02/05/2025
කෝපි මල් පුසුඹ හමන
මතක මල් පැස
ඉඳුනිල් පියරත්න මට මුලින්ම හමුවන්නේ කොළඹ විශ්වවිද්‍යාලයේ සිංහල විශේෂ උපාධි අපේක්ෂකයකු ලෙසින්. පොත් කියවීමේ උනන්දුවත්, අධ්‍යයන කටයුතුවල දැක්වූ දක්ෂතාවත් නිසාම ඔහු මතකයේ රැඳුණු විද්‍යාර්ථියෙක්.
අ. පො. ස (උ. පෙළ) විභාගයෙන් කලා අංශයෙන් දිවයිනේ මුල් තැන දිනා ගනිමින් විශ්වවිද්‍යාලයට පිවිසි ඉඳුනිල්, උසස් අධ්‍යාපනයේදීත් වාර්තා තැබීමෙහි සමත් වුණා.
ඔහු වඩාත් අවධානයට ලක් වූයේ ශාස්ත්‍රවේදී ගෞරව උපාධිය පළමු පන්තියෙන් දිනා ගැනීමෙන් පමණක් නොවේ. සම්භාව්‍ය සිංහල සාහිත්‍යය ,නූතන සිංහල සාහිත්‍යය ආදි විෂය ප්‍රවීණතා රැසකට පිදෙන රන් පදක්කම් පහක් දිනා ගනිමින් සිංහල අධ්‍යයනාංශයේ දක්ෂතම විද්‍යාර්ථියා ලෙස සම්මානයට පාත්‍රවීමෙනි.
එකල සහාය කථිකාචාර්යවරයකු ලෙස සිංහල අධ්‍යයනාංශයට ඔහු සම්බන්ධ වන්නේ එහි ප්‍රතිඵලයක් ලෙසිනි. මීට පෙර ශාස්ත්‍රීය ග්‍රන්ථ රචනයෙන් අප හමුවට පැමිණි ඔහු අද මනරම් ‘විත්ති කතා පොතක්’ ඔස්සේ පාඨකයා ආමන්ත්‍රණය කරයි.
ජීවත්වීම යනු සුන්දර මෙන්ම වේදනාත්මක අද්දැකීම්වල එකතුවක් විනා අන් කුමක් ද ? පුද්ගලයෙකුගේ පෞරුෂය ගොඩනැගෙන්නේ ජීවී අජීවී වස්තු සමඟ ඔහු පවත්වන අනවරත සම්බන්ධතාවලට සාපේක්ෂ වශයෙනි. නෙක පැහැ අතීත මතක මල් රැසක් එක පැසක හොවමින් ඉඳුනිල් ස්වකීය ජීවිතයේ අක්මුල් සොයා පාදමින් අපූරු මතකාවර්ජනයක යෙදෙයි.
සමන්දෙවියන්ගේ අඩවියේ ගැමි ජන ජීවිතයේ මතක තුරුවැලින් නෙළා ගත් නෙක පැහැ මල් පැසක සුවඳ දිගේ ඉඳුනිල් අප ව කැඳවාගෙන යන්නේ දශක කිහිපයක එපිටින් වූ මෑත අතීතයට ය. සබරගමු අනන්‍යතාවත් උරුමයත් සමගම අඩු වැඩි වශයෙන් මමත් කතුවරයා සමඟ සිරිපා කරුණා කළෙමි. රබර් වතුවල ඇවිද්දෙමි. මඟුල් අවමඟුල් උත්සව සඳහා ගියෙමි. කජු ,මෑ කරල්, කොස් ඇට,වම්බටු ,තම්පලා වට්ටක්කා දලු හා අළුකෙසෙල් එක්කොට අලුත් අවුරුද්දට පමණක් පිසගන්නා හත් මාළුවේ රස විඳිමින්, කැට ගසමින් අලුත් අවුරුදු සැමරුවෙමි. ඒ හැම තැනකදී ම සබරගමු අනන්‍යතාව ඔස්සේ පෙරී ආ හෘදයංගම බවත් අතිශය සමීප අතීත සුවඳත් හොඳින් දැනුණි. කුඹුරක අතැර දැමූ ලියැද්දක පිපී තිබුණු මානෙල් මලක සුවඳ මෙන්ම කමතක කෙළවර පිපී දසත හමා ගිය රුක්මලක සුවඳ සමඟින් මම ද ඉඳුනිල්ට එපිටින් වූ මගේ අතීත මතක සමඟ තනිවුණෙමි. එනිසා මේ මතක මල් පැසෙහි සුවඳ විඳින්නට මට තරමක් කල් ගත විය.
තමා හාත්පස ලෝකයට හෘදයංගම වීමේ ගුණය පුද්ගලයෙකුට ඕපපාතිකව ලැබෙන්නක් නොවේ. එමෙන්ම ලෝකයේ අනේක වූ රිදුම් හෝ ප්‍රතික්ෂේපවීම් හමුවේ උපේක්ෂා සහගතවීම පුද්ගලයෙකු ට පහසුවූවක් ද නොවේ. ඒ සඳහා ප්‍රගුණ කරන ලද ශික්ෂණයක් මෙන්ම අවපාත ,කඩා වැටීම් ප්‍රතික්ෂේපවීම් හෝ ආන්තීකරණයවීම්වලින් කිසියම් දුරකට වියුක්ත වූ ළමා කාලයක් හා යොවුන් දිවියක් උරුම වී තිබිය යුතු ය.මේ ‘මතක මල් පැස’ අපට කියන්නේ කතුවරයා එකී වාසනාව ලද්දෙකු බවයි.
සහකම්පනය හා මානව බන්ධුත්වයෙන් යුතු සැබෑ මනුෂ්‍යයෙකු බිහිවීමේ මූලික පදනම ඇත්තේ එතැනයි. ස්වකීය පවුල තුළ හා ඉන් පරිබාහිර සබඳතා පවත්වන අවශේෂ ලෝකය තුළ තම සුරක්ෂිත බව තහවුරු වීමත් ,ආදරය හා කරුණාවෙන් නොතොර වටපිටාවක ජීවත් වීමේ භාග්‍ය ලැබීමත් ඒ සඳහා ප්‍රමාණවත් වේ.
මතක මල් පැස කතුවරයා වන ඉඳුනිල් පියරත්න එකී දුර්ලබ භාග්‍ය ද ලැබූවෙකු බව මෙම කෘතියෙහි ආවර්ජිත ඔහුගේ අද්දැකීම් සම්භාරයෙනුත් විශ්ව විද්‍යාල ජීවිතය හා වත්මන් වෘත්තීය දිවියෙන් ද ප්‍රකට වේ.
විත්ති කතා ගණයට අයත් වන මෙම ග්‍රන්ථය මතකාවර්ජනයක් සේ කතුවරයාටත්, ඊට සමාන උරුමය ඇති පාඨකයාටත් පෞද්ගලික ස්මෘති අවදි කිරීමෙහිලා කවුළුවක් ලෙසත් වැදගත් වූවකි. එහෙත් මෙය එකී පෞද්ගලික ප්‍රවේශය ඉක්ම වූ සමාජ සංස්කෘතික වටිනාකම් සහිත වූවකි. එනම් ශ්‍රී ලංකාවේ සබරගමුව පළාතේ රත්නපුර දිස්ත්‍රික්කයේ නිශ්චිත භූගෝලීය අවකාශයක ජන ජීවිතය හා බැඳුණු ආර්ථික මෙන්ම සමාජ-සංස්කෘතික යථාර්ථය ප්‍රකාශයට පත් කිරීමේ විශ්වසනීය මූලාශ්‍රයක් ද වේ.
සමාජානුයෝජන කාර්යෙහිලා මවකගේ කාර්යභාරය මෙම කෘතිය පුරා දිගහැරෙන්නේ අපූරු ආකාරයෙනි. සිව් බඹවිහරණයෙන් යුතු මවක ලැබීමට කතුවරයා සැබවින්ම වාසනාවන්තවී තිබේ. මනා පෞරුෂයකින් යුතු ,වගකීම් සහගත පුරවැසියෙකු ලෙසත් සමාජයට වැඩදායී බුද්ධිමතෙකු ලෙසත් ගොඩනැංවීමට අසීමිත කැපකිරීම් කළ ඒ මවට මේ කෘතිය පුදදීමට හැකිවීම ද ඔහුගේ වාසනාවකි. අද ඔහු ගොඩනගා ගෙන ඇති ලෝකය ,මූලික වශයෙන් එදා මවගේ මගපෙන්වීම් ඔස්සේ ලද පන්නරය හා කැපකිරීම්වල ප්‍රතිඵල ලෙස මම දකිමි.
ඔහුගේ නිරහංකාර බව,උපේක්ෂාව සහ නොපසුබට උත්සාහය පසුපස ඒ මවගේ හා ඇතැම් විටෙක පියාගේ සෙවණැල්ල ද වැටී ඇති බව මතක මල් පැසෙහි කතා ඇසුරෙහි ප්‍රකට වේ.
විශේෂයෙන් කුඩා කල කුකුල්, එළු සහ ගව ආදි ගෘහාශ්‍රිත සතුන් ඇසුරෙහි ගත කළ දිවිය ඔහුට සංකීර්ණ අද්දැකීම් රැසක් ලබා දී තිබේ. එය මානව දයාව ඉක්මවූවකි.හමුවීම් මෙන්ම වෙන්වීම් , අද්දැකීම් බෙදා ගැනීමේ සතුට ,අවිනිශ්චිත -අනපේක්ෂිත වෙන්වීම්වල ශෝකය, කඩා වැටීම් හා සදාකාලික අහිමිවීම්වල වේදනා ඔහු ජීවිතයෙන් ම ප්‍රගුණ කළේ මේ සතුන් සමඟ වූ සමීප ඇසුරෙන් බව පෙනේ.පසුකාලීන සමාජ ජීවිතයේදී ඔහු ප්‍රකට කළ උපේක්ෂා සහගත ඇතැම් ප්‍රතිචාර ඒ අතීත උරුමයේ ප්‍රතිඵල විය හැකිය.
පුද්ගලයෙකුට ශක්තිමත්, තෘප්තිමත් අරමුණකින් ජීවිතයට අඩිතාලම වැටෙනුයේ ළමාවියෙනි. හාත්පස ලෝකය හා තමා අතර වූ අන්‍යෝන්‍ය සම්බන්ධතා ඔහුගේ ළමා ජීවිතේ දැරිය නොහැකි සමාජ අවපාත නොවූ බවට මතක මල් පැස සාක්ෂ්‍ය සපයයි. ඒ නිසාම ‘මහාමානය ‘ලෙස ප්‍රකාශයට පත් කෙරෙන ‘හීනමානය’ ප්‍රකට කෙරෙන හැසිරීම් හෝ ක්‍රියාත්මකවීම් ඔහුගේ ජීවිතයෙන් ප්‍රකාශයට පත් වනු අප දැක නැත.තෘප්තිමත් ගෞරවනීය ජීවිතයක් උදෙසා මනුෂ්‍යයෙකුට ඊටත් වඩා යමක් අවශ්‍ය වන්නේ යැයි මම නොසිතමි .ළමා හා යොවුන් වියේ දරුවන්ට ‘මතක මල් පැස’ කෘතිය වඩා ඵලදායී අත්දැකීමක් එක් කරනවා නිසැකය.
සැබවින්ම මතක මල් පැසින් හමන්නේ මනුෂ්‍යත්වයේ සුවඳයි. ජයග්‍රහණයේ සතුටයි. ඒ ඔස්සේ අපට මඳක් නැවතී අප ආ මග දෙසම ආපසු හැරී බැලීමට ඔහු කළ ආරාධනයට නොවක් තුති පුදමි.
මහාචාර්ය කුමුදු කරුණාරත්න ,
සිංහල අධ්‍යයන අංශය,
කොළඹ විශ්වවිද්‍යාලය