20/01/2026
සද්ද එපා...😃
නවසීලන්තයේ නිවෙස් වල සද්ද දාන කොට පරිස්සමෙන්.
බැල්කනියෙන් පැන යාම නිසා ඕක්ලන්ඩ් නගරයේ පදිංචිකාරියක නිවසින් නෙරපා හරියි.
නොනවතින සාද පැවැත්වීම, අසල්වැසියන්ට පීඩාකාරී ලෙස හැසිරීම සහ කාන්තාවක් බැල්කනියෙන් බැස පැන යාම වැනි බරපතළ සිදුවීම් කිහිපයක් මුල් කරගනිමින්,
ඕක්ලන්ඩ් නගරයේ පදිංචිව සිටි කුලී නිවැසියෙකු වහාම ක්‍රියාත්මක වන පරිදි නිවසින් නෙරපා හැරීමට නවසීලන්ත කුලී නිවාස විනිශ්චය සභාව නියෝග කර තිබේ.
ඕක්ලන්ඩ් මධ්‍යම වාණිජ කලාපයේ බීච් පාරේ පිහිටි 'The Cube' නම් මහල් නිවාස සංකීර්ණයේ පදිංචිව සිටි කාන්තාවකට එරෙහිව මෙම නියෝගය නිකුත් විය.
පසුගිය 2025 ජූලි මාසයේදී ද අධික ශබ්දය සම්බන්ධයෙන් මෙම පදිංචිකාරියට අවසන් අනතුරු ඇඟවීමක් නිකුත් කර තිබූ බව වාර්තා වේ. එහෙත්, ඉන් පසුවද තත්ත්වය පාලනය නොවූ බව පෙනී යයි.
නොවැම්බර් 7 වන දින සාදයක් පැවැත්විණ. එදින පැවැත්වූ උපන් දින සාදයකදී පොලිසිය මැදිහත් වී ඇප කොන්දේසි උල්ලංඝනය කළ පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත. අසල්වැසියන් පවසන්නේ සාදය පුරා අධික ශබ්දය, අසභ්‍ය වචන භාවිතය සහ බීමත් පුද්ගලයන්ගේ කලහකාරී හැසිරීම් වාර්තා වූ බවයි.
සාදයෙන් සති දෙකකට පසු, නිවසේ සිටි අමුත්තන් දෙදෙනෙකු අතර ඇති වූ ආරවුලක් හේතුවෙන් කාන්තාවක් බැල්කනියෙන් පැන ගොඩනැගිල්ලේ බිත්තිය දිගේ පහළට බැස පැන ගොස් තිබේ. ඇය ඇද වැටීමට ආසන්නව සිටි බවත්, එම අවස්ථාවේ ඇය දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතා කර සිටි බවත් අසල්වැසියන් විසින් වීඩියෝ සාක්ෂි සහිතව ඉදිරිපත් කර ඇත.
මීට අමතරව, ගොඩනැගිල්ලේ බිත්තිවල කුරුටු ගෑම් (Graffiti) සහ නීති විරෝධී ලෙස සුරතල් සතුන් ඇති කිරීම වැනි චෝදනා ද ඇයට එරෙහිව එල්ල විය.
මෙම නඩුව විභාග කළ විනිශ්චයකාරවරයා සඳහන් කළේ,
අදාළ පදිංචිකාරිය සිය අමුත්තන්ගේ හැසිරීම් පාලනය කිරීමට කිසිදු උත්සාහයක් ගෙන නොමැති බවයි. ඇයගේ ක්‍රියාකලාපය නිසා අසල්වැසියන් දැඩි බියකින් සහ පීඩාවකින් පසුවන බව නිරීක්ෂණය කළ විනිශ්චය සභාව, ඇයගේ පදිංචි අයිතිය වහාම අවලංගු කළ අතර, හානි පූරණය සඳහා ඩොලර් 3,263 ක මුදලක් ගෙවන ලෙස ද නියෝග කළේය.
නිවාස හිමිකරු මාධ්‍ය වෙත අදහස් දක්වමින් කියා සිටියේ, අදාළ කාන්තාව නිවසට පැමිණෙන විට හොඳ ගති ලක්ෂණ පෙන්නුම් කළත් පසුව සියල්ල වෙනස් වූ බවයි. ඇය පිටව යන විට නිවසට විශාල දේපළ හානියක් සිදු කර ඇති බවත්, ඔහු සඳහන් කළේය.
"හොඳ මිනිසුන් සොයා ගැනීම වර්තමානයේ අසීරුයි, එබැවින් එවැනි අය සිටී නම් ඔවුන්ව අගය කරන්න," යනුවෙන් ඔහු සෙසු නිවාස හිමියන්ට පණිවිඩයක් ද ලබා දුන්නේය.