17/09/2021
2021 සැප්තැම්බර් 17 වන සිකුරාදා දවසේ පුවත් විමසුම
# නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කෙරේ
කොවිඩ් ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා පනවා ඇති නිරෝධායන ඇඳිරි නීතිය දීර්ඝ කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද රැස්වූ කොවිඩ් මර්ධන කමිටුවේදී තීරණය කර තිබේ..
ඒ අනුව නිරෝධායන ඇඳිරි නිතිය ඔක්තෝම්බර් මස 01 වෙනිදා දක්වා දීර්ඝ කර ඇත.
කොවිඩ් වසංගතය පාලනය කිරීම සඳහා ඉකුත් අගෝස්තු මස 20 වෙනිදා සංචරණ සීමා පනවනු ලැබූ අතර එය ඉකුත් අගෝස්තු මස 31 වෙනිදා සිට නැවතත් දීර්ඝ කිරීමට තීරණය කෙරුනි.
# ලොහාන්ගේ බන්ධනාගාර සිද්ධියට විශේෂ පරීක්‍ෂණයක්
අනුරාධපුර බන්ධනාගාරයේ ඉකුත්දා සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් එම බන්ධනාගාරයේ නිලධාරීන් 10 දෙනෙකුට ආසන්න පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කර ගෙන ඇත. අද දිනයේ රැදවියන්ගෙන් ප්‍රකාශ සටහන් කර ගන්නා බවයි බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසා සිටියේ
වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල ඉකුත් දින වල ඇති වු සිද්ධින් සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු කිරීමට බන්ධනාගාර කොමසාරිස්වරයෙකු පත් කර ඇති බව, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.
වැලිකඩ සහ අනුරාධපුර බන්ධනාගාරවල ඉකුත් දිනවල සිදුවූ සිද්ධීන් සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය හරහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවට දැඩි විවේචන එල්ල විය.
අනුරාධපුර බන්ධනාගාරයේ රදවා සිටින එල් ටී ටී ඊ රැදවියන් දෙදෙනෙකු දණගස්වා හිසට පිස්තෝලයක් තබා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ තර්ජනය කර ඇති බවට ඉකුත්දා විවිධ වාර්තා පළ විය. ලොහාන් රත්වත්තේ වැලිකඩ බන්ධනාගාරයට ද ගොස් එහි සිටි සිරකරුවන් පිරිසකට තර්ජනය කර ඇති බවට වාර්තා පළ විය.
# චීනයෙන් තවත් කොවිඩ් එන්නතක් ලංකාවට පරිත්‍යාග කරයි
චීනයේ නිෂ්පාදිත සිනොවැක් කෝවිඩ් මර්දන එන්නත් මාත්‍රා මිලියනයක් ශ්‍රී ලංකාවට පරිත්‍යාග කිරීමට චීනය තීරණය කර තිබේ. ඒ, ශ්‍රී ලංකාවේ එන්නත්කරණ ක්‍රියාවලිය තවදුරටත් පුළුල් කිරීම සඳහා.
චීනයේ නිෂ්පාදිත සිනොවැක් යනු ලොව මෙතෙක් වැඩියෙන්ම භාවිත කර ඇති කොවිඩ් මර්දන එන්නත වන අතර මේ දක්වා රටවල් 50කට පමණ මෙම එන්නතේ මාත්‍රා බිලියන 1 යි දශම 8ක් සපයා ඇති බවයි ශ්‍රී ලංකාවේ පිහිටි චීන තානාපති කාර්යාලය පවසන්නේ.
මේ අතර ඊයේ දිනයේදී අලුතින් තවත් කොරෝනා රෝගීන් 2,271 දෙනෙකු හදුනාගෙන ඇත. ඒ අනුව මෙරටින් හදුනාගෙන ඇති සමස්ථ ආසාදිතයින් සංඛ්‍යාව 498,693 ක් වන අතර. ඒ අතරින් තවදුරටත් ප්‍රතිකාර ලබන්නේ ආසාදිතයින් 58,287 දෙනෙකු පමණක් බවයි යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.
# නිරෝධායන රෙගුලාසි කඩ කළ තවත් පුද්ගලයින් 816 දෙනෙකු අත්අඩංගුවට
නිරෝධායන රෙගුලාසි කඩ කිරීම් සම්බන්ධයෙන් ගතවූ පැය 24 තුළදී පුද්ගලයින් 816 දෙනෙකු පොලීසිය මඟින් අත්අඩංගුවට ගෙන තිබේ.
ඒ අනුව මේ දක්වා කාලය තුළ නිරෝධායන රෙගුලාසි කඩ කිරීම් සම්බන්ධයෙන් අත්අඩංගුයට ගෙන ඇති සමස්ථ පුද්ගලයින් ගණන 73,894 ක් වන බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නිහාල් තල්දූව මහතා පවසා සිටියේ. නිරෝධායන රෙගුලාසි කඩ කරමින් ගමන් කිරීමට පැමිණි වාහන 77 ක්ද ගතවූ පැය 24 තුළදී අත්අඩංගුවට ගෙන ඇත.
# බැසිල්ට විරුද්ධවූ ඇමතිවරුන් තිදෙනා
කෙරවලපිටිය යුගදනවී විදුලි බලාගාරය සම්බන්ධයෙන් මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ විසින් පසුගිය සඳුදා පැවති කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කරනු ලැබූ අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවට අමාත්‍ය වාසුදේව නානායක්කාර, විමල් විරවංශ සහ උදය ගම්මන්පිල සිය විරෝධය පළකර තිබේ
ඔවුන් ලිඛිතව මෙම විරෝධය පළකර ඇත්තේ යුගදනවී විදුලි බලාගාරයේ කොටස් ප්‍රමාණයක් අමෙරිකානු සමාගමකට පැවරීමට එරෙහිවයි.
https://youtu.be/q2G1HbdeAsk