගොඩක් ආදරය කරගෙන සතුටින් ජීවත් වෙනවා. මිනිස්සුන්ගේ ආයු කාලය නැවතත් වැඩි වෙනවා, රෝගාබාධ නැති වෙලා යනවා. කල්කි අවතාරයේ ප්‍රධානම සහ එකම අරමුණ වෙන්නේ අන්න ඒ සුන්දර සත්‍ය යුගය නැවතත් මේ ලෝකෙට උදා කරලා දෙන එකයි.

මූලාශ්‍ර: කල්කි පුරාණය ඇසුරිණි.



එසේ නම් විෂ්ණු දෙවියන්ගේ දශාවතාර ලිපි මාලාව මෙතනින් අවසානයි. තවත් මෙවැනි ලිපි මාලාවකින් ඉදිරියේදී හමුවෙමු.🙏

👑දශාවතාර ලිපි මාලාව: නවවන දිගහැරුම🌾 🧘‍♂️ බලරාම  අවතාරය සහ බුද්ධ අවතාරයවිෂ්ණු දෙවියන්ගේ දශාවතාර ගැන කතා කරද්දී, නවවෙනි අව...
09/07/2026

👑දශාවතාර ලිපි මාලාව: නවවන දිගහැරුම

🌾 🧘‍♂️ බලරාම අවතාරය සහ බුද්ධ අවතාරය

විෂ්ණු දෙවියන්ගේ දශාවතාර ගැන කතා කරද්දී, නවවෙනි අවතාරය කියන්නේ ටිකක් විශේෂ වගේම විවිධ මත ගැටෙන තැනක්. ඉන්දියාවේ එකිනෙකට වෙනස් ප්‍රදේශ සහ සම්ප්‍රදායන් වලට අනුව මේ නවවෙනි ස්ථානය අවතාර දෙකක් අතරේ බෙදී යනවා. දකුණු ඉන්දියානු සම්ප්‍රදායන් වලට අනුව නවවෙනි අවතාරය විදිහට "බලරාම" සලකන අතරේ, උතුරු ඉන්දියාවේ සහ තවත් සමහර පුරාණ ග්‍රන්ථ වලට අනුව නවවෙනි අවතාරය විදිහට සලකන්නේ බෞද්ධයන්ගේ පරම පූජනීය ආගමික ශාස්තෘවරයා උන "ගෞතම බුදුන් වහන්සේව".

🌾 බලරාම අවතාරය

බලරාම කියන්නේ විෂ්ණු දෙවියන්ගේ අටවන අවතාරය උන ශ්‍රී ක්‍රිෂ්ණගේම වැඩිමහල් සහෝදරයා. කංසගෙන් බේරගන්න, ක්‍රිෂ්ණා ඉපදෙන්න කලින් දේවකීගේ කුසට ආපු හත්වෙනි දරුවාව "යෝගමායා" දෙවඟන ඇයගේ බලයෙන් වාසුදේවගේ අනිත් බිරිඳ වුණු රෝහිණීගේ කුසට මාරු කළා. අන්න ඒ මාරු වුණු දරුවා තමයි බලරාම විදිහට ඉපදෙන්නේ.

බලරාම කියන්නේ අතිශය අසාමාන්‍ය යෝධ ශක්තියක් තියෙන කෙනෙක්. එයාගේ ප්‍රධාන ආයුධය තමයි "නගුල" සහ "ගදාව" ඒ නිසා එයාට 'හලායුධ' කියලත් කියනවා. නගුලක් අතින් ගත්ත බලරාමගෙන් නිරූපණය වෙන්නේ කෘෂිකර්මාන්තය, ගොවිතැන සහ සාමාන්‍ය වැඩකරන ජනතාවගේ පාරම්පරික ශක්තිය.

බලරාමගේ චරිතය ක්‍රිෂ්ණට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්. ක්‍රිෂ්ණා හරිම උපක්‍රමශීලී, ගැඹුරින් හිතන, සන්සුන් කෙනෙක් වුණාට, බලරාම කියන්නේ ඉක්මනින් කේන්ති යන, හැබැයි හරිම අවංක, කෙළින් තීරණ ගන්න කෙනෙක්.

මහාභාරත යුද්ධයේදී බලරාම අනුගමනය කළේ හරිම අපූරු ප්‍රතිපත්තියක්. පාණ්ඩවයන්ගේ භීම වගේම, කෞරවයන්ගේ දුර්යෝධන කියන දෙන්නම ගදා යුද්ධය ඉගෙනගත්තේ බලරාමගෙන්. බලරාම දුර්යෝධනට ටිකක් වැඩිපුර ආදරේ කළා. මොකද බලරාමගේ විශිෂ්ටතම ශිෂ්‍යයා උනේ දුර්යෝධන. මේ හේතුව නිසා බලරාම තමන්ගෙ නංගි උන සුභද්‍රාවත් දුර්යෝධනට විවාහ කරල දෙන්න සැලසුම් කලා. නමුත් ක්‍රිෂ්ණා සැලසුම් සහගතව පාණ්ඩව කුමාර අර්ජුනට සුභද්‍රාව පැහැරගෙන යාමට උදව් සලසා අර්ජුන සහ සුභද්‍රාව විවාහ කර දුන්නා.

ඒ වගේම කුරුක්ෂේත්‍ර යුද්ධය පටන් ගනිද්දී ක්‍රිෂ්ණා පාර්ෂවයක් තෝරා ගත්තත්, තමන්ගේ ගෝලයෝ දෙන්නා මරාගන්නවා බලන්න බැරි නිසා බලරාම කිසිම පැත්තක් ගන්නේ නැතුව තීර්ථ වන්දනාවේ ගියා. හැබැයි ක්‍රිෂ්ණගේ හැම ගමනකදීම වගේම, දුෂ්ටයන් විනාශ කරන හැම මෙහෙයුමකදීම බලරාම තමන්ගේ සහෝදරයාට ලොකු හෙවනැල්ලක් වුණා.

දැන් අපි එමු මේ මහා පටලැවිල්ල උන තැනට..

භාගවත පුරාණයට අනුව බලරාමගේ ජීවිතයේ අවසාන කාලයේදී ඔහු මුහුදු වෙරළට වී මහා යෝග සමාධියකට යොමු වෙනවා. ඒ වෙලාවේ ඔහුගේ මුඛයෙන් මහත් වූ සුදු පැහැති සර්පයෙක් (ශේෂ නාගයා) නික්මී, සාගරයේ සිටි වෙනත් දිව්‍ය නාගයන් විසින් ඔහුව පිළිගෙන නැවත ක්ෂීර සාගරය වෙත කැඳවාගෙන ගිය බව සඳහන් වෙනවා.

දැන් එහෙම නම් බලරාම ශේෂ නාග අවතාරයනේ. ඉතින් කොහොමද ඔහු නවවන අවතාරය වෙන්නේ..?

හින්දු දර්ශනයේ (විශේෂයෙන්ම වෛෂ්ණව සම්ප්‍රදායේ) කියවෙන්නේ ශේෂ නාගයා කියන්නේ වෙනම කෙනෙක් නෙවෙයි ඔහුත් විෂ්ණු දෙවියන්ගේම ශක්ති ව්‍යාප්තිය ප්‍රකාශ කරන ස්වරූපයක් කියලයි. ඒ වගේම ක්‍රිෂ්ණා සහ බලරාම කියන්නේ එකම කාසියක දෙපැත්ත වගේ වෙන් කළ නොහැකි දෙන්නෙක්.

ඉතින් බුද්ධ අවතාරය මේ අවතාර ලැයිස්තුවෙන් අයින් කරන්න උත්සාහ කරපු සම්ප්‍රදායන්, "ක්‍රිෂ්ණා සහ බලරාම" කියන දෙන්නාවම දශාවතාර ඇතුළට දාලා ලැයිස්තුවේ 10 දෙනාව සම්පූර්ණ කළා. හැබැයි එහෙම කරද්දී ඔවුන් බලරාමගේ "ශේෂ නාග" පසුබිම ගැන ලොකුවට හිතුවේ නැහැ. ඒක ඔවුන් අමතක කලා. මේ හේතුව නිසා තමයි බලරාම නවවන අවතාරය උනේ.

ඒ වගේම තවත් පිරිසක් බලරාම අටවන අවතාරය කියලත් ශ්‍රී ක්‍රිෂ්ණා නවවන අවතාරය කියලත් විශ්වාස කරනවා.

ඒ වගේම තවත් මතයක් තමයි අටවන අවතාරය බලරාම බවත්, ශ්‍රී ක්‍රිෂ්ණා කියන්නෙ අවතාරයක් නෙවෙයි විෂ්ණු දෙවියන්මයි කියන එකත්. එතකොට නවවනඅවතාරය වෙන්නේ බුද්ධාවතාරය.

🔹දැන් පිරිසකට ගැටලුවක් එයි අැයි රාම අවතාරය එක්ක හිටපු ලක්ෂ්මණව දශාඅවතාර වලින් එකක් නොකර ක්‍රිෂ්ණා එක්ක හිටපු බලරාමව දශාඅවතාරයක් කරන්නේ කියලා. මේකටත් හේතුවක් තියෙනවා. රාම කියන්නෙ විෂ්ණු අවතාරයක් උනත් ඇතැම් අය ක්‍රිෂ්ණා විෂ්ණු දෙවියන්මයි කියලයි පිළිගත්තෙ. ක්‍රිෂ්ණා දෙවියන්ම නම් අවතාරය ඔහු නොවී බලරාම වෙන්න ඕන කියලා පිරිසක් හිතුවා. ඒ වගේම බලරාම කියන්නෙ ලක්ෂ්මන රාම එක්ක හිටියා වගේ ක්‍රිෂ්ණා මතම යැපුන කෙනෙක් නෙවෙයි. ඔහුට තමන්ගෙම ආයුධ තිබුනා. ඔහු බලවත් ස්වාධීන පුද්ගලයක්. ඔහු ඇතැම් අවස්ථාවල ක්‍රිෂ්ණගෙ සැලසුම් වලට පවා හරස්වුනා. (තමන්ගෙ නංගිව අර්ජුන පැහැරගත්ත වෙලාවෙ ඔහු පාණ්ඩව වංශයම නැති කරන්න ආයුධ අතට අරන් සේනා සංවිධානය කලා, ඒ වගේම පාණ්ඩවයන්ගේ භීම දුර්යෝධනට වංචනික පහරක් එල්ල කරපු වෙලාවේ ඔහු කෝපයට පත්වෙලා භීමව ඝාතනය කරන්න උත්සාහ කලා) ඉතින් බලරාමගේ සුවිශේෂීත්වයක් මේ නිසා හින්දු භක්තිකයන් දුටුවා. ඉතින් ඔහු සහයක චරිතයක් නොවී ප්‍රධාන චරිතයක් වෙන්න ඕන කියලා ඇතැම් අය හිතුවා. ඒකෙ ප්‍රතිඵලයක් විදිහට තමයි බලරාම දශඅවතාර වලින් එකක් කියලා ගොඩක් අය විශ්වාස කරන්න ගත්තේ.

🧘‍♂️ බුද්ධ අවතාරය

12 වෙනි සියවසේ ලියවුණු ජයදේවගේ 'ගීත ගෝවින්දය' වගේ හින්දු පුරාණ ග්‍රන්ථවල විෂ්ණු දෙවියන්ගේ නවවෙනි අවතාරය විදිහට කෙලින්ම දක්වන්නේ බුදුන් වහන්සේවයි. (භගවත් ගීතාව තුළ මේ බව සඳහන් වෙන්නේ නැහැ)

හින්දු දර්ශනය ඇතුළේ බුදුන් වහන්සේව විෂ්ණු අවතාරයක් විදිහට අර්ථ දක්වන්නේ මෙන්න මේ විදිහටයි.

කාලයක් යද්දී පෘථිවියේ හිටපු අසුරයෝ වේද ග්‍රන්ථ වල තියෙන යාග හෝම සහ වත්පිළිවෙත් අකුරටම ඉටු කරලා විශාල බලයක් ලබාගත්තා. එයාලා මේ බලයෙන් දෙවියන්ගේ ලෝක ආක්‍රමණය කරන්න පටන් ගත්තා. මේ අසුරයන්ව පරාද කරන්න නම්, එයාලව වේද ග්‍රන්ථ වල තියෙන යාග හෝම වලින් ඈත් කරන්න ඕනේ කියලා විෂ්ණු දෙවියන් තේරුම් ගත්තා.

අන්න ඒ අරමුණින් විෂ්ණු දෙවියන් "බුද්ධ" ස්වරූපයෙන් මනුස්ස ලෝකේ ඉපදුණා. බුද්ධ අවතාරයේ ප්‍රධාන අරමුණු දෙකක් තිබුණා කියලා හින්දු ග්‍රන්ථ වල කියවෙනවා:

🔹සතුන් මැරීම නැවැත්වීම: ඒ කාලේ අසුරයෝ සහ බ්‍රාහ්මණයෝ යාග හෝම වලට දහස් ගණන් සත්තුන්ව බිලි දුන්නා. බුද්ධ අවතාරය ඇවිත් මේ සත්ත්ව ඝාතනය තදින්ම හෙළා දැක්කා. "අහිංසාව" තමයි උතුම්ම ධර්මය කියලා දේශනා කරලා සතුන්ගේ ජීවිත බේරගත්තා.

🔹අසුරයන්ව මුළා කිරීම: අසුරයන් ළඟට ගිහින් වේද ග්‍රන්ථ වල තියෙන බොරු දේවල් අතහරින්න කියලා දේශනා කරලා, එයාලව ඒ යාග හෝම වලින් ඈත් කළා. ඒකෙන් අසුරයන්ගේ බලය නැතිවෙලා ගිහින්, දෙවියන්ට ආයෙමත් ජයග්‍රහණය ලැබුණා.

ඉතින් හින්දු විශ්වාස වලට අනුව බුද්ධාවතාරය අන්න ඒ විදිහට තමයි ඉතාමත් කූඨ ආකාරයට අසුරයන්ව මුලා කරලා දෙවිවරුන්ට ජයග්‍රහණය ලබා දුන්නේ. ඒ වගේම බුද්ධාවතාරය නිසා අහිංසක සතුන්ගේ ජීවිතත් ආරක්ෂා උනා.

🌟 මම මේ ලිපි පෙළ වෙනත් ආගමික සහ සංස්කෘතික මත සැලකිල්ලට නොගෙන ප්‍රධාන වශයෙන්ම හින්දු ආගමික මත වලට මුල්තැන දීලා ලියාගෙන ගියත් අද ලිපියේ ඒක වෙනස් කරනවා. මම මේ ලියන ලිපි කියවන බහුතරයක් දෙනා ලංකාවේ බෞද්ධයන් නිසා මම ඔවුන්ට මේ පටලැවිල්ල ගැන පැහැදිලි කිරීමක් ණයගැතියි.

ඓතිහාසිකව බැලුවොත් මේක පිටිපස්සේ තියෙන්නේ වෙනස්ම කතාවක්. ක්‍රිස්තු පූර්ව 6 වෙනි සියවසේදී බුදුහාමුදුරුවෝ පහළ වුණාට පස්සේ, ඉන්දියාවේ හිටපු සාමාන්‍ය ජනතාව බුද්ධාගමට හරිම වේගයෙන් ආකර්ෂණය වුණා. ඒකට ප්‍රධාන හේතු කීපයක්ම තිබුණා.

🔹කුල භේදය ප්‍රතික්ෂේප කිරීම: බ්‍රාහ්මණ සමාජයේ තිබුණු දැඩි කුල භේදය බුද්ධාගමේ තිබුණේ නැහැ. කුලහීන කියලා කොන් කරපු මිනිස්සුන්ට බුද්ධාගම ලොකු සහනයක් වුණා. ඉතින් ඒ මිනිස්සු බුද්ධාගම වටා එකතු උනා.

🔹සරල බව: සත්තු දහස් ගණන් මරලා කරන වියදම්කාරී යාග හෝම කරනවා වෙනුවට, තමන්ගේ හිත පාලනය කරගන්න සරල දර්ශනයක් බුදුහාමුදුරුවෝ දේශනා කළා.

🔹භාෂාව: බ්‍රාහ්මණයෝ පාවිච්චි කරපු තේරෙන්නේ නැති සංස්කෘත භාෂාව වෙනුවට, සාමාන්‍ය මිනිස්සුන්ට තේරෙන මාගධී (පාලි) වගේ භාෂාවලින් ධර්මය දේශනා කිරීම.

මෙන්න මේ තත්ත්වය ඒ කාලේ සමාජයේ ඉහළින් හිටපු බ්‍රාහ්මණයන්ට ලොකු තර්ජනයක් වුණා. මේ අලුත් දර්ශනය නිසා තමන්ගේ ආගම, තමන්ගේ බලය සහ ආදායම් මාර්ග නැතිවෙලා යනවා කියලා එයාලට තේරුණා. එයාලට ඕනේ වුණා කොහොම හරි මිනිස්සුන්ව ආයෙමත් හින්දු ආගමට හරවා ගන්න. හැබැයි බුද්ධාගම එක්ක කෙළින්ම හැප්පෙන්න බැරි බව එයාලා දැනගෙන හිටියා. මොකද මිනිස්සු ඒ වෙද්දීත් බුදුහාමුදුරුවන් ගැන ලොකු භක්තියකින් හිටියේ.

ඉතින් බ්‍රාහ්මණයෝ මේ තත්වය තමන්ගේ වාසියට හරවගන්න පාවිච්චි කරපු අති දක්ෂ, අතිශය කූට උපක්‍රමයක් තමයි මේ බුද්ධාවතාර සංකල්පය. එයාලා ගිහින් මිනිස්සුන්ට මෙන්න මේ වගේ කතාවක් කිව්වා.

"ඔයාලා බුදුන් වහන්සේට වඳින එක, ගරු කරන එක හරිම හොඳ දෙයක්. අපිත් බුදුන්ට ගරු කරනවා. මොකද බුදුන් කියන්නේ වෙන කවුරුවත් නෙවෙයි, අපේ ශ්‍රේෂ්ඨ විෂ්ණු දෙවියන්ගේම නවවෙනි අවතාරයනේ. ඉතින් ඔයාලා බුදුන්ට වඳිනවා කියන්නේ විෂ්ණු දෙවියන්ට වඳිනවා වගේම තමයි."

මොවුන්ට මුලින්ම අවශය උනේ බුද්ධාවතාරය වේද මාර්ග වලින් ජනතාව ඈත් කරන්න ආව අවතාරයක් කියල පෙන්වන්නයි. නමුත් පසුකාලීනව බුද්ධාවතාරය කාරුණික අවතාරයක් විදිහට වෙනස් උනා.

මේ අවතාර සංකල්පය සමාජගත කරන්න ලොකුම කාර්යභාරයක් කරපු කෙනෙක් තමයි 12 වෙනි සියවසේ හිටපු 'ජයදේව' කියන කවියා. එයා ලියපු 'ගීත ගෝවින්ද' කියන අතිශය ජනප්‍රිය කාව්‍ය ග්‍රන්ථයේ දශාවතාර ගැන ලියවුණු ස්තෝත්‍රයක් තියෙනවා (දශාවතාර ස්ත්‍රෝත්‍රය).

ඒකේ නවවෙනි පද්‍යයෙන් මෙන්න මේ වගේ අදහසක් කියවෙනවා,

"අහෝ කේශව (විෂ්ණු), ඔබ බුද්ධ ශරීරය දරාගෙන, සතුන් ඝාතනය කරන කුරිරු යාග හෝම වලට එරෙහිව කටයුතු කළා. ඔබට මාගේ නමස්කාරය වේවා!"

මේ වගේ ජනප්‍රිය සාහිත්‍ය නිර්මාණ හරහා තමයි බුදුනුත් විෂ්ණුමයි කියන මතය ඉන්දියානු සමාජය ඇතුළේ තදින්ම තහවුරු වුණේ.

මේ වැඩ වලින් බ්‍රාහ්මණයන් සහ හින්දු භක්තිකයන් ටිකෙන් ටික බුදුන් වහන්සේව හින්දු කෝවිල්වල ඇතුළට අරගත්තා. බුදුන්ට වෙනම පූජාවල් තියන්න පටන් ගත්තා. මේකේ ප්‍රතිඵලය විදිහට කාලයක් යද්දී ඉන්දියාවේ හිටපු සාමාන්‍ය බෞද්ධයන්ට තමන්ගේ ආගමයි, හින්දු ආගමයි අතරේ තියෙන වෙනස තේරෙන්නේ නැතිව ගියා. ඔවුන්ට බුදුන් කියන්නේ තවත් එක් දෙවි කෙනෙක් විතරක් වුණා. ඒ හරහා බුද්ධාගමේ තිබුණු ඒ අද්විතීය දර්ශනය යටපත් වෙලා, ආයෙමත් හින්දු පුද පූජා වලට මිනිස්සු හුරුවුණා. ඉන්දියාවෙන් බුද්ධාගම සම්පූර්ණයෙන්ම වගේ අතුරුදන් වෙලා යන්න ප්‍රධානම හේතුවක් විදිහට ඉතිහාසඥයෝ මේ "අවතාර ගත කිරීමේ" ක්‍රියාවලිය හඳුන්වනවා.

කොහොම උනත් මේ සිදුවීමෙන් බ්‍රාහ්මණ සමාජයෙත් ලොකු වෙනස්කම් උනා. තමන්ගේ සමාජ බලය සහ ආධිපත්‍යය රැකගන්න නම් බ්‍රාහ්මණයන්ටත් බුදුදහමේ මේ 'අහිංසාව' කියන සංකල්පය තමන්ගේ ආගමට ඈඳා ගන්න සිද්ධ වුණා. එහි ප්‍රතිඵලයක් විදිහට තමයි පසුකාලීන හින්දු ආගම ඇතුළේ බ්‍රාහ්මණයන් සත්ව බිලි පූජා අත්හැරලා, සම්පූර්ණයෙන්ම නිර්මාංශ ජීවන රටාවකට හුරු වුණේ.

මීලඟට ලංකාව ගැන කතා කලොත් ථේරවාදී බෞද්ධ සංකල්ප පතුලටම මුල් බැස ගත්ත ඉන්දියාවේ අසල්වැසි රට උන ලංකාවේ ජනතාවට නම් මේක ව්‍යාප්ත උනේ නෑ. විෂ්ණු, කතරගම වගේ දෙවිවරුන් ලංකාවේ සමාජයට ආවත් ලංකාවේ බෞද්ධයෝ හැමවෙලාවෙම බුදුන්වහන්සේව දේවතිදේව' (දෙවියන්ටත් දෙවි වූ) කෙනෙක් විදිහට සැළකුවා. හින්දු ආගමේ කියන්නේ හැමදේම කරන්නේ, මවන්නේ, පාලනය කරන්නේ දෙවියන් කියලා. ඒත් බුද්ධාගමේ කියන්නේ තමන්ගේ ගැලවුම්කාරයා තමන්මයි (අත්තාහි අත්තනෝ නාථෝ) කියලා. ඉතින් මේ දර්ශනයන් දෙක සම්පූර්ණයෙන්ම වෙනස් කියන එක ලංකාවේ බෞද්ධයන් නම් අමතක කලේ නැහැ.

නමුත් අදටක් ජාත්‍යන්තරව වගේම ඉන්දියාවේ බහුතරයක් දෙනා අතරේ ප්‍රසිද්ධම සහ වැඩියෙන්ම විශ්වාස කරන මතය තමයි බුද්ධ අවතාරය විෂ්ණු දෙවියන්ගේ නවවෙනි අවතාරය කියන එක.

අවසාන වශයෙන් නවවෙනි අවතාරය විදිහට බලරාම සැලකුවත්, බුද්ධ අවතාරය සැලකුවත්, මේ අවතාර දෙකෙන්ම ඉන්දියානු සමාජයට දුන්නේ අතිශය වැදගත් පණිවිඩයක්. බලරාමගෙන් කෘෂිකර්මාන්තයේ වැදගත්කමත්, සාමාන්‍ය ජනතාවගේ ශක්තියත් පෙන්නුම් කරද්දී, බුද්ධ අවතාරයෙන් සියලු සත්ත්වයින්ට කරුණාව දැක්වීම, සතුන් ඝාතනය නතර කිරීම සහ අවිහිංසාවාදය කියන උතුම් ගුණාංග ලෝකයටම කියා දුන්නා.

මූලාශ්‍ර: ශ්‍රීමද් භාගවත පුරාණය, මහාභාරතය සහ කාලීන විද්වත් සංවාද ඇසුරිණි.

👑 දශාවතාර ලිපි මාලාව: අටවන දිගහැරුම🏹ශ්‍රී ක්‍රිෂ්ණ පූර්ණ අවතාරයවිෂ්ණු දෙවියන්ගේ දස අවතාර අතරින් අතිශයින්ම ජනප්‍රිය, වගේම...
09/07/2026

👑 දශාවතාර ලිපි මාලාව: අටවන දිගහැරුම

🏹ශ්‍රී ක්‍රිෂ්ණ පූර්ණ අවතාරය

විෂ්ණු දෙවියන්ගේ දස අවතාර අතරින් අතිශයින්ම ජනප්‍රිය, වගේම මිනිස්සුන්ගේ හදවතටම කාවැදුණු අවතාරය තමයි "ශ්‍රී ක්‍රිෂ්ණ" අවතාරය.

ක්‍රිෂ්ණ අවතාරය කියන්නේ හින්දු දර්ශනයේ හැටියට "පූර්ණ අවතාරයක්". ඒ කියන්නේ දිව්‍යමය ගුණාංග සියල්ලම සම්පූර්ණයෙන් පිහිටපු කෙනෙක්. ඒ කියන්නේ ඔහු මිහිබට විෂ්ණු දෙවියෝ කිව්වත් වැරැද්දක් නැහැ.

ක්‍රිෂ්ණා දෙවි කෙනෙක් උනත් සාමාන්‍ය මිනිස්සු අතරේ ජීවත් වුණු යාළුවෙක්, දඟකාර ළමයෙක්, ආදරවන්තයෙක්, දේශපාලනඥයෙක්, යුධෝපක්‍රම දන්න රණශූරයෙක් වගේම ලෝකෙටම ධර්මය කියා දුන්න ශ්‍රේෂ්ඨ ගුරුවරයෙක් වෙනවා.

ක්‍රිෂ්ණගේ උපත ගැන කතාව කතාව පටන් ගන්නේ මථුරා නුවරින්. ඒ කාලේ මථුරාව පාලනය කළේ අතිශයින්ම කුරිරු රජෙක් වුණු කංස. කංසගේ ඥාති නැගණිය තමයි දේවකී. (කංසගේ පියාගේ ⁣සහෝදරයාගේ දියණිය) දේවකී විවාහ වෙන්නේ වාසුදේව කියන යහපත් කුමාරයා එක්ක. මේ විවාහය දවසේ කංස තමන්ගේ නංගිවයි මස්සිනාවයි රථයක නග්ගගෙන ආදරයෙන් ගෙනියද්දී, අහසින් අද්භූත කටහඬක් ඇහෙනවා. ඉන් කියවෙන්නේ, "කංස, නුඹ මේ ආදරයෙන් ගෙනියන දේවකීගේ කුසින් උපදින අටවෙනි දරුවා අතින් නුඹේ මරණය සිද්ධ වෙනවා" කියලයි.

මේක අහපු ගමන් කංසට යකා නගිනවා. එයා තමන්ගේ නංගිවයි මස්සිනාවයි අඳුරු හිරගෙදරක දාලා හිර කරනවා. එයා හිතනවා නංගිගෙ අටවෙනි දරුවා ඉපදුණහම ඔහුව විනාශ කලහම ඔක්කොම අවසානයි කියලා. මේ අතරතුරේදි නාරද මුණිවරයා ඇවිත් කංසට කියනවා ඉපදෙන දරුවන්ගෙන් කීවෙනි දරුවට අටවෙනි දරුවා කියයිද කවුද දන්නෙ කියලා.

මේක අහපු කංස දේවකීට ඉපදෙන ඉපදෙන හැම දරුවාවම තමන්ගේ අත් දෙකෙන්ම ගල් තලාවක ගහලා ම_රලා දානවා. ඔහොම දරුවෝ හය දෙනෙක්ම මැරුම් කෑවට පස්සේ, උපදින්න ඉන්නේ බලරාම. ඔහුව උපතට පෙර "යෝගමායා" දෙවඟනගේ බලයෙන් දේවකීගේ කුසෙන් වාසුදේවගේ තවත් බිරිඳක් වන රෝහිණී දේවියගේ කුසට විස්ථාපනය කරනවා. කංස දේවකීගේ 7 වන ගැබ නැතිවූ බව සිතනවා. (නමුත් හත්වන දරුවා බලරාමයි) මීලඟට තමයි අටවෙනි දරුවා විදිහට මහා කුණාටුවක්, ධාරානිපාත වර්ෂාවක් තියෙන කළුවර රෑක ක්‍රිෂ්ණ උපදින්නේ.

උපන් ගමන්ම දෙවියන්ගේ හාස්කමකින් හිරගෙදර යකඩ දොරවල් ඉබේම ඇරෙනවා, මුරකාරයෝ තද නින්දකට වැටෙනවා. දේවකී එක්ක හිරේ හිටපු වාසුදේවට දෙවියන්ගෙන් පණිවිඩයක් ලැබෙනවා මේ දරුවාව අරගෙන ගෝකුලයේ ඉන්න තමන්ගේ මිත්‍රයා වුණු නන්ද ගම්පතියාට බාර දෙන්න කියලා. වාසුදේව තමන්ගේ පුංචි පුතාව කූඩෙක දාගෙන, පිටාර ගලන යමුනා නදියෙන් එගොඩ වෙලා ගෝකුලයට යනවා. ඔහු එදා නන්දට තමන්ගෙ දරුවාව දීලා එදාම ඉපදුණ නන්දගේ දියණියව නැවතත් කූඩෙක දාගෙන සිර කුටියට එනවා. කංස ඒ ගැහැණු දරුවා දේවකීගේ අටවන දරුවා කියල හිතලා ඒ දරුවාව විනාශ කරන්න ගලේ ගසනවා. කංස ඒ ගැහැණු දරුවාව ගලේ ගසා මරා දැමීමට උත්සාහ කළ අවස්ථාවේදී, ඇය කංසගේ අතින් මිදී අහසට පැන නැගෙනවා.එහිදී ඇය තමාගේ සැබෑ ස්වරූපය වූ "යෝගමායා" (දුර්ගා දේවිය) ලෙස පෙනී සිටිමින්, "මෝඩ කංස, උඹව මරන එකා දැනටමත් වෙනත් තැනක හැදී වැඩෙනවා" යැයි පවසා අතුරුදන් වෙනවා. ඒ නිසා කංසට ඇයව විනාශ කිරීමට නොහැකි වෙනවා.

මේ අතර ක්‍රිෂ්ණා නන්ද ගම්පතියා සහ යශෝදා මවගේ ආදරය මැද්දේ, සාමාන්‍ය ගොපලු කොල්ලෙක් විදිහට හැදී වැඩෙනවා. ක්‍රිෂ්ණගේ ළමා කාලය ගතවෙන්නේ ගෝකුලයේ සහ වෘන්දාවනයේ. මේ කාලය ගැන තියෙන කතා හරිම සුන්දරයි. පුංචි ක්‍රිෂ්ණා හරිම දඟයි. එයාට කියන්නේ "මාඛන් චෝර්" (කිරි හොරා) කියලා. ගමේ ගෙවල් වල වහලේ එල්ලලා තියෙන මුදවපු කිරි මුට්ටි කඩලා, තමන්ගේ යාළුවොත් එක්ක බෙදාගෙන කන එක තමයි ක්‍රිෂ්ණගේ ප්‍රධානම විනෝදාංශය.

හැබැයි මේ දඟ වැඩ අස්සේ ක්‍රිෂ්ණා තමන්ගේ දිව්‍යමය බලයත් පෙන්නනවා. සත්‍ය අවබෝධ කරගන්න කංස, ක්‍රිෂ්ණාව මරන්න එක එක විදිහේ රාක්ෂයෝ එව්වා.

පූතනා: කිරි දෙන මවක් විදිහට ඇවිත් වස පෙව්ව රාක්ෂසියක්. පුංචි ක්‍රිෂ්ණා කිරි බොන ගමන්ම ඇයගේ ප්‍රාණයත් උරා බිව්වා.

කාලිය නාගයා: යමුනා නදියේ වතුර විෂ කරපු විසකුරු නාගයාව දමනය කරලා, උගේ පෙණය උඩ නැටුවා.

ගෝවර්ධන පර්වතය: ඉන්ද්‍ර දෙවියන්ට කරන පූජාවක් නවත්තලා, ස්වභාවධර්මයට ගරු කරන්න කියලා ක්‍රිෂ්ණා ගම්වාසීන්ට කිව්වා. මේකෙන් කේන්ති ගිය ඉන්ද්‍ර දෙවියන් ගමට මහා වැස්සක් එව්වා. ඒ වෙලාවේ මුළු ගමේම මිනිස්සුන්වයි සත්තුන්වයි බේරගන්න ක්‍රිෂ්ණා තමන්ගේ සුළැඟිල්ලෙන් "ගෝවර්ධන" කියන මහා පර්වතය කුඩයක් වගේ ඉස්සුවා.

මේ දේවල් වලින් මිනිස්සු තේරුම් ගත්තා මේ ඉන්නේ සාමාන්‍ය ළමයෙක් නෙවෙයි, දෙවි කෙනෙක් කියලා. යශෝදා අම්මා දවසක් ක්‍රිෂ්ණා පස් කනවා දැකලා කට අරින්න කිව්වම, ඇයට ඒ පුංචි කට ඇතුළේ මුළු විශ්වයම (ග්‍රහලෝක, තරු) පේන්න ගත්තා කියන එකත් ප්‍රසිද්ධ කතාවක්.

-ක්‍රිෂ්ණා ටිකක් ලොකු වෙද්දී එයාගේ බටනලාවේ නාදයට මුළු වෘන්දාවනයම වශී වුණා. ගවයෝ, කුරුල්ලෝ විතරක් නෙවෙයි, ගමේ හිටපු ගොපලු කෙල්ලොත් (ගෝපිකාවෝ) මේ නාදයට පිස්සු වැටුණා.

මේ ගෝපිකාවන් අතරින් ක්‍රිෂ්ණගේ හිත ගියේ රාධා කියන ලස්සන යුවතියට. රාධා සහ ක්‍රිෂ්ණා අතර තිබුණු ආදර කතාව හින්දු සාහිත්‍යයේ තියෙන ලස්සනම සහ ගැඹුරුම ප්‍රේම වෘත්තාන්තයක්. මේක සාමාන්‍ය ලෞකික ආදරයක් නෙවෙයි. දර්ශනවාදීන් කියන විදිහට රාධා කියන්නේ "ජීවාත්මය" (මිනිස් ආත්මය), ක්‍රිෂ්ණා කියන්නේ "පරමාත්මය" (දෙවියන්). ආත්මයක් දෙවියන් කෙරෙහි දක්වන අසීමිත භක්තිය සහ ආදරය තමයි මේ රාධා-ක්‍රිෂ්ණ ප්‍රේමයෙන් නිරූපණය වෙන්නේ. රාත්‍රි කාලයේ වෘන්දාවනයේ කැලෑවේ ක්‍රිෂ්ණා ගෝපිකාවන් එක්ක කරපු නැටුම් "රාස් ලීලා" විදිහට ප්‍රසිද්ධයි.

කොච්චර සුන්දර ජීවිතයක් ගත කළත්, ක්‍රිෂ්ණට තමන්ගේ සැබෑ අරමුණ අමතක වුණේ නැහැ. කාලය හරි ගියාම ක්‍රිෂ්ණා රාධාව වෘන්දාවනයේ අතහැරල දාලා යුතුකම සහ වගකීම වෙනුවෙන් තමන්ගේ අයියා වුණු බලරාම එක්ක මථුරාවට යනවා. ඒ, කංසගේ ආරාධනයකට මල්ලවපොර තරඟයකට සහභාගි වෙන්න.

එතනදී කංසගේ මහා ශක්තිමත් මල්ලවපොර ශූරයන්ව (චානුර සහ මුෂ්ටික) පරාජය කරන ක්‍රිෂ්ණා, අවසානයේදී කංසව සිංහාසනයෙන් ඇදලා දාලා ඝාතනය කරනවා. මේ විදිහට මථුරාවේ මිනිස්සුන්ව කුරිරු පාලනයෙන් මුදවගන්නා ක්‍රිෂ්ණා, තමන්ගේ සැබෑ මව්පියන් වුණු දේවකීවයි වාසුදේවවයි හිරෙන් නිදහස් කරගන්නවා. ඊටපස්සේ කංසගේ පියා වුණු උග්‍රසේන රජුව ආයෙමත් මථුරාවේ රජු විදිහට පත් කරනවා.

පස්සේ කාලෙක සතුරන්ගෙන් තමන්ගේ මිනිස්සුන්ව බේරගන්න ක්‍රිෂ්ණා මථුරාව අතහැරලා ගිහින් මුහුද මැද්දේ අලුත්ම රාජධානියක් හදනවා. ඒක තමයි ද්වාරකා නුවර. ක්‍රිෂ්ණා ද්වාරකාවේ නායකයා සහ උපදේශකයා විදිහට රුක්මණී, සත්‍යභාමා ඇතුළු බිසෝවරුන් එක්ක ජීවත් වෙනවා.

ක්‍රිෂ්ණ අවතාරයේ වැදගත්ම සහ දේශපාලනිකම කොටස මුණගැහෙන්නේ මහාභාරත කතාවේදීයි. ඒ කාලෙ තිබුන මහා අධිරාජ්‍යයක් උන හස්ථිනාපුරයේ සිංහාසනය වෙනුවෙන් රජ පවුලේ කුමාරවරුන් දෙපිරිසක් වන පාණ්ඩවයන් සහ කෞරවයන් අතර ඇතිවෙන මහා බල අරගලයේදී, ක්‍රිෂ්ණා සාම දූතයෙක් විදිහට විශාල මෙහෙවරක් කරනවා. හැබැයි කෞරවයන්ගේ අහංකාරකම නිසා යුද්ධය අනිවාර්ය වෙනවා.

යුද්ධය පටන් ගන්න කලින් දුර්යෝධන (කෞරව) සහ අර්ජුන (පාණ්ඩව) දෙන්නම ක්‍රිෂ්ණගේ උදව් ඉල්ලගෙන එනවා. ක්‍රිෂ්ණා දෙගොල්ලන්ටම සාධාරණ තේරීමක් දෙනවා. "එක්කෝ මගේ අතිවිශාල නාරායණී හමුදාව ගන්න, නැත්නම් ආයුධයක්වත් අතට ගන්නේ නැති මාව ගන්න" කියලා. දුර්යෝධන හමුදාව තෝරගද්දී, අර්ජුන තෝරගන්නේ ක්‍රිෂ්ණාව. ඒ අනුව ක්‍රිෂ්ණා අර්ජුනගේ රියැදුරා එහෙමත් නැත්නම් සාරථි විදිහට කුරුක්ෂේත්‍ර යුද්ධයට සම්බන්ධ වෙනවා.

කුරුක්ෂේත්‍ර යුධ භූමියට රථය පදවාගෙන ගියාට පස්සේ, අර්ජුනට ඉස්සරහා පේන්නේ තමන්ගේම සීයා, ගුරුවරු, සහ නෑදෑයෝ. මේ අයව මරලා මට රජකම් එපා කියලා අර්ජුන ආයුධ බිම දාලා යුද්ධ කරන එක ප්‍රතික්ෂේප කරනවා.

අන්න ඒ වෙලාවේ, අර්ජුනව දිරිමත් කරලා, එයාට ජීවිතයේ යථාර්ථය කියාදෙන්න ක්‍රිෂ්ණා කරන මහා දේශනාව තමයි "භගවත් ගීතාව" කියලා කියන්නේ. භගවත් ගීතාව කියන්නේ හින්දු දර්ශනයේ හදවත වගේ දෙයක්. ක්‍රිෂ්ණා එතනදී ප්‍රධාන කරුණු කිහිපයක් අවධාරණය කරනවා,

🔹නිෂ්කාම කර්මය: "ඔබට අයිතිය ඇත්තේ ඔබේ යුතුකම (කර්මය) කිරීමට පමණයි. එහි ප්‍රතිඵලය ගැන බලාපොරොත්තු තියාගන්න එපා." තමන්ගේ පුද්ගලික ලාභය ගැන නොහිතා තමන්ගේ රාජකාරිය හරියට කරන්න කියලා ක්‍රිෂ්ණා කියනවා.

🔹ආත්මයේ අමරණීයත්වය: ශරීරය විනාශ වුණත් ආත්මය කවදාවත් මැරෙන්නේ නැහැ. ඒක හරියට පරණ ඇඳුම් ගලවලා අලුත් ඇඳුම් අඳිනවා වගේ වැඩක්. ඒ නිසා මරණය ගැන දුක් වෙන්න එපා.

🔹ධර්මය රැකීම: කොයි තරම් අමාරු වුණත්, තමන්ගේ හිතවතුන්ට විරුද්ධව වුණත් ධර්මය සහ යුක්තිය වෙනුවෙන් සටන් කිරීම ක්ෂත්‍රියයෙකුගේ යුතුකමක්.

මේ දේශනාව අහලා යථාර්ථය තේරුම් ගන්න අර්ජුන, ආයෙමත් ආයුධ අතට අරගෙන යුද්ධ කරලා පාණ්ඩවයන්ට ජයග්‍රහණය ගෙනත් දෙනවා.

හැම ආරම්භයකටම අවසානයක් තියෙනවා වගේ, ක්‍රිෂ්ණා මනුෂ්‍ය ශරීරයක් අරන් ආපු නිසා ඒකටත් අවසානයක් තිබුණා. මහාභාරත යුද්ධයෙන් පස්සේ, තමන්ගේ දරුවෝ සියයක් මියගිය දුකින් හිටපු ගාන්ධාරි දේවිය (කෞරවයන්ගේ මව) ක්‍රිෂ්ණට සාප කරනවා, "ඔබේ මැදිහත් වීමෙන් මගේ වංශය විනාශ වුණා වගේම, තව අවුරුදු 36කින් ඔබේ යාදව වංශයත් එකිනෙකා මරාගෙන විනාශ වෙලා යාවි" කියලා.

ක්‍රිෂ්ණා ඒ සාපය සිනාමුසු මුහුණින් බාරගන්නවා. හරියටම අවුරුදු 36කට පස්සේ යාදවයන් එකිනෙකා අතර ලොකු යුද්ධයක් ඇතිවෙලා මුළු වංශයම විනාශ වෙනවා. අන්තිමට දවසක් ක්‍රිෂ්ණා කැලේක ගහක් යට නිදාගෙන ඉද්දී, "ජරා" කියන දඩයක්කාරයෙක් ක්‍රිෂ්ණගේ රෝස පාට යටිපතුල දැකලා ඒක මුවෙක් කියලා රැවටිලා ඊතලයකින් විදිනවා. ඒ ඊතල පහරින් පස්සේ ක්‍රිෂ්ණා තමන්ගේ මනුෂ්‍ය ශරීරය අත්හැරලා, ආපහු තමන්ගේ සැබෑ ස්වරූපයෙන් වෛකුණ්ඨයට (විෂ්ණු ලෝකයට) වැඩම කරනවා. ඒකෙන් පස්සේ පෘථිවියේ "කලි යුගය" ආරම්භ වුණා කියලයි හින්දු ග්‍රන්ථ වල සඳහන් වෙන්නේ.

ක්‍රිෂ්ණ අවතාරය කියන්නේ හින්දු සංස්කෘතියට, සාහිත්‍යයට සහ දර්ශනයට අතිවිශාල බලපෑමක් කරපු චරිතයක්. එතුමා දෙවියෙක් වුණත් මිනිස්සුත් එක්කම, මනුෂ්‍යයෙක් විදිහටම දුක සතුට බෙදාගෙන ජීවත් වුණා. ජීවිතේ එන අභියෝග වලට මුහුණ දෙන්නේ කොහොමද, ආදරය කරන්නේ කොහොමද, ධර්මය රකින්නේ කොහොමද, තමන්ගේ යුතුකම් ඉටු කරන්නේ කොහොමද කියන හැමදේම තමන්ගේ ජීවිතයෙන්ම ලෝකෙට පෙන්නුවා.

අදටත් ලෝකේ පුරාම ඉන්න කෝටි ගාණක් ඉන්දියානුවන් ක්‍රිෂ්ණට ආදරය කරන්නේ, "හරි ක්‍රිෂ්ණා" කියමින් නමදින්නේ අන්න ඒ සර්ව සම්පූර්ණ මනුෂ්‍යත්වය සහ දිව්‍යමය ස්වභාවය එකට මුසුවුණු ක්‍රිෂ්ණගේ ඒ අද්විතීය චරිතය නිසයි.

මූලාශ්‍ර: ශ්‍රීමද් භාගවත පුරාණය සහ මහාභාරතය ඇසුරිණි.



🔺ක්‍රිෂ්ණාගේ ජීවිත කතාව වටහා ගැනීමට මා විසින් ලියන ලද මහාභාරත ලිපි පෙළ, රාධා ක්‍රිෂ්ණා ආදර කතාව සහ ක්‍රිෂ්ණාගේ ස්වර්ගාරෝහණය ලිපි කියවන්න. එය පළමු කොමෙන්ටුවේ..

👑 දශාවතාර ලිපි මාලාව: හත්වන දිගහැරුම🏹ශ්‍රී රාම අවතාරයවිෂ්ණු දෙවියන්ලේ දශාවතාර අතරින් හත්වන අවතාරය තමයි "රාම අවතාරය" එහෙම...
09/07/2026

👑 දශාවතාර ලිපි මාලාව: හත්වන දිගහැරුම

🏹ශ්‍රී රාම අවතාරය

විෂ්ණු දෙවියන්ලේ දශාවතාර අතරින් හත්වන අවතාරය තමයි "රාම අවතාරය" එහෙමත් නැත්නම් "ශ්‍රී රාම්" කියලා කියන්නේ. අද අපි කතා කරන්න යන්නේ මුළු මහත් ඉන්දීය උපමහාද්වීපයම කැලඹූ ඒ වගේම අදටත් මිලියන ගණනක ඉන්දියානුවන්ගේ ගෞරවයට පාත්‍ර වෙන රාම කුමාරයාගේ අවතාරය ගැනයි..

🔺මේක විෂ්ණු දෙවියන්ගේ අවතාරය ගැන හින්දු ආගමික කෝණයකින් ලියන ලිපියක් නිසා ලංකා වාසීන් කෝප නොගනිත්වා.

ත්‍රේතා යුගයේදී තමයි විෂ්ණු දෙවියන් රාම අවතාරය විදිහට උපත ලබන්නේ. අයෝධ්‍යාව කියන සුන්දර රාජධානියේ පාලකයා වුණු දශරථ රජතුමාට සහ කෞශල්‍යා දේවියට දාව තමයි රාම කුමාරයා උපදින්නේ. දශරථ රජතුමාට බිරින්දෑවරු තුන්දෙනෙක් හිටියා. කෞශල්‍යා, කෛකේයි සහ සුමිත්‍රා කියලා. රාම කුමාරයාට අමතරව භරත, ලක්ෂ්මණ සහ ශතෘඝ්න කියලා තවත් සහෝදරයෝ තුන්දෙනෙක් රාමට හිටියා. මේ සහෝදරයෝ හතරදෙනා අතර තිබුණේ පුදුමාකාර බැඳීමක්.

රාම කුමාරයා කුඩා කාලයේ ඉඳලම හැමෝගෙම ආදරය දිනාගත්ත, නුවණක්කාර, ඒ වගේම හැදියාවෙන් යුතු කුමාරයෙක්. දුනු ශිල්පයට වගේම එකල තිබුණු හැම ශාස්ත්‍රයකටම එයා දක්ෂ වුණා.

ඕනෑම අවතාරයකට නිශ්චිත අරමුණක් තියෙනවානේ. ඉතින් රාම අවතාරයේ ප්‍රධානම අරමුණ වුණේ අධර්මය පතුරවන ලංකාපුරයේ අධිපති වුණු, දස හිසක් ඇති රාවණා රජු විනාශ කිරීම සහ ලෝකයේ නැවත ධර්මය ස්ථාපිත කිරීමයි.

ලංකාධිපති රාවණා සහ ඔහුගේ සහෝදරයන් (කුම්භකර්ණ සහ විභීෂණ) මහා බ්‍රහ්මයා වෙනුවෙන් වසර දහස් ගණනක් දැඩි තපස් රැකි අය. මෙයින් සතුටට පත් වුණු මහා බ්‍රහ්මයා රාවණා ඉදිරියේ පෙනී සිටිමින් ඕනෑම වරයක් ඉල්ලන ලෙස පැවසුවා.

එහිදී රාවණා තමන්ට කිසිදු දිව්‍යමය හෝ අද්භූත බලවේගයකින් මරණය සිදු නොවිය යුතු බව ඉල්ලා සිටියා. ඔහු විශේෂයෙන්ම පහත සඳහන් කොටස්වලින් තමන්ට ආරක්ෂාව ඉල්ලා සිටියා,

🔹දේව
🔹අසුර
🔹රාක්ෂස
🔹ගාන්ධර්ව
🔹යක්ෂ
🔹නාග

වරය ලබා දීමේදී මහා බ්‍රහ්මයා රාවණාගෙන් අහනවා "ඇයි ඔබ මනුෂ්‍යයන් සහ සතුන්ගෙන් ආරක්ෂාව ඉල්ලන්නේ නැත්තේ?" කියලා. එවිට රාවණා තමන්ගේ දැඩි උඩඟුකම නිසා, "මනුෂ්‍යයන් සහ වඳුරන් කියන්නේ ඉතාම දුර්වල, තණකොළ කැබැල්ලක් වගේ පිරිසක්. ඔවුන්ගෙන් මට කවදාවත් තර්ජනයක් වෙන්නේ නැහැ. ඒ නිසා ඔවුන්ගෙන් ආරක්ෂාව ඉල්ලලා මගේ වරය පහත් කරන්න මට ඕනේ නැහැ" කියලා පවසා සිටියා.

මහා බ්‍රහ්මයා "තථාස්තු" (එසේම වේවා) කියා රාවණාට වරය ලබා දුන්නා. නමුත් බ්‍රහ්මයා රාවණාගේ විනාශය සිදුවන්නේ ඔහු සුළු කොට තැකූ මනුෂ්‍යයෙකුගෙන් බව රහසින්ම දෙවියන්ට පවසා සිටියා.

පසුව බලවත් රාවණාගේ තාඩන පීඩන ඉවසා ගත නොහැකි වූ තැන, දේවතාවන් සියල්ලම එකතු වී විෂ්ණු දෙවියන්ගෙන් උපකාර ඉල්ලා සිටියා. රාවණාගේ වරය බිඳීමට නම් මනුෂ්‍යයෙකු විය යුතු නිසා, විෂ්ණු දෙවියන් සාමාන්‍ය මනුෂ්‍යයෙකු ලෙස "රාම" නමින් අයෝධ්‍යාවේ උපත ලැබීමට තීරණය කළා. දෙවිවරුන් සහ ශිව අවතාරයක් රාම කුමාරයාට උදව් කිරීම සඳහා "වානරයන්" (හනුමාන්, සුග්‍රීව වැනි) ලෙස පොළොවට පැමිණියා.

රාම කුමාරයාව හඳුන්වන තවත් නමක් තමයි "මර්‍යාදා පුරුෂෝත්තම" කියලා. ඒ කියන්නේ නීතිගරුක, සදාචාරාත්මක සහ පරිපූර්ණ මිනිසා කියන එකයි. එයා දෙවියෙක් වුණත්, එයා ජීවත් වුණේ සාමාන්‍ය මනුෂ්‍යයෙක් විඳින දුක් ගැහැට, වේදනාවන්, සහ පරීක්ෂාවන් මැදයි.

රාම කුමාරයාගේ මුළු ජීවිත කතාවම ලියවිලා තියෙන්නේ වල්මිකී ඉසිවරයා ලියපු සුප්‍රසිද්ධ "රාමායණය" මහා කාව්‍යයේයි. අපි ඒ කතාවේ ප්‍රධාන සිදුවීම් ටිකක් බැලුවොත්,

රාම කුමාරයා තරුණ වයසට ආවම, ජනක රජතුමා තමන්ගේ දුව වුණු සීතා දේවිය වෙනුවෙන් ස්වයංවරයක් ලෑස්ති කරනවා. එතන තිබුණේ මහා ශිව දෙවියන්ගේ පිනාක දුන්න. ඒ දුන්න ඔසවලා දුණු දිය දාන්න පුළුවන් කෙනෙකුට තමයි සීතා දේවියව විවාහ කරගන්න ලැබෙන්නේ. එතනට ආපු ලොව වටා හිටපු රජවරුන්ට ඒ දුන්න හොලවන්නවත් බැරි වුණා. හැබැයි රාම කුමාරයා ඉතාම පහසුවෙන් ඒ දුන්න ඔසවලා, දුණු දිය දාන්න ගිහින් එකවරම ඒක දෙකට බිඳලා දැම්මා. ඉතින් රාම සහ සීතා අතර විවාහය සිද්ධ වෙන්නේ ඔන්න ඔහොමයි.

දශරථ රජතුමා වයසට යද්දී තමන්ගේ වැඩිමල් පුතා වුණු රාමව රජකමට පත් කරන්න හැදුවා. හැබැයි රජතුමාගේ දෙවැනි බිරිඳ වුණු කෛකේයි, තමන්ගේ සේවිකාවකගේ කේලාම් අහලා රජතුමාගෙන් පරණ වරදක් වෙනුවෙන් වර දෙකක් ඉල්ලුවා.

🔹ඇයගේ පළවැනි වරය: තමන්ගේ පුතා වුණු භරතව රජ කරවීම.

🔹ඇයගේ දෙවැනි වරය: රාම කුමාරයාව අවුරුදු 14කට වනයට පිටුවහල් කිරීම.

රාම කුමාරයා තමන්ගේ පියාගේ වචනය රකින්න කිසිම අකමැත්තක් නැතුව රජ සැප අතඇරලා වනයට යන්න එකඟ වුණා. රාම තනියම නෙවෙයි ගියේ, එයාගේ ආදරණීය බිරිඳ සීතා දේවියත්, පණ වගේ ආදරේ කරපු මල්ලි ලක්ෂ්මණත් රාම එක්කම වනයට ගියා.

වනවාසයේ ඉන්න කාලේ, ලංකාවේ රාවණා රජුගේ නංගි වුණු ශූර්පණඛා, රාම සහ ලක්ෂ්මණට ආකර්ෂණය වෙලා එයාලට කරදර කරන්න හැදුවා. ඒ වෙලාවේ ලක්ෂ්මණ ඇයගේ නාසය කපා දමනවා. මේකට පලිගන්න තමයි රාවණා රජ්ජුරුවෝ මාරිච කියන අසුරයා ලවා රන් මුවෙක් මවලා, රාම සහ ලක්ෂ්මණව රවට්ටලා, සීතා දේවියව පැහැරගෙන ලංකාවට රැගෙන එන්නේ.

තමන්ගේ බිරිඳ අහිමි වුණු දුකෙන් වනයේ ඇවිදින රාමට, වානර රාජ්‍යයේ සුග්‍රීව සහ එයාගේ ප්‍රධාන සේනාධිපති වුණු හනුමාන් හමු වෙනවා. හනුමාන් කියන්නේ රාම කුමාරයාගේ පරම භක්තිවන්තයෙක්. හනුමාන් ඇතුළු වානර සේනාව සීතා දේවිය ඉන්න තැන සොයාගෙන, ලංකාවට යන්න මුහුද මැදින් විශාල ගල් පාලමක් (රාම් සේතු) නිර්මාණය කරනවා.

රාම කුමාරයා තමන්ගේ වානර සේනාවත් එක්ක ලංකාවට ඇවිත් රාවණා සමඟ මහා යුද්ධයක් කළා. මේ යුද්ධයේදී රාවණාගේ සහෝදරයෙක් වුණු විභීෂණ රාමගේ පැත්ත ගත්තා, මොකද එයා දැක්කා රාවණා කරන්නේ වැරදි වැඩක් කියලා. අවසානයේදී රාම කුමාරයා තමන්ගේ දිව්‍යමය ඊතලයකින් රාවණාව පරාජය කරලා, සීතා දේවියව බේරාගන්නවා.

අවුරුදු 14ක වනවාසය නිමා කරලා, රාවණාවත් පරාජය කරලා රාම, සීතා සහ ලක්ෂ්මණ නැවත අයෝධ්‍යාවට පැමිණෙනවා. එයාලා එන දවසට මුළු අයෝධ්‍යාවම පහන් දල්වලා සරසලා පිළිගන්නවා. අන්න ඒ දවස තමයි අදටත් හින්දු භක්තිකයෝ "දීපාවලි" උත්සවය විදිහට සමරන්නේ. (උතුරු ඉන්දියානු හින්දු භක්තිකයන් එසේ කලත් දකුණු ඉන්දියාවේ දීපාවලි සමරන්නේ ශ්‍රී ක්‍රිෂ්ණ දෙවියන් විසින් නරකාසුර නමැති අසුරයාව පරාජය කිරීම සිහිපත් කරන්නයි)

රාම කුමාරයා අයෝධ්‍යාවේ රජතුමා වුණාට පස්සේ කරපු පාලනය හඳුන්වන්නේ "රාම රාජ්‍යය" කියලා. ඒ පාලන කාලය තුළ රටේ කිසිම බයක්, දුකක්, දුප්පත්කමක් හෝ අසාධාරණයක් තිබුණේ නැහැ. හැමෝම සතුටින් සහ සාමයෙන් ජීවත් වුණා. අදටත් ලෝකයේ සාධාරණ සහ පරිපූර්ණ ආණ්ඩුවක් හෝ පාලනයක් හඳුන්වන්න උපමා කරන්නේ මේ "රාම රාජ්‍යය" කියන වචනයයි.

විෂ්ණු දෙවියන් රාම විදිහට ඇවිත් මිනිස්සුන්ට කියලා දුන්නු පාඩම් ගොඩක් තියෙනවා.

🔺දෙමාපියන්ට ගරු කිරීම: පියාගේ පොරොන්දුව ඉටු කරන්න තමන්ට හිමිවෙන්න තිබුණු රජකම පවා සිනාසෙමින් අත්හැරීම.

🔺සහෝදර ප්‍රේමය: රාම, ලක්ෂ්මණ සහ භරත අතර තිබුණු බැඳීමෙන් පෙන්වන්නේ සහෝදරයෝ එකිනෙකා වෙනුවෙන් කැපවිය යුතු ආකාරයයි.

🔺එකඟතාවය සහ ස්වාමිභක්තිය: හනුමාන් රාම වෙනුවෙන් කරපු කැපවීම තුළින් සැබෑ භක්තිය සහ විශ්වාසවන්තකම පෙනුම් කරනවා.

🔺ධර්මය සැමවිටම ජයගන්නා බව: කොච්චර බලගතු වුණත්, අධාර්මිකව හැසිරෙන කෙනෙක් (රාවණා වැනි) අවසානයේ පරාජය වන බව.

ඉතින් විෂ්ණු දෙවියන්ගේ හත්වන අවතාරය වුණු රාම අවතාරයේ කතාව කියන්නේ මනුෂ්‍යයෙක් තමන්ගේ ජීවිතයේ රාජකාරිය, ආදරය, සදාචාරය සහ යුතුකම වෙනුවෙන් කොයි තරම් දුරට කැපවිය යුතුද කියලා පෙන්වන මහා ආදර්ශවත් කතාවක්. අන්න ඒ නිසයි අදටත් "ශ්‍රී රාම්" කියන නාමය ඉන්දියාවේ මිනිස්සුන්ගේ හිත්වල මේ තරම් ගෞරවයෙන් රැඳිලා තියෙන්නේ.

මූලාශ්‍ර: ශ්‍රීමද් භාගවත පුරාණය සහ රාමායනය ඇසුරිණි.

Address

Matara
Matara
81000

Website

Alerts

Be the first to know and let us send you an email when sadis kumara posts news and promotions. Your email address will not be used for any other purpose, and you can unsubscribe at any time.

Shortcuts

Share