22/04/2025
යශෝධා ලියූ පොත් කියවන්න ආසාවෙන් ඉන්න ඔබට පුලුවන් 0713361358 අංකයට හෝ, අපේ Upside Books පිටුවට DM කරලා ඇණවුමක් යොමු කරන්න.
__________________
Janeesha Gamage ගේ සටහනක්.
~
බස්සි අක්කගෙ "මිලිතත්පර සිලියනයක්" ( A Zillion Milliseconds ) කවි පොත මගෙ අතට ලැබිලා දැන් සතියක් විතර. පොත ගැන ඉඟිබිඟි පොඩියට පොඩියට එළියට ආපු දා ඉඳන්, පොත අතට ගන්න ඇත්තටම හිටියෙ හරිම ආසාවෙන්. නොඉවසිල්ලෙන්. මං බස්සි අක්කගෙ ලොකුම ලොකු ෆෑන් කෙනෙක්.පොත එළිදැක්වීමේ ඉවෙන්ට් එකට එන්නැයි බස්සි අක්කගෙ ආදරාරාධනාව ලැබුණත්, යන්න හැකියාවක් නැතිවෙයි බව දැනුණු නිසා කලින්ම මං පොත් දෙකක් ඉල්ලුවා. ඉක්මනටම පොත් දෙක ලැබුණා. මං ඇත්තටම එනකන් මඟ බලන් හිටියෙ. ඉක්මන්ටම ආවට හරි සතුටුයි.
බස්සි අක්කගෙ මුලින්ම කියවපු කවියක් කියලා නිශ්චිතව කියන්න ඇත්තටම මට මතකයක් නැහැ. ඒත් හොඳටම මතක හිටපු කවි කීපයක්ම තියෙනවා.
මේ එකක්.
අපි,
හරිහමන් රෝග නිර්ණයක් නැති,
ලෙඩ වුන අය.
ඔක්සිජන් ටැංකියකට පුරවපු මීම්ස්,
යන යන තැන පිටේ එල්ලන් යන අය,
කම්මුල් නිල්පාට ගැහෙනකොට,
එයින් දෙකතුනක් උඩට ඇද ඇද හිනාවෙන අය,
"Fault in our stars" පොතයි - හයිලයිටරේකුයි,
බෑග් එකේ ඔබාගෙන කැෆේ එකකට යන අය,
ෆ්‍රැප් බිබී පෙනහළු හීතල කරගෙන,
කැහැ කැහැ කොෆීකේක් කන,
අපි; ලෙඩ වුන අය,
උණුහුම් ඩයලොග්ස් කහපාට කර කර,
තනියෙන්ම අත්බේත් කරගන්න අය.
ඉන්ටසිටි බස්වල - කෝච්චිවල - පික්මීවල යද්දි,
වීදුරු කවුළුවෙන් පාරට පනින අය,
මහත සුදු වළාකුළු දෙකතුනක් අල්ලලා,
ස්මෘති රිදී නූලකින් ගැටගහලා අල්ලගන්න අපි,
ටිකක් විතර දරුණු අය,
වළාකුළු බිම දිගේ ඇදගෙන යන අය.
නියපොතුවල නියොන් පාට ගාලා,
කාමර ඇතුලෙ ක්‍රිස්මස් ලයිට් එල්ලලා,
පාන්දර දෙකහමාරට සෝෂල්මීඩියා එන අය,
ඉපැරැණි පෙමක කල්වාරිය තරණය කරලා,
වියෝ ගීතිකාවක් ගැයෙද්දී කුරුසියේ එල්ලෙන අය.
ආයා කට්ටකින් ඇඟිල්ලට ඇනගෙන,
රිදෙනව ද, අඩුගානෙ දැනෙනව ද බලන අය,
තුවාල වෙච්ච පපු මැද්දෙ,
සූරියකාන්තා මල් වවන අය.
කිරිගරුඬ වගේ පෙනුනට,
හිරුකිණිති වගේ දැනුනට,
මධු බඳුන් කියා හිතුනට,
අපි;
ලෙඩ වුන අය!
බස්සි අක්කගෙ කවිවල තියෙන්නෙ වෙනස්ම ලස්සනක්. වචන හරිම නැවුම්. නිර්මාණාත්මකයි. ගැළපෙන තැනට නොබියව ටක්කෙට ගැළපෙන වචනෙ යොදලා. හැම පද පේළියක්ම විශේෂයි. කවි හරිම පිරුණු ගතියයි. ගලාගෙන යනවා. අවධානෙ නොසොල්වා තියාගන්නවා. කියවන් යද්දි වෙනස්ම රහක්. තේරුම් අනර්ඝයි. නිමිති මරු. වචනවලින් ඒවා එයාගෙම විදියට personalize කරලා. ඒත් කවිය අපි ඔක්කොටම හරියන පොදු වස්තුවක්.
මේ තව කවියක්
•නිමිත්ත:
මගේ ජීවිතේ කිසිම දවසක,කිසිම මනුස්සයෙක් මන් වෙනුවෙන් මහන්සි වෙලා තෑග්ගක් දීලා නෑ. මලක් අරන් ඇවිත් මාව බදාගෙන නෑ. ඔයා මට ආදරෙයිද කියල අහන්නැතුව ආදරෙයි කියල නෑ. ලස්සන කවි ලියල මට එවල නෑ. ඒත් වෙන කාටවත් එහෙම වෙන්න හොද නෑ.
~ ෆේස්බුක් පරිශීලක සටහනක්
ජීවිතයක් කියන්නේම,
මිලි තත්පර සි'ලියනයකි.
ලැබී ඇත මල් පොකුරු සහ උණුහුම් හාදු
ගිණිය නොහැකිය ලද කවි!
තනුවක් දමා මා වෙනුවෙන්
ගිටාරය වයන යොවුනෙක් ගැයූ
මටම ලියු ගීයක් පවා තිබී ඇත!
උපන්දින සාද - ඇනිවසරි සැමරුම්
මුතු පලඳනා - රන් තෝඩු සහ රන් දම්
මිලාධික චොකලට්ටු - අව්කණ්නාඩි පැලඳුම්
සප්‍රයිස් ත්‍යාග කිසි අඩුවක් නැත!
පොත් ප්‍රදර්ශනවලදි ඕනෑතරම් පොත් ගන්න
කැමතිම ගවොම් ඕනෑ තරම් අරගන්න
කෝපි හලකට යන්න - ඕනෑ දෙයක් කන්න
ක්‍රෙඩිට් කාඩ් ද නිතර අතපත් වී ඇත!
හිස බමනවැයි කී විට -
ලබා ඇත මුදු පිරිමැදුම්
හිත රිදෙනවැයි කී විට -
පුරවලා දී ඇත මධු ඔඩම්
ඕනෑ තරම් අය ඉන්නවා
අත අතනෑර ඉන්නෙමැයි පිලිණ දුන්!
ඔබට ඕනෙද අන් කෙනෙකුගේ ජීවිතේ?
ඉන්ස්ටාග්‍රෑම් ෆිල්ටර තුලින්
ලපකැළැල් මැකුණු, දේදුණු ජීවිතේ?
හැබැයි,
දේදුන්නෙ අන්තිමම කෙලවරේ
පොඩිම පොඩි ඩිස්ක්ලේමර් කවියකි
කුහුඹු අඬු තරමෙන් ලියා ඇති
~~~~~~~~~
ඇස් වටේ කළුතලා වෙන තුරා
නිදිමරාගෙන කඳුළු වගුරා තියෙනවා.
බෙහෙත් අහුරක් දෙකක් ගිලදමා
මැරෙන්නට තැතනූ හවස් වරු තියෙනවා.
ආකාස පියස්සෙන්, බිම පනින්නට යද්දි
පාන්දර දෙකේ කණිසම ඇහිල තියෙනවා.
පා පහරවල් වැදිල තියෙනවා.
බිත්තියේ වද්දාපු සිඟිති හිස ගෙඩි ගැහී තියෙනවා.
නියවලට හෑරිලා, දෙකම්මුල් පැසවලා තියෙනවා.
දෙතොල් පිපිරිලා, ලේ ගලල තියෙනවා.
කියතකින් හිස ඉරනවා වගේ වේදනාවක්
සමහරක් දවස්වල විඳිනවා.
හදවතේ අන්තිමම සහන් එළියත් නිවී යනතුරා
සියවරක් මැරි මැරී ආයෙ අපි ඉපදිලා ඉන්නවා.
~~~~~~~~
හිතවතිය
කවියක් නෙමෙයි මේ ජීවිතේ
මලකුත් නෙමෙයි
ආදරෙයි කියන එක කුඩා මොහොතක් නෙමෙයි!
ජීවිතයක් කියන්නේම,
මිලි තත්පර සිzලියනයකි.
ඔබට මං කියන දේ තවම තේරෙනවදැයි දන්නෙ නෑ
ඒත් මම ඔබ වෙනුවෙන්
මෙන්න මේ සටහන ලියා
නිවෙනවා.
මේක මට මාර විදිහට හිතට වැදුණු කවියක්. ආසම එකක්.
පහළ කවියත් මට මතකම එකක්.
• රස්සාවට යන අම්මෙක්ගේ නැළැවිලි ගීය
තිස්සෙම ගැස්සෙන නිසා
බස් ගමනෙදි ඇස් වසා
පෙකණිය තදකර බදා
දොයියන් මගෙ රන් පුතා
එඩිගෙන උදයෙම අගී
රතු ඉර තරණෙට යෙදී
කඩිමුඩි නොකලොත් නැගී
පඩි කවරෙට වෙඩි වදී
ඇල් පවනැල් නැතියෙනී
හිම ඒ සී සුළඟිනී
හම විනිවිද යනු දැනී
වෙව්ලනවද පුතු අනේ
පන්දම් දැලිපිහි වනා
දිය යට ගිනි ඇවිලෙනා
මව්වත් මුදු ගුණ අනා
දෙනු කෙලෙසද කිව මැනා
ගැට අඹ, වෙරළුව නැතී
ටක් ෂොප් වෙත එමි ඇදී
ඇඹුල් ලොසින්ජර පෙතී
සිඹ රැවටී පුතු නිදී
එක්සෙල් ගොනු තුල වැදී
පැය දහයකටත් වැඩී
ඇස් දෙක කකියයි රිදී
මහන්න බෑ නැපි පොඩී
හෙඩ් ෆෝනෙන් ගලගලා
එන නැළැවිලි රස බලා
පෙකණිය තදකර බදා
දොයියන් මගෙ රන් පුතා
සමාජෙත් එක්ක, වටාපිටාවත් එක්ක අපිට වෙනස් වෙන්න වුණාට එදා, අද කියලා අම්මෙක්ගෙ ආදරේ වෙනසක් කොහෙද..මේක අපේ ඇස්වලට ඇඟිල්ලෙන් අනින කවියක්.රියල් කවියක්. කාලීන කවියක්.
මේ කවියත් මට හිතට වැදුණම එකක්.
මියුරු ඵල අරාගත් පමණකින්
ප්‍රීතියෙන් කල් ගෙවූ කුඩා තුරු
සිසිරතාරක නින්දකට එළඹිය යුතුද?
කෙටි සාද ගවොම්, උස් වයින් වීදුරු ද,
විනිවිද පෙනී නොපෙනෙන දුහුල් කොමුපිළි ද,
දිලිසෙන උල් හිසැති පා වැසුම් යුගල ද,
ඉඳුල් වතුරක්ව ඉවතට ලෑ යුතුද?
මියුරු ඵල අරාගත් පමණකින්
ප්‍රීතියෙන් කල් ගෙවූ කුඩා තුරු
අනාගාමී විය යුතුද?
පුරාවිද්‍යා - කාලාවකාශ පර්‍යේෂණ,
ගායන ද වාදන, නෘත්‍ය සම්භාෂණ,
සිහිනෙනුත් දුටු අජටාකාශ ගවේෂණ,
ව්‍යාපාර ද, දර්ශනවාද දේශන,
අල්මාරියේ ලා යතුරු තදකල යුතුද?
සිඟිති ඵල තදින් අල්ලාගෙනම,
බටිති ගී තාලයට මල් හලන,
ඇබිති කොල සලා සල්සා නටන, කුඩා තුරු
තවමත් ප්‍රීතියෙන් ඉපිලෙනා වරදට
මුරුසියට පිටුවහල් කල යුතු ද?
මේ කවිවලට මාරයි නොකියා කොහොමද..කොයිතරම් ශක්තිමත් වචනද මේ..ලස්සනට ගළපලා ලියලා තියෙන විදිය!
පහළ කවිය නම් මං කියෙව්වෙ පොතෙන්. ඊට කලින් කියෝපු බවට මතකයක් නෑ.
ගුරු පාරෙ ක්‍රිකට් සෙල්ලම් කරපු
ගුරු පාට හැන්දෑවක
ගුරු දූලි වැකුණු කෙටි කලිසමේ
මුල්වරට ඇඳුන රතු පැල්ලම
ඉස්කෝලෙ ඇරී එන බස්සෙකේ
හිස් සීට් තියෙද්දිත් හිටගෙනම එන තරම්
නිස්කාරණේ බය කලා හැම පොඩි කෙල්ලම
වසත් මල් උයන්වල සරද්දී
දෙතොල් මත සිහින් කටු ඇනෙද්දී
දිනක්, දින දෙක තුනක් පමා වී
හිතේ හීගඩු නැගූ පැල්ලම
සඳෙන් මධු ගලා යන මැදියමක
බිඟුන් හදවතේ ගුම් දෙන දිනෙක
රතු රෝස පෙතිවලට මුසුවුණු පැල්ලම
නවමසක නැවතුමක් පතාගෙන
නොදකින්න හිතූ රතු පැල්ලම
සමාවක් නොදී කුස කලඹවා
පමාවක සලකුණක්වත් නැතිව
නොවැරදී ඇවිත් යයි පැල්ලම
සත් වසක් ඉහේ ගිනි ඇවිලෙව්ව
හිත් පුරා ලොවි කහට ඉහිරෙව්ව
ජීවිතේ දුක් අඳුරු පල්ලම,
බොඳ නෙතින් බැහැර කර
පද්මරාගයක් මෙන්
හද පුරා වැළඳගමි පැල්ලම.
කුඩා තරු වළල්ලක් තමයි ඔය හැම කෙල්ලම!
කෙල්ලෙක් විදියට මං මේ කවියට ආදරේ නොවී කොහොමද බස්සි අක්කෙ..මට ඔයාව වැළඳගන්න හිතෙනවා මේවා කියවන් යද්දි.
ඉතා සුළු කාලයක් දැල්වී
ඉරා හද මස නිවී ගියමුත්
ඉනාවක් යැයි හිත හදාගෙන
සිනාවෙන්නා වගේ හැසිරෙමි
යකඩ පෙති - විටමින් පෙති
ස්ක්‍රැප් පොතක අලවමි
පස් මසක ස්කෑන් සටහන්
රාමු කර බිත්තියේ එල්ලමි
දුවෙක්දැයි හරිහැටි නොදත මුත්
'මගේ පුතු' යැයි සැකෙන් අමතමි,
කඩා වැටුනත් සියදහස් තරු
හඬා නොහඬා දරාගන්නා අහසට
ඔබේ මුදු හදගැස්ම නොඇසී
මගේ ලොව ඉරිතැලී ගිය හැටි පවසමි
'මගේ පුතු' යැයි
මදක් සැකයෙන් පවසමි.
මට කියාගන්න තේරෙන්නෙ නෑ බස්සි අක්කෙ. ඔයාව හරිම ළඟින් දැනෙනවා මේ කවි අතරෙ කිමිදෙද්දි. හග් කරනවා වගේ දැනෙනවා. හග් කරන්න ඕනි වගේ දැනෙනවා. පුදුම කවි මේවා.
උණ්ඩයෙන් නගන වන්දනා ගාථා හඬ ද ධම්මෝ භවේ රක්ඛති ධම්මචාරී
මේකත් මරු අක්කෙ.
කවි ගැන තව ලියනවනම් ඕනෙ තරම් ලිව්වහැකි. ඒ තරම් ලස්සනයි මේ කවි. හිත් ඇදගන්නාසුළුයි. මාරයි.
බස්සි අක්කව මට එදා ඉඳන් දැනුණෙ තද රතුපාට බෝල්ඩ් ලිප්ස්ටික් එකක් වගේ. ඔයා මට ලොකු inspiration එකක්. හම්බවෙලා නැතත්, මම ආස කෙනෙක්. මට කිට්ටුවෙන් දැනෙන කෙනෙක්. ඇත්තටම මම ඔයාගේ ලිවීම් අවංකව රස විඳින ලොකු ෆෑන් කෙනෙක්. දිගටම ඔයාගේ මේ අනන්‍යතාවත් එක්ක ලියන්න බස්සි අක්කේ. අපි හැමදාම මේවා ආසාවෙන් කියෝනවා, රසවිඳිනවා. ඔයාගේ රයිටින් ජර්නි එකට ජයෙන් ජයම වේවා. සිලියන වාරයක් ආදරෙත් එක්ක පොත මට එව්වට ස්තූතියි. මාත් සිලියන වාරයක් ආදරෙයි. ❤️