21/04/2024
නුවර VS දකුණු රට
කැප්ශන් එක එහෙම දැම්මේ මං හිතන් ඉදිය වෙනස් කරපු කතාවක් නිසා. මං facebook හදාගත්ත කාලේ ඉදන් නුවරට අපහස කරන්න අවස්තාවක් හම්බුනොත් මං අතාරින්නේ නෑ. මං විතරක් නෙවේ දකුණේ ගොඩක් අය නුවර එක්ක පොඩි තරහක් තිබුනා. ඒක තරහක් කියන්නත් බෑ, මොකක් හරි එයාලට කියන්න හිතෙනවා. අර ඉවසන් ඉන්නම බෑ වගේ... 😂 අන්න ඒ වගේ දෙයක්, තරහක් කියන්න බෑ ඒකට.
ඉතින් මම 2020 මෙහේ ගාල්ලේ යාලුවෝ එක්ක නුවර දළදා මාළිගාවේ යනවා. අපි ගොඩක් ළඟම යාලුවෝ ටිකක්, ගෑනු ලමයි පිරිමි ලමයි දෙගොල්ලම ඉන්නවා. ළඟම යාලුවෝ වුණාම කතා කරන විදිය කියන්න ඕනේ නෑ නේ..
ඊටත් වඩා මේ යාලුවෝ ටික මනුස්සයොන්ගෙන් ගුටි කන වැඩමයි කරන්නේ. අපි ඉතිම් කතා කරනවා අපි නුවර ගියාම පරිස්සමෙන් කතා කරන්න ඕනේ, නුවර අය අපි දකුණේ කිවුවම අල්ලන් ගහයිද දන්නෙත් නෑ කියලා.
කොහොම හරි ට්‍රේන් එකේ අපි නුවරට එනවා. නුවර ස්ටේශන් එකෙන් බැහැලා යද්දිම පොඩි වෙනසක් තේරෙනවා. දේශගුණය අමුතුයි, වෙනසක් තියෙනවා. ඉතින් අපි ඔහොම ස්ටේශන් එකේ ඉදන් වැව රවුම පැත්තෙන් දළදා මාළිගාව පැත්තට එනවා.
ඉතින් අපි පාරෙ දඟල දඟලා එද්දි මනුස්සයෙක් කියනවා පුතේ වාහන වැඩී පාරෙ අයිනෙන් යන්න කියලා. එ කිවිව වෙලේ ඉදන් මං හිතන් ඉදපු දේවල් ගොඩක් වෙනස් වුණා. මෙයාලා නරක නෑනේ කියලා පළවෙනියට හිතුනා. ටික ටික දළදා මාළිගාව පැත්තට එද්දි මං මුලින් හිතන් ආවා හැමදේම වෙනස් වෙනවා.
මං නුවරට ආස වෙනවා. එහේ ගොඩක් හොඳ මිනිස්සු ඉන්නේ කියලා තේරුම් ගන්නවා. එයාලා අනිත් අයට ගරු කරනවා, හරිම හෙමින් කතා කරනවා කිසිම කලබලයක් නෑ වචන වල. කතා කරන විදිය වෙනස්, මම ඒ වෙනසට ආස වෙනවා. අපි කතා කරනවට වඩා ගොඩක් වෙනස් එයාලගෙ කතාව.
මට ඒ වෙනස හොඳටම දැනෙන්න ඇත්තේ මීට කලින් පවුලේ කෙනෙක්වත් යාලුවෙක්වත් නුවර කෙනෙක් ඉදලා නැති නිසා වෙන්න ඕනේ..
මෙහෙම දෙයක් තියෙනවා, ඔයාලටත් ඒක වෙලා ඇති. සමහර යාලුවෝ මුගේ පට්ටම ලොකුකම කියලා හිතන් ඉදලා කතා කරාම එහෙම නෑ කියලා දැන ගත්තම මාර විදියට ෆිට් වෙන්නේ.. මටත් වෙන්න ඇත්තේ එහෙම දෙයක්. ඉතින් මම නුවරට ගොඩක් ආස වුණා.
පස්සේ මම ගැරඬි ඇල්ලේ කෑම්පින් එකක් ගිය වෙලාවක නුවරම මල්ලිලා තුන් දෙනෙක් හම්බෙනවා. එයාලා තමයි මගේ පළවෙනි නුවර යාලුවෝ. එයාලා හම්බුනාට පස්සේ තවත් නුවර මිනිස්සු හිතුවට වඩා හිත් ලස්සන අය කියලා දැනගන්නවා. දැන් මම නිදහසක් ලැබුනම යන්න ආස, ජීවත් වෙන්න ආස නගරයක් තමයි නුවර.
මේ කතාව කියවද්දි උඩ තියෙන ෆොටොස් මං ගන්නේ මේ ළඟදි දවසක නුවර ගියාම. නුවර ගොඩක් වෙනස් වෙලා තව ලස්සන වෙලා.
එයාලගේ තව දෙයක් එයාල අපිට ආශිර්වාද කරන්නේ දළදා සමිඳු පිහිටයි කියලා. ඉතින් කතාව අවසානය වෙනකන් කියෙව්ව ඔයාටත් මම ආශිර්වාද කරන්නම්,
දළදා සමිඳු පිහිටයි...!! 🙏
✍️ CEYLON SEEKER
********************