18/05/2026
✅ මව අසනීපකින් නිදියහනේම මියගොස් ඇති බවට දියණිය පැමිණිල්ලකුත් කරලා
✅ විදෙස් ගෘහ සේවයෙන් උපයාගත් මුදල් හා රන්භාණ්ඩ ලබාගැනීමේ අරමුණින් තිරප්පනේ නගර සීමාවේ ඇතුන්ගම මංසන්ධියට ආසන්න නිවසක ජීවත් වූ 65 වියැති මවක ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් ඝාතනය වූ මවගේ 32 දෙහැවිරිදි බාල දියණිය හා ඇගේ අනියම් සැමියා බව කියන 25 වියැති තරුණයෙකු පෙරේදා (16) අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 28 වෙනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ බව තිරප්පනේ පොලිසිය පවසයි.
✅ මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ පී. පද්මලතා නැමති දෙදරු මවකි. මියගිය මවගේ බාල දියණිය හා දියණියගේ අනියම් සැමියා බව කියන තරුණයෙකු සමඟ තිරප්පනේ ඇතුන්ගම පාරේ පිහිටි නිවසේ කෙටි කලක් එකට ජීවත් වී ඇති අතර තිදෙනා අතර ඇති වූ මුදල් ආරාවුල් හේතුවෙන් මෙම ඝාතනය සිදුවී ඇති බව මූලික විමර්ශනය කළ තිරප්පනේ පොලිසිය කියයි.
✅ මියගිය මව වසර 24කට ආසන්න කාලයක් විදෙස්ගත ගෘහ සේවයේ යෙදී ඇත. ඇය විදෙස්ගතව රැකියාවේ නිරතව සිටින සමයේ බාල දියණිය විවාහපත්වීමෙන් පසු එම දියණියද විදෙස් ගෘහ සේවයේ රැකියාවකට මව විසින්
ගෙන්වාගෙන ඇත.
✅ ඒ අනුව දියණියද වසර 14කට පමණ ආසන්න කාලයක් විදෙස්ගතව සිට ඇතැයි පොලිසිය කියයි. ඒ අතරවාරයේ විවාහය අසාර්ථක වීමෙන් පසු මිතුරියක මාර්ගයෙන් කුරුණෑගල ඉබ්බාගමුව ප්‍රදේශයේ යුධ හමුදාවෙන් ඵලා ගිය සෙබලෙකු වූ මෙම සැකකාර අනියම් සැමියා බව කියන තරුණයා සමඟ සමීපව ඇසුරු කරන්නට පටන්ගෙන ඇති බවද පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.
✅ පසුව මීට මාස 03කට පමණ ඉහතදී දියණිය මෙරටට පැමිණීමෙන් පසු වළගම්බාහුව පයින්ඩිකුලම ගම්මානයේ ඇගේ පුංචිඅම්මා කෙනෙකුගේ නිවසේ සිටින අතර වාරයේ දියණියට හා අනියම් සැමියා වූ තරුණයාට තිරප්පනේ නිවසට පැමිණ ජීවත් වන්නට පැමිණෙන්නැයි මියගිය මව ආරාධනා කර ඇතැයිද පොලිසිය කීය. ඒ අනුව ඉකුත් අප්‍රේල් 10දා හෝ ඊට ආසන්න දිනක ඔවුන් දෙදෙනා එම නිවසට පැමිණ ඇති අතර එදා පටන් තිරප්පනේ නිවසේ එකට ජීවත් වී ඇත. මේ අතරවාරයේ නිවස වටා තාප්පයක් ඉදිකිරීමේ කටයුතු ආරම්භ කර ඇති අතර එහි අත්වැඩකරුවකු ලෙසද මෙම සැකකාර තරුණයා වැඩකර ඇති බව සඳහන් වේ. මෙලෙස එක නිවසේ ජීවත් වන අතරවාරයේ මෙම තිදෙනා අතර නිතර නිතර ආරවුල් හටගෙන ඇතැයිද පොලිසිය කියයි.
✅ පසුව ඉකුත් මැයි 11දා දියණියගේ අනියම් සැමියා හට තම නිවසින් පිටවන ලෙසට මියගිය මව පවසා ඇති අතර ඔහු තමන්ගේ ගම වූ ඉබ්බාගමුවට යන බව පවසා පයින්ඩිකුලම දියණියගේ පුංචිඅම්මාගේ නිවසට ගොස් ඇති බවත්, ඊට පසු දින සැකකාර දියණියද විදෙස්ගතවීමට අවශ්‍ය ගමන් බලපත්‍ර සකසා ගැනීම සඳහා පුංචිඅම්මාගේ නිවසට යන බව පවසා නිවසින් පිටව ගොස් ඇති බවත් පොලිස් පරීක්ෂණව දී අනාවරණය වූ බව පොලිසිය පවසයි.
✅ ඉන් අනතුරුව 12 වන දින රාත්‍රි 7.00 ට පමණ කුලී ත්‍රීරෝද රථයකින් පයින්ඩිකුලම සිට තිරප්පනේ නිවසට දියණිය පැමිණ ඇති අතර අනියම් සැමියාද තිරප්පනේ අවන්හලකින් මත්පැන් පානය කර එදින රාත්‍රියේම නිවසට ඇතුළු වී මෙම ඝාතනය සිදු කර ඇති බවට මූලික පරීක්ෂණවලදී අනාවරණය වූ බව තිරප්පනේ පොලිසිය පැවසීය. ඝාතනයෙන් පසු මෙම යුවල බස් රථයකින් දඹුල්ල ප්‍රදේශයට ගොස් එම ප්‍රදේශයේ හෝටලයක ලැගුම් ගෙන සිට ඇති බවද පොලිසිය කීය.
✅ පසු දින මවට දුරකථන අමතුමක් ලබාදී ප්‍රතිචාර නොමැති නිසා නිවසට පැමිණ බැලීමේදී මව අසනීප තත්වයකින් නිදියහන මත මියගොස් ඇති බවට දියණිය විසින් තිරප්පනේ පොලිසිය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති බව සඳහන් වේ. ඒ අනුව තිරප්පනේ පොලිස් ස්ථානාධිපතිප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.ඩී.එස්.කේ.පී. ජයතිලක මහතාගේ උපදෙස් මත පොලිස් නිලධාරීන් යොදවා විමර්ශනය කිරීමේදී පවුලේ ඥාතීන් ලබාදුන් සාක්ෂි පරස්පරවීම හේතුවෙන් මෙය සැකකටයුතු මරණයක් බැව් සැක පහලවීමත් සමඟ අනුරාධපුර අධිකරණ වෛද්‍යවරයා වෙත යොමු කිරීමට පියවර ගෙන තිබිණ.
✅ පසුව පශ්චාත් මරණ පරීක්ෂණයේදී ශරීරයේ කොටස් වැඩිදුර විමර්ශනය සඳහා රජයේ රස පරීක්ෂක වෙත යොමු කිරීමට පියවර ගෙන තිබිණි. පසුව අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේ මහේස්ත්‍රාත්වරයාද ස්ථානීය පරීක්ෂණයක් සිදු කළ බව පොලිසිය කීය. මෙම සිද්ධිය පිළිබඳ ප්‍රදේශයේ සී.සී.ටී.වී. ආරක්ෂක කැමරා පද්ධති පරීක්ෂා කරමින් පුළුල් විමර්ශනයක් දියත් කර තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට පොලිසිය සමත් වී ඇත.
✅ පසුව ඉකුත් 15 වන සිකුරාදා මියගිය කාන්තාවගේ අවසන් කටයුතු තිරප්පනේ පොදු සුසාන භූමියේදී සිදු කළ අතර දේහය නිවසින් රැගෙන යනවාත් සමඟම දියණිය, ඇගේ අනියම් සැමියා හා පුංචිම්මා සැකපිට පොලිසිය මගින් අත්අඩංගුවට ගැනිණි. පසුව කළ විමර්ශනවල දී මියගිය අය ළඟ තිබූ රුපියල් ලක්ෂ 10ක් හා රත්‍රං බඩු ඝාතනයට පෙර ලබාගෙන ඇති බව හා මෙලෙස මුදල්, රන් භාණ්ඩ ලබාගෙන විදෙස්ගත වීමේ අරමුණින් මෙම ඝාතනය සිදු කළ බවට යුවළ පාපොච්චාරණය කළ බව තිරප්පනේ පොලිසිය පැවසීය.
✅ තිරප්පනේ පොලිස් ස්ථානධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.ඩී.එස්.ආර්.කේ. ජයතිලක මහතාගේ මූලීකත්වයෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක සුසිල් ප්‍රියන්ත, කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂක කේ. විජේකෝන්, පොලිස් සැරයන් දිසානායක (66503), ලක්ෂ්මන් (26378), හේරත් (51602), එදිරිසිංහ (7854), ධනපාල (52211), පොලිස් කොස්තාපල් පානබොක්කේ (81205), කාන්තා පොලිස් සැරයන් ප්‍රියදර්ශනී (2833), නයනා (2428), කාන්තා පොලිස් කොස්තාපල් නදීකා (8450) යන නිලධාරීන්ගෙන් සැදුම්ලත් පොලිස් කණ්ඩායමක් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.
✅ facebook වෙතින් උපුටා ගන්නා ලදි.