13/09/2025
මාතලේ ගලේවෙල ගැන සුන්දර හැදින්වීමක් 🌱
" කතාකරන ගලෙන් උපත ලද ගලේවෙල "
කතාකරන ගලෙන් උපත ලද ගලේවෙල
මධ්‍යම පලාතේ මාතලේ දිස්ත්‍රික්කයේ දඹුල්ල මැතිවරණ කොට්ඨාසයේ කන්දපල්ල කොරලේ අංක ඊ 432 ග්‍රාම නිලධාරි වසමේ පිහිටි ගලේවෙල ගමට මායිම්වන්නේ උතුරින් දඹවටවන ගමද දකුණින් මීගහකොටුව ගමද නැගෙනහිරින් නබඩගහවත්ත ගමද බස්නාහිරින් පත්කොළගොල්ල ගමයි.
සොබා සෞන්දර්යයෙන් අනූන ගලේවෙල පැරණිතම නගරයකි. මෙය නගරයක් බවට පත්වූයේ බ්‍රිතාන්‍ය යුගයේය. එකල ගැල් මගින් බඩු ප්‍රවාහනය කොලඹ, අනුරාධපුර, පොලොන්නරුව, මාතලේ, මහනුවර ආදී ප්‍රදේශවලට කිරීමේදී ගලේවෙල කඩමණ්ඩිය ප්‍රසිද්ධ නවාතැන්පොළක් විය. ගාල්කරුවන් නැවතී ගිමන් හැර ගලේවෙලින් නැවත ගමන් ඇරඹීම සිරිතක් විය.
ජනප්‍රවාදයට අනුව වෙල්යායක් මැද පිහිටි ගලක් නිසා වෙලේගල පසුව ගලේවෙල විය. එම ගල අදද දක්නට ඇත. සුළගින් හා කතාකරන හඩින් දෝංකාරය දෙන නිසා මෙම ගලට කතාකරන ගල යයි ජනයා අතීතයේ ආමන්ත්‍රණය කර ඇත. සීතාවක නම් වැද්දා වළගම්බා රජුට කරන ලද ගරු සැලකිලි නිසා ඔහු ගැන පැහැදී රණවීර වනසිංහ මුදියන්සේලාගේ වන්නිනායක යන විරුදාවලිය සමග ගලේවෙල නමින් ගම්වරය දී ඇත. ඉහත කී සීතාවක නම් වැද්දා විසින් වළගම්බා රජුට දඹුලු ලෙන් පෙන්වා දුන් බවද පොත පතෙහි සදහන් වෙයි. වර්තමානයේ ගලේවෙල ගම් ගණනාවකින් සමන්විත ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයකි. ගලේවෙල නගරයට සැතපුමක පමණ දුරින් ගලේවෙල මාතලේ මහා මාර්ගයේ පිහිටි බම්බාව ඓතිහාසික වටිනාකමකින් යුත් ස්ථානයකි. බම්බාව ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන ඉතිහාසයක් ඇති ස්ථානයකි. ජනප්‍රවාදයට අනුව කුවේණියගේ පියා වූ බම්බා රජු විසූ ප්‍රදේශය බම්බාවයි. බම්බා රජුගේ සොහොයුරෙක් වන හොම්බා රජු පාලනය කළ ප්‍රදේශය හොම්බාව නමින් ප්‍රසිද්ධ විය. කුවේණිය උපන් ප්‍රදේශයද බම්බාවය. ඒ බව මාතලේ වත ගොත සගරාවේ මෙසේ සදහන් කරයි. ප්‍රාග් ඓතිහාසික යුගයේ පටන්ම මාතලේ ප්‍රදේශය ගැන ඉතිහාසයේ සදහන් වෙයි. කුවේණිය පුවත ගත් කල විජය රජුගේ සමය ගැන ඉතිහාසයේ බැදෙයි. ගලේවෙල බම්බාව ඇගේ නිජබිම වී යැයි පැවසෙන ජනකතා මාතලේ ඇත. බම්බාව කුවේණියගේ පියා වන බම්බා රජතුමාගේ වාස භූමියයි. එසේ ප්‍රසිද්ධියට පත් බම්බාව වළගම්බා රාජ සමයේ විහාරයක් කරවන ලදින් එය බම්බා විහාරය නමින් ප්‍රසිද්ධ විය. භාතිය රජු විසින් වළගම්බා විහාරය කරවා නිලගම නීලගිරි තෙරුන්ට පුද කළ බැව් පැරණි කඩඉම් පොතක සටහන් වෙයි. වළගම්බා යුගයේදී ආරම්භ කල මෙම විහාරයේ කටයුතු අඩාළව පැවතුන බවත් පසුව භාතිය රජු විසින් නිම කරන ලද බවත් සිතිය හැක. එයින් පසු මහනුවර යුගයේ කීර්ති ශ්‍රී රාජසිංහ රජු දක්වා බම්බා විහාරය ගැන කිසිවක් සදහන් නොවේ. අස්ගිරි මහා විහාරධිපතිව වැඩ විසූ ගරුතර උරුලෑවත්තේ ශ්‍රී ධර්ම සිද්ධි මහ නාහිමියෝ බම්බා විහාරය වැඩිදියුණු කිරීමට උනන්දු විය. පස් පිළිමගෙය,සංඝාවාසය ආදිය ඉදිකරවා ඒ පුවත මහනුවර රජවාසලට දැන්වූහ. කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා සතුටට පත්ව බම්බා ගම්මානය සගසතු කරන ලදී. පෝද්දලගොඩ පේමානන්ද හිමියෝ දර්ශනීය සීමා මාලකයක් ගොඩ නැංවූහ. ඒ නිසා මෙකල බම්බා විහාරය අංගසම්පූර්ණ පවත්නා බව කිව හැක. බම්බා විහාරය වෙත ජනයා බෙහෙවින් රැස්වෙන්නේ එහි ඇති දේවතා බණ්ඩාර හා ගලේ බණ්ඩාර දේවාවලට බාරහාර වීමට හා බාර ඔප්පු කිරීම සදහාය.
උපුටා ගැනීම
ඩබ්.එම්.විජේරත්න
මප/මා/ග/සිල්වත්ගල මහා විදුහල
හිටපු විදුහල්පති තුමාගේ ලිපියකින් ...
(Page එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා)