10/05/2026
ඉදිරි වසර දෙක තුළ මෙරට කුඩා වැව් ඇතුළු සමස්ත ග්‍රාමීය වාරි පද්ධතියම නවීකරණය කර රට කෘෂිකාර්මික අතින් ස්වයංපෝෂිත කිරීමේ දැවැන්ත ජාතික වැඩපිළිවෙළට පක්ෂ භේදයෙන් තොරව එක්වන ලෙස රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය මහාචාර්ය චන්දන අබේරත්න මහතා සියලු පාර්ශ්වයන්ගෙන් ඉල්ලා සිටියේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මක වන “වාරි මහිමය අපේ උරුමය” ජාතික වැව් ප්‍රතිසංස්කරණ වැඩසටහනට සමගාමීව ආණමඩුව ආසනයේ නවගත්තේගම මල්මඩුගම වැවේ සංවර්ධන කටයුතු ආරම්භ කිරීමේ අවස්ථාවට අද (04) පෙරවරුවේ එක්වෙමිනි.
ගොවිජන සංවර්ධන දෙපාර්තමේන්තුව මඟින් නඩත්තු කරනු ලබන අක්කර 10ක පමණ භූමි ප්‍රමාණයකින් යුතු මල්මඩුගම වැව සංවර්ධනය කිරීමෙන් කුඹුරු අක්කර 70ක් පමණ අස්වැද්දීමට අපේක්ෂිතය.
මෙරට ගොවි ජනතාව මුහුණ දෙන නිෂ්පාදන හා අලෙවි ගැටලු විසඳමින් ගොවි ජනතාවගේ ආදායම් තත්ත්වය ඉහළ නැංවීම මෙන්ම සාමාන්‍ය පාරිභෝගිකයාට සාධාරණ මිලකට ගුණාත්මක ආහාර ලබාදීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණක් බවද අමාත්‍යවරයා පැවසීය.
පැරණි ආහාර සංස්කෘතිය නැවත ස්ථාපිත කිරීම, භෝග විවිධාංගීකරණය, අතුරු භෝග හා ධාන්‍ය වගාව ප්‍රවර්ධනය කිරීම මෙන්ම වාරි පහසුකම් වැඩිදියුණු කිරීම තුළින් ගොවි ජනතාවගේ ජීවන තත්ත්වය නඟා සිටුවීමට රජය කටයුතු කරන බවද ඒ මහතා සඳහන් කළේය.
රජය විසින් මේ වන විට ක්‍රියාත්මක කර ඇති “වාරි මහිමය අපේ උරුමය” වැඩසටහන යටතේ මේ වසරේදීත්, ඉදිරි වසරේදීත් වැව් විශාල සංඛ්‍යාවක් ප්‍රතිසංස්කරණය කිරීමට සැලසුම් කර ඇති බවත්, මහ හා කුඩා වැව්, ඇළ අමුණු ඇතුළු ග්‍රාමීය වාරි පද්ධතිය සමස්තයක් ලෙස නවීකරණය කිරීම එහි අරමුණ බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.
මෙම වැඩපිළිවෙළ තුළින් ඉදිරි වසර දෙක තුළ ග්‍රාමීය වාරි පද්ධතිය නවීකරණය කර, ගොවි ජනතාවට සිය කෘෂිකාර්මික කටයුතු සාර්ථකව සිදු කිරීමට අවශ්‍ය ජල පහසුකම් සැපයීමට කටයුතු කරන බවද අමාත්‍යවරයා අවධාරණය කළේය.
රට කෘෂිකාර්මික අතින් ස්වයංපෝෂිත කිරීමේ මෙම දැවැන්ත වැඩපිළිවෙළ සාර්ථක කර ගැනීම සඳහා පක්ෂ භේදයෙන් හා වෙනත් කිසිදු භේදයකින් තොරව සියලු දෙනාගේ දායකත්වය ලබාදෙන ලෙසද අමාත්‍යවරයා මෙහිදී ආරාධනා කළේය.
මෙම අවස්ථාවට පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් ගිහාන් මහතා ඇතුළු දේශපාලන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරීන් සහ ප්‍රදේශයේ ගොවි සංවිධාන නියෝජිතයින් රැසක් එක්ව සිටියහ.