21/08/2026
පාර්ලිමේන්තුවේ ක්‍රියාපටිපාටි ගැනවත් දන්නැතුවද නීතීඥ සංගමය ව්‍යවස්ථා සංශෝධන ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් දෙන්න එන්නේ?
නීතීඥ සංගමයට නීතිය ගැන කතා කරන්න අයිතිය තිබේ. ව්‍යවස්ථාව ගැන තම මතය ඉදිරිපත් කිරීමටත් අයිතිය තිබේ. ඒ ගැන කිසිවෙකුට ප්‍රශ්නයක් නැත.
නමුත් ප්‍රශ්නය තිබෙන්නේ වෙනත් තැනකය.
පාර්ලිමේන්තුවේ කටයුතු සම්බන්ධයෙන් නිල වශයෙන් වගකිව යුතු නිලධාරීන් සිටියදී, නීතීඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ව්‍යවස්ථා සංශෝධන පිළිබඳ උපදෙස් ලබාදීමට මැදිහත් වන්නේ මෙසේද? ක්‍රියාපටිපාටි ගැන දැනුවත් නැති ආකාරයටද?
පාර්ලිමේන්තුවේ කථානායකවරයා සිටී. සභානායකවරයා සිටී. පාර්ලිමේන්තුවේ මහලේකම්වරයා සහ එහි නිලධාරී මණ්ඩලය සිටී. පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් ව්‍යවස්ථාමය හා පාර්ලිමේන්තු රාමුවක් තිබේ.
එසේ නම් පාර්ලිමේන්තුව සම්බන්ධ කරගැනීමට අවශ්‍ය වූ විට, විපක්ෂ නායකවරයා හරහා පාර්ලිමේන්තුවට පැමිණීමට උත්සාහ කරන්නේ ඇයි?
මෙය විපක්ෂ නායකවරයාට එරෙහි ප්‍රශ්නයක් පමණක් නොවේ. මෙය නීතීඥ සංගමයට එරෙහි ප්‍රශ්නයක් පමණක්ද නොවේ.
මෙය පාර්ලිමේන්තුවේ ස්වාධීනත්වය සහ ක්‍රියාපටිපාටිය පිළිබඳ ප්‍රශ්නයකි.
පාර්ලිමේන්තුව තුළ කටයුතු සිදුකරන නිශ්චිත ක්‍රමවේදයක් තිබේ. ඕනෑම බාහිර සංවිධානයකට පාර්ලිමේන්තුවට පැමිණ, තමන්ට අවශ්‍ය මාර්ගයකින් මන්ත්‍රීවරුන් සම්බන්ධ කරගෙන, ව්‍යවස්ථාදායක ක්‍රියාවලිය පිළිබඳ උපදෙස් දීමට හැකි නම්, එය බරපතළ ලෙස සාකච්ඡා කළ යුතු කරුණකි.
අද නීතීඥ සංගමය එසේ කරයි නම්, හෙට වෙනත් වෘත්තීය සංගමයක් එසේ කරනු ඇත. අනිද්දා වෙනත් බලපෑම් කණ්ඩායමක් එසේ කරනු ඇත.
එවිට ප්‍රශ්නය වන්නේ “පාර්ලිමේන්තුවේ තීරණ ගන්නේ කවුද?” යන්නයි.
ජනතාව විසින් තෝරා පත්කරන ලද මන්ත්‍රීවරු පාර්ලිමේන්තුව තුළ නීති සම්පාදනය කරති. ඔවුන්ට විශේෂඥයන්ගෙන් උපදෙස් ලබාගැනීමට කිසිදු තහනමක් නැත. නීතීඥ සංගමයටද තම නීතිමය මතය ඉදිරිපත් කිරීමට අයිතිය තිබේ.
නමුත් උපදෙස් ලබාදීම සහ පාර්ලිමේන්තු ක්‍රියාදාමයට මැදිහත් වීම අතර සීමාවක් තිබිය යුතුය.
ඒ සීමාව පැහැදිලි නොකර, “අපි නීතීඥයන් නිසා අපි කියන දේ පිළිගත යුතුයි” යන ආකාරයේ තත්ත්වයක් ඇති කිරීමට කිසිදු ආයතනයකට අයිතියක් නැත.
තවත් ප්‍රශ්නයක් තිබේ.
පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිය සම්බන්ධයෙන් සැබෑ ගැටලුවක් තිබුණේ නම්, ඒ ගැන පාර්ලිමේන්තුවේ කථානායකවරයාගෙන්, සභානායකවරයාගෙන් හෝ පාර්ලිමේන්තුවේ අදාළ නිල ක්‍රමවේදයෙන් කරුණු විමසීමට නොහැකි වූයේ ඇයි?
එසේ නොකර විපක්ෂ නායකවරයා හරහා පාර්ලිමේන්තුව සම්බන්ධ කරගැනීමට උත්සාහ කිරීමෙන් මතුවන ප්‍රශ්නවලට පැහැදිලි පිළිතුරක් අවශ්‍යය.
මෙය කිසිසේත්ම “නීතීඥයන්ට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන්ට කතා කරන්න බැහැ” යන තර්කයක් නොවේ.
කතා කරන්නට අදහස් දෙන්නට නීතිමය මත ඉදිරිපත් කරන්නට හැකිය...
ඒ සියල්ල නීතිමය විග්‍රහයන්ය.
නමුත් පාර්ලිමේන්තුව කටයුතු කළ යුතු ආකාරය තීරණය කිරීම පාර්ලිමේන්තුවේ අභ්‍යන්තර ක්‍රියාදාමයට අදාළ කරුණකි.
එය නීතීඥ සංගමයකට හෝ වෙනත් කිසිදු බාහිර සංවිධානයකට අත්පත් කරගත හැකි බලයක් නොවේ.
අද අපි මේ ප්‍රශ්නය නොඅසන්නේ නම්, හෙට පාර්ලිමේන්තුවේ බලය පිළිබඳ තවත් විශාල ප්‍රශ්නයක් මතුවිය හැකිය.
ජනතාව ඡන්දය දී පාර්ලිමේන්තුවක් පත් කරන්නේ පාර්ලිමේන්තුවෙන් රට පාලනය කිරීමටය. වෘත්තීය සංගම්වලින් පාර්ලිමේන්තුව පාලනය කිරීමට නොවේ.
ඒ නිසා නීතීඥ සංගමය ඇතුළු ඕනෑම සංවිධානයක් තම මැදිහත්වීමේ සීමාව පැහැදිලිව දැනගත යුතුය.
කථානායකවරයා සිටියදී කථානායකවරයාගේ මාර්ගය නොගෙන වෙනත් දේශපාලන මාර්ගයක් හරහා පාර්ලිමේන්තුව සම්බන්ධ කරගන්නේ ඇයි?
සභානායකවරයා සිටියදී ඔහුගේ භූමිකාව නොසලකා හරින්නේ ඇයි?
පාර්ලිමේන්තුවේ නිල ක්‍රියාපටිපාටිය තිබියදී එය හරහා නොගොස් වෙනත් මාර්ග සොයන්නේ ඇයි?
මේ ප්‍රශ්නවලට රටට පැහැදිලි පිළිතුරක් අවශ්‍යයි.
මොකද මෙතැන තියෙන්නේ නීතීඥ සංගමයක් සහ දේශපාලනඥයන් අතර ඇති සාමාන්‍ය සම්බන්ධතාවයක් ගැන ප්‍රශ්නයක් නොවේ.
මෙතැන තියෙන්නේ “පාර්ලිමේන්තුවේ කටයුතු මෙහෙයවන්නේ කවුද?” යන මූලික ප්‍රජාතන්ත්‍රවාදී ප්‍රශ්නයයි.
නීතිය පිළිබඳ උපදෙස් දෙන්නට, ව්‍යවස්ථාව පිළිබඳ විග්‍රහ කරන්නට,මන්ත්‍රීවරුන්ට තම නීතිමය මතය කියන්නට පුළුවන...
නමුත් ව්‍යවස්ථා සංශෝධන ගැන පාර්ලිමේන්තුවේ උගන්වන්න එන්නට පෙර, අවම වශයෙන් පාර්ලිමේන්තුවේ ක්‍රියාපටිපාටිය ගැන තමන්ට තිබෙන අවබෝධය රටට පෙන්විය යුතුය.
තවත් බරපතළ කාරණයක් මෙහිදී මතු වේ.
පසුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කළ විට, එය “තර්ජනයක්”, “මර්දනයක්” හෝ “නීතීඥ වෘත්තියට එල්ල කරන බලපෑමක්” ලෙස හුවා දැක්වීමට උත්සාහ කිරීම විහිළුවකි...
මන්ත්‍රීවරයෙකු මේ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීම තර්ජනයක් ද?.
මන්ත්‍රීවරයෙකු යම් සංවිධානයක හෝ මන්ත්‍රීවරයකුගේ ක්‍රියාකලාපය ප්‍රශ්න කිරීම තර්ජනයක් නොවේ.
නීතීඥ සංගමයකට තම මතය ප්‍රකාශ කිරීමට අයිතිය තිබෙනවා සේම, එම මතය සම්බන්ධයෙන් දේශපාලනඥයන්ට ප්‍රශ්න කිරීමටත්, විවේචනය කිරීමටත්, කරුණු විමසීමටත් අයිතිය තිබේ.
විවේචනයට පිළිතුරු දීමට නොහැකි වූ විට “තර්ජනයක්” යැයි කීම ඉතා පහසුය. එහෙත් එය ප්‍රජාතන්ත්‍රවාදය නොවේ.
ඇත්තටම තර්ජනයක් තිබේ නම් එය කුමක්දැයි පැහැදිලිව පෙන්විය යුතුය. තර්ජනයක් තිබේ නම් එය කුමන වචනයෙන්ද, කුමන ක්‍රියාවෙන්ද සිදුවූයේ යන්න පැහැදිලි කළ යුතුය.
එසේ නොකර, “අපි එන එක ප්‍රශ්න කළා, ඒ නිසා අපට තර්ජනය කළා” යන සරල තර්කයකට මාරු වීමෙන් සිදුවන්නේ මහජන සංවාදයම වසා දැමීමකි.
විශේෂයෙන්ම පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් යම් ආයතනයක ක්‍රියාකලාපයක් ගැන ප්‍රශ්න කිරීම ඔවුන්ගේ දේශපාලන වගකීමේම කොටසකි. එය වැළැක්වීමට “මර්දනය”, “තර්ජනය”, “බියගැන්වීම” වැනි වචන භාවිත කිරීමෙන් කිසිවෙකුට තමන් විවේචනයට ඉහළින් සිටින බව තහවුරු කරගත නොහැකිය.
නීතීඥ සංගමයට ප්‍රශ්න කළ නොහැකි දේශපාලනික ශුද්ධ භූමියක් තිබිය නොහැක. එසේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද ප්‍රශ්න කළ නොහැකි සංවිධානයක් තිබිය නොහැක. ප්‍රජාතන්ත්‍රවාදය යනු එක් පාර්ශ්වයක් කතා කිරීමත් අනෙක් පාර්ශ්වය නිහඬව සිටීමත් නොවේ. කෙනෙකුට අදහස් දැක්වීමට ඇති අයිතියට සමානව, තවත් කෙනෙකුට ඒ අදහස ප්‍රශ්න කිරීමට ඇති අයිතියද ආරක්ෂා කළ යුතුය.
ඒ නිසා නීතීඥ සංගමය පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් දෙන්නේ නම්, එම උපදෙස් පිළිබඳ ප්‍රශ්න ඇසීමට මන්ත්‍රීවරුන්ටත් අයිතිය තිබේ.
ඒ ප්‍රශ්නවලට පිළිතුරු දෙනවා වෙනුවට ඒවා “තර්ජන” ලෙස හංවඩු ගැසීමට උත්සාහ කරන්නේ නම්, එය විහිළු සහගතය...
මේ රටේ කිසිදු වෘත්තීය සංගමයක් පාර්ලිමේන්තු ක්‍රියාපටිපාටිවලට ඉහළින් නැත. කිසිදු දේශපාලනඥයෙකුද ඒවාට ඉහළින් නැත.
මේවා දකින අපිට අසන්නට ඇත්තේ නීතීඥ සංගමය ව්‍යවස්ථා සංශෝධන ගැන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට උපදෙස් දෙන්න එන්නේ පාර්ලිමේන්තුවේ ක්‍රියාපටිපාටි ගැනවත් දන්නැතුවද කියාය...