02/11/2025
"තේනුක, හෙට හෙයියන්තුඩුවට බුදුන් වඩිනවලු! අපි දෙන්නත් යමු ද? ගිහින් අපි පටන් ගන්න යන අලුත් ජීවිතේට ආශිර්වාද ගමු...."
අවුරුදු ගානක් ආදරය කරන අපි දෙන්නාගේ විවාහයට තව තියෙන්නේ සති කීපයයි. ඒ අතරෙයි ඊයෙ හැන්දෑවේ ස්පීකරයක් බැඳගෙන වාහනේකින් ගම පුරා කරපු ප්‍රචාරයක් මට ඇහුණේ.
"හෙයියන්තුඩුවේ නිර්මිත ලොව ප්‍රථම සහ එකම පාලි හා සංස්කෘත සංස්කෘතික හුවමාරු මධ්‍යස්ථානයෙහි පූජනීය ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ තැන්පත් කිරීමේ මහා පූජෝත්සවය නොවැම්බර් පළමුවැනි දින උදෑසන එම මධ්‍යස්ථානයෙහිදී පැවැත්වේ. ඒ සඳහා ඔබ සැමට බැතිබර ආරාධනා!"
බුදු හාමුදුරුවෝ අපේ ගමටත් වඩිනවා එහෙනම් මට හිතුණා. ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ කියන්නේ ජීවමාන බුදු හාමුදුරුවෝ වගේම තමයි.
ඒ හින්දයි මම ඉක්මනට තේනුකට කතා කළේ. එයත් අපේ ගමට අල්ලපු ගමේ. මං වගේම ගතිගුණ තියෙන හොඳ, ආදරණීය කෙනෙක් එයා.
"කොච්චර දෙයක්ද මදූ, මාත් හිත හිතා හිටියේ හෙට දිහාට කොහෙහරි පන්සලකට යන්න. බලන්නකෝ මම හිතුවදේම ඔයත් හිතලා. මම හෙට උදේම එන්නම්. ඔයත් ලෑස්ති වෙලා ඉන්න!"
ඉතින් තේනුකගේ හිතේ වගේම මගෙ හිතෙත් මේ පූජෝත්සවයට සම්බන්ධ වෙන්න හිතේ උපන්නේ දැඩි කැමැත්තක්. අනික මේ මධ්‍යස්ථානය කරන මේ වගේ උත්සව කටයුතු, තවත් නොයෙකුත් බෞද්ධ කටයුතු ගැන පත්තරවලින්, ටීවී එකෙන් මම දැකලා තිබුණා. ඉතින් මට ඕනි වුණා මෙතන මොන වගේ එකක්ද කියලා බලන්නත්.
ඔන්න ඉතින් නොවැම්බර් පළවෙනිදා හිමිදිරියේම මම සුදුවට ඇඳලා ලකලෑස්ති වුණා. අම්මලා හෙමත් උදේම පිටත් වුණේ මට තේනුක එක්ක එන්න කියලයි.
තේනුකත් ආවා ලස්සනට, සුදුවට ඇඳලා, ආදරයයි, භක්තියයි හිතේ පුරවගෙන.
"ආ...ගමේ හැමෝම වගේ ධාතු වඳින්න යනවා වගේ මදූ..."
තේනුක එහෙම කිවේ පාර පුරා ඉන්න ගමේ ඈයෝ දැකලා.
"ආ... ජෝඩුව, කොහෙද යන්නේ මේ කසාදෙ අතළඟ තියාගෙන?"
"අපි දෙන්නා ධාතු වඳින්න යනවා නැන්දේ..."
"අනේ සාධු, අලුත් ජීවිතේටත් ආශිර්වාද ගත හැකිනේ...අපිත් මේ යන්නේ වඳින්න...යන් යන්.."
මගේ හදවතට සතුටකුත් එකතු වුණා. අපි දෙන්නා වාසනාවන්තයිද මෙච්චර?යන ගමන් ගමේ අය එක එක ඒවා කතා වෙනවා.
"මෙහෙම පිනක් කොයි කාලෙද අපේ ගමට ලැබුණේ..."
"මේක ධර්මපාලතුමාගෙ උපන් ගම, මේක පින්බිමක්...ඒකයි බුදුන් වඩින්නෙත්..."
"අර මධ්‍යස්ථානෙ හදපු හන්දනේ අපේ ගම මෙහෙම කලඑළි වුණේ, ඒ අතින් දමෙන්ද මහත්තයයි, ශර්මිලා නෝනයි බුදුන් දැක නිවන් දකින්න ඕනි!"
ගිහින්ම බලමුකෝ මේ කතා ඇත්තද කියලා හිත හිතායි මත් ගියේ. මාත් කොහොමත් විප්ලවකාරී චරිතයක්. විමසල, දැකල, හොයලම බලන කෙනෙක්.
ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ පූජා කරන්නේ ශ්‍රී සම්බුද්ධ ශාසනෝදය සංඝ සභාවේ මහානායක අතිගෞරවාර්හ ආචාර්ය වස්කඩුවේ මහින්දවංශ නාහිමිපාණන් වහන්සේලු.
උන්වහන්සේ ඔන්න හිමිදිරි පාන්දරම වස්කඩුවේ ඉඳන් ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වැඩමවාගෙන පැමිණියා.
"ලස්සන, රන් සිවිගේක තැන්පත් කරපු ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ!"
මගේ හදවතත් ගැහෙන්න වගේ වුණා. අපි හැමෝගෙම කටින් සාධු නාදය පිටවුණේ අහසටත් ඇහෙන්න වගෙයි.
මේ ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේව සුරතට අරන් පිළිගත්තේ ඉන්දියාවේ ඉඳලා ලංකාවට ආව ලෝක පූජිත අති උතුම් ලින්ග් රින්පොචේ කියලා නාහිමි කෙනෙක්. පින්වන්ත රූපයක්. උන්වහන්සේ එක්ක තවත් ඉන්දියාවේ හාමුදුරුවරු කීප දෙනෙක්ම හිටියා.
රින්පොචේ හිමියන්ගේ සුරතින් ශ්‍රී සර්වඥ ධාතුන් වහන්සේලා අපේ ගම දිගේ පාලි හා සංස්කෘත හුවමාරු මධ්‍යස්ථානයට වැඩම කරේ නිකම්ම නෙවෙයි.
වෙස් නැටුම්, හේවිසි, කස, මල් බයිසිකල්, ජන නැටුම්, කොඩි ආදී අංගවලින් විචිත්‍රවත් වුණ මහා පෙරහැරක් මධ්‍යයේ තමයි උන්වහන්සේ වැඩියේ.
මේ පෙරහැරට දෙස් විදෙස් මහා සංඝරත්නය, ආරාධිත අමුත්තෝ, දහම් පාසල් දරුවන්, ගුරුවරුන්, අපේ ගම්වාසීන් වගේ දහස් ගණන් පිරිස් සම්බන්ධ වුණා.
මේ හැම අංගයක්ම ඩ්‍රෝන සහ තවත් කැමරාවලින් රූගත වුණා. හරිම පිළිවෙලයි වැඩ ටික නම්. අපිත් සමහර විට පත්තරේ වැටේවි කියලා මට හිතුණා.
හෙමින් හෙමින් පෙරහැර පාලි හා සංස්කෘත මධ්‍යස්ථානයට ළං වුණා.
"තව්තිසාව වගෙයි!"
මට කියවුනේ මධ්‍යස්ථානය දිහා බැලිලා. තේනුකත් කීවා "ඒක නම් ඇත්ත" කියලා.
ඒක තට්ටු හතරක ගොඩනැගිල්ලක්. ගොඩනැගිල්ලක් කිව්වට නිකන් ජීවමාන තැනක් වගේ. බෞද්ධ කොඩි හැම තැනම ලෙල දෙනවා. බලුබ් වැල් එල්ලලා, මල් සැරසිලි කරලා, මල් වවලා...ඇත්තටම දිව්‍ය ලෝකයක් වගේ තමයි!
ඔන්න ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ රැගත් රන් කරඬුව රින්පොචේ හිමියන් විසින් පාලි හා සංස්කෘත හුවමාරු මධ්‍යස්ථානයේ නිර්මාතෘ ආචාර්ය දමෙන්ද පෝරගේ මහත්තයට නිල වශයෙන් භාර දුන්නා.
"ආචාර්ය දමෙන්ද පෝරගේ..."
මේ නම මගේ සවනට නොයෙක් විට ඇසුණ නමක්. දෙස් විදෙස බෞද්ධ වැඩවලදී පෙරමුණ ගන්න කෙනෙක් විදියට තමයි මම එතුමා ගැන අහලා තිබුණා. හරිම කඩිසර, උගත්, පින්වන්ත කෙනෙක් පාටයි. ඕරාව හරිම බලවත් පාටයි.
එතුමා ඔන්න රන් කරඬුව මහත් භක්තියෙන් පිළිගෙන මධ්‍යස්ථානයේ ඉහළට යන්නට පටන් ගත්තා. මධ්‍යස්ථානයේ උඩම තට්ටුවෙලු ධාතුන් වහන්සේ තැන්පත් කරන්නේ.
අපි හැමෝටමත් මහත් භක්තියෙන් මධ්‍යස්ථානයේ ඉහළට යන්නට එතනදි ආරාධනා කරා. ඇත්තටම මධ්‍යස්ථානයට ඇතුළු වෙද්දිම හිතට එනවා මහා පින්වන්ත බවක්. ඒක මට විස්තර කරන්න තේරෙන්නේ නෑ. නිකං මොකක් හරි බලවත් තැනකට අඩිය තිබ්බා වගේ.
මද දුරක් රන් කරඬුව රැගෙන ගිය ආචාර්ය දමෙන්ද පෝරගේ මහත්තයා ඉන්පස්සෙ කරඬුව බාර දුන්නේ ආචාර්ය ශර්මිලා පෝරගේ මහත්මියට. එතුමියලු මේ මධ්‍යස්ථානයේ ලේඛකාධිකාරිතුමිය. මේ මධ්‍යස්ථානය මේ තැනට ගන්න එතුමියලු කැපවෙලා වැඩ කරේ. අරමුණක් තියෙන, ශක්තිවන්ත කෙනෙක් පාටයි.
මම තේනුක එක්කන් හෙමිහිට පියගැටපෙළ නැග්ගා. කිසිම අපහසුවක් නැහැ.
"උඩම තට්ටුව නම් දිව්‍ය විමානයක්!"
මේ පැත්තට තියෙන උසම තැන ඒක. සිරීපාදෙත් පේනවලු පායන කාලෙට උදේට. සපුගස්කන්ද ගිනි දැල්ලත් පේනවා. අධිවේගට ඔන්න මෙන්න. හුළං රැලි හතර අතෙන් ඇඟේ වදිනවා.
පින්වන්ත බුද්ධ බුද්ධ ප්‍රතිමාව වහන්සේ නමක් ඉදිරියෙන් වැඩ ඉන්නවා. තවත් පැත්තකින් මහා ගුරුපද්ම සම්භවගේ රූපය. උන්වහන්සේලුනේ ටිබෙටයට බුදු දහම රැගෙන ගියේ.
ධාතු මන්දිරයත් හරි ලස්සනට, සුරුවමට හදලා. ඔන්න හෙයියන්තුඩුවේ උසම තැන, බුදුන් වහන්සේට වැඩ ඉන්න සුදුසුම තැන ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ රින්පොචේ හිමියන්ගේ සුරතින් තැන්පත් වුණා.
ඊට පස්සේ පාලි හා සංස්කෘත කියන සම්ප්‍රදායන් දෙකෙන්ම ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේට වතාවත් හා පූජෝපහාරයන් සිදු කළා.
ඔන්න තේනුක වගේම මාත් බලා හිටපු පින්වන්ත මොහොත උදාවුණා. ශ්‍රී සර්වඥ ධාතූන් වහන්සේ වන්දනාමාන කරන්නට අපට අවස්ථාව උදාවුණා.
අපි හැමෝටම සුවඳ පිච්ච මල් අහුරකුත් එතන සංවිධායකවරු ලබා දුන්නා. ධාතු ගර්භයට ඇතුල් වෙලා සිත් සේ ධාතූන් වහන්සේව අපි වන්දනාමාන කළා. කිසි කලබලයක් නෑ, කිසි පීඩාවක් නෑ, සිත් සේ අපි දෙන්නා ධාතූන් වහන්සේව වැන්දා.
"අපේ අරඹන්නට යන අලුත් ජීවිතයට ආශිර්වාද ලැබේවා!" අපි දෙන්නම හිතුවා.
එතනින් ඉවර වුණේ නෑ. ඊට පස්සේ පහළට යද්දි මම දැක්කේ සංඝයා වහන්සේට, දහම් පාසල් ළමයින්ට වගේම ගම්වාසී අපි හැමෝටමත් සංග්‍රහ සූදානම් කරලා. පෝලිම් නෑ. වැඩි වෙලා බලා ඉන්න උනේ නෑ අපි දෙන්නටත් බඩ පිරෙන්නට කන්නට බොන්නට ලැබුණා.
එතන වැඩ කරන අයත් මීමැස්සෝ වගේ. ක්ෂණිකව අවශ්‍ය දේවල් කරනවා. හරිම සංවිධානාත්මක තැනක්.
මේ සංග්‍රහ වලින් පස්සේ තවත් උත්සවයක් තිබුණා. අපිට හිතුණා ඒකටත් සහභාගී වෙලා බලන්න. ඒ මධ්‍යස්ථානය අසලම ඉඩමක ම
මුල්ගලක් තියනවා.
"Kundun Happiness Retreat" කියලා භාවනා මධ්‍යස්ථානයක් එතන හදනවලු. රට වටේට හෝටල්, කර්මාන්තශාලා ඉදිවුණාට මිනිස්සුන්ගෙ මනස හදන්න කව්ද මුලපුරන්නේ? ඒ අතින් භාවනා මධ්‍යස්ථානයක් ඉදි වෙනවා කිව්වහමත් පුදුමයි. දුර දිග දකින කටයුත්තක්.
රින්පොචේ හිමියන්ගේ සුරතින් ඔන්න ඒ කටයුත්තටත් මුල්ගල තැබුණා.
"සාදු සාදු! අපේ පරම්පරාවට වගේම අපේ දරු පරම්පරාවටත් මනස හොඳින් තියාගන්න මෙතන පදනමක් වේවා!" කියලා මාත් හිත යටින් හිතුවා.
ඊට පස්සේ පෙරහැරට සම්බන්ධ වෙලා වෙහෙස මහන්සි වුනු දහම් පාසලේ පුංචි ළමයි හැමෝටමත් තෑගි බෝග දෙන්නටත් මධ්‍යස්ථානය අමතක කළේ නැහැ. ඒ ළමයින්ට අවශ්‍ය පාසල් උපකරණ ඇතුලත් කට්ටල සියයක් රින්පොචේ හාමුදුරුවන්ගේ අතින් ඒ ළමයින්ට ලැබුණා.
ඊට පස්සේ තමයි මගේ හදවත වඩාත් සසල කරපු අවස්ථාව උදාවුණේ.
"මරණයට කැපවෙච්ච හරක් දෙන්නෙක් නිදහස් කළා!"
මධ්‍යස්ථානය මේ මහා පූජෝත්සවය අවසන් කළේ වටිනාකම කියා නිම කරන්න බැරි ඒ දේත් කරලා. මගේ ඇස්වලින් වැටුණු සතුටු කඳුළු තේනුක හෙමින් පිහදැම්මා.
මරණය පෙනි පෙනී හිටපු ජීවිත දෙකක්, මරණ බයෙන් නිදහස් වුණා. මගේ හදවතට ආව හැඟීම මට විස්තර කරන්න බෑ, ඒ තරම් මගේ හදවත බරයි.
ඉතිං මම තේනුක එක්ක ගෙදර යනකම් මේ ගැන කතා කළා. ඒ දවස මට දැනුණේ මහා පින්කාර දවසක් විදියටයි. තේනුකටත් සතුටුයි. එයා මාව ගෙදරින් දාලා යන්න ලෑස්ති වෙද්දිත් කතා කළේ ඒ ගැනමයි.
"අපි කොහොම හරි ඔන්න ජීවමාන බුදුන් වැන්දා බඳින්න කලින්, නේද මදූ...?ඒක අපේ කසාදෙටත් ලොකු ආශිර්වාදයක් වේවි!"
තේනුක කියද්දි මටත් සතුටු හිතුණා.
"දැන් ඉතින් අපේ ගමේ හැමදාම බුදුන් වැඩ ඉන්නවනේ තේනුක, අපිට හැමදාම උන්වහන්සේ වඳින්නට යන්න පුළුවන්..."
ඒ සතුටට මට හිනාත් ගියා.
"ඇයි මදූ තනියම හිනාවෙන්නේ?"
තේනුක අහනවා. මම කතාව අවසන් කළේ මෙහෙම.
"නැහැ තේනුක , අපිට වගේම මේ පින මේ ලංකාවේ, ලෝකේ හැමෝටම උදාවෙනවා නම් කොච්චර දෙයක්ද? හැමෝම මේ තැන බලන්න එන්න වටිනවා. ඒක ජීවිතය වෙනස් කරන තැනක්!"
පසුවදන...
ඔයාලා දෙන්නටත් පුළුවන් මේ මධ්‍යස්ථානය බලන්නට යන්න. ලිපිනය මම පහතින් දාන්නම්. සුදුවතින් සැරසිලා, භක්තිය හදවතේ දරාගෙන යන්න. ඔයාලා නොහිතන දේවල් ඔය දෙන්නගෙම ජීවිතවලට ලැබේවි!
ලිපිනය - 333/7 B, දේවමිත්ත පෙදෙස, බියගම පාර, හෙයියන්තුඩුව
ධාතූන් වහන්සේ වන්දනාමාන කරන වෙලාවන් - සෑම දිනකම සවස 5 සිට 6 වනතුරු...