20/01/2026
නිසි කලට නිසි ප්‍රමිතියකින් යුතු ගල් අඟුරු මිලදී ගැනීම රජයේ වගකීමකි
ගල් අඟුරු අර්බුදයට ඇමති - ලේකම් වගකිව යුතුයි
රටේ විදුලි නිෂ්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීමට, නිසි වේළාවට - නිසි ප්‍රමිතියකින් යුතු ගල් අඟුරු මිලදී ගැනීමේ රජයේ වගකීම ඉටු කිරීමට විදුලි බල අමාත්‍යාංශය අසමත්ව ඇතැයි හිටපු ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන් කොළඹ නිපෝන් හෝටලයේ දී පැවැති පුවත්පත් සාකච්ඡාවේ දී පැවසීය.
නොරෙච්චෝල විදුලි බලාගාරය සඳහා මේ වසරේ ගල්අඟුරු ඇණවුමෙන් නැව් 2 ක් මේ වන විට රටට පැමිණ අැති අතර, තවත් නැව් තුනක් ලංකාවට පැමිණෙමින් ඇත. මේ වසර පුරා අඛණ්ඩ විදුලිය සැපයීමකට නම්, නිසි කලට රටට ගල් අඟුරු ලබා ගත යුතුය. මේ දක්වාම රජය ට ගල් අඟුරු ප්‍රමිතිය සම්බන්ධයෙන් වාර්තා ලබා ගැනීමට හැකිවී නැත. ඒ නිසාම සමාගම් සඳහා මුදල් ගෙවීමක් ද සිදුව නැත. සමස්ත ටෙන්ඩරය ගැන බලවත් උගතෝකොටිකයක් මේ වන විට පැන නැගී ඇත.
ගල් අඟුරු මිලදී ගැනීමේ ගනුදෙනුවේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය ගැන විපක්ෂය ප්‍රශ්න කර ඇත. විවිධ පාර්ශව වෙතින් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් රජය පාර්ශවයෙන් බලශක්ති අමාත්‍යවරයා, අමාත්‍යාංශ ලේකම්වරයා හෝ ගල් අඟුරු සමාගම මේ දක්වාම ප්‍රතිචාරයක් දක්වා නැත. විනිවිදභාවයකින් යුතුව කටයුතු කිරීම ඔවුන්ගේ වගකීමකි.
මිලදී ගනු ලබන ගල් අඟුරුවල ප්‍රමිතිය සහතික කිරීම බලශක්ති අමාත්‍යාංශයේ වගකීමකි. අවිධිමත් ආකාරයට නිසි තාක්ෂණික උපකරණයක් හෝ නොමැතිව ටෙන්ඩර් ගිවිසුමට පටහැනිව, නොරොච්චෝල දී ගල් අඟුරු ප්‍රමිතිය පරීක්ෂාකර ඇති නමුත් එහි වගකීම කිසිදු බලධරයෙකු නිල වශයෙන් බාර ගෙන නැත. පිළිගත් ජාත්‍යන්තර ආයතනයක් වෙතින් ප්‍රමිතිය පරීක්ෂාකර දහන අගය පිළිබඳ සහතිකයක් ලබා ගැනීමට ද රජය අසමත් ව ඇත.
අමාත්‍යාංශයේ අසමත්බව සහ අකාර්යක්ෂමතාව පිළිබඳ දැනටමත් නොරොච්චෝල විදුලි බලාගාරයේ නිලධාරීන් පිරිසකට චෝදනා එල්ල වන තත්වයක් මතුව ඇත.
රටේ විදුලිබල අවශ්‍යතාවයෙන් 1/3 ක් සපයනු ලබන්නේ ගල් අඟුරු මගිනි. වසර පුරා අඛණ්ඩව විදුලිය සැපයීම නම් නිසි කලට නිසි ප්‍රමිතියක් සහිත ගල් අඟුරු අඛණ්ඩ සැපයීම සිදු කළ යුතුය. මේ වන විටත් එය ඉටු කර ගැනීමට රජයට හැකිව නැත.
නිසි කාල වකවානුවක් තුල ගල් අඟුරු සැපයීම තුලින් විදුලිය සැපයීම විදුලිබල අමාත්‍යාංශයේ සහ ගල් අඟුරු සමාගමේ වගකීමකි.
රජය ගල් අගුරු ප්‍රශ්නය විසඳීම වෙනුවට ප්‍රශ්න මඟහැර යාම බලශක්ති අර්බුදයකට හේතු විය හැකිය. යම් ලෙසකින් රජයට නිසි කලට ප්‍රමිතියක් සහිත ගල් අඟුරු සපයා ගැනීමට නොහැකි වන්නේ නම් නොරොච්චෝල කටයසුතු අඛණ්ඩව පවත්වා ගැනීමේ අභියෝගයකි. අනිවාර්යයෙන්ම එය විදුලි කප්පාදුවකට හේතුවිය හැකිය. එවැනි තත්වයක් වලක්වා බලශක්ති අවශ්‍යතාව ස්ථාවර කර ගැනීම රජයේ වගකීමකි.
රජිත් කීර්ති තෙන්නකෝන්