05/01/2025
Sameera news සංචාරය
ලියංගස්තොට අමුණ
(හම්බන්තොට දිස්ත්‍රික්කය ) *****https://youtu.be/1KGawIKySvk?si=yQvnptf6345SH8_U
අපූරු චමත්කාරයක්. සුදෝ සුදු පාට පෙණ බුබුළු නංවමින් ගලා හැලෙන සුනීල දිය දහරාවන්. ඒ අතරින් හමා එන සීත සුළං රැළිවල දැවටීගෙන එන පෙණ පිඬු, ගත සිත වෙලාගන්නෙ අමුතු මිහිරියාවකින්. ඒ විතරක් නෙමෙයි, අමුණෙ ඉවුර දිගේ ගිහින් පොඩ්ඩක් පල්ලෙහාට බැහැලා තුරු වදුල යටට ගියහම, ගතට දැනෙන සිසිලස කියලා නිම කරන්න බැහැ. අනෙක් පැත්තෙන් වතුර පාරට සේදී ගිය විශාල ගස්වල මුල් පෑදිලා. ඒවා එකින් එකට යා වෙලා, ලස්සන රටා මවන වියමනක් වෙලා. බලන්න ලස්සනයි.
1849දී ඉංග්‍රීසි ජාතිකයන් විසින් නිර්මාණය කර ඇති ලියන්ගස්තොට අමුණ, ලියන්ගස්තොට ගම්මානයට පමණක් නෙමෙයි, අම්බලන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයටම මිනිසා විසින් නිර්මාණය කර දායාද කළ විස්මිත නිර්මාණයක් ලෙසින් හඳුන්වන්න පුළුවන්. වලව දකුණු ඉවුර හා වම් ඉවුර පෝෂණයට උරදෙන ලියන්ගස්තොට අමුණ, අද වන විට ප්‍රදේශයේ දේශීය කෘෂි ආර්ථිකය නගා සිටුවීමට පණ පොවන ජීව උල්පතක් වෙලා තියෙනවා.
මේ ලියන්ගස්තොට අමුණ හැදුණු හැටි ගැනත් ජන වහරේ අපූරු ජනප්‍රවාදයක් පවතිනවා. ඒ අවට ගම්වාසීන් පවසන අන්දමට මේ අමුණ ගොඩ නගන වාරයක් වාරයක් පාසාම කඩා වැටීමට ලක්වීම නිසා, මේ අමුණේ වැඩ නිම කර ගන්න බැරි වෙලා තියෙනවා. ඊට විසැඳුමක් විදිහට ඉංග්‍රීසි ජාතිකයා බිල්ලක් දීමට කටයුතු කරන ලද බවත්, එහිදී එහි අසල බුලත් විට විකුණමින් සිටි මහලු මිනිසකුට කතා කර, වළ පෙන්වා, "මගේ මුද්ද වළට වැටුණා. එය අරන් දෙන්න" යැයි පවසා වළට බැසීමට යන විට ඉංග්‍රීසි ජාතිකයා විසින් මහලු මිනිසා වළට තල්ලු කර, පස් දමා තද කරන ලද බවත් පැවසෙනවා. ඉන් පසු අමුණ කඩන් නොවැටී දිගටම වැඩ අවසන් වන තුරුම කරගෙන යෑමට හැකි වූ බවයි ගම්වාසීන් පවසන්නේ.
මෙය වාරිමාර්ග දෙපාර්තමේන්තුවට පවරා ගෙන 1889 වර්ෂයේදී ඉදිකිරීම් කටයුතු අවසන් කර ඇති අතර, ලියන්ගස්තොට අමුණේ වම් ඉවුර සහ දකුණු ඉවුර යනු කොටස් දෙකකට බෙදී පවතිනවා. අමුණෙහි දිග අඩි 240 ක්. විවර දහ අටක් ඇති අමුණෙහි වැලි කාණු හතරක් හා පාලන විවර දෙකක් අන්තර්ගතයි.
දකුණු ඉවුරේ පිවිසුම් ඇළ දිග කිලෝමීටර් 7.5 ක්. සොරොව් හතරකින් යුත් මේ අමුණෙන් දකුණු ප්‍රදේශයේ වගා කරන බිම් ප්‍රමාණය අක්කර 8000 ක්. වම් ඉවුර ප්‍රදේශයේ වගා කරන බිම් ප්‍රමාණය අක්කර 8500 ක් පමණ වේ.
මිනිසා විසින් ස්වභාව ධර්මයට දායාද කළ විස්මිත නිර්මාණයක් වන මෙය, නෙත් සිත් ඇද බැඳ ගන්නා පාරිසරික වටපිටාව පිහිටා තිබෙනවා. ශුෂ්ක දේශගුණික පරිසරයක් තුළ දක්නට ලැබෙන විශේෂිත පාරිසරික සාධක හා ජෛව විවිධත්වයෙන් අනූන පාරිසරික ලක්ෂණවලින් සමන්විතයි.
ගම් කොහොඹ, කුඹුක්, අට්ටිකා, ලියන් වැනි ශාක විවිධත්වයකින් බහුල මේ ප්‍රදේශයේ, වත රතු මල් කොහා, අළු ගිරවා වැනි ආවේණික කුරුල්ලන් හා සියක්කාරයා, දියකාවා, අලි කොකා හා විවිධ ජලජ පක්ෂි විශේෂ කිහිපයක් ජීවත් වෙනවා. ඒ වගේ ම මේ ස්ථානය වවුලන්ගේ නිජ භූමියක්. රිලවා, මහා කළු වඳුරා සුලභව දක්නට ලැබෙන මෙහි, ගංගාව ආශ්‍රිතව ගැට කිඹුලා දැක ගන්න පුළුවන්.
දෙස් විදෙස් සංචාරකයන්ගේ නෙත් සිත් ඇඳ බැඳ ගන්නා ලියන්ගස්තොට අමුණ,හෙළදිව වාරි තාක්ෂණයේ දියුණුව කියාපාන්නක්.අධ්‍යාපනික වශයෙන් පාසල් දුවා දරුවන්ට නැරැඹීමට වැදගත් සුවිශේෂ ඓතිහාසික වටිනාකම්වලින් සමන්විත වූ ස්ථානයක් වන මේ ස්ථානය, පුංචි විවේකයක් ලද මොහොතක මේ සුන්දර වූ ස්ථානයට ගොස්, එහි අපූර්වත්වය විඳ ගැනීමට අවස්ථාවක් කර ගන්නවා නම්, ඔබේ ජීවිතයට චමත්කාර අත්දැකීමක් එකතු කරගන්නට පුළුවන් වේවි. දැනට හම්බන්තොට ප්‍රාදේශීය වාරිමාර්ග ඉංජිනේරු කාර්යාලය මඟින්, මෙහි පාලන කටයුතු සිදු කරගෙන යනවා.
(විශේෂ ස්තුතිය - තොරතුරු සපයා දුන් හම්බන්තොට ප්‍රාදේශීය වාරි මාර්ග ඉංජිනේරු ඩබ්.එල්.එන්. බුද්ධික මහතාට)