30/05/2025
එක්තරා රටක රජතුමෙක් පුරුද්දක් ලෙස හැම අවුරුද්දකම රට වැසියන්ට දානයක් දෙනවා. දවසක් දානෙ දෙන දවස උදාවුනා.
සේවකයො දානෙ පිළියෙළ කරන වැඩ පටන් ගත්තා.
දානය පිළියෙළ කරන තැනට කිට්ටුව පොඩි කැළයක් තිබුණා. ඒ කැළේ නයෙක් මරණාසන්නව කැළෙන් එළියට එද්දිම මැරුණා. මේ නයාව රාජාළියෙක් දැකල ඇවිත් ඩැහැගෙන පියාඹගෙන යද්දී, නයාගෙ කටින් විෂ බින්දු කීපයක් දානෙට ලෑස්ති කරන භාජනේකට වැටුණා.
දානෙ ලෑස්තිකරල ඉවර වුණු ගමන් මුලින්ම රජතුමා ඇවිත්, රජතුමාගෙ අතින් පළවෙනියට දානෙ බෙදල දුන්න. ඒ දානෙ වළඳපු කෙනා, නයාගෙ විෂ කළවම් වෙලා තිබුණු කෑම කාපු ගමන් එතනම මැරිල වැටුණා.
රජතුමා කම්පාවෙලා බොහොම දුක් වුණා. එතනින්ම ඒ දානය නතර කලා.
මේ මරණය යම ලෝකෙට වහාම වාර්ථා වුනහම, දැන් මේ මරණයට හේතු වුණු කෙනාගෙ නමට පව ලියන්න යමලෝකෙ ලියන මහත්තයට භාර වුණාට, පව ලියන්නෙ කාටද කියන ගැටළුව මතු වුණා. නයා මැරිල හිටපු නිසා, මේ පව නයාගෙ පොතට ලියන්න බෑ! විෂ භාජනේට වැටුනු බව රාජාලියාත් දන්නෙ නැති නිසා, රාජාලියාට ලියන්නත් බෑ! රජතුමා මේ දානෙ දෙන්න මූලික වුණත්, රජතුමාත් දන්නැති නිසා එයාගෙ නමට දාන්නත් බෑ!
ලියන මහත්තයා දැන් හෙන අවුලෙන් නිසා, පව් - පිං පොතත් අරන් යම රජ්ජුරුවො හම්බ වෙලා අකරතැබ්බය කිව්වා.
යමයත් පොඩ්ඩක් අවුල්වෙලා වගේ උන්නා. ටිකක් කල්පනා කරපු යමය ලියන්නට කිව්වා..,
"උඹ ඕක ඔය පොතේ පැත්තකින් ලියාගෙන, ඕක Auto Alarm එක සෙට් කරල තියපං, අපිට ඔය පව ලියන්න නමක් හම්බෙයි!"
ඔය විදිහට අවුරුද්දකුත් ගෙවුණා. අර රජතුමා ආපහු දානෙ දෙන්න ලෑස්ති කලා. අසල්වැසි රටකින් ආපු කට්ටියකට රජතුමාගෙ දානමය පිංකම ආරංචි වෙලා, දානෙ දෙන තැන හොයාගෙන යද්දී, අතරමඟ වෙළඳාමේ යෙදිල උන්නු වට්ටි අම්ම කෙනෙක් දැකල, දානෙ දෙන තැනට යන පාර ඇහුවා.
"අපෝ.! ඔයාල වහ දාල දානෙ දෙන රජාගෙ දානෙ කන්නද යන්නේ.?"
කියල අර කට්ටියව බය කරල යැව්වා.
වට්ටි අම්ම එහෙම කියන කොට, යම ලෝකෙ පව් - පිං පොතේ Alarm එක වදින්න ගත්තා. ඒක ඇහුන ලියන්නා, පව් - පිං පොතත් උස්සන් යම රජ්ජුරුවො ළඟට දිව්වා.
"ඕං ඔය වට්ටි අම්මගෙ නමට අර පව දාපං! මෙලෝ දෙයක් දන්නෙ නැතුව කෙනෙකුට දොස් කිව්වයි කියල ලියාගනින්!"
කියල යම රජ්ජුරුවෝ අණ කලා.
ඕපාදූප කතා කිරීමෙන් වළකින්න!!