25/11/2021
ලොව පළමු ජනමාධ්‍ය ධර්මසන්නිවේදකයාණෝ !
වර්ෂ 1878 නොවැම්බර් 25 වැනිදා හෙවත් අද වැනි දිනෙක මෙලොව එළිය දුටු ලොව පළමු ජනමාධ්‍ය ධර්ම දේශකයන් වහන්සේ වූද, අමරපුර ධර්මරක්ෂිත මහානිකායේ මහනායකමාහිමිපාණන්වහන්සේ වූ ද , බම්බලපිටියේ වජිරාරාමාධිපතිව වැඩ විසූ අතිගෞරවාර්හ ශ්‍රී ධර්මරක්ෂිත වංශාලංකාර පැළෑණේ ශ්‍රී වජ්‍රඥාන මාහිමිපාණන්වහන්සේගේ ජන්ම දින සැමරුම නිමිත්තෙනි.
රන් හුයක මුතු අමුණන්නාක් මෙන් පදයෙන් පදය ගළපමින් උන්වහන්සේ කළ දේශනයකට කන් දුන් කෙනෙකු සිටි අඩිය නොසොල්වා, සෙල්රුවක් මෙන් නිසල ව සිටීම ස්වාභාවික කරුණක් විය. ගැඹුරු ධර්ම කොටස් උන්වහන්සේගේ මුවට ගලා ආයේ ව්‍යක්ත වචනවලිනි. එහි පැකිලෙන තැනක් නො වීය. එක ද හිස් වචනයකුදු නොවී ය. පදයක් පදයක් පාසා ධර්ම ගෞරවය වැඩුණේ ය. උන්වහන්සේගේ වචනයෙන් වරක් ඇසූ යමක් කවදා වත් අමතක නොවන ගුණය මුළු දේශනය පුරා එක සේ ඉතිර පැතිර සිටියේ ය. එවැනි ව්‍යක්ත ධර්ම දේශනයක් යළි කවර කලෙක කාගෙන් ඇසිය හැකි ද ?
ශ්‍රී චන්ද්‍රරත්න මානවසිංහ සූරීන්
© සංගායනා