02/07/2026
කුමාරි සඳලතා මුණසිංහ. අපේ අම්මට අදට වයස අවුරුදු 70ක්! ඒ කියන්නෙ Platinum Jubilee එක. ඒත් තාම කෙල්ල වගේ ඉන්න හින්දා අපිටත් හිතාගන්න අමාරුයි ඒක. සහෝදර සහෝදරියො අට දෙනෙකුගෙන් යුතු පවුලේ වැඩිමලා තමයි අම්මා. මං දන්නා කාලෙක ඉඳන් අත්තා ඒ කිව්වෙ අම්මගෙ අප්පච්චි ලොකුවට ඒ පික්චර් එකේ හිටියෙ නෑ. ඒ එයා සීගිරියෙ හිටපු නිසා. ඉතිං අත්තම්මා "මුණසිංහ ටීචර්" නමින් ගමම හඳුනන ඉංග්‍රීසි ගුරුතුමිය තමයි මේ කෙල්ලො හතරයි කොල්ලො හතරයි රැකබලාගත්තෙ. කොයි කාලෙත් ඒ ළමයින්ගෙ යාලුවො එකෙක් දෙන්නෙකුත් මහ වත්තක් මැද තියෙන ගනේමුල්ල මහගෙදර නැවතිලා හිටියලු පාඩම් කරන්න. එහෙව් feminist වටපිටාවක හැදුනු වැඩුනු අම්මාත් එහෙම අදහස් තියෙන කෙනෙක් වුනා.
පිරිමියෙක් වගේ හරි හරියට පොල් ගහක් නගින්නත්, electric වැඩ කරන්නත්, වත්ත පිටියෙ උදලු කැති මන්නා වළින් වැඩ කරන්නත් වගේම අතින් පයින් ගහගන්නත් අම්මා හයියයි. ඒකට තකට තක මගෙ අප්පච්චිත් එළියට මහා පෞරුෂයක් වුනාට මනුස්සයෙක් විදිහට හරිම මෘදු මෙලෙක් හිතක් තිබුණු, මෙලෝ බර වැඩකට අත හුරු නැති සියුම් අහිංසක ආත්මයක්. ඉතිං පවුල් ජීවිතේ ඇතුලෙත් අම්මා විශ්වාස කළේ "සහජීවනය" මිසක් සාමාන්‍ය පුරුෂ මූලික සන්ධර්භය නෙවෙයි. අම්මා යන එන තැන් අප්පච්චි දන්නෙ නෑ. අම්මා උපරිම නිදහසේ සැරිසැරුවා. අපි ගැන වුනත් අම්මා හැසිරුනේ සාමාන්‍ය අම්මා කෙනෙක් වගේ නෙවෙයි. අපිටත් ඕනා තරම් නිදහස තිබුණා. හැබැයි මම අදටත් පවුල ඇතුලෙ අම්මා තරම් නිදහස් අදහස් දරන්න දන්නෙ නෑ.
අම්මගෙ කටහඬ තරම් මිහිරි වගේම ගැඹුරක් තියෙන කටහඬක් මම අහලාම නෑ. අහන් ඉද්දි රූප මැවෙන ඇගේ වයලීනමය ගායනය සහමුලින්ම "හැඟුම් ගායනයක්". අම්මා ගායිකාවක් විදිහට විතරක් වෘත්තීය ගමන්මඟ හදාගත්තා නම් කොයිතරම් දුරක් යන්න තිබුණද කියලා කසුන් නිතරම කියනවා. මම ඒ කතාවට එකඟයි. මොකද නාට්‍යධර්මී නාට්‍ය සම්ප්‍රදායක වේදිකා පුහුණුවක් සහිතව රංගනයට ආ අම්මාගේ රංගන භූමිකාව ගැන මට කවදත් ප්‍රසාදවත් හැඟීමක් තිබුණෙ නෑ. ඒ අම්මගෙ දක්ශකමේ අඩුවක් නිසා නොව අම්මා "ශූටිං යනවට" මම අකැමති නිසා බව දැන් මට වැටහෙනවා.
අම්මා පූර්ණකාලින කලාවට එන්නෙ මම ඒ ලෙවල් පන්තියේ ඉද්දියි. එතෙක් ඇගේ වෘත්තීය වුනේ කාර්මික නිලධාරීයෙක් වශයෙන් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේයි. අම්මගෙ ඔෆිස් එක, රෙස්ට් රූම් එක, බැලුන් යවන "weather forecast room” එක අපිට සෙල්ලම් කාමර වගේයි මතක. අම්මා එක්ක ගුවන්විදුලි සංස්තාවට යන හැටිත්, රෙකෝඩිං වලට ස්ටූඩියෝ වල වරු ගණන් ගත කරපු හැටිත්, ඒවාගෙ තියෙන ගිටාර් ඩ්‍රම්ස් වගේ භාණ්ඩ අතගාන්න අල්ලන්න එපා ඒක ආචාර විරෝධී වැඩක් බව උගන්නපු හැටිත් මතකයි. ගෙදර සර්පිනාවෙන් තාල අල්ලමින් අම්මා උගන්නපු නිසා තමයි අපි මෙහෙම හරි ගයන්නෙ.
අම්මා ඔය රස්සාව නොකර පූර්ණකාලීන කලාකාරියක් වුනානම් හොඳයි කියලා මම හිතුවත් අපි ගෙයක් හදාගත්තෙ අම්මගෙ රස්සාවෙන් ගත්තු ලෝන් එකෙන් නේද කියලා හිතෙද්දි ඒක අම්මා කරපු කැපකිරීමක් කියලා මට අද හිතෙනවා. මුල්කාලෙ අප්පච්චිට රස්සාවක් නැතුව කොළඹ විශ්වවිද්‍යාලයේ ඉගෙනගන්න කාලෙ අම්මා ගම්පහ සිද්ධායුර්වේදයේ වෛද්‍යාචාර්‍යවරියක් වෙන්න හිටපු ශිෂ්‍යාවක් ලු. ඉතිං අප්පච්චි තීරණාත්මක දේශපාලනික ව්‍යාපාරයකට සම්බන්ධව හිටපු නිසා එයා ලඟින් ඉන්න ඕනා නිසාත්, මුදල් හිඟකම නිසාත්, ලු අම්මා ඒ අධ්‍යාපනය අතහැරලා අප්පච්චිට ලඟ ටොරිංටන් හී කාලගුණේට බැඳුනේ. අප්පච්චිගෙ පළමු මෝටර්සයිකලය අරන් දුන්නෙ අම්මගෙ මුල් පඩියකින් ලු.
අප්පච්චිගෙයි අම්මගෙයි ලියුම් සංවාද වල සාක්ෂි මම හොරෙන් කියවලා තියෙනවා. අප්පච්චි ශූටිං ගියාම තමයි අම්මා ඒවා ලියලා තිබුනෙ. "මගෙ වස්තුව", "ඔයා නැතුව මට පාළුයි", "මහ ගොඩක් ආදරෙයි", "දුව කියෝනවා නවත්තගන්න බෑ ඒකි ඔයා වගේ", "ලොකු පුතා දැන් ඇවිදිනවා හරිම හුරතල්", "චූටි පුතා හිනා වෙද්දි ඔයා වගේ" කියලා අම්මා ලියලා තිබුණා. එයාලා ඇත්තටම ආදරේ කරපු ඒලෙවල් ප්‍රේමය විවා කරගත් ජෝඩුවක් නේද කියලා හිතද්දි ඒ පරමාදර්ශය ගැන ආදරේ හිතෙනවා. අම්මට ජාති දෙකෙන්ම දරුවන් සහ මුණුපුරන් ඉන්නා එක ගැන එයාට තියෙන්නෙ මහ ලොකු ආඩම්බරයක්!
අම්මා වාහනයක් ගත්තෙ Wagon R කියන එක ලංකාවට ගෙනාපු අවුරුද්දෙ. එතෙක් අපි ආවෙ ගියේ බස්සෙකේ. ගෙදර ඉඳන් පාරට ආවෙ පයින්. එළවලු සහ ග්‍රොසරි මලුත් උස්සගත්තු අම්මගෙ අතේ එල්ලිලා අම්මගෙ වේගෙන් යන්න බැරුව මම දුවනවා කියලා මට මතකයි. එදා සිට මේ දක්වා අම්මා පදවපු හැම වාහනයක්ම Wagon R එකේම විවිධ වර්ණ හෝ ප්‍රබේධ. ඒ වාහනේ වාහනයකට වඩා ලොරියක් වගේ තමයි භාවිතා වෙන්නෙ. පස් පොහොර ගෝණි පටවගෙන, ගස් පැල හෝ අතු රිකිලි පුරෝගෙන අම්මා නිරන්තරයෙන් අත්තාගේ පණත් වන අලියෙක් විසින් පැහැරගත්තු සීගිරියෙ පලතුරු වත්ත වෙත පදිනවා. අපි අම්මා නිසා හිතේ හැටියට පලතුරු එළවලු කනවා. අම්මගෙ අත්ගුණේ නිසා වියළි කෝටුවක් ඉන්දුවත් දල්ලක් එනවා.
අම්මා උපතින් හුඟක් කෙට්ටු කෙල්ලක්. ඉස්සර අම්මා මහත් වෙන්න මාමයිට්, බටර්, රට ඉඳි ගෙනත් නංගිලා මල්ලිලාගෙන් හංගගෙන කාපු බව මම අහල තිබුණා. අපි තුන් දෙනාම ඉපදුනාට පස්සෙත් අම්මා බොහොම හැඩට හිටපු බවත්, බස්සෙකේ යනකොට එක එක අංකල්ලා අම්මට ටෙලිෆෝන් නොම්මර ලියපු තුන්ඩු ඔඩොක්කුවට හෝ මගෙ අතට දීලා අම්මට දෙන්න කිව්ව හැටිත් මට මතකයි. මට කවදාවත් මගෙ අම්මා තරම් හෝ ඊට වඩා මම ලස්සනයි කියලා හිතිලා නෑ. මට හැත්තෑවෙදිත් අපේ අම්මා අද වඩා ලස්සන බව ඒකාන්තයෙන්ම මට හිතෙයි.
ඉතින් සකල කලා සක්විති වූ මහා පෞරුෂයක දිවි ගමනට වාරුවක් වෙමින් කලා කෙත පෝෂණය කරන්නට කලාකාමී දරුවන් වැදූවා වූද, මුණුබුරු මිණිපිරි සෙනේ වින්දා වූද, මිහිරි නදින් ගයමින් තුරුණුවියේ වේදිකාවෙන් ඇරඹූ ගමන්මඟ පුංචිතිරය ඔස්සේ රසික සිත් සනහමින්, රිදී තිරයේ ආදරණීය මව් භූමිකාව දක්වා රැගෙන ආ සඳලතාවක් වන් කුමාරියේ... දිවි ගමනේ හැත්තෑ වසක් ලබන ඔබට සියක් වසකට නිරෝගී දීඝායූ වේවා...
එකම දුව,
මාධවී ඇන්තනී ♥️