20/02/2026
නි,වන් සුව ලැබේවා පැටියෝ.. 😥‼️
දයාබර අම්මේ තාත්තේ..
ඔබේ හුරතල් පුතා දුව ඔබේ ඇස් මානයේම තබා ගන්න.
අඩුම තරමින් අවුරුදු පහක් වත්
යන්තමින් තම ආරක්ෂාව ගැන
තේරෙන වයසට එනතුරුවත්
ඇස් මානයෙන් පිටට නොයවන්න.
" ඇහේ තියන් දරුවන් හදන්න "
නැතිනම් ඒ ඇස් වලට දරාගන්න
බැරිවෙයි දරුවකුගේ වෙන්වීමේ දුක...!
අද දහවල් මට රෝහලෙන් එන ඇමතුමකි ,
" අයියේ අවුරුද්දක බබෙක් කරන්ට් වැදිල ඇවිත් , ට්‍රාන්සර් එකක් ,
සිහිය නෑ ගේනකොටත් ! ? "
තරුණ වෛද්‍යවරයාගේ කටහඩත් වෙව්ලන හැටි මට දැනෙයි.
" මල්ලි , හාර්ට් එක කොහොමද ? "
" අයියේ මට හාර්ට් බීට් එක ඇහෙන්නේ නෑ "
විනාඩි දෙකක් පමන යනවිට මම හදිසි ප්‍රතිකාර ඒකකයේය . යනවිටත් වෛද්‍යවරුන් හෙදියන් ඇදක් වටා වටවීගෙනය
අසරණ මවක් අසල ඉදගෙන අඩමිනි.
" අනේ මහත්තයෝ විනාඩියකට මම කුස්සියට ගිය ටිකට පුතා කරන්ට් වයර් එක අල්ලගෙන වැටිල හිටිය "
" ඇයි ගෙදර ට්‍රිප් ස්විච් එක off වෙලා නැද්ද ? "
" නෑ .මම තමයි කරන්ට් එක off කරල ලමයාව වඩා ගත්තේ , එතකොටත් කරන්ට් වයර් එක අතේ ගුලි කරගෙන හිටියෙ , අනේ මගේ පොඩි පුතා. අනේ බෙිරල දෙන්න මහත්තයෝ "
රෝහල දෙවනත් වන්නට අම්මා කෑගසයි.
මම දරුවා අසලට ගියෙමි. මේ මගේ පුතාල දෙන්නා ඒ වයසේ වැනි හුරුබුහුටි දරු පැටියෙකි. තොල් සහ ඇගිලි නිල් පැහැතිය. කටින් මව් කිරි වෑස්සේ.
ළමා රෝග විශේෂඳ වෛද්‍යවරිය ඇතුළු ළමා වාට්ටුවේ සියළු වෛද්‍යවරුන් ඊලග මිනිත්තු කිහිපයේදි හදිසි ප්‍රතිකාර අංශයේය. අවැසි සියළු හදිසි ප්‍රතිකාර ඇරඹින.
හෘද මසාජ් දිගටම ක්‍රියාත්මකය. සියළු උත්සාහය හෘදය නැවත පණ ගැන්වීමටය. වරින් වර මම දරුවාගේ හෘද ස්පන්දනය වෙදනලාව පපුවට තියා බැලුවෙමි. වෙදනලාව ගොළුය.
සියළු උත්සාහයන් ව්‍යවර්ථ කරමින් දරු පැටියා මෙලොවින් සමුගත්තේය.
මේ පණිවිඩය මෙය කියවන සියළුම අම්මලාටත් තාත්තලාටත්ය..
නිවසේ විදුලි පරිපථ දෝෂ සියල්ල වහා විසදන්න. කිසිදු විදුලි වයරයක් එලියට නිරාවරණය කර නොතබන්න. විදුලි ප්ලග් දරුවන්ට ඇගිලි ගැසිම වලක්වන පරිදි ආවරණය කර තබන්න. ගුවන්විදුලි රූපවාහිනිවල වයර් සහ දුරකථන චාජර් වල වයර් වල හානි ඇතිවිට ඒවා අලුත් කරන්න නැතිනම් ආවරණය කරන්න.
නිවසේ ට්‍රිප් ස්විචය සතියකට සැරයක්වත් නිවැරදිව ක්‍රියාකරන්නේදැයි පරීක්ෂා කර බලන්න.එසේ නොමැති නම් වහා විදුලි කාර්මිකයකු ගෙන්වා ඒවා පරික්ෂා කර නිවැරදි කරන්න.
සැමවිටම ඔබේ දරුවා ඔබේ ඇස් මානයෙන් පිටතට නොයවන්න !!
ඔබට ඉවතට යන්නට වෙනවා නම් තවත් තේරුමක් ඇති අයකුට එම වගකීම පවරා යන්න
මෙවන් අකල් ම,රණ වලක්වාගත හැකිව තිබූ ඒවාය. මේ දුක ජීවිත කාලය තුලම වරදකාරී හැගිමක් ලෙස ඔබව සදාකල් පීඩාවට පත්කරනු ඇත.
වෛද්‍ය රසික සඳරුවන් කුලතිලක.
උපුටා ගැනීමකි.