09/09/2025
ගිහියකු විසින් සපයාගත යුතු සතර මහා නිධානය...
බුදුරජාණන් වහන්සේ සිඟාලෝවාද සූත්‍රයෙහි දී පුද්ගලයකු උපයන දෙය කොටස් හතරකට කඩා හතර වැනි කොටස නිදන් කළ යුතු බව දක්වයි. නිධිකණ්ඩ සූත්‍රය තුළ දී උන්වහන්සේ පුණ්‍ය නිධානයක් පිළිබඳ ව දිගු විස්තරයක් කරති.
බුදුරජාණන් වහන්සේ ගිහියකු විසින් සතර මහා නිධානයක් සපයා ගත යුතු බව දේශනා කරති. එම නිධාන හතර නම් ථාවර, ජංගම, අංගසම, හා අනුගාමික නිධානයි.
1.ථාවර නිධාන ලෙස දක්වන්නේ පුද්ගලයා ගොඩනඟා ගන්නා ගෙවල් දොරවල් හා හරිහම්බ කර ගන්නා වතුපිටි ඉඩකඩම් ය.
2.ජංගම නිධාන වශයෙන් දක්වන්නේ එහෙ මෙහෙ රැගෙන යා හැකි සම්පත් ය. මිල මුදල්, ආභරණ, මුතු මැණික් ආදි වස්තු හා යාන වාහන යි.
3.අංගසම නිධානය යනු අප ගොඩනඟා ගන්නා දැන උගත්කම් ය. දැනුම ලබා ගැනීම යි. තම වෘත්තියට හෝ රැකියාවට අවශ්‍ය පුහුණුව ලබා ගැනීම යි.
4.අනුගාමික නිධාන යනු අප විසින් අපගේ සිත කය වචනය යන තිදොර මෙහෙයවා සිදු කරන යහපත් කටයුතුවල ප්‍රතිවිපාක යි. එය පුණ්‍ය නිධානය ලෙස දක්වයි. අනුගාමික නිධානය මේ භවයට පමණක් නොව, පසු භවයට පමණක් නොව, භව සංසාරය පුරාවට පුද්ගල දියුණුව ඇති කරයි. ගිහියකු විසින් මෙම නිධාන රැස් කර ගත යුතු බව බුදු දහම දක්වයි. බුදු දහම තුළ දක්නට ලැබෙන සතර මහා නිධානය මෙයයි.
බුදුදහම කිසිවිටෙකත් කිසිවකු විසින් තැන්පත් කළ දේ තමන් සතු කර ගත යුතු යැයි නො කියයි. අනුන්ගේ දේට ලොබ බැ¼දීම, එය තමන්ට අයිති කර ගැනීමට සිතීම, ඒ සඳහා යම් යම් උපක්‍රම යෙදීම, එය තමා සන්තක කර ගැනීම සොරකමකි. එසේ ම මෙම නිධානයන් ප්‍රාර්ථනා කිරීමෙන් නො ලැබෙයි. යාඥා කිරීමෙන් නො ලැබෙයි. වාසනාවට නො ලැබෙයි. මෙම නිධානයන් ලබන්නට හැකි වන්නේ විමර්ශනය, ප්‍රඥාව, වීර්යය තුළිනි.
වණ්ණුපථ ජාතකයෙහි දී නිරුදක කාන්තාරය තුළ ජලය ලබන්නේ මේ ක්‍රමවේද තුළිනි.
සතර මහා නිධානය අවශ්‍ය වන්නේ ජීවිතයට සතුට එකතු කර ගන්නට යි. ජීවිතයේ අරමුණු ඉටු කර ගන්නට යි. අපට අරමුණු තුනක් වෙයි. ලෞකික දියුණුව, පාරලෞකික සතුට, ගමන නතර කරන විමුක්තිය යනු ඒ අරමුණු වෙයි.
බුදු දහම පරලොව ගැනම කියන දහමක් නොවෙයි. එහි මූලික අරමුණ මෙලොව දියුණුවයි. ඒ සඳහා නිධාන තුනක් ම වෙයි. ථාවර, ජංගම, අංගසම නිධාන තුන තුළින් ම ලෞකික ජීවිතයේ සංවර්ධනය කියාපායි. මෙම නිධාන තුන තිබේ නම් මෙලොව සතුට ලැබෙයි. එහෙත් මේ නිධාන තුන ස්ථිර නොවෙයි. මේවා රජුන්ට අයිති කර ගත හැකි ය. සොරුන්ට පැහැරගත හැකි ය. සතුරන්ට විනාශ කළ හැකි ය. වැස්සට, ගින්නට, සුළඟට විනාශ කළ හැකි ය. එහෙත් මේ සියල්ලට කිසිවක් කළ නොහැකි නිධානය නම් අනුගාමික නිධානය යි. අනුගාමික නිධානය රැස් කරන විට මෙලොව සතුට, දියුණුව ලබයි. පරළොව සතුට ඇති කරයි. පරම අරමුණ නිවනින් සැනසිය හැකි ය.
එබැවින් මේ දෑසට පෙනෙන මෙම සත්‍ය නිධාන එකතු කර ගැනීමට කටයුතු කිරීම යහපත් ය.
අප අසා ඉගෙන ගන්නා ධර්මය, ප්‍රායෝගිකව වර්ධනය කරන භාවනා ක්‍රම මඟින් දියුණු කරගත් සිත, ධර්මානුකූල හැසිරීම, හා ඒ සියල්ල තුළින් ලබන අධ්‍යාත්මික සුවය නිධානයකි. ‘සන්තුට්ඨි පරමං ධනං’ යනු එම තත්ත්වයයි.
සිතෙන් , කයින්, වචනයෙන් සිදු කරන ක්‍රියාදාමයන් ගේ ඵල මිය ගිය පසුද අප පසුපස පැමිණේ. එය යහපත් වීමට පුළුවන. අයහපත් වීමට ද පුළුවන. ‘අනුගාමික’ පුණ්‍ය නිධාන ලෙස බුදුරජාණන් වහන්සේ අර්ථ දැක්වූයේ මේ යහපත් පැත්තයි. යහපත් දේ රැස් කර ගැනීමෙන් ඊළඟ භවය සුවසේ ගත කිරීමට අවස්ථාව ලැබෙන නිසා එය ද නිධානයකි.
සසරේ කළ පුණ්‍ය මහිමයන්ගේ ඵලයක් ලෙස මිනිසත් බව ලැබූ අප තේරුම්ගත යුතු වන්නේ එය ඉතා දුර්ලභව හිමි වූ භාග්‍යයක් බවය. බුද්ධෝත්පාද කාලයක ලද ඒ මිනිස්කමින් උපරිම ප්‍රයෝජන ගෙන ධර්මානුකූල ජීවිතයක් ගත කරන්නට , මේ ජීවිතයත්, මතු ජීවිතයත් සැපවත් කර ගන්නට අප අප්‍රමාදී විය යුතුය.