04/07/2023
බැතිමත් නෙත්වලින් ගිලිහෙන පුංචි සීගිරිය
ඓතිහාසික දිගාමඩුල්ලට සංචාරය සඳහා පැමිණෙන බහුතරයකගේ අරමුණ වී ඇත්තේ දීඝවාපිය, බුද්ධංගල හෝ රජගල වැනි ඓතිහාසික සිද්ධස්ථාන නැරඹීමය.
දිවයිනේ නන්දෙසින් දිගාමඩුල්ලට පැමිණෙන බොහෝ දෙනෙකු මගහැර යන පුරාණ විහාරස්ථානයක් තිබේ. ඒ 'පුංචි සීගිරිය'යි.
එයට ප්‍රධාන හේතුවක් වී ඇත්තේ ඉතිහාසය ගැන ලියවුණ ග්‍රන්ථවල හෝ ජනමාධ්‍යවලින් හෝ එම විහාරස්ථානයට නිසි තැන ලබා නොදීමය.
අම්පාර - මහනුවර මාර්ගයේ ගමන් කර උහන නගරය පසු කර 28 වෑරැන්කැටගොඩ හන්දියට පැමිණ, එතැනින් දකුණට හැරී කිලෝමීටර් 05ක් පමණ ගමන්කරමින් සුන්දර වෙල්යායයක් පසු කළ විට මෙම පුරාණ විහාරස්ථානය හමු වේ.
කිස්තු වර්ෂ 3 - 4, සියවස් තුළ ඉදිකර ඇති බවට සැලකෙන මෙම විහාරස්ථානය වසර 1900කට වඩා පැරණි ඉතිහාසයකට උරුමකම් කියන්නකි.
සද්ධාතිස්ස රජතුමාගේ පුත් ලජ්ජාතිස්ස කුමාරයා විසින් ප්‍රතිසංස්කරණය කළ බවට සැලකෙන මෙම පුරාණ විහාරස්ථානයේ විශේෂයක් නම් සීගිරිය හා අජන්තාවට සමාන චිත්‍ර මෙහි කුඩා පර්වතයක ඇඳ තිබීමය. පුරාවිද්‍යා ගවේෂණයන්ට අනුව, මෙම චිත්‍ර වසර 1900කට වඩා පැරණි බවට හඳුනාගෙන ඇත.
සීගිරි පර්වතයෙහි සිතුවම්වලට වඩා මෙම විහාරස්ථානයේ ඇඳ ඇති සිතුවම්වල විශේෂයක් වන්නේ, සීගිරි පර්වතයේ කාන්තා රූප පමණක් ඇඳ තිබීමත්, මෙහි පිරිමි රුවක් හා කාන්තා රුවක් ඇඳ තිබීමත්ය. පිරිමි රුව අසල නෙළුම් මල් දෙකක් ඇඳ ඇති අතර, මෙහි වී කරලක් ඇඳ තිබූ බවත්, එය මේ වන විට මැකී ගොස් ඇති බවත් විහාරාධිකාරී හිමියෝ සඳහන් කරති.
පියගැට පෙළක් පිළිබඳ සඳහන් සෙල්ලිපියක් ඇතුළු තවත් පුරාණ සෙල්ලිපි 05ක් මෙහි තිබේ. වැව් දෙකක්, ඇළක් පූජා කර, එහි මත්ස්‍ය බද්ද සහ ජලබද්ද අයිතිය විහාරස්ථානයට පවරා ඇති බව එහි සඳහන් කර ඇත.
පුරාවිද්‍යා කැණීම්වලදී මෙම ස්ථානයෙන් සඳකඩ පහණක් සහ සිදුහත් උප්පත්තිය සනිටුහන් කරමින් සකස් කරන ලද කුඩා සිරිපතුල් දෙකක් සහිත සංකේතයක් හමු වී ඇත.
දිගාමඩුල්ල පාලනය කළ බවට ඉතිහාසයේ සඳහන්, බකදය, නදසප යන ප්‍රාදේශීය පාලකයන්ගේ සහ මහින්ද නැමැති පාලකයාගේ බිරිඳගේ අනුග්‍රහයන් මෙම පුරාණ විහාරස්ථානයට ලැබී ඇති බවද සෙල්ලිපිවල සඳහන්ය.
පුංච් සීගිරිය පුරාණ විහාරස්ථානයේ විහාරාධිකාරි පුජ්‍ය බඹරවානේ සද්ධාතිස්ස හිමියන් පවසන අන්දමට, විහාරස්ථානයට අයත් වැව් මේ වන විට වෙල්යායක් බවට පත්ව ඇත. පොකුණු දෙකක් නටබුන් වී ඇති නමුත් පුරාවිද්‍යා කැණීම් සඳහා විශාල මුදලක් වැය වන බැවින්, එම කටයුතු ආරම්භ කර නොමැත.
පුරාවිද්‍යා වටිනාකමක් සහිත බවට බවට හඳුනාගෙන ඇති මෙම සිතුවම් නිසි අවධානයකට ලක් නොවීම හේතුවෙන් විනාශ මුඛයට යමින් පැවති අතර, අනාගත පරපුරට මහඟු දායාදයක් මෙන්ම, පුරාවිද්‍යාව හදාරන්නන්ට හා ඉතිහාස ගවේෂකයින්ට මහඟු පිටුවහලක් විය හැකි බවට සැලකෙන මෙම සිතුවම් සංරක්ෂණය කර දෙන ලෙස විහාරාධිපති හිමියන් දීර්ඝ කාලයක සිට බලධාරීන්ගෙන් කරන ලද ඉල්ලීම්වල ප්‍රතිඵලයක් ලෙස, පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එහි සංරක්ෂණ කටයුතු ආරම්භ කර ඇත. මෙහි ඉදිකර ඇති ඉපැරණි දාගැබෙහි සංරක්ෂණ කටයුතු අවසන් අදියරේ පවතී.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රසායනික සංරක්ෂණ අංශයේ සහකාර අධ්‍යක්ෂ (රසායන සංරක්ෂණ) ගීතානි කුරුප්පුආරච්චි මහත්මියගේ අධීක්ෂණය යටතේ පුරාවිද්‍යා පර්යේෂණ නිලධාරී ජනනි සෙනවිරත්න මහත්මිය සහ රසායන සංරක්ෂණ සහකාර කේ.ඩබ්. ප්‍රියන්ත මහතා බිතුසිතුවම් සංරක්ෂණ කටයුතු සිදු කර ඇත.
රජය සහ පුරාව්ද්‍යා දෙපාර්තමේන්තුව මෙහි වටිනාකම හඳුනාගෙන ඇතත්, දිගාමඩුල්ලේ ජනතාවවත් මේ වනතෙක් මෙහි වටිනාකම හඳුනා ගත් බවට පැහැදිලි නැත. ගල්ඔය සංවර්ධන මණ්ඩලය යටතේ ජනාවාසව වසර 70කට ආසන්න කාලයක් ගතව ඇතත්, මෙහි පුරාවිද්‍යා වටිනාකම පිළිබඳ තක්සේරුවක් ඇත්තේ අල්පයකට වීම එයට කදිම සාක්ෂියකි.
දාගැබ, රහතුන් විසින් අරියවංශ සූත්‍රය දේශනා කළ බවට සෙල්ලිපි මගින් හඳුනාගෙන ඇති ගොඩනැගිල්ල (නටබුන්ව ඇති) ගල්කණු, පොකුණු, සදකඩ පහණ, සිරිපතුල සහ ප්‍රාග් ඓතිහාසික බිතුසිතුවම් සහිත පුරාවිද්‍යා වටිනාකමක් සහිත විහාරස්ථානයක් ශ්‍රී ලාංකික සැදැහැවත් ජනයාගෙන් වසන්ව දීර්ඝ කාලයක් පැවතීම සැබැවින්ම කනගාටුදායකය.
-දිගාමඩුල්ල විශේෂ - ඩී. ඥාණසිරි හෙට්ටිආරච්චිගේ